හරියටම පනස් වසරකට පෙර ‍පොළොන්නරුවේ ශ්‍රීලනිප නායකයා ආණ්ඩුව පෙරලූ හැටි - මේ අතීතය නැවත සිදුවීමද?


එක්දහස් නවසිය පනස් එකේ ජූලි දොළොස්වෙනිදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇමැතිවරයා එජාප ආණ්ඩුවෙන් දොට්ට බැස්සේය. ඒ තමා දැරූ සභානායක ධුරය, සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති ධුරය පමණක් නොව ඩී.ඇස්. සේනානායකගෙන් පසුව අගමැතිවරයා වීමට තිබූ අවස්ථාවද කැප කරමිනි. හැට තුන් වසරකට ඉහතදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් එළියට බැස්සේ පනස් එකේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළදාය. ඒ අවස්ථාවේදි සිය නායකයා අනුගමනය කරමින් බෙලිඅත්ත මන්ත්‍රී ඩී. ඒ. රාජපක්ෂ (මහින්ද රාජපක්ෂගේ පියා) තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු ‍ලේකම් (නියෝජ්‍ය ඇමැති) හොරණ මන්ත්‍රී ඒ. පී. ජයසූරිය, බලංගොඩ මන්ත්‍රී ජයවීර කුරුප්පු, උඩුගම මන්ත්‍රී ඩී. ඇස්. ගුණසේකර හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ‍ලේකම් (නියෝජ්‍ය ඇමැති) හා උතුරු කොළඹ මන්ත්‍රී ජෝර්ජ් ආර්. ද සිල්වා සිය නායකයා අනුගමනය කරමින් විපක්ෂයට ගියහ.

විපක්ෂයට යමින් බණ්ඩාරනායක ඇමැතිවරයා මෙසේ කීවේය. “ඉතා කුඩා කල පටන්ම මගේ ජන්ම භුමියත් ජනතාවත් උදෙසා, සේවයක යෙදීමේ ආශාව මගේ සිත් තුළ නිදන්ව පැවතුණේය. එය වූකලී ජීවිතය කැපකිරීමක් මෙන් ඇතිවූ ච්ෙතනාවකි. මේ ච්ෙතනාව මුදුන්පත් කරගැනීම සම්බන්ධයෙන් වැඩකිරීමේදී මා හමුවට ඉදිරිපත් වුණු දුෂ්කරතා රාශියකි. මගේ ජන සේවය ආරම්භයේදීම මගේ ඥාතිමිත්‍රයන්ගේ අප්‍රසාදයට පත්වීමේත් ආත්ම පරිත්‍යාගයක යෙදීමේත් අවස්ථාව මා හමුවට එළඹුණේය. දැන් මා හමුවට එළඹ තිබෙන්නේ ද එබඳුම අවස්ථාවකි. දැන් මේ ලැබි තිබෙන ප්‍රස්ථාවේදී මගේ පෞද්ගලික හැඟීම් ප්‍රකාශයට පත්කිරීමට මම බලා‍පොරොත්තු නොවන්නෙමි. දැන් එළඹී තිබෙන්නේ පෞද්ගලිකත්වය ඉක්මවූ වැදගත් ජාතික ප්‍රශ්නයකි. මහජනයාගේ යහපත සම්බන්ධයෙන් කෙරෙන කටයුතු පිළිබඳව මෙහි පළවී ඇත්තේ ඛිෙදවාචකයකි. අග්නිදිග ආසියාවේ අවශේෂ රටවල් නිදහස සම්බන්ධයෙන් පැවැති තත්ත්වයට වඩා පහසු තත්ත්වයක් ඇතිව අපි අපේ ජාතික නිදහස ලබා ගතිමු. අප අතරේ අභ්‍යන්තර භේදයක් නොපැවතුණේ අපේ ජාතික භාණ්ඩාගාරය පිරී පැවතුන හෙයිනි. එය වූ කලී අපේ නිදහස් ලංකාවේ බරපතළ ජාතික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එළැඹී පැවතුණු ස්වර්ණමය අවස්ථාවකි. සාමාජික වශයෙන්ද සභ්‍යත්වය වශයෙන්ද ආර්ථික වශයෙන්ද එම අවස්ථාව අප හමුවේ එළැඹී පැවතුනේය. එහෙත් අභාග්‍යකට මෙන් වටිනා ප්‍රස්ථාව අප විසින් පැහැර හරින ලද්දේය. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රශ්නය වඩ වඩාත් උග්‍රත්වයට පත්වීමය. දේශ චාරිකාවේ යෙදෙන්නන්ගේ නයනයෙන් බලතහොත් මුළු අග්නිදිග ආසියාවෙන්ම ලංකාව ඉතා සෞන්දර්ය සම්පන්න දිවයිනකි. එහෙත් මහජනයා සම්බන්ධයෙන් බලතොත් අග්නිදිග ආසියාවෙන්ම ලංකාව ඉතා දුක්ඛිත බලා‍පොරොත්තු කඩවුණු, අපේක්ෂා විරහිත දිවයිනකි. මෙබඳු තත්ත්වයක් නිදහස ලැබිමෙන් පසුව අප ලංකාව වැනි රටක ඇතිවීම අල්පමාත්‍රයකිනුත් සතුටුදායක නොවේ.

