චම්පික සිංහබාහු නම් වංග රජු කවුද?


චන්ද්‍රිකාගේ උපන් දිනය ජුනි 29ය. 2006 ජුනි 29 මහින්ද චන්ද්‍රිකාට උපන්දින තෑග්ගක් එවා තිබිණි. ඒ උපන් දින තෑග්ග නම් චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප. නායකත්වයෙන් ඉවත් කිරීමය. මහින්ද චන්ද්‍රිකාව ශ්‍රී ල.නි.ප. නායකත්වයෙන් ඉවත් කරන තීන්දුව ගන්න පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනය. මීට වසරකට පෙර චන්ද්‍රිකා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ කතාව කීවේ මෙසේය.
"සමහර ඇමැතිවරු කියල තියෙනවා අඩුම තරමේ මැඩම්ගේ බර්ත්ඩේ එක දවසෙවත් මේ වැඩේ කරන්න එපා කියලා. නෑ එදාම එයාට පාඩම උගන්වන්න ඕනෑ කිව්වාලු...."

මේ ඇය කී කතාවය. පසුගිය 18 මහින්දගේ 69 වැනි උපන් දිනයය. එදින ජාතික හෙළ උරුමය මහින්දට උපන්දින තෑග්ගක් එවා තිබිණි. ඒ ආණ්ඩුවේ මැති ඇමැති පදවිවලින් ඉවත් වීමට ගත් තීන්දුවය.
"අපි රාජපක්ෂවරුන්ගේ ගල්ලෙන බින්දා. සිංහ පරපුරෙන් පැවත එන සිංහලයන්ට අපි සතුටින් දැනුම් දෙනවා...."

මේ චම්පික රණවක ඇමැති මණ්ඩලයෙන් ඉවත් වෙමින් කී කතාවය.
සිංහබාහු තමන්වත් තම මව සහ සහෝදරියවත් ගල්ලෙනක හිර කර ගෙන සිටින සිංහ පියාට එරෙහිව කැරැල්ලක් ගැසීය. ඔහු පියා නැති වේලාවේ ගල්ලෙන බිඳ මවයි, සහෝදරියයි සමඟ පැන ගියේය. චම්පික රාජපක්ෂවරුන්ගේ ගල්ලෙන බින්දාය කියන්නේ මේ මහා සිංහලේ වංස කතාවටය. ඔහු කියන්නේ රාජපක්ෂවරු ආණ්ඩුවේ විවිධ පක්ෂ, මැති ඇමැතිවරුන් ගල්ලෙනක් තුළ හිරකරගෙන සිටිනවාය කියාය.

"මේ ගල්ලෙන විධායක ජනාධිපති ක්‍රමයද...?"

එසේනම් මේ ගල්ලෙන එළියෙන් බිඳින වැඩේට පළමුව අත ගැසුවේ සෝභිත හිමිගේ ජාතික ව්‍යාපාරයය. සෝභිත හිමි යනු බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ල.නි.ප.ය නියෝජනය කරන සිංහල බෞද්ධ සංකේතයකි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන විට ඊට එරෙහිව හඬක් නඟපු හිමි නමක් වේ නම් ඒ සෝභිත හිමිය. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන වේලාවේ ඊට එරෙහිව ඉහළට ආවේ සෝභිත හිමිගේ අභීත හඬය. ශ්‍රී ල.නි.ප.ය බිහි වුණේම කසාවතේ බලයෙනි. 1956 ශ්‍රී ල.නි.ප.ය බලයට ආවේත්, බෞද්ධ කොමිසම වටා එකතු වුණු සංඝ බලය තුළින්ය. බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු බණ්ඩාරනායක මැතිනියව ශ්‍රී ල.නි.ප. නායකත්වයට ගෙන එන්නේ හේන්පිටගෙදර ඥානසීහ හිමිය. 1956 සිට 1959 තෙක් මේ ශ්‍රී ල.නි.ප. සුරකින බෞද්ධ සංකේතය වූයේ බුද්ධරක්ඛිත හිමිය. ඔහු බණ්ඩාරනායකත් සමඟ ගැටුමකට ගොස් බණ්ඩාරනායකව ඝාතනය කරනු ලැබීය. 1960 සිට 1977 දක්වා ශ්‍රී ල.නි.ප.ය සුරකින බෞද්ධ සංකේතය හේන්පිටගෙදර ඥානසීහ හිමිය. උන්වහන්සේ වයස්ගතව දුර්වල වූ පසු 1977 සිට 1994 දක්වා ශ්‍රී ල.නි.පය. සුරකින බෞද්ධ සංකේතය සෝභිත හිමිය. මැතිනියගේ මවුබිම සුරකින සංවිධානයේ පෙරමුණේ සිටියේ සෝභිත හිමිය.

