උද්දාමයෙන් ඔබ්බට.


ලාංකීය දේශපාලනයේදී ටිකක් හෝ සතුටු විය හැකි යමක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මේ දිනවල කලකින් යම් සතුටක් ලැබිය හැකි තත්වයක් වාර්තාවෙමින් පවතී. එසේ නැත්නම් රටක් සහ ජනසමාජයක් වශයෙන් දවසින් දවස අගාධයට යමින් දේශපාලය වල්වැදී පැවති රටක වෙනසක් විය යුතුය යන හඬක් දේශපාලන වශයෙන් මතුව තිබේ. මේ ඇතිවෙමින් තිබෙන නව තත්වයට මුලින්ම මගේ සුභ පැතුම් හිමිවන අතර මේ වෙනස ඇති කිරීමට මුල්වී වැඩකළ අයට මගේ ස්තූතියද පුද කරමි. එමෙන්ම අපි අපේ ජීවිත පුරා ලැබූ අත්දැකීම් අපට කියා දෙන්නේ සිදුවීම්වලින් උද්දාමට පත්නොවී ඒහා බැඳෙන විෂයම කාරණයන් සමග සිහි බුද්ධියකින් යුතුව සුපරීක්ෂාකාරීව වැඩකළ යුතු බවයි. කළ යුතුව ඇත්තේ සතුට ධෛර්යක් කරගෙන වෙනසක් සඳහා ඇති අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා දිගින් දිගටම බලවේගයන්ට සහාය දීමයි.

ඇත්තෙන්ම මහින්දගේ ආණ්ඩුවෙන් බැටකෑ ප්‍රමාණය අති විශාලය. මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ආදී රජය විවේචනය කළ අය මරා දැමූ සහ අතුරුදහන් කළ අවස්ථාවන් සුළබය. මේ සියල්ල වන අතර මහින්දගේ රජය තුල සිටි, එම රජය විසින් කළ ඕනෑම මජර ජඩ වැඩක් දෑතම ඔසවා අනුමත කළ බොහෝ දෙනෙකු අද පියවරක් ඉදිරියට තබා ඇත. ‘අපේ ආරක්ෂාව ඇත්තේ ඔබේ අත් අප අත් හා බැඳුන විටයි’ රතන හිමි පවසන්නේ නිකම්ම නොවන බව අපි දනිමු. තමාද එක්ව සිටි පාලන කල්ලියේ ක්‍රියාදාමයන් මෙහිමිවරුන් හොඳින් හඳුනන අතර මහින්දලාගේ රජය කරන දහජරා වැඩ විවේචනය කළ සැම එකෙකුටම කොටි ඔත්තු කරුවකු, එන්ජීඕ ඩොලර් කාක්කකු, අධිරාජ්‍ය ගැත්තකු නැතිනම් දේශද්‍රෝහියෙකු ආදී මෙකී නොකී චෝදනා සහ ලේබල් ඇලවූයේ මේ රාජපක්ෂ කල්ලිය සමග එකට දීග කෑ කණ්ඩායම්, පක්ෂ සහ පුද්ගලයින් වන ඔවුන්මය. ඔවුන් එම කල්ලිය සමග සිටින විටද තමන්ගේ ප්‍රතිවාදීන් මරා දමන බව තලන පෙලන බව දැන සිටියහ. ඔවුන් විරුද්ධවාදීන් මත බොරු චෝදනා අවලාද සහ මඩ ගසන බව දැන සිටියහ. එනිසාම අද ඔවුන් එයින් එලියට එන මොහොතේ ඔවුන් තුලද බියක් ඇතිවීම සාධාරණය. ඒ එදා තමාද අන් අයට නිකරුනේ චෝදනා කර අපහාසයට පත්කළ බව, විනාශයට මං පෑදූ බව ඔවුන්ද පැහැදිලිව දන්නා බැවිනි. දැන් ඔවුන්ද ඒ ගොඩට වැටී ඇත. ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බව ඔවුන් මෙන්ම අපද දන්නෙමු. ඇමතිවරුන් පවා බියෙන් පසුවන රටක සාමාන්‍ය පුරවැසියා ගැන කුමන කතාද? සුදු වෑන් සංස්කෘතිය මෙන්ම නාදුනන මළ සිරුරුද ලංකා සමාජයට අලුත් නැත. කළ කම් කෙසේ වුවත් අද මේ දුර්ධාන්ත පාලනයට එරෙහිව පියවරක් ඉදිරියට තබා ඔවුන් ගෙන ඇති තීරණයට අපි ගෞරව කරමු. අප වෙනුවෙන් ඔවුන් එදා කතා නොකළා වුවත්, අපව විනාශ කිරීම සඳහා ඔවුන්ගේ හඬද එකතු කළා වුවත්, අද අපි මුළු හදින්ම ඔවුන් සමග සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අපට කළ හැකි සියල්ලම කරන්නෙමු. ඒ අපි මිනිස් අයිතීන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් අපේ ජීවිතවල මූලික උවමනාව කරගෙන ජීවත්වන මිනිසුන් නිසාවෙනි.

