ඓතිහාසිකව ගත් විට, තුන්වැනි වාරයක් යනු, ජීවිත කාලයක් ය.



ලෝකයේ පවතින පාලන ක‍්‍රම, විවිධ මාදිලිවලට අයත් වෙයි: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, රාජධානි/රාජාණ්ඩු, ජනරජ ආණ්ඩු, කොමියුනිස්ට් සහ සමාජවාදී ආණ්ඩු යනුවෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක නම්, නීතිය ඉදිරියේ සමානත්වයක් ඇත. නිසි නීති ක‍්‍රියාවලියක් ඇත. රාජ්‍යකරණය කෙරෙහි පැනවෙන ව්‍යවස්ථාමය සීමාවන් ඇත. සමාන අයිතිවාසිකම් ඇත. සමාජ, ආර්ථික සහ දේශපාලනික බහුත්වවාදය ඇත. ජනතා ස්වෛරීත්වය ඇත. භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි දේවල් ඇත. හොර මැතිවරණ පවත්වන අසමත් රාජ්‍යයන්ද තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි සිතයි. ඔවුන් මැතිවරණ ගැන කතා කළත් ඒ මැතිවරණ පවත්වන්නේ කෙසේද යන්න ගැන නොතකයි.

ඒකාධිපති රටක දේශපාලනික බලය රැඳෙන්නේ තනි පුද්ගලයෙකුගේ අතේ ය. එය, පුද්ගල තන්ත‍්‍ර සහ අධිකාරීවාදී තන්ත‍්‍රයන්හි කාබන් කොපියකි.

ජනරජයක නම් දේශපාලන බලය තීන්දු කරන්නේ ජනතාවයි. එහෙත් ඇත්තටම ජනතාවට එවැනි බලයක් ඇත් ද යන්න අද කාලයේ ප‍්‍රශ්නයකි.

රාජාණ්ඩුවක දේශපාලන බලය තිබෙන්නේ ද තනි පුද්ගලයෙකු අතේ ය. ඔහු බොහෝ විට පරවේණියෙන් රාජ්‍යත්වයට පත්වන කෙනෙකි. මැද පෙරදිග හෝ වෙනත් එවැනි රටවල්වල සිටින රජවරුන්ට වඩා, ව්‍යවස්ථාමය/නාමික රජවරුන් වෙනස් ය.

කොමියුනිස්ට් රාජ්‍යයක නම්, බහු-පක්ෂ ක‍්‍රමයක් ගැන කතාවක් නැත. තනි පක්ෂයක දෘෂ්ටිවාදය පදනම් වන්නේ මාක්ස්වාදය, මා ඕවාදය සහ ලෙනින්වාදය මතයි. ඒවා සැකසෙන්නේ, වැඩ කරන පංතියක් සතු හැකියාවන් පිළිබඳ පැනවෙන සංකල්ප මතයි.

මේ පාලන පද්ධති ගැන නිමක් නැතිව වාද විවාද කළ හැකිය. තොරතුරු සෙවිය හැකිය. ඒවා පිළිබඳ නිර්වචන සහ ඒවායේ අංග ලක්ෂණ සංකීර්ණ ය. එසේම තැනින් තැනට වෙනස් විය හැකිය.

මෙහි ඇති සිත්ගන්නා කාරණය වන්නේ, මේ බොහොමයක් රටවල් තමන්ව, ‘ජනරජයක්’, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ හෝ ‘සමාජවාදී’ රජයක් වශයෙන් හඳුන්වා ගැනීමට දක්වන කැමැත්තයි. එසේ වෙතත්, එවැනි නාමකරණයන් කිසිවක් සමග නෑකමක් එවැනි ඇතැම් රටවල් තුළ කොහෙත්ම දකින්ට නොලැබේ.

  • ජේ. ආර්. ජයවර්ධන
1978 දී ශ‍්‍රී ලංකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජය’ වශයෙන් නම් කෙරුණි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාවට හඳුන්වා දුන්නේය. එසේ කිරීමේදී, එම ක‍්‍රමයට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක කිරීමත් පමණකැ යි ඔහු කීය. එයින් අදහස් වන්නේ, සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජනරජයක ප‍්‍රතිපත්ති මත එකී බලය පදනම් නොවන බව ඔහු දැන සිටින්ට ඇති බවයි. අඩු වශයෙන් නමටවත් ශ‍්‍රී ලංකාව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී, ජනරජයක්’ වශයෙන් තිබෙනු දැකීමට ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ එනිසා විය යුතුය.

