බෞද්ධයන්ව වැළදූ රාජපක්ෂ දැන් කතෝලිකයන්ව අතුරුපසට ගැනීම.


කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන්ව, කිතුණුවන්ව සහ මුසල්මානුවන්ව යාප්පුවෙන් පාවිච්චි කළ රාජපක්ෂ, ජයග‍්‍රහණයේ අවසාන අයිතිය තමාගේ සහ තම පවුලේ භුත්තියට සවි කරගත්තේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසු මේ රටේ මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් කිසි දවසක දියත් වුණේ නැත. අන්‍ය ජාතිකයන් ඉලක්ක කරගත් එකම සටන් පාඨය වුණේ දෙමළ-විරෝධයයි. එහි අදහස වන්නේ, නිදහසෙන් පසු බලයට පත් කිසි ආණ්ඩුවක් මුස්ලිම් ජනයාට එරෙහි නිල විරෝධයක් පාරට බස්සවා නැති බවයි. එහෙත් රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයේ කීර්තිය තමාගේ සන්තකයට ගෙන, යුද්ධයේ ජයග‍්‍රහණය සඳහා හැම ආකාරයකින්ම සහයෝගය දැක්වූ සෑම සුළු ජන සහ සුළු ආගමික කොටසක්ම මහ ජාතියේ සහ මහ ආගමේ අල්තාරය ඉදිරියේ පුජා කිරීම හරහා එම ජයග‍්‍රහණය දකුණේ මහ ජාතියට පවරා ඒ මහ ජාතියේ අසහාය නායකයා වශයෙන් තමන් රජ වීමට බැලූවේය. ඒ කොන්ත‍්‍රාත්තුව ඔහු පැවරුවේ, සමාජ සහ ජාතික කළමණාකරණය සඳහා තුවක්කුව තරම් කාර්යක්ෂම විසඳුම් මාර්ගයක් තවත් නැතැ යි උදක්ම විශ්වාස කරන, ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂටයි.

විටින් විට, විවිධ අවසරයන් යටතේ කිතුණු පල්ලිවලට පහර දෙමින් සහ විවිධ චෝදනා නගමින් කාලයක් තිස්සේ කිතුණුවන්ට කෙණෙහිලිකම් කරමින් තිබූ නිල නොවන රාජ්‍ය ව්‍යාපෘතිය, යුද ජයග‍්‍රහණයෙන් පසු, වෙනත් ආගමිකයන්ව ද ඉලක්ක කරගන්නා දේශපාලනික සැලැස්මක් වශයෙන් පාරට දැමිය යුතුව ඇතැ යි මේ සහෝදරයෝ තීන්දු කළහ. යුද්ධ කාලය තුළදීත්, ඉන් පසුවත් දෙමළ-විරෝධී රාජපක්ෂ පාලනය ගැන අහිතකින් නොසිටි මුස්ලිම් ප‍්‍රජාවට පවා රාජපක්ෂලාගෙන් සමාවක් නොලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

කිතුණුවන්ට එරෙහි ව්‍යාපාරයට වඩා, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි ව්‍යාපාරය, රාජපක්ෂලාගේ සැලැස්ම තුළ වඩාත් පුළුල් දේශපාලනික අභිලාෂයක් නියෝජනය කරයි. 2009 මැයි 19 වැනි දා කොටි සංවිධානය හමුදාමය වශයෙන් විනාශ කර දැමීමෙන් කලක් යන විට ගෝඨාභය රාජපක්ෂට එක දෙයක් කෙමෙන් වැටහෙන්ට විය. එනම්, ප‍්‍රභාකරන් නැති ශ‍්‍රී ලංකාව වනාහී මහා නියඟයකට හසු වූ කේඩෑරි රටකට සමාන වන බවයි. රාජපක්ෂලාගේ සදාතන බල ව්‍යාපෘතියේ තෝතැන්නක් කර ගැනීමට අවශ්‍ය ‘මහ සතුරා’ දැන් තමන්ට නැති වීම මහා ‘අඩුවක්’ සේ ඔවුන්ට දැනෙන්ට විය. බොහෝ දෙනා සිතන පරිදි මහින්ද රාජපක්ෂ යනු මුහුකුරා ගිය දේශපාලඥයෙකු නම්, මේ චින්තනය අළුයම ලෑ කෙල පිඩක් සේ ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබුණි. බොහෝ දෙනා සිතන පරිදි මහින්ද රාජපක්ෂ යනු පොදු මිනිසාගේ නායකයෙකු නම්, ඔහු කළ යුතුව තිබුණේ, ‘හතුරෙකු’ නැති ශ‍්‍රී ලංකාව සඳහා අළුත් හතුරන් සොයා කරක් ගැසීම නොව, ශ‍්‍රී ලංකාව විවිධ ජාතීන් සහ විවිධ ආගමිකයන් අතර මිතුරු සන්ධානයේ දේශයක් බවට පත්කිරීමේ පියවර නොවළහා ගැනීමයි. එහිදී මේ රටේ වෙසෙන සියලූ සුළු ජාතීන්ට සහ සුළුතර ආගමිකයන්ට සැකයක්, විචිකිච්ඡුාවක් ඇති නොවන ආකාරයේ දේශපාලන ගමන් මාර්ගයකට ඔහු අවතීර්ණ විය යුතුව තිබුණි. එහෙත්, මහින්ද රාජපක්ෂ යනු බොහෝ දෙනා සිතන පරිදි එවැනි පරිණත දේශපාලඥයෙකුවත්, පොදු මිනිසාගේ නායකයෙකුවත් නොව, බල තණ්හාවෙන් ඔද්දල් වූ පුද්ගලයෙකු වීම නිසා එය වැළකුණි.