මා මේ ලිපියේ ආරම්භයේදී ලීවාක් මෙන් අද ඇතිවී ඇති තත්වය ඉතා කලාතුරකින් ලංකා දේශපාලනයේ සිදුවන තත්වයකි. මෙවැනිම වාතාවරණයක් අප මීට ඉහත ද මුහුණ දී ඇත්තෙමු. ඒ 1994 යුගයේය. එදා පැවති දුර්ධාන්ත තත්වයට එරෙහිව පොදු එකතුවක් තුල ඇතිකළ සටනක ජයග්‍රහණය ලෙස චන්ද්‍රිකා බලයට පැමිණුනි. අප බොහෝ දෙනා අතර එතුලින් බලාපොරොත්තු දැල්වී පැවතුනි. ඒත් ඒ බලාපොරොත්තු තබාගෙන අප ලැබූ ජයග්‍රහණයෙන් උද්දාමයෙන් චන්ද්‍රිකාගේ රජය විසින් සියල්ල වෙනස් කරන තුරු බලා සිටියෙමු. සුභවාදී සිහිනවල සිරවී සිටි අපි සියල්ල යහපත්වනු ඇතැයි බලා සිටියෙමු. නමුත් එකින් එක කරුණු නරක අතට හැරුණු අතර එහි ප්‍රතිඵල අද අපි පමණක් නොව චන්ද්‍රිකාද අත්විදිමින් සිටී. දූෂනයෙන් තොර රටක් ඇති කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, යහපාලනයක් රටතුල ඇති කිරීම, වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඒම, ඉන් ඉහත සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒම, දෙමළ ජනතාවගේ ප්‍රශ්නට දේශපාලන විසදුමක් දීම ආදී පොරොන්දු එදා චන්ද්‍රිකා බලයට ගෙනඒමට තිබූ පොරොන්දු අතර විය. බලය ලැබීමත් සමග චන්ද්‍රිකා අවට අලුත් කණ්ඩායමක් රොද බැඳි අතර ක්‍රමක්‍රමයෙන් සියල්ල සිහින බවට පත්කරනු ලැබිණි. යහපත් චේතනා තිබුනාට පමණක් එය දේශපාලනයට වැදගත් නැත. නිවැරදි දේශපාලන ක්‍රියාදාමයන්ම අනුගමනය කිරීමක් නොවන්නේ නම් ඒවායින් ඇතිවන අහිතකර ප්‍රතිඵල මලමිණී දස දහස් ගණනින් රටට දායාද කරනු ලබන බව ඒ අත්දැක්ම් අපට කියාදෙනු ලැබීය.