දෙමළ භාෂාවේ එක කියමනක් තිබේ: ‘‘වේයෝ හුඹස් සාදති. සර්පයෝ එහි වෙසෙති.’’ විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් ගත් විට අද ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් ඇත්තේ ඊට සමාන තත්වයකි. කිසි ජනාධිපතිවරයෙකුට තුන් වරක් එම ධුරය දැරිය නොහැකි බව 1978 ව්‍යවස්ථාවේ සඳහන් විය. එහෙත් එය, 2010 සැප්තැම්බර් 9 වැනි දා සංශෝධනය කෙරුණි. තමන් සතු තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය පාවිච්චි කරමින් මේ සංශෝධනය ගෙනා මහින්ද රාජපක්ෂට දැන් තමන් කැමති වාර ගණනක් එම ධුරයට පත්විය හැකිය.

  • වාර්ගික ගැටුම
60 වසරකට අධික රුදුරු වාර්ගික ගැටුමක් විසඳුමකින් තොරව තවමත් සිදුවෙමින් තිබේ. අතීතයේ සිටි සෑම රජයක්ම, මේ වාර්ගික ගැටුම තමන්ට විසඳිය නොහැකි බව ලෝකයාට කියා සිටියේ, තමන්ට තුනෙන් දෙකේ බලයක් නැති කම පෙන්වා දෙමිනි.

එහෙත් තුනෙන් දෙකේ බලයක් ඇති රාජපක්ෂ එම බලය පාවිච්චි කරන්නේ තමාගේ බලය තව තවත් තර කර ගැනීමටයි. දිග් ගස්සා ගැනීමටයි. ඉස්සර ඔහු ලෝකයාට කීවේ, යුද්ධය අවසන් වූ වහාම තමා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සපයන බවයි. යුද්ධය අවසන් වී ඇති අද ඔහු කියන්නේ, ‘මේ රටේ සුළුතරයක් කියා පිරිසක් නැති බවත්, ජාතික ප‍්‍රශ්නයක් කියා දෙයක් නැති බවත්’ ය.

හමුදා කුමන්ත‍්‍රණවලින් සහ රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමෙන් බලය අල්ලාගත් බොහෝ ඒකාධිපතියන් සහ රජවරුන් මැරෙන තෙක් බලයේ සිටි අවස්ථාවන් මෙන්ම ජනතාව විසින් ඔවුන්ව පලවා හරින ලද අවස්ථාවන් ද අප දැක ඇත.

ඉරානයේ ෂා රජු එසේ ජනතාව විසින් බලයෙන් පන්නා දමන ලද රජ කෙනෙකි. ඉන්දුනීසියාවේ සුහර්තෝ, ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබරක් සහ ටියුනීසියාවේ බෙන් අලී, තවත් එවැනි ප‍්‍රජා පීඩක රාජ්‍ය නායකයන්ට උදාහරණයන් ය.

ඊළඟට, ‘අසමත් රාජ්‍යයන්’ සහ එම රාජ්‍යයන් අරක්ගෙන සිටින බලයට කෑදර නායකයන් ද අප දැක තිබේ. මේ අය බලයට එන්නේ ඡුන්දයෙනි. එහෙත් අනතුරුව රට පාලනය කරන්නේ, එක්කෝ නූල් සූත්තරවලිනි. නැත්නම් බිය ගැන්වීමෙනි. එසේත් නැත්නම් තුවක්කුවෙනි. හයිටි රටේ ෆ‍්‍රන්සුවා දුවැලියේ, පිලිපීනයේ මාකෝස්, පේරු රටේ ෆුජි මෝරි, බේලාරූස්හි ලූකෂෙන්කා සහ සිම්බාබ්වේහි රොබට් මුගාබේ ඊට නිදසුන් ය.

  • බලය සඳහා වන ඌරු කෑදරකම
මහින්ද රාජපක්ෂ අද ගමන් කරන දිසානතිය හඳුනා ගැනීමට සුදුසු වැදගත් ආදර්ශ දෙකක් අපට තිබේ. එනම් පිලිපීනයේ මාකෝස් සහ සිම්බාබ්වේ රටේ රොබට් මුගාබේ ය.

