මගේ රට එබඳුය....


මගේ රට එබඳුය……
ඔබේ රට කෙබඳු රටක්ද?

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලුවෙන් මගෙන් අසයි…….
ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි.

කුමක් කියන්නදැයි මම පැකිළෙමි.

සුන්දර සදාහරිත වනාන්තර සහිත, ගංගා ඇළ දොළ කදු සිඛර වලින් ද මනස්කාන්ත මුහුදු වෙරළින්ද රමණීය වූ මා උපන් සුනදර දිවයිනට මම මනසින් ඉගිලෙමි.

අපේක්ෂා භංගත්වයට පත් කරවනු ලැබූ, ආර්ථික සහ සංස්කෘතික දරිද්‍රතාවෙන් පරිපීඩිත, දිගින් දිගටම පාලකයන්ගේ රැවටිල්ලට ගොදුරු වී තම ජිවිතවල අයිතිය,නිදහස,ගරුත්වය සහ අභිමානය අහිමි කරගත්, පාලකයන් විසින් යළි යළිත් වංචාවට සහ අවමානයට ලක් කරනු ලබන, භීතියෙන් ඇළලී, ව්‍යාකූලත්වයට සහ අවිනිශ්චිතභාවයට ගොදුරුව ජීවත්වන මගේ රටේ ජනතාව මම දකිමි.

වේදනාවද අවේගයද මුසු වුණු හැගීමකින් මගේ ඇතුළාන්තය කැළඹෙයි……

මම ඒ පැනය මග හැර ඉවතට යන්නට උත්සහ දරමි.

මා උපන් රට මේ වන විට පූර්ණ ඒකාධිපති පවුල් පාලනයකට ගොදුරු වී අධික වේගයකින් ශිෂ්ටත්වයේ ආපස්සට ගමන් කරමින් සිටින රටක් බව මම ඔහුට කිව යුතුය. මගේ රට අතිශය ප්‍රජාතන්ත්‍රවිරෝධී රටක් බවත් සියලු බලතල තනි පුද්ගලයෙකු අත සංකේන්ද්‍රණය වූ ලොව වෙන කිසිදු රටක නැති ආකාරයේ, පරම විධායක ජනාධිපති ක්‍රමයක් සහිත රටක් බවත්, වර්තමානයේ ඒ ධුරය උසුලන පුද්ගලයා බල ලෝභයෙන් උමතු වූ, වස්තු තණ්හාවෙන් පරල වූ, මමංකාරයෙන් ඔද වැඩුණු භයානක සත්ත්වයෙකු බවත් මම ඔහුට කිව යුතුය.

මගේ රටේ ප්‍රධාන ඇමති ධුර සියල්ලම උසුලන්නේ මේ ජනාධිපති හෝ ඔහුගේ සහෝදරයන් බවත්, ප්‍රධාන ආයතන සියල්ලේම පාහේ ඉහළ තනතුරුවලට පත් කර ඇත්තේ ජනාධිපතිගේ පවුලේ ඥාතීන් බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රටේ සියලුම සම්පත් මේ වන විට විධායක ජනාධිපති, ජනාධිපති පුතුන්, සහෝදරයින් සහ ඔහුගේ පවුලේ අනෙක් ඥාතීන් විසින් මහා පරිමාණයෙන් කොල්ල කමින් තිබෙන බව මා ඔහුට කිව යුතුය.

රටේ සමස්ත ජනතාවගේ පොදු උරුමයන් වන වනාන්නතර, ඇළ දොළ, භුගත ස්වභාවික සම්පත්, මුහුදු වෙරළ ආදී දේ පවා ඒකාධිපති පාලක පවුල සහ ඔවුන්ගේ ගැත්තන් විසින් තමන්ගේ ලාභ උදෙසා විකුණමින්, හාරමින්, පෙරළමින්, බදු දෙමින් විනාශ කරමින් තිබෙන බව මා ඔහුට කිව යුතුය.

මගේ රටේ පාරවල්, පාලම්, වරායවල්, උද්‍යාන ආදිය ඉදිකෙරන්නේ ජනතාවගේ හෝ ආර්ථීකයේ අවශ්‍යතා අනුව නොව, ඒවායින් ජනාධිපතිට සහ ඔහුගේ පවුලට කොමිස් ලෙස කොපමණ ඩොලර් මිලියන ගණනක් ලැබෙන්නේදැයි යන්න මත බව මා ඔහුට කිව යුතුය.