දෙවරක් නොව, දහ වරක් වුව තමාට බලයට පත්වීමට ව්‍යවස්ථාවෙන්ම ඔහු ඉඩ සලසා ගත්තේ එබැවිනි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක දෙවරකට සීමා කොට තිබූ වාර ගණන ඉවත් කරගත් කිසි රාජ්‍ය නායකයෙක් පහසුවෙන් ගෙදර ගොස් නැත. අප‍්‍රිකාවේ සිම්බාබ්වේ සහ ආසියාවේ පිලිපීනය යන රටවල් දෙකෙන් අපට ඊට මහඟු පූර්වාදර්ශ සැපයේ. සිම්බාබ්වේ නායක රොබට් මුගාබේ 1980 මැතිවරණයෙන් බලයට පත්විය. ඔහු මහින්ද රාජපක්ෂට වඩා ‘විප්ලවවාදියෙකි’. අධිරාජ්‍ය විරෝධය වෙනුවෙන් අවුරුදු 10 ක් හිරබත් කෑ ඔහු සුදු ජාතික යටත්විජිත පාලකයන් පලවා හැරීමේ අරගලයේ නායකයෙකු විය. කෙසේ වෙතත්, රටේ අගමැතිවරයා වශයෙන් බලයට පත්වූ ඔහු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක‍්‍රමයකට වෙනස් කරගත්තේය. එවක් පටන් අද දක්වා අවුරුදු 34 ක්ම ඔහු එරටේ බලය හොබවයි. මේ ඔහුගේ හත්වැනි ජනාධිපති වාරයයි. එසේ නැවත නැවතත් බලයට පත්වුණේ ඡුන්දයකින් නිසා (ඒ සෑම ඡන්දයක්ම දූෂිත වූ බව පැත්තකින් තිබ්බොත්) එහි ඇති වරද කුමක්දැ යි දැන් කෙනෙකු ඇසිය හැකිය. වරද ඇත්තේ සිම්බාබ්වේ යනු අද අප‍්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවල් තුනෙන් එකක් වීමයි. වැඩිම උද්ධමනයක් ඇති රට සිම්බාබ්වේ වීමයි. වැඩිම විරැකියාවෙන් පෙළෙන රට සිම්බාබ්වේ වීමයි. එසේම, ව්‍යවස්ථාදායක ඒකාධිපත්වයක් අමු අමුවේ දියත්ව ඇති රට සිම්බාබ්වේ වීමයි.

පිලිපීනයේ ෆර්ඩිනන්ඞ් මාකෝස් 1965 දී ප‍්‍රථම වරට එරට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. ඉන්පසු 1969 දී දෙවැනි වරටත් ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසු (මහින්ද සේම) ඔහු ආණ්ඩුක‍්‍රමය වෙනස් කරගත්තේය. එතෙක් පැවති වාර දෙකේ සීමාව එහි දී ඉවත් කෙරුණි. අවසානයේ දී, මහා ජන බලවේගයක් ඉදිරියේ දිවි ගලවාගෙන රටින් පැන යන තෙක්, 1986 දක්වාම විටින් විට හොර ඡුන්ද පවත්වමින් අවුරුදු 21 ක්ම ඔහු බලයේ සිටියේය.