1994 චන්ද්‍රිකා අගමැති අපේක්ෂිකාව වන විට ඇය එන්.ජී.ඕ. ගැත්තියක යැයි සිංහල බෞද්ධ සංවිධාන ප්‍රධාන මහා සඟරුවන කියද්දී චන්ද්‍රිකාගේ සහායට එන්නේ සෝභිත හිමිය. චන්ද්‍රිකා සේවය කළ එන්.ජී.ඕ. එකක් ප්‍රකාශයට පත්කළ "බුදු දහම පාවාදීම" නම් වූ ග්‍රන්ථයේ කවරයට දමා ඇත්තේ ප්‍රචණ්ඩ ස්වරූපයකින් ඉන්නා සෝභිත හිමි යැයිද, එය සඟරුවනට නිගාවක් යැයි කියමින් රට පුරා රැස්වීම් පවත්වද්දී, පෝස්ටර් ඇලවෙද්දී සෝභිත හිමි ඉදිරියට ඇවිත් කියන්නේ එය තමාට හෝ සඟරුවනට අපහාසයක් නොවන බවය.

ඒත් 1994 චන්ද්‍රිකා බලයට ඇවිත් සෝභිත හිමි සමඟ ගැටුම් ඇති කර ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඇය කඩ කළ නිසාය. සෝභිත හිමි තම සටන එවකට විපක්‍ෂය වූ එ.ජා.පයට ගෙන යද්දී 1994න් පසු චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.යෙන් ගලවපු සිංහල බෞද්ධ සංකේතය සියතට ගත්තේ මහින්දය. එහිදී මහින්ද සුරකින සිංහල බෞද්ධ සංකේතය බවට පත්වන්නේ ජාතික හෙළ උරුමයය. එහි කැපී පෙනෙන වැඩ කොටසක් කරන්නේ අතුරලියේ රතන හිමිය. 2005 මහින්ද ජනාධිපති වූ පසු ශ්‍රී ල.නි.ප.ය සුරකින සිංහල බෞද්ධ සංකේතය අතුරලියේ රතන හිමි ඇතුළු හිමිවරුන්ය. ඒත් මහින්ද හෙළ උරුමය තුළ ප්‍රශ්න ඇතිකොට පක්ෂය දෙකඩ කරන්න යද්දී අතුරලියේ රතන හිමි ඇතුළු හෙළ උරුම නායක චම්පික රණවකලාගේ හිත් බිඳෙයි. එතැනින් නොනැවතී චම්පිකගේ ඇමැතිකමද වෙනස් කරයි. විදුලි බලය නමැති බලවත් ඇමැතිකමකින් පහළට ඇද දමයි. මේ ගල්ලෙන වසා තිබෙන මහා කළු ගල හෙවත් විධායක ජනාධිපති ක්‍රමය නම් වූ ගල් පර්වතය ඇතුළෙන් කඩන්න චම්පිකලා සැලසුම් කරන්නේ එතැන් සිටය. සෝභිත හිමිගේ ව්‍යාපාරය එළියෙන් පහර දෙද්දී ඇතුළෙන් පහර දෙන්න පටන් ගන්නේ අතුරලියේ රතන හිමිය.

තම පුත් සිංහබාහු තම බිරිය සහ දියණිය රැගෙන පලා ගොස් ඇති බව දැන ගන්නා සිංහයා ගමට ඇවිත් ජනතාව බය කරන්න පටන් ගනී. මේ වෙනකොට සිංහබාහු ආරක්ෂාව පතා පලා යන්නේ වංග රජු ළඟටය. සිංහයා ගම විනාශ කරන බවත්, ගම්මුද සිංහයා සමඟ සටන් කරන බවත් ආරංචි වී සිංහයා විනාශ කරන්න වංග රජු යවන්නේ සිංහබාහුය. සිංහබාහු ගමට ගොස් තම පියා වූ සිංහයාව විනාශ කොට ජනතාව බේරා ගනී.
කැලේ ගහක් නහන්න කැලේ ගහක් ඕනෑ යැයි කියන්නේ මේකටය. සිංහබාහු පළමුව කරන්නේ තමන්ට සහ පවුලට නිදහස උදා කරදීමය. දෙවනුව කරන්නේ ජනතාවට නිදහස උදාකර දීමය.

