ඉතිහාසයේ දීර්ඝතම එක්‌දින සටන ඇරඹේ.


ඉතිහාසයේ පළමු වරට තනි කණ්‌ඩායමක්‌ සමග තරග හතකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එහි පළමු වැන්නට අද (26 දා) එංගලන්තය සමගින් සහභාගි වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරගයක්‌ ලෙස පැවැත්මෙන මෙම තරගය ප.ව. 2.15 ට ආරම්භ වීමට නියමිතය.

අසාර්ථක ඉන්දියානු සංචාරයෙන් පසුව ලෝක කුසලාන තරගාවලිය සඳහා සංයුතිය සකස්‌ කර ගැනීම සඳහා වෙනස්‌කම් රැසක්‌ සමග ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වේ. ප්‍රතිවාදී එංගලන්ත කණ්‌ඩායමද මෙම වසරේදී ජයග්‍රහණවලට වඩා පරාජයන් ලැබීම මත දෙපිලේම ජයග්‍රහණය මෙන්ම ලෝක කුසලාන සංයුතිය සකස්‌ කර ගැනීමේ තරගාවලියක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය.

කණ්‌ඩායම් දෙකම අවසන් වරට පැවැති තරගාවලි පරාජය වීමෙන් දැඩි විවේචන මධ්‍යයේ මෙම තරගාවලියට සහභාගි වීම තරගවල උණුසුම වැඩි කරවන්නක්‌ වී තිබේ. ශ්‍රී ලංකා මෙම වසරේ සහභාගි වු එක්‌දින තරග 25 කදී ජයග්‍රහණ 15 ක්‌ සහ පරාජයක්‌ 10 ක්‌ ලබා ජයග්‍රාහි ප්‍රතිශතය 60% ක්‌ ලෙස සටහන් කර ගෙන තිබේ. එංගලන්තය තරග 17 කදී ජයග්‍රහණ 7 ක්‌ සහ පරාජයන් 10 ක්‌ ලබා ජයග්‍රාහී ප්‍රතිශතය 38.88% ක්‌ ලෙස සටහන් කර ගනිමින් තරගාවලියට සහභාගි වේ.

එංගලන්ත පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද මෙම වසරේ කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් නොකරද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියානු සංචාරය හැර මෙම වසරේ සහභාගි වූ සියලුම තරගාවලි ජය ගනිමින් එංගලන්ත සටනට අවතීර්ණව සිටියි.

1981 වසරේ දෙරට පළමු වරට තරග දෙකකින් සමන්විත එක්‌දින තරගාවලියකට සහභාගි වු අතර එම තරගාවලිය 1-1 ක්‌ ලෙස සමව අවසන් විය. අනතුරුව 2000 වසරේදී පළමු වරට තරග තුනකින් සමන්විත තරගාවලියකට දෙරට සහභාගි වු අතර ඉන් අනතුරුව 2006 වසරේ සිට මේ දක්‌වා දෙරට තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලි වලට සහභාගිව සිටියි. එහිදී 2006 වසරේදී එංගලන්තයේදී ශ්‍රී ලංකාව 5-0 ක්‌ ලෙස ජය ගත් අතර අනතුරුව පැවැති 2008 සහ 2011 තරගාවලි ද්විත්වය 3-2 ක්‌ ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් විය. එහෙත් මෙම වසර මුලදී එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකාව එහිදී තරග පහකින් සමන්විත තරගාවලිය 3-2 ක්‌ ලෙස ජය ගැනීමට සමත් විය.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුණ ගැසුන අවස්‌ථා 56 කදී දෙපිලම ජයග්‍රහණ 28 බැගින් ලබා තිබේ. එහිදී එංගලන්තයට එරෙහිව මහේල ජයවර්ධන තරග 40 කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක හයක්‌ සමග ලකුණු 1351 ක්‌ද කුමාර් සංගක්‌කාර තරග 35 කදී ශතක 4 ක්‌ සහ අර්ධ ශතක තුනක්‌ සමග ලකුණු 1195 ක්‌ද ලබා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌දින තරග 17 කදී පිතිකරුවකු ලෙස සාමාන්‍ය 45.00 ක අගයක්‌ රඳවා ගැනීමට එංගලන්ත නායක ඇලිස්‌ටයාර් කුක්‌ සමත්ව තිබේ. එහිදී ඔහු එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක හතරක්‌ සමග ලකුණු 690 ක්‌ ලබා තිබේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන අර්බුදය වන්නේ ආරම්භක පිතිකරුවා කවුන්රුද් යන්න තෝරා ගැනීමටය. එංගලන්තය සමග පැවැති පුහුණු තරගයේදී අර්ධ ශතකයක්‌ වාර්තා කළ කුසල් පෙරේරාට අද දිනයේදී අවස්‌ථාවක්‌ ලබාදීමට වැඩි ඉඩක්‌ පවතී. එහිදී ඔහු නිසි ප්‍රයෝජනය නෙළා ගැනීමට අපොහොසත් වුවහොත් මහේල ජයවර්ධන තරගාවලිය මැදදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බවද වාර්තා වේ.

වසර කිහිපයකට පසුව කණ්‌ඩායමට කැඳවා තිබෙන තිළිණ කණ්‌ඩම්බිට අද තරගයේදී අවස්‌ථාවක්‌ හිමිවීමට නියමිතව තිබේ. විවේකයකින් පසුව කණ්‌ඩායමට එක්‌වන රංගන හේරත්, කුමාර් සංගක්‌කාර සහ ෂමින්ද එරංගටද අද කණ්‌ඩායමේ ස්‌ථානය වෙන්කර ඇති බව වාර්තා වේ.

  • ශ්‍රී ලංකා කණ්‌ඩායම
තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිළිණ කණ්‌ඩම්බි, ජීවන් මෙන්ඩිස්‌, ඩිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ෂමින්ද එරංග, අජන්ත මෙන්ඩිස්‌ සහ රංගන හේරත්

  • එංගලන්ත කණ්‌ඩායම 
ඇලිස්‌ටයාර් කුක්‌ (නායක), මොයින් අලී, ඡේම්ස්‌ ඇන්ඩ්‍රසන්, ඉයන් බෙල්, රවී පොබරා, ජොස්‌ බට්‌ලර්, ස්‌ටීවන් න්, හැරි ගුර්නි. ඇලෙක්‌ස්‌ හේල්ස්‌, ක්‍රිස්‌ ජෝර්ඩන්, ඉයන් මෝර්ගන්, ජෝ රූට්‌. බෙන් ස්‌ට්‍රොක්‌ස්‌, ඡේම්ස්‌ ටේලර්, ජෝම්ස්‌ ටේ්‍රඩ්වෙල්, ක්‍රිස්‌ වෝර්ක්‌ස්‌



Share on Google Plus