මාකෝස් එරට මැතිවරණයකින් බලයට පත්වුණේ 1965 දී ය. 1969 දී දෙවැනි වරටත් ඔහු මැතිවරණයකින් බලයට පත්විය. 1970 ඇති වූ වාමාංශික නොසන්සුන්තා හේතුවෙන් 1972 දී ඔහු හමුදා නීතිය පැනෙව්වේය. දෙවරකට පමණක් සීමා වී තිබු ජනාධිපති වාර ගණන අළුත් ආණ්ඩුක‍්‍රම සංශෝධනයකින් ඔහු වෙනස් කරගත්තේය. කෙසේ වෙතත්, තුන්වැනි වාරය සඳහා තේරී පත්වීමේ ඊළඟ ජනාධිපතිවරණය ඔහු පැවැත්තුවේ, හමුදා නීතිය අවසන් වීමෙන් අනතුරුව, 1981 ජනවාරි මාසයේ ය. වෙනත් වචනවලින් කිවහොත්, ඊට පෙර පැවති ජනාධිපතිවරණයෙන් අවුරුදු 12 කට පසුව ය.

එසේ තිබියදී ඔහු 1986 දී හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වේය. මේ ජනාධිපතිවරණයේදී ඔහු ජයග‍්‍රාහකයා වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණද, බරපතල ප‍්‍රචණ්ඩත්වයක් සහ මැතිවරණ දූෂණ සිදුවූ බවට වාර්තා වුණි. පිලීපීනයේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන ‘නැම්ෆ්රෙල්’ වාර්තා කළ පරිදි ඇත්ත වශයෙන්ම එම ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහිකාව වුණේ කොරාසන් අකිනෝ ය. ඇය වනාහී, 1983 දී මාකෝස් පාලනය විසින් ඝාතනය කරන ලද සෙනේට් සභික සහ විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝගේ බිරිඳයි. කෙසේ වෙතත්, 1986 පැවති මේ ජනාධිපතිවරණයෙන් මද කලකට පසු ‘ජනතා බලය විප්ලවය’ ඉදිරියේ මාකෝස්ට දිවි ගලවාගෙන රටෙන් පැන යාමට සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා එඩිතර ශ‍්‍රී ලාංකීය කොරාසන් අකීනෝ කෙනෙකු බිහිවන්නේ කවදාද?

1979 අපේ්‍්‍රල් මාසයේ දී රොඬේෂියාවේ (අද සිම්බාබ්වේ) කළු ජාතිකයන්ට ප‍්‍රථම වරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් ලැබුණි. එරටේ බහුතරයක් ජනතාව එහිදී සිය ඡුන්ද බලයෙන් පත්කර ගත්තේ, මෙතොදිස්ත පල්ලියේ රදගුරුවරයෙකු වූ අබෙල් මුසොරේවා ය. එරටේ ප‍්‍රථම කළු ජාතික අගමැතිවරයා වුණේ ඔහු ය.

ඊට අවුරුද්දකට පසු 1980 දී තවත් මැතිවරණයක් පැවැත්වුණි. ඒ මැතිවරණයේදී, බිය ගැන්වීම් සහ තර්ජන ගර්ජන මගින් බලයට පත්වුණේ රොබට් මුගාබේ ය. තමාව ඒ මැතිවරණයෙන් පරාජය වුවහොත්, රටේ සිවිල් යුද්ධයක් ඇරඹෙන බව ඔහු ප‍්‍රසිද්ධියේම කීවේය. එදා සිට අද දක්වා පැවති සෑම මැතිවරණයකින්ම ඔහු සහ ඔහුගේ පක්ෂය විවිධ උපාමාරුවෙන් ජයගත්තේය. 1980 සිට 1987 දක්වා අගමැති තනතුර හෙබවූ ඔහු, 1987 දෙසැම්බර් මාසයේ දී එරට විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනුණි.

1980 සිට එරටේ පාර්ලිමේන්තු මැතිවරණ 6 ක් පවත්වා ඇත. 1990 සිට ජනාධිපතිවරණ 4 ක් පවත්වා ඇත. ඒ සෑම පාර්ලිමේන්තු මැතිවරණයකින්ම, මුගාබේගේ ‘සිම්බාබ්වේ අප‍්‍රිකානු ජාතික-දේශපේ‍්‍රමී පෙරමුණ’ ජයගෙන ඇත. එසේම සෑම ජනාධිපතිවරණයකින්ම රොබට් මුගාබේ දින්නේය. ඔහුට පරාජය අත්වුණේ, 2000 පෙබරවාරි මාසයේ පැවැත්වූ ව්‍යවස්ථාමය ජනමත විචාරණයෙන් පමණි. ඒ ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය, විපක්ෂයට මහා ජයග‍්‍රහණයක් විය. ඊට නායකත්වය දුන්නේ මෝර්ගන් ස්වන්ගිරායි ය.

