රාජපක්ෂගේ සැලුන් දොර.


ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.

සැබවින්ම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මූලික දේශපාලන න්‍යායන් නාභිගත කොට ඇත්තේද, මෙම සැලුන් දොරේ න්‍යාය මතය. ඔහුගේ දේශපාලනයේ පරිධිය එනම් පිටත වටරවුම සමාන වන්නේ මෙම සැලුන් දොරටය. එය එක් සීමාවකට එනතෙක් එසේම පවතී. නමුත් එම සීමාව පසු කළ පසු සැලුන් දොරක් යැයි සිතාගෙන සිටින බොහෝ දොරවල් යකඩ දොරවල් බවට පත්වේ. එවිට ඔබට මර්ධනය, සැබෑ කුහකකම, කෑදරකම, ඥාතී සංග්‍රහය, අවිනීතීය, අසාදාරණය ආදී සියලුම දුර්ගුණයන් පිළිබඳ ඍජු අත්දැකීම් ලබා ගැනීමට හැකි වනු ඇත. නමුත් එම අත්දැකීම් පිටත ලෝකයට හෙළිදරව් කිරීමට නොහැකි අන්දමට ඔබ ඒවන විටත් සිර කොට ඇත. ඔබගේ කොන්ද කඩා ඇත. රාජපක්ෂ මහත් උජාරුවෙන් අනෙකා ගැන තමන් සතු යැයි කියන “ ෆයිල් ( ලිපි ගොනු)” වල සැබෑ දේශපාලන සමීකරණය මෙයයි.

සැලුන් දොරෙන් ඇතුළට පැමිණි බොහෝ දෙනෙකු පරිධියේ රඳවා ගැනීම වැදගත් සහ ප්‍රයෝජනවත් බව රාජපක්ෂ දන්නේය. මන්ද ඔවුහුට දේශප්‍රේමී ගීත ගායනා කිරීමේ සිට ග්‍රීස් යකාට නැටීම දක්වා වූ හැම වන්නමක්ම නැටීමට පහසුවෙන් අණ කළ හැකිය. මෙහි ඇති වඩාත් වැදගත් කාරණය වන්නේ එකී පරිධියේ සිටින පිරිස, එම අස්වාදයට, වින්දනයට, ප්‍රමෝදයට සහ අස්වැසිල්ලට කැමති වීමය. නමුත් මෙහි නීරස අවබෝධවීමට සැලුන් දොරෙන් ඇතුළු වූ පසු යම්කිසි දුරක් ගමන් කළ යුතුය. එවිට ඔබට නියම දිය රකුසා හමුවේ. ඊට වරම් ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේනගෙන් පුපුරා යන්නේ මෙම යථාර්ථයයි.

කෙසේ වෙතත්, සැලුන් දොර වූ කලී න්‍යායික වශයෙන් ඉතා වැදගත් භූමිකාවක් රඟදක්වන වස්තු බීජයකි. මෙය සිංහල සිනමාවේ මුල්කාලීන නිර්මාණකරණය සඳහා ඉතා මැනවින් භාවිතා කළ ගෝචර සාධකයක් වූ අතර, එකල තිබුණු සංස්කෘතික වටපිටාව හමුවේ ප්‍රසිද්ධියේ කීමට නොහැකි වූ බොහෝ දෑ වක්‍රාකාරයෙන් සැලුන් දොර භාවිතා කොට ප්‍රකාශ කරනු ලැබීය. ඒ සඳහා විවිධාකාර බාහිර ශබ්ද භාවිතා කරමින් කලා නිර්මාණයේ විවිධාකාර සංසිද්ධි ප්‍රකාශ කිරීමට නිර්මාණකරුවාට හැකි විය. එය ප්‍රභල මාධ්‍යක වැදගත් සංකේතයක් විය.

මෙය දේශපාලනයේ සංකේතයක් බවට පත්වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් වීමත්, විශේෂයෙන් 1977 න් පසු උදාවන නව ආකාරයේ විකෘති දේශාපාලනය හමුවේය. එම විකෘතිය නිර්මාණය කිරීම සඳහා ඊට පෙර පැවති දේශපාලන වටපිටාව වැදගත් වූ බව කීම අතිශෝක්තියක් නොවේ. තමන්ද දන්නා අනුන්ද දන්නා ඇත්ත එනම් තමන්ගේ දේශපාලන චින්තනයේ අභාග්‍ය රටේ අභාගයක් වී ඇති බව දැන දැනත්, වෙනම බොරුවකින් එය වසා දැමීම මෙරට දේශපාලනයේ ඇති වඩාත් ප්‍රචලිත කාරණය වේ. ලෝකයේ ප්‍රථම අගමැතිනිය හඳෙන් සහල් ගෙනෙන බව කීමේ සිට රාජපක්ෂගේ ආසියාවේ ආශ්චර්ය දක්වා වූ සියලුම දේශපාලන සිතුවිලි වල ඇති ප්‍රමුඛ කාරණය වන්නේ මෙයයි.

