වාද පිටියෙන් පැනයාම - මාතලන්.


පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උපක්‍රමයක් බව කොහේ හෝ මාතලන් කියවා ඇත. එය සංග්‍රාම උපක්‍රමයකි. එහෙත් පලායාම අවමානයකි. එහෙත් පරාජයට වඩා ඇඟ බේරා ගැනීමකි.

ආන්ඩුව පෞද්ගලික නාලිකා මගින් ප්‍රචාරය වන, විවාදාත්මක දේශපාළණ වැඩ සටහන් මග හරිමින් සිටී. විවාදයක් යනු, තම වාග් කෞෂ්‍යල්ය මනා ලෙස කළමනාකරණය කර ගනිමින්, අනෙකා විසින් ගොඩ නගන තර්කය යටපත් කරලීමයි. එසේ නොමැතිව කටහැකර කමට කෑ ගැසීම නොවේ. වාචාල කම විවාදයට සුදුසු කම නම්, තර්ක සාශ්ත්‍රය යන විශය ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නොමැත. මුඛරි බව විවාදයේදි හුරුබුහුටි කමක් වුවද, එය මාතෘකාවට අදාල නොවන කරුණු මත ගොඩ නගන්නේ නම්, එම විවාදයෙන් පලක් නැත.

විවාදයට සහභාගි වන පුද්ගලයාගේ බුද්ධි මට්ටම, මැක්කාට පමණක් සීමා වන්නේ නම්, එය ඉතා කනගාටු දායක තත්වයකි. එවිට මාතෘකාව පොල් ගස වූවද, අප අසා ඇති පරිදිම, පොල් ගසේ හරකෙකු ගැට ගසා ඇති බවත්, හරකාගේ මැක්කන් සිටිය හැකි බවත් සඳහන් කරමින්. මැක්කා ගැන තම බුද්ධිය හා දැණුම්වත්භාවය ප්‍රදර්ශණය කරමින්, ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කල හැකිය. එයින් උදම් වන ප්‍රේක්ෂකයාද මැක්කා ගැන දන්නා පිරිසක්ම බව නොකිව මනාය.

ආන්ඩුවට අද එල්ල වන ප්‍රධානම චෝදනාව හොරකමයි. එය ආන්ඩුවේ ජනපතිවරාය විසින්ම විපක්ෂයට ලබා දුන් මාතෘකාවක් මිස, විපක්ෂයේ මාතෘකාවක් නොවේ. පලා ගිය පිරිසගේ ෆයිල් තමන් ළඟ ඇති බවත්, එහෙත් එවා තමන් ප්‍රසිද්ධ නොකරන බවත් කීවේ, ජනාධිපතු තුමාම මිස වෙන කිසිවකු නොවේ. මෙම ළිපිගොණු පෞද්ගලික දත්ත පිරි ළිපිගොණු යයි පවසමින්, ආන්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වන පිරිස් විසින් ජනතාවට විහිළු සැපයීමට උත්සාහ කළද, ජනපතිතුමා සඳහන් කළේ කුමන ළිපිගොණු පිළිබඳවදැයි, මෙරට දේශපාළණය ගැන අබ මල් රේණුවක දැණිමක් ඇති, කුඩා දරුවකු වුවද දන්නා වූ කාරනාවකි.

දෙරණ වාද පිටිය මෙහෙයවන චතුර අල්විස් යනු, එවන් වූ වැඩ සටහන් අතීතයේ මෙහෙයවු, ආරියනන්ද දොඹගහවත්ත, චන්දන සූරියබණ්ඩාර, චමුදිත සමරවික්‍රම හා සැසදීමේදි, අත දරුවකු වැනි මාධ්‍යවේදියෙකි. ඔහු මෙවන් වූ වැඩසටහනක් මෙහෙයවීම සඳහා කිසිසේත්ම සුදුසු නැති බව, මාතලන්ගේ මතයයි. එහෙත් මා චතුර අල්විස්ට අකමැති නැත. ඔහු සුදුසු වන්නේ, බොළඳ තාරුණ්‍යට අමතන, "ළෝකයා හා ළෝකයෝ", "ට්‍රැවල් විත් චතුර" වැනි, වැඩ සටහන් සඳහා පමණි. උදෑසන පුවත් පත් කියවීමට, ඔහු කිසිසේත්ම සුදුසු නැත. ඒ සඳහා සුදුසු පුද්ගලයන් දෙරණ නාලිකාව තුලම සිටී. එහෙත් එහි පාළණය විසින් ඉලක්ක කරණු ලබන්නේ, ළමා සිතිවිලි ඇති තරුණ පරපුර පමණක් නම්, අපට වෙනත් කීමට දෙයක් නොමැත.

ඊයේ උද්ගතවූ සිඳුවීමේදීද, මීට පෙර වැඩ සටහනකදි පවිත්‍රා වන්නිආරච්චි පැමිණි අවස්ථාවේ වූ සිඳුවීමේදීද, චතුර අල්විස් මෙන්ම, එම වැඩ සටහනේ නිශ්පාදක හෝ නිශ්පාදකවරුන් ක්‍රියා කල ආකාරය, කිසි සේත්ම අනුමත කළ නොහැක. පවිත්‍රා වන්නිආරච්චි, උමතු ස්ත්‍රියක මෙන් ගිරිය පුප්පා කෑ ගසනා අවස්ථාවේ, එය පාළණය කිරීමේ අවශ්‍යතාවයක්, එම වැඩසටහන මෙයහවන්නාට කිසි සේත්ම තිබුනේ නැත. එමෙන්ම නිශ්පාදකවරුන්ට එම අවස්ථාවේ ඉතාමත් පහසුවෙන් විරාමයකට, එසේත් නොමැති නම් "බ්‍රේක්" එකකට යාමට අවස්ථාව තිබිනි. 