"චම්පිකලා කරන්න යන්නේත් ඒකමද....?"

ඒක නම් කියන්න දන්නේ නැත. සිංහබාහු සිංහයාගේ ගල්ලෙන කඩන්න ගත්ත ආත්ම ශක්තිය සහ වීර්ය වගේ ආත්ම ශක්තියක් සහ වීර්යක් රාජපක්‍ෂලාගෙ ගල්ලෙන කඩන්න චම්පිකලාට තිබුණ බව පිළිගත යුතුය. සිංහබාහුට ඒ හයියට තිබුණේ සිංහ අත්ය. චම්පිකලාට තිබුණේ දේශප්‍රේමි අත්ය. සිංහයාගේ ලෙන සිංහ අත්වලින් කැඩුවා සේ දේශප්‍රේමි රාජපක්‍ෂවරුන්ගේ ලෙන කඩන්න චම්පිකලා පාවිච්චි කළේ ඒ දේශප්‍රේමී අත්ය.

හැබැයි හොයන්න ඕනෑ චම්පිකලාගේ වංග රජු කවුද කියාය. චම්පික කියන සිංහබාහු කතාවේ හැටියට නම් 2005දී මහින්ද උදුරා ගත්තේ එ.ජා.ප.යට හිමි විය යුතු ජයග්‍රහණයය. ඒක කරන්නේ චම්පිකලාය. 2005ට ජනාධිපතිවරණය ගන්න නඩු දමන්නේත් චම්පිකලාය. චම්පිකලා නඩු දමන්නේ මහින්දට හොඳ වේලාවට ජනාධිපතිවරණය පවත්වා ගන්නටය. ජනාධිපතිවරණය පවත්වන්න තීන්දු වන්නේ නොවැම්බර් 18ය. මැතිවරණ කොමසාරිස් එම දිනය තීන්දු කරන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට රටේ රාජ්‍ය නායකයාගෙන් අහල නොව රනිල් සහ මහින්දගෙන් අහලය. මහින්ද 18ට පැනල කැමැති වන්නේ එදින ඔහුගේ උපන් දිනය නිසාය. රනිල් එයට එරෙහි නොවන්නේ ඕනෑ දවසක මහින්ද පරද්දන එක සිම්පල් කියල හිතාගෙනය. රනිල් විශ්වාසය තබන්නේ උතුරේ ඡන්දය. ඒත් මහින්ද ඒ ඡන්දත් උදුරා ගනී. රනිල් පරාජය වේ. මෙය හරියට සිංහයා වංග රජුගේ දියණිය උදුරා ගත්තාට සමානය.
"ඒ කියන්නේ වංග රාජධානිය කෝට්ටේ නාග විහාරයද? සිරිකොතද? හොරගොල්ල වලව්වද?"

ඒකත් කියන්න දන්නේ නැත. හැබැයි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද ප්‍රසිද්ධ වේදිකාවේ කීවේ මගේ උපන් දිනය දවසේ මේ රටේ ජනතාව මගේ උපන් දින තෑග්ග ලෙස මේ රට භාර දෙන්න යනවා කියාය.

මහින්දට ඒ උපන් දින තෑග්ග හදපු චම්පිකලා හරියටම මහින්දගේ උපන්දින දවසේ ඇමැතිකම්වලින් ඉවත්ව යමින් කියන්නේ අපි රාජපක්ෂලාගේ ගල්ලෙන බින්දා කියාය. හැබැයි අද හැමෝම බලාගෙන ඉන්නේ චම්පික නම් වූ සිංහබාහුව සටනට යවන වංග රජු කවුද කියන එකය.
ඒ වගේම රාජපක්‍ෂවරුන්ගේ ලෙනෙන් නිදහස සොයා එළියට එන මැති ඇමැතිවරුන් කවුද කියන එකය.



උපුල් ජෝශප් ප්‍රනාන්දු.
Powered by Blogger.