මීට සහයෝගය දක්වන අයවලුන් සතු මූලික මනෝභාවයක් ඇත.

එය වඩාත් මැනවින් තේරුම් ගැනීම සඳහා එක්තරා දේශනයකදී, ස්ලාවෝජ් ජිජැක් ගෙන හැර දැක් වූ උදාහරණයක් පෙන්වා දීම මෙහිදී වැදගත් යැයි සිතේ. නත්තල් කාලයට එන නත්තල් සීයා ගැන හැමෝම දනිති. දෙමාපියන් තම දරුවන්ට නත්තල් සීයා ගෙනත් දුන්නේ යැයි කියමින්, ඔවුන් විසින් සරසනු ලැබූ ත්‍යාග නිදන කාමරයේ තැබීම සාමාන්‍ය පිළිවෙත වේ. දෙමාපියන්ට අනුව තම ළමයින්ට නත්තල් සීයා ගැන ප්‍රභල විශ්වාශයක් ඇත. නමුත් ඇත්තට අනුව තම ළමයින් රවටන බව ඔවුහු දන්නේය.

එසේම ළමුන්ගේ පැත්තෙන්ද මෙය මේ අකාරයෙන්ම ක්‍රියාත්මක වේ. එනම් නත්තල් සීයා යැයි කෙනෙක් ගැන කියමින් තමන්ගේ දෙමාපියන් ඔවුන්ගේ වියදමින් තමන්ට තෑගී අරන් දෙනබව ළමුන් දනිති. නමුත් දෙමාපියන්ගේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසා සහ මීළඟ වසරේදීත් තෑගී අවශ්‍ය නිසා, ළමුන් එය රහසක් ලෙස පවත්වා ගනිති.

දෙපාර්ශ්වයම සත්‍ය කුමක්ද යන්න දනිති. නමුත් එකෙක් අනෙකාගෙන් වෙන්වීමට ඇති අකමැත්ත නිසා එය දෙපාර්ශවය විසින්ම සඟවාගෙන සිටිති.

පවුල් පරිසරය තුළ මෙය යම් කිසි සුන්දර සහ අහිංසක බවකින් යුක්ත වේ. ජිජැක් මෙහිදී සඳහන් කළ “ලයිෆ් ඉස් බියුටිෆුල්” නමැති චිත්‍රපටය මේ සඳහා කදිම උදාහරණයකි. අදාළ චිචිත්‍රපටය එහි නියම අරමුණ සාර්ථකව ගෙන ඒමට ඇතැම් ස්ථාන වලදී අසමත් වුවද එහි සැබෑ අරමුණ මෙම කාරණය ගැන ගැඹුරින් විමසා බැලීමය.

දේශපාලනයට එන්නේද මෙම ආකෘතියේම වෙනස් ස්වභාවයකි. රාජපක්ෂගේ සැලුන් දොර වූ කලී මෙම කාරණය වඩාත් ක්‍රමෝපායිකව ප්‍රායෝගික දේශපාලනයට ගෙන ඒමේ සංකේතයකි. තමන්ගෙන් ආප්ප අනුභවකොට පොදු අපේක්ෂකයා වීම යැයි කියමින් තම වියෝව සඟවා ගෙන තම බස හසුරවමින් අනෙකා පහතට හෙලීම අප්‍රසන්න ගතිගුණයක් වුවද, එය සාමන්‍ය ජීවිතයේදී වැදගත් ස්ථානයක් හිමි කර ගන්නේය. එය රාජපක්ෂ දන්නේය. රාජපක්ෂ එය සාමාන්‍ය මිනිසුන් දන්නා බවද දන්නේය. නමුත් එය අඛණ්ඩව කරගෙන යන්නේය.

මින් අනියමින් කියවෙන්නේ යමක් ලබාගත් පසු ඊට සැලකිය යුතු බවය. මෙය “කළ ගුණ සැලකීම” ලෙස අපේ සංස්කෘතිය තුළ වර්ණ ගන්වා ඇත. නමුත් සැබෑ කාරණය නම් මෙය විකෘතියේ ආශාවයි. ආප්ප කෑ පසු අනෙකාට එකතු වීම රාජපක්ෂට අනුව වැරද්දක් වුවද එම ආප්ප තැනීම සඳහා රටේ මහජන මුදල් භාවිත කිරීම දුර්ගුණයක් නොවේ. සැබෑව වසාගෙන මතුපිටින් වෙනයමක් පෙන්වීමේ කලාව වූ කලී සරල නමුත් දෛනික ජීවිතයේ හමුවන බහුල කාරණයකි.

