සීනුව අවසන් වතාවට නාදවීමට නියමිතය.



ලක්ෂයකට වැඩි දෙමළ ජනයාගේ සිරුරු මතින් රණ ගී ගයා කිරිබත් කෑ දකුණේ ජනයාට එවකදී අප කියූ සත්‍ය තමන්​ගේ දෑස් මස්තකය ඉදිරියට අභිමුඛ වීම ​දෛවෝපගතය. 2009 වර්ෂයේදී රට බේරාගත් රජතුමායැයි කියා රාජස්ත්‍රෝත්‍ර ගැයූ රාජපක්ෂයට හොරා, ඒකාධිපතියා යැයි එම ජනයාගෙන්ම අසන්නට ලැබීම එම ​​දෛවෝපගත දේශපාලන කඩඉම තවත් වර්ණවත් කරනු ලබයි.

එපමණක් නොව සිංහල ජාතිවාදීන්ට සිංහල ජාතිවාදයේ තරම සහ යුධකාමයේ රස කෙසේද කියා දැන ගැනීමට අතුරළියේ රතන හිමි හමුවී තමන් සමග මාවිල්ලාරු ගිය හමුදාව විසින්ම තමන්ගේ පන්සල වටකර පන්සල් අත්පත්කරගැනීමට උත්සහ කිරීමේදී දැනුන භීතිය උන්නාසේගේන්ම අසාගත හැකිය.

තමන් විසින් බිහිකරපු ඒකාධිපතියන් තමන්ට කෙළින කොට කෙතරම් රිදෙනාවද කියා 18 වැනි ව්‍යවස්ථා සංශෝදනය වෙලාවේ එයට සහය දීමට රට ජාතිය වෙනුවෙන් දිවුරූ චම්පික රණවක​ගෙන් අසා දැන ගත හැකිය.

අප එකග වුනද නොවනුද රාජ්‍ය පද්ධතීන් සීසිකඩ කඩා විසුරුවන ඒකාධිපතියෙකු බදාගෙන සිටින විට දැනුන සුවද සහ දැන් ඒ ඒකාධිපතියාගේ සුවද අතර වෙනස පොදු අපේක්ෂක ​මෛත්‍රිපාල සිරිසේනගෙන් අසා දැනගත හැකිය.

එපමණක් නොව සිය බෙල්ල කැපීමට පිහිය ඝාතකයා අතටම දුන් අයුරු රාජිත සේනාරත්න වැනි අයගෙන් අසා දැන ගැනීමට පුළුවන.

කෙසේ වෙතත් ඝාතකයා, ඒකාධිපතියා ගෙදර යැවීමට වගේම ඉදිරියේදී පැමිණෙන ​ඒකාධිපති මකරුන්ගේද හිස් දෙබෑකල හැකි බව පෙන්වීමට පැමිණෙන අවසාන අවස්ථාව ඔබට අපට අභිමුඛ වී ඇත.

ඒකාධිපතියා කිව්වේ ඔහු මේ රටේ අයිතිකාරයා නොව භාරකරයා බවයි. එසේ කියා එකාධිපතියා සැරසුනේ සින්නකර අයිතියට ඔප්පු වෙනස් කරන්නටය. දැන්ටම තමන්ගේ කැමැත්තට ඔප්පුව ලියා අවසන් කර ඇති ඒගැන ජනයාගේ අහන්නට තීරණය කරනු ලැබුවේ තමන්ටත් වඩා තමන්ට රජතුමායැයි කියූ ජනයා ගැන විශ්වාසය ඇති නිසාය. නමුත් දේශපාලන බල්ටි කීපයක් නිසා ප්ලෑන් 'A' අවුල් වූවද තවත් ප්ලෑන් ගණනාවක් ඒකාධිපතියාට තිබෙන්නට අනිවාර්්‍යයෙන් පිළිවන.

ඒකාධිපතියා ගෙදර යෑවීමට උවමනාවට හේතු අපට තිබේ. සහෝදර දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කලේද, හලාවත ඈන්ටනිලා, කටුනායක රොෂේන්ලාද, වතුර ඉල්ලු වැලිවේරියේ ජනයාද පෑන අවියක්කර ගත සිවරාම්ලාද, සුගීදරන්ලදා, ප්‍රගීත්ලාද, ලසන්තලාද ඝාතනය කල ඒකාධිපතියා ජනතා අධිකරණයට පැමිණවීමට අවසාන අවස්ථාව අපට ලැබී තිබේ.