මගේ රට පොදු ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නැති සංවර්ධනය යැයි ජනාධිපති පවුල විසින් අර්ථ දක්වන නිරර්ථක ඉදිකිරීම් වෙනුවෙන් කෝටි ප්‍රෙකෝටි ගණනින් චීනයට සහ වෙනත් රටවලට ණය වී ඇති බව මා ඔහුට කිව යුතුය.

ඔහුගේ රටේ සේම මගේ රටේත් පාර්ලිමේන්තුව කියා දෙයක් ඇති බවත්, ඒ පාර්ලිමේන්තුවට මහ දවාලේ මිනී මැරෑ මුළු රටම දන්නා මිනිමරුවන්, ස්ත්‍රී දූෂකයන්, බරපතල අපරාධකරුවන්, මහා පරිමාණයේ මත් කුඩු වෙළෙන්දන් ද ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින බව මා ඔහුට කිව යුතුය.

ඔහුගේ රටේ සේම මගේ රටේත් ව්‍යවස්ථාව කියා දෙයක් ඇති බවත්, නමුත් ඒ ව්‍යවස්ථාව රටේ විධායක ජනාධිපතිගේ ඕනෑ එපාකම් අනුව, ඕනෑ ඕනෑ හැටියට වෙනස් කර ගත හැකි බවත්, මගේ රටේ සිටින්නේ මුදල් කුට්ටියක් සහ මොන මොනවා හෝ අනෙකුත් වරප්‍රසාද ටිකක් ලබා දුන් විට ඕනෑම ජනතා විරෝධී විසකුරු ව්‍යවස්ථා සංශෝධනයකට අත උස්සන මන්ත්‍රීවරුන් බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රට මේ වන විට නීතියක් නැති රටක් බව මා ඔහුට කිව යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට සමස්ත අධිකරණ පද්ධතියම කිසිදු ස්වාධීනත්වයක් නැති, විධායක ජනාධිපතිගේත් ඔහුගේ පවුල් පාලනයේත් පැවැත්ම වෙනුවෙන් ජනතා විරෝධී අණ පනත්, තීන්දු තීරණ සාධාරණීකරණය කරන බෙලහීන යාන්ත්‍රණයක් බවට පත් වී ඇති බවත් මා ඔහුට කිව යුතුය. ඔහුගේ රටේ මෙන් නොව, පාලකයන්ගෙන් හෝ නිලධාරීන්ගෙන් හෝ අසාධාරණයට ගොදුරු වූ විට ජනතාවට පිළිසරණනක් ලබා ගත හැකි යාන්ත්‍රණයක් තවදුරටත් මගේ රටේ නැති බව මා ඔහුට කිව යුතුය.

මගේ රට කෙළවරක් නැති දේශපාලන පලිගැනීම්වලින් උතුරා ගිය ග්‍රෝත්‍රික දේශපාලන සංස්කෘතියක් සහිත රටක් බව මා ඔහුට කිව යුතුය. පසුගිය කාලය තුළ විධායක ජනාධිපතිට පූර්ණ අවනතභාවය පළ නොකළ අග්‍රවිනිශ්චයකාරවරිය ඇතුළු බොහෝ දෙනෙකු අතිශය දරුණු ඉරණමකට මුහණ දුන් බව මා ඔහුට කිව යුතුය.

ඔහුගේ රටේ සේම මගේ රටේත් පොලිසිය කියා ආයතනයක් ඇති බවත්, නමුත් මගේ රටේ පොලීසිය කියන්නේ පාලකයන් තම විරුද්ධවාදීන් මර්දනය කරන්නට යොදාගන්නා මර්දන යාන්ත්‍රණය බවත් මා ඔහුට කිව යුතුය. ඔහුගේ රටේ පොලීසිය මෙන් නොව, මගේ රටේ පොලීසියට ජනතාව අතිශයින්ම බිය බවත්, පාලකයන්ගේ අණ පරිදි නීතිය සහ සාමය වැඩිපුරම කඩන්නේ පොලීසිය බවත්, පසුගිය කාලය තුළ අත්අඩංගුවට පත් වූ සැකකරුවන් ගණනාවක් පොලීසිය තුළදීම මරා දැමුණු බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රට පාලකයන්ගේ දූෂණ අපරාධ, මංකොල්ලකෑම් ප්‍රශ්න කරන ජනමාධ්‍යෙව්දීන්ව මහ දවාලේ මරා දමන, අතුරුදහන් කරවන, සුදු වෑන් කියා හදුන්වන වාහනවල දමාගෙන ගොස් ඇටකටු පොඩි කර මහමග දමා යන රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට අතුරුදන් කරවූ තම ස්වාමියා සොයා දෙන්නැයි ඉල්ලා සිටින බිරින්දන්ව වෑන් වල දමා ගෙන ගොස් මරණීය තර්ජන කරන රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට කුඩා බිළිදුන් පවා දූෂණයට ලක් වෙන රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට ලෝකයේ අධ්‍යාපනය වෙනුවෙන් අඩුම මුදලක් වැය කරන රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට ලෝකයේ ආරක්ෂක වියදම වැඩිම රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රටේ උතුරේත් දකුණේත් සෑම අහු මුල්ලකම ගිනි අවි දරන හමුදාව සැරිසරන බවත්, උද්‍යාන, රංගශාලා ආදිය පවා පාලනය කරන්නේ හමුදා නිලධාරීන් බවත් මා ඔහුට කිව යුකුය.

