දේශපාලන විකෘතියේ අවසානයක ආරම්භය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතියක පක්ෂය අතර පොදු එකඟතාවයක් ඇතිවීම අදහාගත නොහැකි මට්ටමේ දේශපාලන පෙරළියකි. මෙය අතිශය තීරණාත්මක සේම ඓතිහාසිකය. මෙහි පළමු පුරෝගමීන් වූයේ ශ්‍රීපති සහ මංගලය. ඔවුහු ආණ්ඩුවෙන් පන්නා දැමූ විට, පසුව අසාර්ථක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පිළ හදා ගත්තේය. හැකි උපරිමයෙන් තම දේශාපාලනය රාජපක්ෂගේ විකෘති ආශාවන් වලට එරෙහිව දියත් කළේය. එකල පැවති දේශපාලන වාතාවරණය අනුව ඔවුන්ට වැඩි දුරක් යාමට සිදු නොවුනද දේශපාලනික වශයෙන් පළමු වැදගත් පියවරක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැත. චන්ද්‍රිකා මුල සිටම මොවුන්ට පණ දුන්නාය. ඒ තම පරම්පාරාව විසින් රැක දුන් දේශපාලනයේ ගරුත්වය රැකගැනීම සඳහාය.

ඉන් පසු රාජපක්‍ෂට එරෙහි විරෝධය ඓතිහාසික වශයෙන් අතට ගනු ලැබුවේ ජනරාල් සරත් ෆොන්සේකාය. ජනරාල් ෆොන්සේකා තම අර්ධ දේශපාලන අවබෝධය සමඟ වුවද පැවතී අභියෝගකාරී තත්වය හමුවේ දැඩි වෙනසක් ගෙන පරාජය කිරීමට නොහැකි යැයි සිතූ බලයක් සසල කිරීමට සමත් විය. රාජපක්ෂ අදාළ මැතිවරණයේ ජයග්‍රාහකයා වීම සඳහා ජනරාල් ෆොන්සේකා නොනිල වශයෙන් හිර කිරීමට පවා කටයුතු කරනු ලැබීය. එම බිහිසුණු සිද්ධිය සේම රාජපක්ෂලාගේ මිලිටරිය රටේ ජනතාවගේ අයිතිය මංකොල්ල කෑ ආකාරය දැඩිව අවබෝධයේ තබා ගැනීම අතිශය තීරණාත්මක වේ.

මිලිටරි සේවය වූ කලී උදාර සේවයකි. නමුත් එය දේශපාලන මෙවලමක් කොට මිලිටරියේ ආත්ම ගරුත්වය කෙළසා එය පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිතය කිරීම මඟින් ඇතිකළ අවුල විසඳා ගැනීම සඳහා එහි සිටින සැබෑ විරුවන්ගේ මෙහෙය අතිශය තීරණාත්මක වේ. මන්ද, පෙර මර්ධනයට වඩා වැඩි යමක් මෙවර සිදුවිය හැක්කේ මෙය රාජපක්ෂගේ අන්තිම බලාපොරොත්තුව වන හෙයිණි.

මෙවර මැතිවරණයේදී මිලිටරිය හා සම්බන්ධයෙන් විපක්ෂය සිදු කළ යුතු කටයුතු බොහොමයක් ඇති අතර එය දේශපාලනික වශයෙන් බුද්ධිමත්ව මෙහෙය වීම රට තුළ ව්‍යාකූල භාවයක් ඇතිවීම වැලැක්වීම සඳහා හේතු වේ. එසේම මෙම ක්ෂේත්‍රය අතිශය සංවේදී කාරණයකි. එය රාජපක්ෂලාගේ අන්තිම බිහිසුණු ගැලවුම්කාරකයද වීමට ඉඩ තිබේ. මෙය ඉතා පැහැදිලිව හඳුනා ගැනීම සහ එය ක්‍රමෝපායිකව හැසිරවීම තීරණාත්මකය.

රාජපක්ෂ මර්ධනය කළ යුතු යැයි මීළඟට රටේ පෘථුල වශයෙන් මතයක් ගොඩ නැගීමට සමත් වූයේ “හිටපු” අගවිනිසුරු ඉලක්කකොට ගෙන කළ මර්ධනයයි. ඇය අතීතයට අයිති කාන්තාවක් නොව, වර්තමානය සතුකර ගත යුතු සහ අනාගතයට හිමි කාන්තාවකි. රාජපක්ෂ අධිකරණ පද්ධතිය තම හෙංචයියන් ලවා දුෂණය කරවීම මඟින් රටට අත්වූ අපකීර්තිය ලෙහෙසි පහසු එකක් නොවේ. එහි මුල් කාලීන කොටස්කාරියක් වන ඇය, පසුකාලීනව ඉන් ගැලවීමට උත්සහ කොට ඇය විසින් ඇයව සොයා යෑම ආරම්භ කළ අවස්ථාවේදී රාජපක්ෂ තම අසීලාචාරභාවය පෙන්වනු ලැබීය. එය මඟින් ජාත්‍යන්තරව ඇති කළ අපකීර්තිය සුළුපටු කාරණයක් නොවීය.