හැබැයි මේකත් පරණ විදිහටම පට්ටම සිංහල ඡන්දයක් වී ඇති බවට ඕනෑවටත් වඩා දේවල් පෙන්නට තිබේ. දෙමළ ජනතාවක් සිටිනවා හෝ ජාතිකත්වය නිසා එම ජනයා පීඩාවට පත්වන අයුරු සම්බන්ධයෙන් “පොදු විපක්ෂය” ද ඒකාධිපතියා තරමටම නිහඩය. ඒකාධිපතියට එරෙහිවන අතරම අප “පොදු විපක්ෂයට ” කියන්නේ ඒ නිහඩ බව නරුමයි කියා ය.

එසේම ඊළග පාලකයා ඒකාධිපතියෙකු නොවනු ඈති බවට විද්‍යාත්මක පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අපට පවත්නේ දෙගිඩියාවකි. චන්ද්‍රිකා නෝනා සහෝදර මාධ්‍යවේදී නිමලරාජන්ලාගේ ඝාතන සම්බන්දයෙන් දැක්වූ උකටලී බව අපට අමතක නැන.

එසේම සිහල අභියෝගය, කොටි විනිවිදීම වැනි කෘති ලියමින් දෙමළ සමූළ ඝාතනයට මිලිටරි උපක්‍රම සෑදූ හිටපු ආරක්ෂක මණ්ඩල සභික පාඨලී චම්පික වැනි අය නැවත සිංහල බෞද්ධ ඒකාධිපතියෙකු සෑදීමට නොයනු ඇති බවට ඇත්තේ කුමන සහතික කිරීමක්ද? මන්ද එතුමන්ලාගේ ලැජ්ජා නහර කපා ඇති බව අප දන්නා නිසාවෙනි. එවැනි එක නහරක් හෝ ඇත්නම් ඒකාධිපතියන් හොර ඔප්පු ලියනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සනේන නැත.

එම නිසා ලංකා නම් වූ ​ගන්ධබ්බ දූපත නැවත ප්‍රතී-සංස්කෘතික ගත කිරීමේ අභියෝගය එවෙලේම පවතිද්දී පවා අප යෝජනා කරන්නේ ඒකාධිපතියා ගෙදර නොයවා සිටීමට ඒ කිසිවක් හේතුවක් නොවන බවයි.

ලංකාව ප්‍රති-සංස්කෘතික ගත කිරීමේ මහා පරිමාන ව්‍යාපෘතිය මේ මැතිවරණ ව්‍යාපාරයත් සමගම ඇරඹීම අනිවාර්්‍ය කාර්යයක් වෙයි. දේශපාලඥයන්ට සර්-මැඩම් නොකියා නමින් කථා කිරීමට ජනයාට හයියක් දීමම අලුත් සංස්කෘතිය ඇරඹීමට ප්‍රවේශයකි.

මන්ද සුද්දන් ලංකාවට පැමිණීම නිසා අතුගා දැමුණු වැඩවසම් රාජ උම්මාදයන් 2009 පසු ලංකාව වෙලාගත නිසාවෙනි. රාජ-උම්මදයක් යනු ​කොදු කැඩීමකි. එසේ කැඩෙන කොදු ඔස්වා තැබීම , සංස්කෘතික ගත කිරීම, විනය ගත කිරීම සරල පහසු හෝ ක්‍රියාවලියක් වන්නේ නැත. එසේ කිරීමට අපට ලැබී ඇති අවසාන අවස්ථාව අපට ලැබී ඇත.

ඉදිරියේදී පොදු විපක්ෂයට වඩා අවශ්‍යව වන්නේ ඒකාධිපතියා ගෙදර යැවීමෙන් පසු විවිධ මත ගැටෙන පොදු උවමානවකි.

නමුත් අපට ඇත්තේ එකම එක අවස්ථාවක් පමණි. ඒ සදහා සීනූව අවසාන වතාවට නාද වීමට නියමිතය.

පසන් ජයතිලක

Powered by Blogger.