ඊළඟ ජනාධිපති කවුද?


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (3අ) අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දහවල් 1.32ට යෙදුණු සුබ මොහොතින් අස්සන් තැබීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (3අ) අනු ව්‍යවස්ථාවෙන් මා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ වන මම, වැඩි ධූර කාලයක් සඳහා මා තෝරා පත්කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ මගේ අභිලාෂය මේ ප්‍රකාශනය මඟින් ප්‍රකාශයට පත්කර සිටින වග මෙයින් දැනගත යුතුය යන්න ජනාධිපතිවරයා ඊයේ අස්සන් කර නිකුත් කළ නිල ප්‍රකාශයයි. මේ නිල ප්‍රකාශය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නමින් ඊයේ දහවල් නිකුත් කිරීමෙන් පසු එම දැනුම්දීමේ පිටපත් මැතිවරණ කොමසාරිස්වරයාටත්, රජයේ මුද්‍රණාලයාධිපතිවරයාටත් ඊයේ දහවල් යවනු ලැබිණි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එම නිල ප්‍රකාශය ඊයේ දහවල්ම අංක 1889/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී.
මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන හත්වන ජනාධිපතිවරණයයි.
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.3 (අ) ධ්ධ් වගන්තියට අනුකූලව මැතිවරණ කොමසාරිස්වරයාට කෙරෙන නියෝගයක් වන බැවින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා ඒ සඳහා නාම යෝජනා කැඳවෙන දිනය අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කිරීමට නියමිත එම ගැසට් නියෝගයට අනුව නියෝගය නිකුත් කර දින 16ත් 21ත් අතර කාලයේදී නාමයෝජනා කැඳවිය යුතු වන අතර නාමයෝජනා කැඳවූ දින සිට දින 28-42ත් අතර කාලයේ දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ජනාධිපතිවරණය පවත්වන දිනයද එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කළ යුතුය.

විධායක ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා වන මේ ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 7 වැනි ජනාධිපතිවරණය වන්නේය.

මීට පෙර විධායක ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා 1982, 1988, 1994, 1999, 2005 හා 2010 යන වසරවලදී ජනාධිපතිවරණ පවත්වා තිබේ.

එම ජනාධිපතිවරණවලදී පිළිවෙළින් ජේ.ආර්. ජයවර්ධන (1982), ආර්. ප්‍රේමදාස (1988), චන්ද්‍රිකා බණ්ඩාරනායක (1994/1999) හා මහින්ද රාජපක්ෂ (2005/2010) යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.3 වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම ජනාධිපති ධුර කාලය එනම්; වසර 6 ඉක්මවා යෑමට මසකට අඩු නොවන හා මාස 2කට වැඩි නොවන කාලයකට යටත්ව පැවැත්විය යුතු වුවත් මෙවර මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ 31.3 (අ) ධ් වගන්තියට අනුකූලව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 4ක් ගෙවී ගිය තැන නැවැත ජනාධිපතිවරණයකට යෑමට ඔහුට ඇති බලතල අනුවය.

කෙසේ වෙතත් 2010 ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජය ලැබූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයෙන් පසු 2/3ක පාර්ලිමේන්තු ඡන්දයකින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක් පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවතාවක් ලෙස පැවැති වගන්තිය ඉවත් කෙළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපති ධුරයට තරග කරන්නේ තෙවැනි වතාවට වන අතර මේ පිළිබඳ විවිධ පිරිස් මතු කළ නීති තර්ක හේතුවෙන් තමන් හට තෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට තරග කළ හැකිදැයි ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරන්නට ජනාධිපතිවරයාට සිදුවිය.

ජනාධිපති රාජපක්ෂ මහතාට තෙවැනි වතාවට තරග කළ හැකි බව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව පසුගිය සතියේ සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005.11.17 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 1,80,786කින් පරාජය කළ අතර 2010 ජනවාරි 25දා පැවැති ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාව ඡන්ද 18,42,749කින් පරාජය කෙළේය.
Powered by Blogger.