නීතියේ ආධිපත්‍ය පිහිටවීම පළිගැනීමක්ද?


රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයකි. නීතියේ ආධිපත්‍ය නැති තැන යහපාලනයක් ඇති විය නොහැක.

නීතියේ ආධිපත්‍ය නැති සමාජයක ඇතිවන අස්ථාවරභාවය, බිය සහ සැකය නිසාවෙන්ම පලිගැනීමේ චේතනාව ඉස්මතුවනු ලබයි. පලිගැනීම යන මනස ඉස්මතුවන්නේ වරදට දඩුවම් දෙන නීති ක්‍රියාදාමයක් නැතිවීම හේතුකර ගෙනයි.

දැන් අප ඉදිරියේ ඇති ලංකා සමාජය පවතින්නේ දිගු කාලීනව දූෂ්‍ය, අත්තනෝමතික, නීතියක් හෝ සාධාරණත්වයක් නැති කාලපරිච්ඡේදයක පැවති තත්වයෙනි. මෙම සමාජය තුල නීතියක් සාධාරණත්වයක් හෝ මිනිස් අයිතීන්වලට ගරු කිරීමක් නොපැවතුනා පමණක් නොව එවැනි අයිතීන් එනම් නීතිගරුක පාලනයක්, සාධාරණ සමාජයක් හෝ මිනිස් අයිතීන් වැනි වචන පවා ගර්හාවට පත්කර පැවතුණි. රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටි කල්ලිය රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පුද්ගලික මාධ්‍ය පවා ඔවුනගේ සිතැඟි අනුව හසුරවමින් මෙම සංකල්පයන් (නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ සමාජයක්, නීතියේ ආධිපත්‍ය, මිනිස් අයිතීන් වැනි) ඩොලර් ලබා ගැනීමට බටහිර අධිරාජ්‍යවාදීනට අප මාතෘභූමිය පාවා දීමට සූදානම් වන කුමන්ත්‍රණ කරුවන්ගේ කියමන් තත්වයට ඇද දමනු ලැබීය. එය සමාජ මනසට කොතරම් දුරට ජීර්ණ කර තිබුනේද යත් යම්කිසි අයෙකු තමාගේ අයිතීන් ගැන කතාකළ විගස ඔහු කොටි ඔත්තුකරුවෙකු බවට පත්කරනු ලැබුවේ ඔහුගේ තරාතිරම හෝ ඔහු කළ කාර්යන් මායිම් නොකරමිනි. (උදාහරණ සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක)

08 වැනි දින ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වීමට ප්‍රථම මහින්දගේ කල්ලිය හැසිරුණු ආකාරය තාමත් රටේ ජනයාට අමතක වී නොමැත. විරුද්ධ පාක්ෂිකයිනට පාරවල් දිගේ එළව එළවා පහරදුන් හැටි, හිටපු ජනාධිපතිවරිය පවා නිරුවත් කර පාරේ ගෙනයන හැටි කියමින් වීරවංශලා, එස්.බීලා සහ ඩලස්ලා වෛරය බේරෙන වදන්වලින් මුළු සමාජ වාතලයම පුරවාලූ හැටි අපි දනිමු. විරුද්ධ පාක්ෂිකයන්ට පහරදෙමින්, අපහාස කරමින්, බිය ගන්වමින් කළ නොයෙකුත් සාපරාධී ක්‍රියාවන් සහ ප්‍රකාශ තාමත් අවසාන වී නොමැත.

2010 සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය පැරදීමත් සමග ඔහුව කුදලා කූඩුකලා මෙන්ම ඔහුගේ අනුගාමිකයින්ටද එම ඉරණමටම මූණදීමට සිදුවිය. යම් අයුරකින් 2015 මෛත්‍රී පරාද වූවානම් ඔහුගේ ඉරණම සරත් ෆොන්සේකාගේ ඉරණමට සමාන වීමට ඉඩ තිබූ අතර මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින යහපත් සමාජයක් උදෙසා ක්‍රියාත්මක වෙමින් සිටින සමාජ ක්‍රියාධරයන්ගේ ඉරණම ඉතා ඛේදජනක එකක් වීමට ඉඩ තිබුනි.

දැන් ඒ තත්ත්වය මොහොතකට වෙනත් අතකට පෙරලී තිබේ. බලයට ඇති පහත් කෑදරකමින් පැසවන මහින්ද කල්ලිය තාමත් පරාදය භාරගෙන වේදිකාවෙන් බැස ගිය බවක් නොපෙන්වයි. ඔවුන් තම සතුරා (ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්) මේ මොහොතේ ශක්තිමත්ව ඇති බව ඉදිරියේ තාවකාලිකව පියවරක් පිටුපසට ගෙන පසුබසිමින් නමුත් තම බලමුළු තරකරමින් සිටී. කූඨ උපායන් තුලින් විවිධ උපක්‍රම යොදමින් තම ප්‍රතිවාදියා දුර්වල කිරීමට, වැට්ටවීමට ක්‍රියාත්මක වෙමින් සිටිති. තම ප්‍රතිවාදියා වන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් හි සවිය දුර්වල වූ එක මොහොතක් තුල එහි නිලයටම ඇන තම ප්‍රතිවාදියා බිමහෙලා බලය ඇල්ලීමට ඔවුන් මාන බලමින් සිටී. මේ තත්වය සුළුකොට ගෙන එය වටහා නොගෙන දේශපාලනය කිරීම යනු මෝඩ ක්‍රියාවකි.