පසුගිය අඟහරුවාදා(18) ප‍්‍රයිස් පාක්හිදී පැවති මහජන රැලියේදී, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන් පරිදි, අපේ මහින්ද රාජපක්ෂ එතෙක් පැවති වාර දෙකේ සීමාව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කරගත්තේ, ඔහු දෙවැනි වාරයටත් තේරී පත්වී එම දෙවැනි වාරයේ දිව්රුම් දීමටත් මත්තෙනි. එනම්, සම්පූර්ණයෙන්ම තව අවුරුදු හයක වරමක් තමාගේ අතේද තිබියදී ය. තණ්හාව මොන තරම් බ්රේක් නැති ක්ලේශයක් ද යන්න මහින්ද රාජපක්ෂ එයින් රටටම කියාපෑවේය. එනිසා, සිය සොහොයුරාගේ හමුදාමය චින්තනය සහ එ් අනුව සකසා දෙන ගමන් මාර්ගය මේ නායකයා හිස මුදුනින් පිළිගත්තේය. ගලගොඩඅත්තේ ඥානසාර වැනි, බෞද්ධ භික්ෂුත්වය පැත්තෙන්වත්, ශිෂ්ට පෘථග්ජන සාරධර්ම පැත්තෙන්වත් සාධනීය වාර්තාවක් නැති අලජ්ජි ප‍්‍රබන්ධයක් ගෝඨාභය රාජපක්ෂ හරහා මහා ‘සත්‍යයක්’ සහ ‘යථාර්ථයක්’ වශයෙන් මේ පොළොවේ පැල කිරීමට ඔහු ඉඩ හැරියේ එබැවිනි. මුස්ලිම් ජනයාගේ වාරය ආවේ එලෙසයි.

මෙසේ සිදුවන අතරේ කාලය ගෙවී ගියේය. ඊළඟ ජනාධිපතිවරණයට හරිබරි ගැසිය යුතු මොහොත ආවේය. මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලඥයා දැන් මහ පොළොවට සේන්දු විය. තමන්ගේ ජාතිකවාදී සහ ආගම්වාදී අන්තවාදී ව්‍යාපෘතිය හිතූ තරම් මහත් ඵල මහානිශංස ගෙන නොදෙන බව, බස්නාහිර, දකුණ සහ ඌව හරහා ටිකෙන් ටික ඔහුට පෙනී යන්ට පටන්ගත්තේය. ඉන් පසු ඔහු එලැඹෙන්නේ, තමන් විසින්ම කොනිත්තා හැඬවූ දරුවන් නැළවීමේ රාජකාරියටයි. ඉතිං, මේ රටේ වෙසෙන සෑම මුස්ලිම් ජාතිකයෙකුවම තමාගේ වියදමින් (එනම් අපේ වියදමින්) මක්කම යවන නැළවිල්ල ඔහු ගායනා කෙළේය.

‘බෙදුම්වාදී’ දෙමළ ජනයා සහ ‘මූලධර්මවාදී’ මුස්ලිම් ජනයා පිළිබඳ බිල්ලාට අමතරව, මේ රටේ හැම නරක දසාවක්ම පැහැදිළි කර දීමට රාජපක්ෂලා පාවිච්චි කළ තවත් ප‍්‍රබන්ධයක් වුණේ බටහිර කතෝලික පල්ලියයි. බෞද්ධයන්ව බිය ගැනීවීම සඳහා මේ ‘කතෝලික පල්ලිය’ පිළිබඳ බිල්ලා පාවිච්චි කළ වෙනත් රාජ්‍ය නායකයෙකු සොයා ගැනීමට නැති තරම් ය. එහෙත් ජනාධිපතිවරණය එළැඹෙද්දී ඒ කතෝලික ජනතාවගේ ඡන්දත් ගණන් කළ යුතුව තිබේ. එසේ හෙයින්, එම ජනතාවගේ උත්තරීතර නායක පාප් වහන්සේවම ලංකාවට වැඩම කිරීමෙන් ඔවුන්ගේ පෑරුණු සිත් සැනසීමට රාජපක්ෂලා දැන් දස අතේ දුවති. ජනාධිපති රාජපක්ෂගේ උපන් දිනයට අති උතුම් පාප් වහන්සේ සුභ පතා ඇති බව කියැවෙන පෝස්ටරයක් පසුගිය දිනවල එම කතෝලික ජනතාව වෙසෙන පෙදෙස්වල අලවා තිබුණි.

මෙතෙක් කල්, විටින් විට, බොදුබල සේනා වැනි අන්තවාදී බෞද්ධ කල්ලි ලවා රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ප‍්‍රචාරය කැරැවීමට සැලැස්සු ‘පල්ලියේ කුමන්ත‍්‍රණයට’ දැන් සිදුව ඇත්තේ කුමක්ද? එවැනි ‘කුමන්ත‍්‍රණයක’ නායකයෙකුගෙන් ලැබිණැ යි කියන සුබ පැතුම් පණිවිඩයක්, ඊනියා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නායකයා මේ සා උද්දාමයෙන් සළකන්නේ ඇයි? ඒ ප‍්‍රශ්නයට දිය හැකි එකම පිළිතුර වන්නේ, රාජපක්ෂ පවුල් ව්‍යාපෘතිය තුළ, කබරගොයා තලගොයා වීමත්, තලගොයා කබරගොයා වීමත් මොන විදිහකින්වත් අසාමාන්‍ය සංසිද්ධියක් සේ නොගැනිය යුතු බවයි.



ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
Powered by Blogger.