රාජපක්ෂ මේ සෑම අවස්ථාවකදීම කෙසේ හෝ තම බලය රැක ගැනීමට සමත් විය. රටේ ව්‍යවස්ථා විකෘතිය, නිවැරදි කොට අපේ මාතෘභූමියේ ආත්මගරුත්වය ඇතිකරනු වෙනුවට හෙතම එය අවභාවිතයට ගනිමින් රට තවදුරටත් ඛේදවාචකය හමුවේ හාස්‍ය සොයායන ගොඩබිමක් බවට පත් කරනු ලැබීය. වැරදි දෙයක් නිවැරදි කිරීම වෙනුවට එම වැරැද්ද අවභාවිතයට ගෙන එමඟින් වඩාත් සංකීර්ණ විකෘතියක් නිර්මාණය කිරීම වූ කලී රාජපක්ෂගේ චින්තනයයි. එහි ඇති නීරස වන්නේ තමන්ගේ හොඳ සිහිනුවණින් බොරුවක් මෙන්ම වංචාවක් සිදු කොට එහි වරද අනුන්මත හෝ අතීතය මත පැටවීමය. ලංකාවේ සංස්කෘතික ගත ගැටලුවක් වන මෙය රාජපක්ෂලා තම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කිසිඳු විලිලැජ්ජාවක් නොමැතිව භාවිතා කරනු ලැබීය.

දේශපාලඥයාගේ මූලික ක්‍රමෝපාය වූ කලී බොරුකීම සග මවා පෑමය. නමුත් බොහෝ දේශපාලඥයින් එක්තරා මට්ටමකට පැමිණි පසු තම ආත්මගරුත්වය පිළිබඳව ඇති බිය නිසා බොරු කීම මෙන්ම වංචා කිරීමට යම් කිසි විනයක් සහ සීමාවක් ලබා දෙන්නේය. එසේ කිරීමට නොහැකි වූ අයවලුන්ගේ අවසානය ඛේදාවාචකයක්ම විය.

රාජපක්ෂ වූ කලී එම දෙවන පාර්ශවයේ නියෝජනයකි. ඔහුට ඔහු මර්ධනය කරගැනීමට නොහැකි වී ඇති සැටියෙකි. ආශාව විසින් වර්තමානයේද වෛරය සහ තරහ විසින් තවත් දින කිහිපයකින් පසු එළඹෙන කාලයේදීද ඔහු පාලනය වනු ඇත. පෙරදා නොදුටු සැබෑ රාජපක්ෂ වීදී දිගේ සුසුම්හෙලනු ඇත. රාජපක්ෂ, රාජපක්ෂ විසින්ම ඇමීබාකරණයකට ලක්කර ගනුඇත. තමන් විසින් තමන් සපාකෑම බොහෝමයක් ආඥාදායකයින් ඔවුන්ගේ අවසාන භාගයට පැමිණි කළ ගොදුරු වූ රෝගයකි. ස්වභාවික නීතිය අනුව එය එසේ විය යුත්තේය.

තම ආශාව හමුවේ සීමාව හඳුන්වා දෙනු ලබන්නේ නීතිය මඟිනි. රටකට මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයට නීතියක් අවශ්‍ය වන්නේ මේ නිසාය. එය නැති තැන මිනිස් මනස තම සීමා රහිත තණ්හාව සංසිදුවා ගැනීම වෙනුවෙන් කළ හැකි සියල්ල කරනු ලබයි.

රාජපක්ෂ සිදුකළේ එයයි. ඔහු මේ වනවිට සිර වී සිටින්නේ නැවත හැරවිය නොහැකි තැනකය. සැබවින්ම තවත් වසර දෙකක් ඉවසාගත හැකිව තිබුණේ නම් තත්වය බොහෝ දුරට වෙනස් විය හැකිව තිබුණි. මෙහි බරපතළම දෛවෝපගත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන්නේ රාජපක්ෂ පීතෘත්වය ලබාදුන් පරම්පාරවටය. ඔවුන්ගේ දේශපාලනය හාස්‍යක් මෙන්ම ඛේදවාචකයක් වනු ඇත්තේය.