ඔවුන්ගේ උපක්‍රම අතර කට කතා පැතිරවීම, යටින් බිඳවීම සඳහා තම හිතවතුන් මෙම බලවේගයට ඇතුළු කරවීම, සන්ධානයන් සහ සම්මුතිවලට එකගකරවා ගැනීමට උත්සාහ කීරම (මෙසේ සහාය දීමට ඒම තුල ලබා ගන්නා තාන්න මාන්න තුලින් අභ්‍යන්තරයෙන් දුර්වල කිරීමට වැඩ කිරීම) ඉමක් කොණක් නොමැතිව ජාතිවාදය පැතිරවීම තුල සමාජයට අස්ථාවරත්වය ඇති කිරීම ආදී විවිධ උපක්‍රමයන් වෙති. ඒ අතරම ඔවුන් සිහිනයෙන් වත් නොඇදහූ යහපාලනයක් ගැන කතා කිරීම දැන් අරඹා ඇත. (දැන් ඔවුන් නීතිය ක්‍රියාත්මක කරවන විට එය පලිගැනීමක් ලෙස අර්ථ ගන්වා යහපාලනය කියා දෙන්නට තනයි.) මෙසේ විවිධ ආකාරයෙන් මේ ලබා ඇති ජය පැරදවීම සඳහා එය ඇතුලතින් දුර්වල කිරීමටත්, ඇතුලතින් මතභේද මතුකිරීමටත්, මිතුරු බලවේගයන් අතර සැකය ජනිත කර ඒවා බිඳ දැමීමටත් විවිධ ක්‍රියා සහ ප්‍රචාරයක් ගෙන යමින් සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා දෑස් විවරව තබා ගත යුතුය. විමසිල්ලෙන් සිට මේ කුමන්ත්‍රණ සහ කුමන්ත්‍රණකරුවන්ගේ කූඨ උපායන් වටහා ගත යුතුය. නීතියේ ආධිපත්‍ය නැති තැන යහපාලනයක් ඇති නොවනු ඇත. යහපාලනයක් නැති තැන මිනිස් අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු නොවනු ඇත. එනිසා රටත් එහි ආයතනත් කොතරම් අන්ත දූෂ්‍ය තත්වයකට ඇද දමා තිබුනා වුවත් එයින් ගොඩ ගත හැක්කේද නීතිය සහ එහි ආධිපත්‍ය ප්‍රථමයෙන්ම රටතුල ස්ථාපිත කිරීම තුලින් පමණි.

නීතිය රටක සෑම පුද්ගලයෙකුටම එක ලෙස ක්‍රියාත්මක වන ආකාරයක් ඇතිකර ගැනීම මෙන්ම මෙතෙක් රාජ්‍ය, එහි දේපළ අයථා ආකාරයෙන් තම පුද්ගල ලාභය සඳහා කඩා වඩා ගත් අය නීතිය ඉදිරියට ගෙන ඒම මේ මොහොතේ ඇති වැදගත්ම කාරණයයි. වැරදි කළ අය නීතිය ඉදිරියට ගෙන නොඑන සමාජයක රටවැසියා තුල භීතියක් ඇතිවන අතර වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් සිදුවන්නේ ඔවුන් තුල ඇති භීතිය පහවීම එසේ වැරදි කර තමනට කැමති ලෙස මේ රට තුල ක්‍රියාකළ නොහැකි බව ජනතාවට පසක් වීමයි. එනිසාම මිනිසුන් වැරදිවලට යොමුවීම අඩුවන අතර අගතියට පත් අය තමනට සාධාරණයක් මේ පවතින රාජ්‍ය ක්‍රමය තුල සිදුවනවාය යන විශ්වාසය ඇතිකර ගනී. රටක් ස්ථාවර බවකට ගෙන ඒමට මෙය අත්‍යවශ්‍ය සාධකයකි. වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒම එනිසා ඉතා වැදගත්ය.