මෑත අනාගතයේ ශ‍්‍රී ලංකාවේ ඉරණමත් එවැන්නක් විය හැකිද?

  • අසමත් රාජ්‍යයන්
1957 දී ජනාධිපති වශයෙන් බලයට පත් ෆ‍්‍රන්සුවා දුවැලියේ 1971 දී මියයන තෙක්ම හයිටි රටේ බලය හෙබවූයේය. ඔහුගේ ඇවෑමෙන් බලයට පත්වුණේ ඔහුගේ පුත්, 19 වියැති, ෂොන් ක්ලෝද් දුවැලියේ ය. ඉන් පසු ඔහුව බලයෙන් පහකෙරුණේ 1986 හටගත් ජනතා නැගිටීමකිනි.

1990 දී ප‍්‍රථම වරට පේරු රටේ ජනාධිපති පදවියට පත් ඇල්බෙර්තෝ ෆුජිමෝරි, 1993 දී නැවත ජනාධිපතිවරණයකින් ජයග‍්‍රහණය කෙළේය. එරටේ ව්‍යවස්ථාව අනුව, දෙවරකට පමණක් සීමා වී තිබූ ධුර ගණන වෙනස් කර ගැනීම සඳහා ඔහු 1998 දී ජනමත විචාරණයක් තිබ්බේය. එහෙත් ඉන් ඔහු පරාජය විය. එසේ තිබියදීත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු තමා ජයග‍්‍රාහකයා වශයෙන් ප‍්‍රකාශයට පත්කර ගත්තේය.

2000 නොවැම්බර් මාසයේ ඔහු බෘනායි රටේ පැවති සම්මන්ත‍්‍රණයකට සහභාගී වීමට ගිය අවස්ථාවේ ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කර ගැනීම නිසා ඔහු නිලයෙන් පහ විය. ඉතිං, බෘනායි සිට ඔහු කෙලින්ම ගියේ ජපානයටයි. ඉන් පසු ඔහු එම රටේ ස්වයං-පිටුවහලේ ජීවත් විය.

1994 ජුලි මාසයේ බෙලාරූස් රටේ ප‍්‍රථම වතාවට පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ජයග‍්‍රහණය කෙළේය. 2001 පැවති ඊළඟ ජනාධිපතිවරණයෙන්ද ඔහු ජයග‍්‍රහණය කෙළේය. තුන්වැනි වරට 2006 මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ද ඔහු ‘අති විශාල’ ජයග‍්‍රහණයක් ලබාගත්තේය. මේ මැතිවරණය පැවැත්වුණේ මහපරිමාන ඡන්ද දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය මැද්දේය. ඊළඟට නැවතත් 2010 දී එවැනිම වාතාවරණයක් යටතේ ඔහු යළිත් ජයගත්තේය.

  • යාවජීව වීම
තුන්වැනි වතාවකටත් තරග කළ හැකි වන සේ රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඇති කිසි ජනාධිපතිවරයෙකු, මරණයට පත්වුවහොත් හෝ ජනතාව විසින් පලවා හරිනු ලැබුවොත් මිස කැමැත්තෙන් බලය අතහැර ගොස් නැති බව ඉතිහාසය අපට කියාදෙයි. එසේත් නැතහොත්, හයිටි රටේ ජනාධිපති ෆ‍්‍රන්සුවා දුවැලියේ මෙන් පුතාට බලය පවරා ඉවත් වූ අවස්ථාද ඇත. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුවාවෙන්’ එවැන්නක් සිදුවන්නේද, අසමත් රාජ්‍යයන් හි ය.

උතුරු කොරියාව, නිකරගුවාව, අසර්බජානය, කොංගෝ සමූහාණ්ඩුව, සිරියාව, කටාර් සහ කියුබාව ඇතුළු තවත් ඒකාධිකාරවාදී රටවල පියාගෙන් පුතාට හෝ පවුලේ වෙනත් අයෙකුට බලය මාරු කොට තිබේ.

කෙසේ වෙතත්, අසීමිත සේ බලයට කෑදරවන කාට වුවත් අවසානයේදී අත්වන්නේ අවාසනාවන්ත ඉරණමක් බව අපට පෙනී යයි. ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂලාගේ අනාගතය කෙබ¥ වේදැයි අපි බලා ඉමු.




එස්. වී. කිරුබාහරන්

*2014 නොවැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Historically, A Third Term Means Lifetime!නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි


Share on Google Plus