මහින්ද පරාදයි.


‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
- එලී වීසල්

මහින්ද මේ ඡන්දය දැනටමත් පරාදයි. නිර්මාල් කියන විදිහට සදාචාරාත්මක අතින් මේ වෙද්දි මහින්ද අන්ත පරාජයකට ලක්වෙලා තියෙන එක ඒකෙ එක පැත්තක්. ඒත් සමස්තයක් විදිහට, තත්වයක් විදිහට මහින්ද පරාද වෙන එකයි ඇත්ත සිද්දිය. ඒකට ඇත්තටම එයාට කරන්න දේකුත් නෑ.

මහින්දව නිර්මාණය කරන්නෙ ලංකාවෙ අවුරුදු තිහක් තිස්සෙ තිබ්බ යුද්දෙ. ඒක හරි අවාසනාවන්ත තත්වයක්. තමන්ගේ මූලයම නිශේධනාත්මක වෙන එක. ඒ කියන්නෙ මහින්ද කියන්නෙම යුද්දය නැති කිරීම කියන එක. එතකොට යුද්ධයක් නැති වටපිටාවක මහින්දගේ අනන්‍යතාවය අර්බුදයට යනවා. වැස්ස නැති කාලෙට කුඩ  ඕන නෑ.

මේ වෙද්දි මහින්ද යුද්දෙ තමන් විසින් නැති කළා කියල වීරත්වයක් ආරූඪ කරගත්තට ඇත්ත තිබ්බෙ ඊට වඩා හුගක් වෙනස් තැනක. මුලින්ම මහින්දගෙන් යුද්දෙ කරනවද නැද්ද කියල අහද්දි පවා එයා උත්තරයක් නැතුව ඇඹරුණා. ඒත් ඒ වෙද්දි ගොඩනැගිලා තිබුණු ජාතික බලවේග විසින් මහින්දව ඒ අන්තයට තල්ලූ කළා. කොයි වෙලාවක වත් පුද්ගලයෙක් ජනාධිපති විදිහට තේරෙන්නෙ නෑ. ඒ වෙනුවට යම් බලවේගයන් සහ තත්වයන් විසින් ඒ ඇඳුම කාට හරි අන්දවන එකයි සිද්ද වෙන්නෙ. මේ වෙලාවෙ මෛත‍්‍රී කියන්නෙත් ඒ වගේ අවශ්‍යතාවයක ප‍්‍රතිඵලයක්.

මහින්ද යුද්දෙ කරපු කතාව එක්කම මට මතක් වෙන විහිළු කතාවක් තියෙනවා. මේක ගොඩක් කට්ටිය දන්න එකක් වෙන්නත් පුළුවන්.

ඔන්න එකපාරක් ගං වතුරක් ගලලා මිනිස්සු ගහගෙන යනවලූ. පාලමක් උඩට වෙලා තවත් කට්ටියක් බලන් ඉන්නවලූ. කිසි කෙනෙක් නෑ සැඩ වතුරට බහින්න. එතකොට පොඩි අතදරුවෙක් වතුරෙ ගහගෙන එනවා පහලට. ඒත් කිසි කෙනෙක් නෑ ඉදිරිපත් වෙන්න. පාලම උඩ ඉඳන් කෑ ගහනවා විතරයි. ඒත් එකපාරට පාලම උඩ හිටපු අවුරුදු අසූවක විතර වයසක මනුස්සයෙක් සැඩ පාරට පනිනවා දරුවා බේරගන්න. එහේ මෙහේ අතපය ගහන කොට මේ දරුවා මේ මනුස්සයගේ ඇගේ එල්ලෙනවා. කොහොම හරි පණ බේරගෙන වයසක මනුස්සයා දරුවත් එක්ක ඉවුරට ගොඩ වෙනවා.
මාධ්‍යවේදීන් මිනිහව වට කර ගන්නවා.

‘මෙච්චර තරුණයො නිකං බලාගෙන ඉද්දි ඇයි ඔබතුමා මේ අවස්ථාවෙ වීරයෙක් වගේ ඉදිරිපත් වුණේ?’
මාධ්‍ය වලින් අහනවා.
හතිය ටිකක් අඩු වුන ගමන් වයසක ලොක්කා කියනවා
‘මාව තල්ලූ කරපු එකා අහුවුනොත් උගෙ අම්මට....’ කියල ඉතුරු ටිකත් එක්ක සද්දෙට.