විමල් වීරවංශලා ඇතුළු මහින්ද කල්ලිය මෙම නීති ක්‍රියාදාමය පලිගැනීමක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කරති. තවදුරටත් උත්සාහ කරනු ඇත. ඒ ඔවුන් කිසි දිනෙක නීතියක ආධිපත්‍යක් ගැන විශ්වාස නොකළ නිසා මෙන්ම නීතියක ආධිපත්‍ය ඇති රාජ්‍යක් ඔවුන්ගේ බල කාලය තුල ක්‍රියාත්මක නොකළ බැවිනි. ඔවුන් තම අත්තනෝමතික පාලනය තුල තමනට රිසි අයුරින් මෙම දේශය තුල හැසුරිනි. ක්‍රියාත්මක වුනි. තමනගේ විරුද්ධවාදීන් රාජ්‍ය අනුග්‍රහය ලබන හෝ රාජ්‍ය අනුග්‍රහය නොලබන මැර කල්ලි යොදා පහරදීම, ඝාතනය කිරීම හා යටපත් කරනු ලැබීය. ඔවුනට හුරු, ඔවුන් දන්නේ ඔවුන්ගේ කල්ලිය කළාමෙන් ‘කැලෑ නඩු ක්‍රමය’ භාවිතා කිරීමයි. සරත් ෆොන්සේකාට සහ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව මෙන්ම තව බොහෝ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ඔවුන් කරනු ලැබුවේ තමනට හුරු මේ කැලෑ නඩු ක්‍රමය ක්‍රියාත්මක කරවීමයි. එදා ඔවුන් කළා මෙන් වෛරයෙන් පිරි පලිගන්නා කැලෑ නඩු ක්‍රමය භාවිතා කිරීම නොව දැන් කළ යුතුව ඇත්තේ පවතින නීතිය යටතේ වැරදි කළ අය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි. මෙම සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා අධිකරණ ක්‍රියාදාමයක් තුල ඔප්පු වී තිබේනම් පමණක් ඔවුනට දඩුවම් දීමේ ක්‍රමවේදයක් භාවිතා කිරීමයි. එය කිසි අයුරකින් පලිගැනීමක් නොවන අතර එතුලින් සිදුවන්නේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වීමයි. එතුලින් ජනතාවට දෙන පැහැදිලි පණිවිඩය වන්නේ තමන් නීතියක් ඇති රටක, රාජ්‍යක ජීවත්වන මිනිසුන් බවට හැඟීමක් ඇති කිරීමයි.

නීතියේ ආධිපත්‍ය නැවත ඇති කිරීමට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි විනිවිදභාවයකින් යුතු නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කළ යුතුය. එම ක්‍රියාදාමය ඇරඹීමට, නීති විරෝධී නඩු අසා තම පදවියෙන් ඉවත්කළ අග්‍රවිනිශ්චයකාරවරිය වන ශිරාණි බණ්ඩාරනායක වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත එම පදවියෙහි පිහිටුවීම, පසුගිය වකවානුවේ පොලිස් අත්අඩංගුවේදී මියගිය අය සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු ආයුධ පෙන්වීමට ගොස් මාංචු පිටින් දියේ පැන්න සැකකරුවන්, මාංචු දැමූ අත්වලින් බෝම්බ සහ ගිනි අවි හරඹයට ගොස් මියගිය සැකකරුවන් (ඔවුන් කුමන ආකාරයේ අපරාධයකට සැකයට භාජනය වූ සැකකරුවන් වූවා වුවත්), ගේ මරණ පිළිබඳ විනිවිධභායකින් යුතු පරීක්ෂණ අරඹා එම මිනී මැරුම්වලට වරදකාරී පොලිස් නිලධාරීන් (ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාපරාධී මිනීමරුවන්ය) වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ වෙත ඉදිරිපත් කිරීම, රාජ්‍ය දේපළ කඩාවඩා ගෙන බලය අයුතු ලෙස පාවිච්චි කරමින් තම පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා විවිධ දූෂණයන්හි යෙදුන දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධරයන් ගැන පර්යේෂණ පවත්වා ඔවුන් වහාම අධිකරණය ඉදිරියට ගෙන ඒම, යුද්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ චෝදනා නොමැතිව රඳවා ගෙන සිටින යුධ සිරකරුවන් වහාම අධිකරණය ඉදිරියට පමුණුවා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, මේවා වහාම ආරම්භ කළ යුතු ක්‍රියාදාමයන් අතරින් සමහරකි. ඒ අතරම පුරවැසියන් වශයෙන් දැන් අප සතු යුතුකම වන්නේ තම තමන් ජීවත්වන ප්‍රදේශයන්හි රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් සාපරාධී ලෙස හැසිරුණ, විවිධ දූෂණයන් තුලින් රාජ්‍ය දේපළ අයථා අයුරින් හිමිකර ගනු ලැබූ එමෙන්ම තම බලය තුලින් සියල්ල මෙතෙක් යටපත් කරගෙන සිටි පුද්ගලයින්ට එරෙහිව සියළු තොරතුරු වහාම දැනටත් නවරජය විසින් පිහිටුවා ඇති ආයතනය වෙත ලබාදීමයි.

නීතියේ ස්වාධීනත්වය සහ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මකව සහාය වෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම දක්වා එක්ව ගමන් කරමු!

රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi

Powered by Blogger.