මෙහිදී එනම් රාජපක්ෂ හමුවේ, දැකගත හැකි ප්‍රකට සහ සාමාන්‍ය සමීකරණයෙන් වෙනස්වන කාරණය කුමක්ද? එනම් මෙහිදී රාජපක්ෂ ප්‍රමුඛ වේ. සෑම විටම රාජපක්ෂ තම ප්‍රමුඛ බව සහ වීරත්වය තබාගැනීම සඳහා සැලුන් දොරද, රටේ ජනතාවගේ බදුමුදලින් හැදෙන ආප්පයද මෙවලමක් කර ගන්නේය.

මෙහිදී රාජපක්ෂ සඳහන් කරන වැදගත් කාරණයක් තිබේ. එනම් තමන්ගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යන්නෙන් කියනු ලබන්නේ ඊට එකතු වීමට සහ පිටවීමට ඕනෑම අයෙකුට නිදහසක් ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි හරය කඩාබිඳ දැමීම සඳහා හෙතම භාවිතා කළේ මෙයයි. රටේ විනය පිරිහීම සඳහා මෙය ප්‍රභල හේතු සාධකයක් විය. දුෂණය, වංචාව සහ රාජ්‍ය ආයතන ලබූ බරපතළ පාඩුව එනම් කෝප් වාර්තාවෙන් එළියට දැමූ සියලුම විනාශයන් සහ අසමත් වීම් වලට හේතු සාධකය වූයේ එයයි. රාජපක්ෂට හැකිනම් රටේ මිලියන දෙකකට ආසන්න මිනිසුන් සියල්ලම අමාත්‍යවරුන් කරනු ඇත. එපමණකට ඔහු, ඔහුගේ තනතුරට පහළින් ඇති දෑ හෑල්ලුවට ලක්කරනු ලැබීය. පොදු වැසිකිලියකට පවා මුල්ගල තැබීමට ඔහු පැනගියේය. තම දේශපාලනය තුළ, බොහොමයක් “ජයග්‍රහණ” යැයි නම් කරනු ලැබූ දෑ අත්පත් කරගත්තේ මෙම උපාය භාවිතයෙනි. රාජපක්ෂගේ සැලුන් දොරේ දේශපාලනය මෙයයි.

දේශපාලන “විද්වතුන්” පොදු අපේක්‍ෂකයා කොළඹ නාගරික එන්. ජී. ඕ. නිෂ්පාදනයක් බව කියමින් මතුකළ කාරණය දැන් අවලංගු වී තිබේ. දින කිහිපයක් ඇතුළතදී මෙය තවදුරටත් රටේ අනෙක් ප්‍රදේශකරා පැතිර යනු ඇත. රාජපක්ෂ තමන්ගේ සැලුන් දොර භාවිතාකොට එකතුකරගත් අනෙකාගේ “ෆයිල්” එම දොරෙන්ම එළියට දැමීමට සිදු වේදැයි කීමට කල් වැඩිය. නමුත්, රාජපක්ෂ සහ ඔහුගේ වරිගය අපේ මාතෘභූමියට කළ හදිය ඇතුළත් “ෆයිල්” එළියට දැමීමට අනෙක් පාර්ශවයට ලබාදෙන අවස්ථාව නිවැරදිව භාවිතා කරන්නේනම් මනාව වටින්නේය. එය රට වෙනුවෙන් ඔවුහු කළයුතු මෙහෙවරකි.

එවිට සැලුන් දොරින් එළියටවිත් රාජපක්ෂටද සිදුවන්නේ මෛත්‍රීට තම ඡන්දය ලබා දීමටය.

අහිංසාවාදී දේශපාලනයක ඇති වඩාත් ගැඹුරු සහ දීර්ඝකාලීන වශයෙන් වැදගත් උපායන් වඩාත් තීරණාත්මක බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආඥාදායකයාට එරෙහිව වූ වැඩ පිළිවලේදී වැදගත් වන්නේ, යළිත් 71ක් , 83ක්, 88-89ක් ඇතිවේ යැයි කියමින් සමාජීය භීතිකාවක් ඇතිකිරීම නොවේ. වැදගත් වන්නේ, ආඥාදායකයා කුමන නාඩකම නැටුවද රටේ සාමය ආරක්ෂා කරගෙන නව දේශපාලනයක් ඇතිකිරීම සඳහා වන කැපකිරීම විනයානූකූලව පෙන්වීමය. එමඟින් විස්වාශයක් ගොඩ නැගීමය.



නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa


Share on Google Plus