අද පොදු අපේක්ෂකයෙකු සොයාගෙන ඇත. ඒ සදහා බොහෝ දෙනෙකු තම මහඟු කැපවීම කරනු ලැබු බවද අප දනිමු. නමුත් මෙයින් පසුවට ඇතිවන තත්වයේදී සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කිරීම ඉතා වැදගත්ය. බලයේ සිටින කල්ලිය බලය අතහැර යාමට සූදානම් බවක් නොපෙන්වයි. පසුගිය වකවානුවේ රාජපක්ෂ කල්ලිය රාජ්‍ය තම පෞද්ගලික දේපළක් ලෙස පරිහරණය කළා පමණක් නොව එය තම සිතැගි අයුරින් හැසිරවීමට හැකි තීක්ෂණ ක්‍රියා පිලිවෙලක්ද අනුගමනය කළ බව අප අමතක නොකළ යුතුය. සියළුම හමුදා සහ පොලීසිවල ඉහළ නිලතලවලට තම එහෙයියන් වන හෙංචයියලා පත්කර ගැනීම මෙන්ම මොවුන් සියල්ලනට තාන්න මාන්න, පගා ආදී වරදාන ලබාදී ඇත. ඔවුන් සැම එකෙකුම පාහේ නීතිවිරෝධී ක්‍රියාවන්හි කොටස් කරුවන් බවට පත්කරගෙන ඇත. එතුලින් ඔවුන් රාජපක්ෂලාගේ බලය ගිලිහුණු තැන ඔවුන්ද වරද කරුවන් බවට පත්වන තත්වයකට පත් කරමින් ඒ තුල කොටුකර හීලෑ කර හමාරය. නීතිය සාධාරණත්වය වෙනුවට එය තම කීකරු හෙංචයියලා අතට භාරදී ඔවුන්ටද අනිසි වරදාන දීමෙන් ඔවුන්ද කොටුකර ඔවුන් තම වුවමනාවන් සඳහා ක්‍රියාත්මක වන තැනට පත්කර ගෙන ඇත. රාජ්‍යයේ ඉහළ නිලතල මෙන්ම රාජතාන්ත්‍රික සේවාවන්ටද තම පවුලේ හිතවතුන් පත්කර හමාරය. ඒවාගේම රාජ්‍යයේ සෑම අංශයක්ම පාහේ හමුදාකරණයට හසුකර හමාරය. මේ තත්වය මීට ඉහත ලංකාවේ මේ ආකාරයෙන් කිසිම දිනක පැවතී නොමැත.

යම් අයුරකින් බලයේ සිටින කල්ලිය අතින් බලය අයින්වුවහොත් ඔවුනට පැවැත්මක් නැති තරම්ය. ඒ ඔවුන් ඒ තරමටම බලය අනිසි ලෙස පාවිච්චි කර ඇති බැවිනි. රාජපක්ෂලා කොතරම් බලයෙන් ඉදිමී සිටියාද කිව්වොත් ලංකාවේ අගනගරයේ තමන් කැමති අයුරින් පාරවල් වසා කාර් රේස් පැදීමට තම පුතුන්ට අවස්ථාව දෙන තරමට ඔලු තෝන්තු කරගෙන සිටිහය. රටතුල ජනයාට කිරි බබ්බුන්ට මෙන් තොදොල් කතා කියමින් ඔවුන් රවටමින් ඒ අතරේ මුළු ලෝකයටම බැණ අඬ ගැසීය. මේ ලෝකයේ දේශපාලනයක් නොදන්නා ගෝඨාභය වැනි මැට්ටන් ලව්වා ලෝකයට බැණ අඩගැසීය. තමන්ගේම රට තුල සුළු ජනජාතීන්ට, සුළු ආගමිකයන්ට තම මැර කල්ලිලව්වා පහරදෙනු ලැබීය. බලයෙන් හිස් තෝන්තු කරගෙන මේ ක්‍රියවන්හි යෙදුනු ඔවුන් කිසිදිනෙක බලය අතහැර යාමට ඔවුන්ගේ තුන් සිතකවත් තිබූ බවක් ඒ ක්‍රියාවන් හි නොපෙන්වීය. ඒත් අද යම් ආකාරයකින් රටේ ජනයා පොදු අපේක්ෂකයෙකුට සහාය දෙමින් වෙනත් තීරණයක් ගත්විට ඔවුන්ට බලය හැරයාමට සිදුවේ. නමුත් ඔවුනට බලය හැර යා හැකිද? එසේ හැර යාමට ඔවුන් සූදානම්ද? රාජපක්ෂ කල්ලිය මෙන් ලෝකයේ වෙනත් රටවලද මෙලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායම් එසේ ගියේ ඉතා කලාතුරකිනි. බෙහෝ විට ඔවුන් කලේ ගඩාෆි හෝ මාකෝස් මෙන් ජනතාව ඔවුන්ව එළවා දමන තුරුම බලයේ සිටීමට උත්සාහ කිරීමය. බොහෝ විට මෙවැනි තත්වයකට ලංකා ජනයාටද මුහුණ දීමට සිදුවිය හැක. එවැනි තත්වයක් යනු විශාල වන්දියක් ගෙවීමට සිදුවීමට හැකි තත්වයකි. නමුත් එය වලකා ගැනීමමේ මග ඇත්තේ විශාල ජනකායක් එකට එක්වන ප්‍රමාණය වැඩිවන පමනටය. එසේ නොවන්නේ නම් අනිවාර්යෙන්ම විශාල ලේ වැගිරීමකින් ලංකා සමාජයට නැවත වාරයක් වන්දියක් ගෙවීමට සිදුවනු ඇත.