රටේ වැඩි යහපතත්, බහුතර මහජනයාගේ සුබ සිද්ධියත් සඳහා මගේ අදහස්වලට ආණ්ඩුකාර පක්ෂයේ අවශේෂ ඇමැතිවරුන්ගේ අදහස් සංසන්දනය කරගැනීම පිණිස මම හැමවිටම බලා‍පොරොත්තු ඇතිකර ගතිමි. එහෙත් මේ බලා‍පොරොත්තුව සම්පූර්ණයෙන්ම නිෂ්ඵල බවත් නිරත්තක බවත් මෑතක පටන් පහළවන්නට පටන් ගැනුණු ප්‍රශ්න නිසා මට ප්‍රත්‍යක්ෂ වී ගියේය. එහෙත් මහජනයාගේ යහපත සඳහා මෙතැන් පටන් මා දරන්නට යන ප්‍රයත්නය සම්බන්ධයෙන් මා හමුවට එළැඹිය හැකි ප්‍රශ්න ඉතා භාරදූර බව මම ඉඳුරා දැන සිටිමි. එහෙත් එම ප්‍රශ්න විසඳීම සඳහා හෘදයාංගම ප්‍රයත්නයන් මම දරන්නෙමි.

අවුරුදු ගණනාවක් මුලුල්‍ලේ පෞද්ගලික මිත්‍රත්වයකින් යුක්තව ආශ්‍රය කළ සහචරයන්ගෙන් වෙන්වීම වූ කලී පෞද්ගලික වශයෙන් මට අත්වුණු සංවේගනීය අවස්ථාවකි. අවුරුදු 25කට අධික කාලයක් මුලුල්‍ලේ පෞද්ගලික සහයෝගයක් ඇතිව මා ජාතික සේවයේ යෙදුණු අග්‍රාමාත්‍යතුමන්ගෙන් මට ලැබුණු කරුණාවත්, පෞද්ගලික විනීතත්වයත් අප්‍රමාණය. ඒ හෙයින් එතුමන් කෙරෙහි මගේ පවත්නා ගෞරවය හා සැලකීම ඉතා විශාලය. එහෙත් පුද්ගලික ගරුත්වයත් මහජනයා පිළිබඳ යුක්තියත් අතර වෙනස තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට මා අ‍පොහොසත් වෙතොත් මා කරන්නේ ජාතික අපරාධයක් බව මම ඉඳුරා දන්නෙමි. මගේ ජාතියත් ජන්ම භූමියත් පිළිබඳව මගෙන් ඉටුවිය යුතු යුක්ති ධර්මය කෙබඳු පුද්ගලයෙකු කෙරෙහි වුවද මගෙන් ඉටුවිය යුතු යුක්ති ධර්මයට වඩා උදාර විය යුතුය.