මගේ රටේ ජනතාවට පාලකයන් කරන කියන දෑ පිළිබද කිසිවක් විමසන්නට අයිතියක් නැති බවත්, තොරතුරු ඉල්ලා සිටින්නට කිසිදු අයිතියක් නැති බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රටේ ඔබේ රටේ මෙන් සාමාන සැලකීම කියා සංකල්පයක් නැති බවත්, සෑම සියලු ක්ෂේත්‍රයක් තුළම කැලෑ නිතිය ක්‍රියාත්මක වන රටත් බවත්, මුදල, බලය සහ පාලක පැලැන්තිය සමග සම්බන්ධතා ඇති අයට සෑම සියලු තැනකදීම දඩුවම්වලින් නිදහස් වීමේ සහ අනෙකුත් වරප්‍රසාද හිමි වන රටක් බවත් ඒ කිසිවක් නැති සාමාන්‍ය පුරවැසියන්ට සියල්ල අහිමි කරවන රටක් බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රට බුදුන් වහන්සේගේ උතුම් බෞද්ධාගම කෙළසන, සිවුරු ඇදගෙන පොලු මුගුරු ඔසවාගෙන වෛරයෙන් දගලමින් ජාති ආගම් භේද පතුරවන රාජ්‍යය විසින් පෝෂණය කරන අන්තවාදී සංවිධාන සහිත රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට මිත්‍යාවෙන් පිරුණු රටක් බවත් රටේ ජනාධිපති වරයා අන්ත මිථ්‍යා ලබ්ධිකයෙකු බවත්, රටේ අතිශය තීරණාත්මක කාරණා තීන්දු වෙන්නේ ඔහුගේ හදහන, රාහු කාලය සහ ග්‍රහ පිහිටීම මත බවත් මා ඔහුට කිව යුතුය.

මගේ රට දේශපාලන පාවා දෙන්නන්ගෙන් පිරුණු රටක් බව මා ඔහුට කිව යුතුය. මගේ රට අනාගත දරුවන්ට අධ්‍යයනය කරන්නට එකදු පරමාදර්ශයක්වත් නැති රටක් බව මා ඔහුට කිව යුතුය.

මගේ රට ඒකාධිපති පාලකයන්ගෙන් වරප්‍රසාද ලබා, ඒවා රැක ගැනීම වෙනුවෙන් පාලකයන්ගේ සියලු දුර්දාන්ත කම් සාධාරණීකරණය කරමින් අතිශය නිර්ලජ්ජි ලෙස අහිංසක ජනතාව රවටන කලාකරුවන් යැයි කියා ගන්නා ගැත්තන්ගෙන් පිරුණු රටක් බව මා ඔහුට කිව යුතුය………….

ඔව්….මගේ රට එබදුයැයි මා ඔහුට කිව යුතුය……..

එවිට ඔහු මහත් සේ තැති ගන්නා බවත්, මා කියූ කිසිවක් අදහාගත නොහැකිව එය එසේ සිදු වන්නේ කෙසේදැයි වික්ෂෝභයට පත් වන බවත් මම දනිමි.
‘‘මේ සියලු දේ සිදුවන තුරු, මේ තරම් අගාධයකට ඔබේ රට ඇද වැටෙනතුරු එහි පුරවැසියන් බලා සිටියාද? ‘‘ ඔහු අසන බව මම දනිමි.
යළිත් මම පැකිළෙමි. අසරණ වෙමි.