රාජපක්ෂ ජනාධිපතිවරයා, තම අසීලාචාර දේශපාලනය රැකගැනීම සඳහා මුලාව මත පදනම් වූ දේශප්‍රේමීයත්වයට මුවාකොට කළ හැකි උපරිම උප්පරවැට්ටි දැමුවේය. ඒ සඳහා ඔහු ජාත්‍යන්තර වශයෙන් කිසිඳු රටක සිදු නොවන මට්ටමේ අඥාන ගිවිසුම් වලට එළඹී තමන්ට එරෙහිව ඇති ජාත්‍යන්තර බලවේගය පාරාජය කිරීම සඳහා චීනය, රුසියාව වැනි රටවලට මෙරට නාස්ති කිරීමට අවශ්‍ය ඉඩ, නිල වශයෙන් ලබා දුන්නේය. රටට හානීකර සහ නොවැදගත් ව්‍යාපෘති රැසක් ඔහු තමන්ගේ “මෙගා සංවර්ධනය” හමුවේ හඳුන්වා දෙනු ලැබීය.

රාජපක්ෂගේ සැබෑ දේශපාලන හෙළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී හෙළිදරව් කරන විට. දේශපාලනයේ මවාපෑම ක්‍රමිකව සසල වී ජනරාල් සරත් ෆොන්සේකා අසමත් වූ කර්තව්‍ය වඩාත් සාර්ථකව ඉදිරියට ඇදෙනු ඇත.

මෙය විකෘති දේශපාලනයේ අවසානයක ආරම්භය යැයි නිසැක වශයෙන්ම කිව හැක්කේ ඒ නිසාය.

සෝභිත හිමි මෙන්ම අතුරලියේ රතන ස්වාමීන් වහන්සේලා මෙහි සැබෑ ධාවක බලවේගය වන බව කීමට කිසිවෙකු කුහක විය යුත්තේ නැත. විශේෂයෙන් අතුරලියේ රතන හිමි තම පළමු දේශපාලන රචනාව ක්‍රමිකව වඩාත් සිහිණුවනින් යුතුව ඇතැම් තීරණාත්මක සංශෝධන වලට ලක් කිරීම මෙහිදී පැසසිය යුතුය. මෙම එකමුතුව මඟින් රටේ දෙමළ ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලකට තල්ලු වීමට අවශ්‍ය වන්නේ පියවර කිහිපයක් පමණි.

මෙම කාරනා හමුවේ, මෙම විකෘති දේශපාලනයේ කතුවරයා වන ජේ. ආර්. ජයවර්ධන තම ප්‍රතිසංස්කරණ මඟින් ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර 12කට සීමා කරනු ලැබීමේ සැබෑ හේතුව තේරුම් ගැනීමට ජනාධිපති රාජපක්ෂ අපොහොසත් වීම රටේ වාසනාවකි. 2016 තම නිල කාලය අහවර කිරීමට ඔහුට සිදුවන්නේ රටටම අප්‍රසන්න වන චිත්ත රූපයයේද දුගඳේද උරුමක්කාරයා වශයෙනි.

මාගේ මාතෘභූමිය පිවිස සිටින්නේ තීරණාත්මක අවස්ථාවකටය. මෙය කළ හැකි කාරණයකි. අඥාදායකයා සහ ඔහුගේ වරිගය පුම්බාගෙන ඇති හුළං ඇරීම ටයරකයක හුළං යැවීමටත් වඩා පහසු කාරණයකි. අවශ්‍ය වන්නේ මුලාව තේරුම් ගැනීම සහ එය නැතිකර දැමීම වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ තම කුසලතාවය අනුව සිදු කිරීමේ සාමුහික වගකීම සියලුම දෙනා භාරගැනීමය. ඊට අවශ්‍ය වන්නේ දේශපාලන ඥානයය. එය විපක්ෂය වටා ඒකරාශී වෙමින් තිබේ. එවිට බොරුකාරයාට පැවැත්මක් නැති වනු ඇත.

මේ කාරණය සාක්‍ෂාත් කරගැනීම සඳහා වන අතිශය වැදගත් උපායමාර්ගය වන්නේ අහිංසාවාදී මානුෂික දේශපාලන මෙහෙයුමක් මඟින් ගැටලුව විසඳා ගැනීම සහ ඒ වෙනුවෙන් සිදුකරන ප්‍රචාරණයේ කලාව සහ විනයයි.



නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa.


Powered by Blogger.