මහින්දට වුණෙත් මේක. ඒත් මහින්ද මේ කතාව කියන්න තරම් අවංක වුණේ නෑ. එයා වීරයට ඇන්දා. දැන් තවදුරටත් අපිට මේ වීරයා අවශ්‍ය නෑ. වීරයාට පවතින්න  ඕන නම් එයාට සිද්ද වෙනවා එයා විසින්ම නැති කළ තත්වය නැවත නිර්මාණය කරන්න. මහින්ද කොටි කොටි කිය කිය උත්සාහ කරන්නෙ, යුද්දෙ පෙන්නන්නෙ ඒ වෙනුවෙන්. මං දකින්නෙ ඒවා අහිංසක උත්සාහයන් විදිහට.

මහින්ද චන්දෙ ඉල්ලන්නෙම වැරදි පදනමක් උඩ. එයා චන්දෙ ඉල්ලන්නෙ එයා වෙනුවෙන්. ඒකත් අතීතෙ කළ දෙයක් වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් විදිහට. එක පැත්තකින් රාජ්‍ය නායකත්වයක් කියන්නෙ කළගුණ සැලකීම වගේ සරල පැවතුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් කියල කියන්නෙ එහෙම නායකයෙක් යටතේ පාලනය වෙන එකද? මට තේරුම් ගන්න බැරි මේ ග‍්‍රාම්‍ය අදහස් එලියට කියන්න තරම් නොපැහුණු මනසක් කොහොම නිර්මාණය වුණාද කියන එක.

මහින්ද කතා කරන්නෙ පුද්ගලයෙක් විදිහට. ඒත් විපක්ෂය මේ වෙලාවෙ ඉන්නෙ වැඩපිළිවෙලක් වෙනුවෙන්. ඒ වැඩපිළිවෙල අතිශය සාධනීය එකක්. යුද්ධය විසින් ගිලිහුණු සිවිල් සමාජය යළි ස්ථාපිත කිරීම කියන්නෙ යුද්දයකට පස්සෙ රටක විය යුතුම දේශපාලන වෙනසක්. ඒක අනිවාර්යයක්.

මෙතනදි පුද්ගලයෙක් විදිහට මහින්ද දැවැන්ත ව්‍යවස්ථාමය, සමාජමය ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලකට විරුද්දව හිටගෙන ඉන්නවා. හැමතිස්සෙම පුද්ගලයෙකුට වඩා සමාජ අවශ්‍යතාවයක් විශාලයි. ඒ අවශ්‍යතාවය ඇතුලෙ ලක්ෂ සංඛ්‍යාත අංශුමාත‍්‍ර ජනතා අවශ්‍යතා පෙළගැහිලා තියෙනවා. පාලකයන් මේ තත්වයන් අඳුරගන්න තරමට සබුද්ධික වෙන්න  ඕන.

මේ තත්වය හොඳටම පැහැදිලි දෙයක්. මහින්ද නිර්මාණය කළ ජාතික බලවේගයන් හැම එකක්ම මේ වෙද්දි එකතු වෙමිනුයි මේ විපක්ෂය නිර්මාණය කරන්නෙ. ඉතුරු වෙන්නෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා, ඔහුගේ පවුල සහ ඔහුගෙන් පුද්ගලික වාසි ලැබෙන කීප දෙනෙක් විතරයි. එතන දේශපාලනය කියන එක අවසන්.

තත්වයක් විසින් නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ ඒ තත්වය අවසන් වුණායින් පස්සෙ එයාගෙ පුද්ගලිකත්වය දක්වා පහුබහිනවා. වංචාව, දූෂණය, අපචාරය මේ දේවල් උඩු දුවන්නෙ ඒ පුද්ගලවාදී දේශපාලනය ඇතුලෙයි. අපි මේ වෙද්දි ආණ්ඩුවෙ වේදිකා උඩ, ටීවී එකේ දකින්නෙ ඒ පිරිහුණු පුද්ගලවාදයේ ප‍්‍රකාශ. ඒවා කොහෙත්ම දේශපාලන කතා නෙමෙයි.