මට විරුද්ධව යොමු කරනු ලබන බලවේග කෙතරම් උග්‍ර දැයි මම ඉඳුරා දනිමි. අභිමානයත්, බලයත්, ආනුභාවයත්, ධනයත්, චණ්ඩිකත්වයත් මට විරුද්ධව යෙදේ යැයි බලා‍පොරොත්තු විය යුතු ආයුධ සමූහයකි. මේ දරුණු ආයුධවලින් ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා මා සතුව ඇත්තේ අනතිමානයත් අවංකභාවයත් මගේ ජනතාව උදෙසා සේවය කිරීමේ අවංකාධ්‍යාසයත් පමණි. මේ සඳහා මා බලා‍පොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාවගේ අනුබලය හා ආධාරය මිස බලවතුන්ගේ ආනුභාවය හෝ පරාක්‍රමය නොවේ. මේ සේවය මම ජාතික අභිමානයකිනුදු අවනතකමකිනුදු ඉෂ්ට කරන්නට බලා‍පොරොත්තු වන්නෙමි. එහිදී පෞද්ගලික විරුද්ධවාදීත්වය හෝ මිත්‍රත්වය මම කිසිවිටෙකත් ගණන් නොගන්නෙමි.
කාලය අවස්ථා සම්බන්ධය ගලපන්නේ හරි අපූරු ආකාරයටය. බණ්ඩාරනායක සෞඛ්‍ය ඇමැති ධුරයට ද මතු අගමැතිකමටද පයින් ගසා විපක්ෂයට ගොස් හැට තුන් වසරකට පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාත් එවැනි පෙරළියක් කළේය. ඒ බණ්ඩාරනායක මෙන්ම අයවැයක් මැති සබයේ විවාද වෙමින් තිබෙන අවස්ථාවකදීය. එදා බණ්ඩාරනායක ඩී.ඇස්. සේනානායකට එරෙහි වූයේ පෙනෙන මානයේ තිබූ අගමැතිකමටත් පයින් ගසමිනි.

එක්දහස් නවසිය හතළිස්හතේදි ලංකාවේ මුල්ම අගමැති ලෙස පත්කිරීමට මන්ත්‍රීවරුන් බහුතරයක් කැමැති වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකටය. එච්. ශ්‍රී නිශ්ශංකගේ කිරුළපන යමුනා මැදුරේ ඒ වෙනුවෙන් පැවැත්වූ එකඟතාවේදී බණ්ඩාරනායක අගමැති ධුරය ප්‍රතික්‍ෂේප කරමින් කීවේ තමාට පෙර අගමැති ධුරය ඩී.ඇස්. සේනානායකට ලැබිය යුතු බවය. බණ්ඩාරනායක මෙන්ම මෛත්‍රීපාල ද අගමැති ධුරය ප්‍රතික්‍ෂේප කළ සිරිසඟබෝ කෙනෙකි.

දෙදහස් හතරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය අගමැති ධුරය මුලින්ම දෙන්න හැදුවේ මෛත්‍රීපාලටය. ඒ සඳහා ඇය ‍පොළොන්නරුවට හෙලිකොප්ටරයක් යවා මෛත්‍රී කොළඹට ගෙන්වා ගත්තේය. කොළඹ පැමිණි මෛත්‍රී, බණ්ඩාරනායක මෙන් අගමැති ධුරය එපා කීවේය. මේ වෙලාවේ මිනිසුන්ගේ කැමැත්ත මහින්දට. ඔහුට අගමැති ධුරය දෙන්නැයි මෛත්‍රී චන්ද්‍රිකාට කීවේය.