එමෙන්ම මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් ඇත. අද බලවේගයන් පෙල ගැසෙන ආකාරය දකින විට ඉදිරියේදී ලංකාවේ බල පෙරලීමක් ඇතිවන බව පැහැදිලිව දැකිය හැක. යම් අයුරකින් මෙසේ හැල හැප්පීම් ඇතිව හෝ නැතිව බලය මාරු වූවා යැයි අපි සිතමු.

ඉන්පසු නැවත බල දේශපාලනයේ කොටස් කරුවන් වී සිටින්නේ අඩුවැඩි වශයෙන් රාජ්‍ය දේපල මෙන්ම බලය අනිසි ලෙස යොදාගත් දේශපාලකයන්ගෙන්ම කොටසකි. 95 දී චන්ද්‍රිකා බලයට ආවායින් පසුව ඉටුනොකළ කාරණා අද පාරාවලල්ලක්ව ඇත. එසේනම් බල මාරුවකින් පසු නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් යහපාලනය නීතියේ ආධිපත්‍ය නැවත ඇති කිරීම අනිවාර්ය සාධකයකි. හමුදාවන් සියලුම සිවිල් කාර්යන්වලින් ඉවත්කළ යුතු අතර සිවිල් කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපනය කළ පොලීසියක් අවශ්‍ය වේ. පසුගිය දූෂනයන් හෙළිදරව් කළ යුතු අතර වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දේශපාලන විසදුමක් ක්‍රියාත්මක කළ යුතුය. මෙවැනි ක්‍රියාදාමයක් ඇති නොකරන්නේනම් මේ බලය මාරුකිරීම්වලින් කිසිම ප්‍රයෝජනයක් සිදු නොවනු ඇත. 95 දී ඉටු නොකළ කාරණාවන්වල ප්‍රතිඵල වූයේ ඊටවඩා නරක වාතාරවණයක් රටතුල ඇතිකිරීමයි. ඉහත කී කරුණු ඉටු නොකරන්නේනම් අද පවතින තත්වයටත් වඩා නරක ආකාරයෙන් දූෂනය, වංචාව, හොරකම, බලහත්කාරය නැවත ලංකා දේශපාලන ශරීරය තුල අරක් ගන්නවා ඇත. එසේ නම් අප අද මේ බලමාරුවට පූර්ණ සහාය දෙනවා මෙන්ම ඉන්පසු ක්‍රියාදාමයේද විවේචනාත්මක කොටස්කරුවන් ලෙස වගකීමෙන් ක්‍රියාත්මක විය යුතු විය. නැත්නම් අද ව්‍යායාමයන් ගඟට කැපූ ඉණි විය හැක.

නැවත් වරක් පමා වී හෝ රජයේ සිටින අය ඔවුන් රජයේ සිටිමින් රටටත් ජනයාටත් කොතරම් හානිවන දේ කළා වුවද අද ඉන් ඉවත්වී රටපත්වි ඇති මේ ආගාධයෙන් ගලවා ගැනීමට ඉදිරිපත්වන සැමදෙනාටම අපේ සුභාශිංසනය ලබා දෙන්නෙමු. එමෙන්ම අතීතයෙන් පාඩම් ඉගන ගනිමින් එකම ඛේදවාචකය නැවත නැවත පුනර්ජීවනයකටද ඉඩ නොදීමට අප මකත තබා ගත යුතු වන්නෙමු.



රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi

Share on Google Plus