මගේ රටේ පුරවැසියන්ට දිගින් දිගටම දේශපාලකයන් වංචා කළ බවත්, දරිද්‍රතාවෙන් පීඩිත බහුතරයක් ජනයා ව්‍යාජ පොරොන්දු මගින් අතිශය කූට ලෙස රවටනු ලැබූ බවත්, ප්‍රයෝගකාරී ලෙස ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් යුද මානසිකතක්වයෙන් අන්ධ කරවනු ලැබ ජනතාවගේ සියලු අයිතිවාසිකම් සහ ස්වාධිනත්වය කොල්ල කා ගනු ලැබූ බවත් මම ඔහුට පැහැදිලි කරමි.

මේ අවස්ථාවාදී දේශපාලකයන්, මර්දනයට එරෙහිව, සමාජ සාධාරණත්වය උදෙසා යමෙක් හඩ නගන විට ඒ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයැයි කියමින් ව්‍යාජ දේශප්‍රේමයකින් ජනතාව කුලප්පු කරවනු ලැබූ බව මම ඔහුට පැහැදිලි කරමි. පුරවැසියන් අතර සහයෝගිතාව ගොඩගැනීම වළකාලනු වස් සියලු ජන කොටස් අතර අනේකාකාරයේ භේද බින්න කිරීම් ඇති කරමින් පොදු ජන අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ සියලු කණ්ඩායම් හුදෙකලා කරන්නට පාලකයන් උත්සහ දැරූ බවත් මම ඔහුට පැහැදිලි කරමි.

අද මගේ රට මේ ගෙවන්නේ බල ලෝභී අවස්ථාවාදී පාලකයන්ගේ ඒ සියලු රැවටිලි, වංචා සහ කූට ප්‍රයෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ විපාකය බව මම ඔහුට කියමි.

‘‘මෙතරම්ම පරිහානියකින් පසු ඔබේ රටේ ජනතාව තවදුරටත් රැවටෙමින් සිටිනවාද? “ විස්මයත් කැළඹිල්ලත් මුසු දෑසින් ඔහු යළිත් මගෙන් අසනු ඇත…..

මම මෙවර මගේ සහෝදර පුරවැසියන්ගේ හෘදය සාක්ෂියත්, ඔවුන්ගේ දැනුවත්භාවය සහ බුද්ධියත් කෙරෙහි විශ්වාසය තබා ගෙන ආත්ම විශ්වාසයෙන් පිළිතුරු දෙමි. අතීතයෙන් අප ඕනෑවටත් වඩා පාඩම් උගෙන ගත් බවත් තවදුරටත් එකම පිලුණු චවන ගොඩකට සහ දියාරු පොරොන්දු කීපෙකට හෝ ලෙහි අත් ගස ගසා මව්බිම මව්බිම කියමින් හැපි හැපී පොළොවේ පස් කකා ඒකාධිපතියන් පාන අතිශය ව්‍යාජ රංගනයන්ට අපව රවටා ගත නොහැකි බවත් අපව මෝහ අන්ධකාරයේ ගිල්වා තබා රට හපයක් වන තුරුම එහි සාරය උරා බොන්නට පාලකයන්ට ඉඩ නොදෙන බවත් මම ආත්ම විශ්වාසයෙන් ඔහුට කියමි.

මගේ රට මේ සා අගාධයක් කරා ඇදගෙන ගිය පාලකයා, තමන්ගේ සදාකාලික බල සිහිනය සැබෑ කරගනු වස් තවත් වරක් බලයට පත් වෙන්නට මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බව මම ඔහුට කියමි.

මගේ රටේ ජනතාව, තමන්ට මේ සාපකාරී පාලනයෙන් ගැලවීමට ඇති අවසාන අවස්ථාව මේ මැතිවරණය බව අවබෝධ කරගෙන ඒ අවස්ථාව උපරිම අයුරින් ප්‍රෙයෝජනයට ගනු ඇතැයි මා අදහන බවත් මම ඔහුට කියමි.

එවිට ‘‘ඒ ප්‍රඥාව ඔබේ රටේ ජනතාවට ලැබේවායි‘‘ මා වෙනුවෙන් මගේ මිත්‍රයා අවංකව ප්‍රාර්ථනා කරනු ඇත……..

නදී කම්මැල්ලවීර | Nadie Kammalaweera

Powered by Blogger.