එමෙන්ම ඊයේ රාත්‍රියේද, මහින්දානන්ද පැනයාමට අදාල වූ දුරකථන ඇමතුම, විසන්ධි කර දැමීමට හෝ මහින්දානන්ද අස්වැසීමට ඔවුන් සමත් වූයේ නැත. මෙයින් පෙනී යන්නේ, ඔවුන් අකමැති චරිතයන් හෑල්ලුවට ලක් කිරීමට ඉඩ හැරීමක් ලෙස කෙනෙකු සිතන්නේ නම්, එහි වරදක් නොමැත. එහෙත් අප මාධ්‍යකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ මෙවන් වූ ක්‍රියාදාමයක්ද? මාධ්‍යකරුවන්ද මජර දේශපාළකයන් සේ හැසිරිය යුතුද?

දැන් අප මහින්දානන්ද දෙසට හැරෙමු, ඔහු දේශපාළකයෙකි (දේශපාළඥ්ඥයකු ලෙස ඔහු හැඳින්වීමට තරම් සුදුසු නොවේ) දේශපාළකයකු, විවේච්න, ඇරහුම් ගැරහුම්, චෝදනා, මඩ ආදිය ඉවසිය හැකි පුද්ගලයකු විය යුතුය. එහෙත් අද දේශපාලුවන් තුන නැත්තේද මේ උතුම් වූ ගුණයයි. ඔහු කළේ කුමක්ද? චෝදනාවලට පිළිතුරු දෙනවා වෙනුවට, චෝදනාව එල්ල කල පුද්ගලයාට තර්ජනය කිරීමයි. දෙරණ නාලිකාවට තර්ජනය කිරීමයි.

"මට මෙයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඕනේ", "කට වහගන්නවා අයිෂේ", "අපියි මේ ලයිසන් එක ඔයාලට දුන්නේ". "මෙතන අලියෙක් පිටිපස්සේ එල්ල ගන්නවා". "තමුසෙලා සිරිසේනට කඩේ ගියාට අපිට කමක් නෑ" කියමින්, ඔහු වැඩ සටහනෙන් නැගිට ගියේය. මේ සිඳුවන්නේ කුමක්ද? තර්ජනය නොවේද? ත්මන්ට ඇති චෝදනා ඔප්පු කර පෙන්වන්න යැයි කියා, ඩලස් අලහප්පෙරුමලා, නිමල් සිරිපාලලා මෙන් පිළිතුරු දිය නොහැකිද? ආන්ඩුවෙන් ලයිසන් දුන්නා කියා, ආන්ඩුව කියනා දේම පමණක්, ජනතාවට පැවසිය යුතුද? නිදහස් ජනමාධ්‍යවේදය කියන්නේ එයද? 

ආන්ඩුවේ රූපවාහිණිය හා නයි ටී ඇන් නාලිකාව තුල පමණක්, තනියෙන් හෝ සමූහයක් ලෙස ශිල්ප දක්වනවා විනා, ජනතාව හමුවේ, ජනතාවගේ ප්‍රශ්ණ වලට උත්තර දීමට නොහැකි වීමෙන් පෙනි යනුයේ, ඔවුන් නගන චෝදනා නිවැරදි බවද? ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් මේ කරමින් සිටින්නේ, පොදු ජනතාවගේ මෙන්ම, විශේෂයෙන් තම පාක්ෂිකයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නොවේද? අන් මත හා අදහස් වලට ඇති ඉඩකඩ අහුරා දැමීම නොවේද? නිදහස් මාධ්‍යකරණය මුළුමනින්ම සෝදා පාලුවකට ලක් කිරීමක් නොවේද?

කරුණාකර, තම පාක්ෂිකයන් වෙනුවෙන් වත් මේ වැඩ සටහන් වලට සහභාගී වී, රට තුල ඉතිරිව අති සුළු වූ හෝ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ රැක ගන්නා මෙන්, අප විශේෂයෙන්ම, ආන්ඩුවෙන්ද, පොදු ජන එක්සත් පෙරමුණෙන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ඉල්ලා සිටිමු. එය එම පාක්ෂිකයන්ගේ මානුෂීය අයිතිවාසිකමකි.

රූපවාහිනිය හා නයි ටී ඇන් තුලද, විපක්ෂයට ඉඩ සලසන්නේ නම්, එය මේ අවස්ථාවේ තමනට එල්ලවන චෝදනා, මගහැරීමේ අවස්ථාවක් ලෙසද ලියා තැබීමට කැමැත්තෙමු. නිදහස් මාධ්‍යකරණය යනු එයයි. එසේ නොමැතිව තම අදහස පමණක් සංනිවේදනය කිරීම නොවේ. එය එකාධිපතිත්වයයි.


මාතලන් | Maathalan.
http://maathalan.blogspot.com/


Share on Google Plus