බණ්ඩාරනායක - මෛත්‍රී ගැලපීම සෞඛ්‍ය ඇමැති ධුරයෙන් හා අගමැති ධුරය ප්‍රතික්‍ෂේප කිරීමෙන් නතර වන්නේ නැත. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක උපන්නේ එක්දහස් අටසිය අනූනවයේ ජනවාරි අට වැනිදාය. මෛත්‍රී තරග කරන ජනපතිවරණය යෙදී ඇත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ එකසිය පහළොස් වැනි ජන්ම දිනය යෙදී ඇති දෙදහස් පහළොවේ ජනවාරි අට වැනිදාය. බණ්ඩාරනායක ජන්ම දිනය දා පැවැත්වෙන ජනපතිවරණයට තරග කරන මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාගේ පිටුපස සිටින සෙවණැල්ල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බව රහසක් නොවේ. ඕ තුමූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ දෙවැනි දියණියය. මේ අවස්ථා සම්බන්ධකම්වල තවත් අපූරු කතාවක් ඇත්තේය.


මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් එළියට බසිමින් කීවේ වර්තමානයේ රට සොඳුරු ආඥාදායකත්වයකට ගමන් කරමින් සිටින බවය. මෛත්‍රීපාල මේ කාරණාව කියන්නට හරියට පනස් වසරකට පෙර ඔය කතාවම ‍පොළොන්නරුවෙන් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කීවේය. ඔහු එක්දහස් නවසිය හැටේ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ සභානායකවරයා වූ මින්නේරිය මන්ත්‍රී සී.පී. සිල්වාය. එදා මැතිනියගේ ආණ්ඩුවෙන් එළියට බසිමින් සී.පී. කීවේ රජය ගමන් කරන්නේ ඒකාධිපතිවාදය කරා බවය. සී. පී. ඒ කතාව කීවේ මැතිනිය පැරණි ශ්‍රීලනිප ඇමැතිවරුන් පැත්තකට විසිකර සිය ඥාති සොයුරා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග තනියෙන් ආණ්ඩු කරන්නට ගිය බැවිනි. එදා ‍පොළොන්නරුවේ සී.පී. සිල්වා එම ගමන නතර කළේ එක්දහස් නවසිය හැට හතරේදී මැතිනියගේ ආණ්ඩුව පෙරළා දමමිනි.


මේ සිද්ධිය දේශපාලන ඉතිහාස කතාවේ හැඳින්වෙන්නේ ‘පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක්’ ලෙසය. ඒ කුමන්ත්‍රණය අලුත් පෙරළි රැසකට මුලපිරූ සිද්ධියකි. කොටින්ම කියනවානම් වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට පමණක් දෙවැනියා වන සභානායක ධුරය දැරූ සී.පී. ද සිල්වා ද ආණ්ඩුවට එරෙහිව ඡන්දය දී විපක්ෂයට ගියේය. ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොව පනස් නවයේ බණ්ඩාරනායක ඝාතනයෙන් ඉක්බිතිව සිරිමාවෝ බණ්ඩාරනායක එනතුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඉසිලූ පුද්ගලයාය. පනස් නවයේදී චාර්ල්ස් පර්සිවේල් ද සිල්වා හෙවත් සී.පී. ද සිල්වාට අගමැති කිරුළ අහිමිවූයේ බණ්ඩාරනායක ඝාතනය වූ වෙලාවේ ඔහු ලංකාවේ නොසිටි බැවිනි. ඒ සී.පී. සිල්වාට වසදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලැබිමට ඔහු විදෙස්ගත වී සිටි බැවිනි.


සී.පී. සිල්වා එදා සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව ගෙදර යැව්වේ ඇගේ රාජාසන කතාව හෙවත් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳ පැවැති විවාදයේදි ඡන්ද විමසුමේදීය. එම රාජාසන කතාවේදී මැතිනිය ශපථ කළේ ‍ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නා බවය. ජනමාධ්‍ය නිදහසට මුඛවාඩම් බැඳීමට ඇය දැරූ තැතට ඇගේ ආණ්ඩුවේ හුන් සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල සහයද ලැබි තිබුණි. මැතිනියගේ මේ උත්සහය ව්‍යවර්ථ කළේ එක්සත් ජාතික පක්ෂය හා ‍ලේක්හවුස් ආයතනයේ අධිපතිවරු ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි.


“පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක්” මගින් හැටහතරේදී ශ්‍රීලනිප ආණ්ඩුව ගෙදර යැවීම පිටුපස හුන් මහ මොළකරුවෙකු වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහය. ‍ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ ඔහු රනිල් වික්‍රමසිංහගේ පියාය. එස්මන්ඩ් සමග එම මෙහෙයුමේ හුන් අනෙක් එජාප නායකයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. නෑකමින් ඔහු රනිල්ගේ මාමාය. ජේ.ආර්. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කුරුමානම් අල්ලන විට, ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ ශ්‍රීලනිපයේ හුන් ‍‍‍ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයාද මන්ත්‍රීවරයාද වූ සී.පී. ද සිල්වා විපක්ෂයට ගැනීමය. ඒ සඳහා ඩඩ්ලි සේනානායක කෙතරම් කැපවීමක් කරන්නට සූදානම් වූවේදැයි කිවහොත් මීළඟ ආණ්ඩුවේ අගමැති ධුරය ඔහුට පිරිනැමීමට පවා යෝජනා කළේය. එනමුත් සී.පී. ද සිල්වා එය නිහතමානීව ප්‍රතික්‍ෂේප කළේය.


තත්ත්වය මෙසේ තිබියදී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක පස්වන පාර්ලිමේන්තුවේ හයවැනි සැසිවාරය ආරම්භ කරමින් රාජාසන කතාව කළාය. එහිදී ඇය පුනරුච්චාරණය කරමින් ප්‍රවෘත්ති පත්‍ර රජයට පවරා ගන්නා බවට ශපථ කළාය. අගමැතිනියගේ කතාවෙන් ඉක්බිතිව ආචාර්ය විජයානන්ද දහනායක ඇගේ යෝජනාවට සංශෝධනයක් ගෙනාවේය. ඒ වෙලාවේ වහාම උපක්‍රමශීලී වූ ජේ.ආර්, ඩඩ්ලිගේ අදහස් විමසා දහනායකගේ යෝජනාවට පක්ෂවන ආකාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකතු කළේය.


මේ අතර අපූරු සිද්ධියක් වූවේය. තීරණාත්මක මොහොතේ ඡන්දය භාවිතා කිරීමට මොණරාගල බිබි‍ලේ ශ්‍රීලනිප මන්ත්‍රී ඩී.ඇම්. ගුණසේකර පැමිණෙමින් හුන් මෝටර් රියේ අතරමගදී හුළං බැස්සේය. වාහනය හදාගෙන ඔහු මැති සබයට ආවද ඉන් පලක් නොවීය. විපක්ෂය ‘සටන’ ජයග්‍රහණය කර ජයපැන් බොමින් හුන්නේය. ගුණසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රමාදයට හේතු විචාල කල්හි ඔහුගේ උත්තරය වූයේ වාහනයේ හුළං බැස්ස බවය. ඒ කතාව ඇසූ කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් මෙසේ කීවේය.

“ඔබගේ පමණක් නොවේ, සහෝදරය දැන් අප සැමගේම ටයර්වල හුළං බැහැලා.”

රාජාසන කතාවෙන් පැරදීමටත් වඩා ආණ්ඩුවට දෑස් අදහාගැනීමට නොහැකි වූයේ සී.පී. ද සිල්වා විපක්ෂයට යාමය. ආණ්ඩුවේ මේ සා බලගතු පුද්ගලයෙක් විපක්ෂයට යාම බොහෝ දෙනෙක් විස්මයට පත් කළෝය. ඒ පිළිබඳ සී.පී. ද සිල්වා මෙසේ කීවේය.


“රජය ගමන් කරන්නේ ඒකාධිපතිවාදයටයි. ආණ්ඩුව ඇතුළේ මා ඇසූ දේ අනුව දුටු දේ අනුව පනස් හයේ යුග පෙරළියේ ප්‍රතිපත්තිවලට පයින් ගසා රට මුළුමනින්ම ඒකාධිපතිවාදය කරා ගමන් කරනවා. එනමුත් ඒකාධිපතිවාදය ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට මුළුමනින්ම පටහැනියි. ශ්‍රීලපනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා එක්දහස් නවසිය පනස් හයේ සිට දරපු තනතුරු අත්හරින්නට මා තීරණය කළේ අපේ සහෝදර ජනතාව එනම් නිදහස් මිනිසුන් අතර නිදහස් මිනිසෙකු ලෙස තවදුරටත් ජීවත්වීමට ඉඩසැලැස්වීමට කරන පරිත්‍යාගයක් හැටියටයි” කෙසේ නමුදු පත්තර පනතක් සම්මත කරන්නට ගොස් රාජාසන කතාවෙන් පරාජය වුණිද වාමාංශික පක්ෂ අගමැතිනියට බලකළේ රජය විසුරුවා නොහරින ලෙසය. රජය විසුරුවා නොහරින්නේ නම් සිය වෘත්තීය සමිති සටන්බිමට කැඳවන්නට එජාපය සේනා සංවිධානය කිරීමට තීරණය කළේය.


මේ අතර හැට හතරේ දෙසැම්බර් හතරවැනිදා අලුයම එකට පමණ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හදිසි කැබිනට් සාකච්ඡාවක් කැඳෙව්වාය. ඒ නීතිපති හා මැතිවරණ කොමසාරිස්වරයා මුණගැසීමෙන් ඉක්බිතිවය. රජය විසුරුවා හැරීමට තමා ලකිසුරු විලියම් ගොපල්ලවට උපදෙස් දීමට තීරණය කළ බව අගමැතිනිය කීවාය. ඊළඟ මහා මැතිවරණය පැවැත්වීමට දින නියම වූයේ හැට පහේ මාර්තු විසි දෙවැනිදාය. ඒ ඡන්දයේදී එජාපය මන්ත්‍රීවරුන් හැට හයදෙනකු දිනාගත්තේය. ශ්‍රීලනිපයට ලැබුණේ මන්ත්‍රීවරුන් හතළිස් එකක් පමණි. ඒ වෙලාවේ එජාපයේ සහයට ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පෙඩරල් පක්ෂය හා ජාතික විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූහ. නව සභාග රජයේ අගමැතිවරයා වූයේ ඩඩ්ලි සේනානායකය. ඉඩම්, වාරිමාර්ග විදුලිබල ඇමැති ධුර සමග සභානායක පදවිය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ නායක වූ ද මින්නේරිය මන්ත්‍රී වූ ද සී.පී.ද සිල්වාටය.


කෙසේ නමුදු එදා සී.පී. සිල්වාගේ ක්‍රියාව හැඳින්වූයේ මැතිනියගේ පිටුපස්සෙන් පිහියෙන් ඇනීමක් ලෙසය. ෙදෙවයේ සරදමකට මෙන් පනස් වසරකට පෙර ඉතිහාසය පුනර් රඟදැක්විණි. සී.පී. සිල්වාගෙන් පසු ‍පොළොන්නරුවෙන් බිහි වූ ශ්‍රීලනිපයේ පතාක යෝධයා වූ මෛත්‍රීපාල ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට ඔහු ගැනද එවැනි කතාවක් ආණ්ඩුවේ නායකයෝ කීහ. මෛත්‍රී රෑට ආප්ප කාලා පිටුපස්සෙන් පිහියෙන් ඇන්නා.”


පිටුපස්සෙන් පිහියෙන් ඇනීමේ කතාව දේශපාලන වාග් කෝෂයට ආවේ රෝමයේ ජුලියස් සීසර්ට බෘෘටස් පිහියෙන් ඇනීමත් සමගය. බෘෘටස් වැනි අයෙකු තමාට පිහියෙන් ඇනීම සීසර් විස්මයට පත්කළේය.


“බෘෘටස් ඔබ?” සීසර් පුදුමයෙන් ඇසුවේය. ඊට බෘෘටස් පිළිතුරු දුන්නේ මෙසේය.


“සීසර් මම ඔබට ආදරෙයි... නමුත් ඔබට වඩා මම රෝමයට ආදරෙයි...”


මිහිරි ෆොන්සේකා.


Share on Google Plus