එක තැනක මහින්ද ප‍්‍රසිද්දියෙ කියනවා නාවලපිටියෙ ඉඳන් කොළඹට පැයකින් එන්න පුළුවන් කියලා පොලිස් නිලධාරියෙකුට රුපියල් දාහක් දීලා. ඒ වෙනුවෙන් එයා දඩ මුදල් පවා වැඩි කරලලූ තියෙන්නෙ.

තව තැනක අමාත්‍යවරයෙක් කියනවා ඒ අය දැන් හොඳට කාලලූ ඉන්නෙ. ඉඩ තියෙන්නෙ පොඩි අතුරුපසකට විතරයිලූ. වෙන කට්ටියක් ආවොත් මුල ඉඳන් කන්න ගනීලූ.

ජනාධිපතිවරණ වේදිකාවක හිටපු ජනාධිපතිවරයා පැත්තෙන් ඇහෙන්න දකින්න  ඕන දේවල්ද අපිට ඇහෙමින් දකිමින් තියෙන්නෙ? එහෙම නැත්තං මහින්ද ආණ්ඩුවක් කියල මැදමුලනෙන් ආපු අමු මනුස්සයා විතරක් ඉතුරු වෙලා එතන දේශපාලනය අහෝසි වෙලා ගිය තත්වයද?

මේ වෙලාවෙදි මහින්ද විශ්වාස කරන්නෙ දැනුවත් නැති විශාල ගැමි ජනතාවක් තමන්ගේ ප‍්‍රචාරණ හා හැගුම්බර කතා වෙනුවෙන් පාවිච්චි කරන චන්දයෙන් තමන් ගොඩයයි කියල. ඒක දයාසිරි ජයසේකර පවා ප‍්‍රසිද්ද වේදිකාවෙ කියනවා.

‘ සුළුතරයක් දැනුවත් උගත් ජනතාව මෛත‍්‍රීට ඡන්දෙ දෙයි. ඒත් බහුතරයක් ගැමි ජනතාව අපි (මහින්ද) සමගයි’

ඒත් ලංකාවෙ චන්දය තීරණය කරන්නෙ මහින්දගේ උපකල්පිත නූගත් බහුතරය නෙමෙයි. ඒ වෙනුවට ඒ තීරණයට මැදිහත් වෙන්නෙ සිවිල් සමාජ ක‍්‍රියාකාරී බලවේගයන්. ඒක ඔලූ ගානෙන් තීරණය වෙන දෙයක් නෙමෙයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සංස්කෘතික- දේශපාලන කණ්ඩායම් වැදගත් වෙන්නෙ මෙතනදි. මේ සියලූ බලවේග මේ වෙලාවෙදි නව වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන්, සාමූහික දේශපාලනය වෙනුවෙන් පෙළගැහිලා ඉවරයි.

වඩා වැදගත් වෙන්නෙ විපක්ෂයේ මේ කණ්ඩායම් විසින් ව්‍යවස්ථාව නැවත අවධාරණය කරන එකයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න එකයි. මෙච්චර කාලයක් ව්‍යවස්ථාවක් තියෙනවා කියලවත් නොදැන හිටපු රටක ඒක දේශපාලන අවශ්‍යතාවයක්. දේශපාලනික දැනුවත්කමක්, සක‍්‍රීයබවක් වෙත ජනතාව උනන්දු කිරීමක් එතනදි සිද්ද වෙනවා. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවෙන් මේ කතිකාවම පවා කරන්නෙ ලොකු මෙහෙවරක්.

මෙතනදි මහින්ද ඊට ප‍්‍රතිපක්ෂව කරමින් ඉන්නෙ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවන් හෑල්ලූ කරන එකයි. ඒ වෙනුවට පුද්ගලික ජෝක් දේශපාලනික විදිහට ඉදිරිපත් කිරීමයි. ආචාර ධර්මයක්, සදාචාරයක් වෙනුවෙන් විපක්ෂයක් පෙළගැහෙද්දි කුණුහරුප කියන අමාත්‍යවරු සංවාද වලට අරන් එමින්, සල්මාන්ලා ජැක්ලීන්ලා ආනයනය කරමින් මහින්ද කරන චන්ද ව්‍යාපාරය අතිශය මන්ද බුද්ධිකයි.

මැතිවරණ ව්‍යාපාරෙදි මහින්දට බැරි බැරි ගානෙ හරි යන්න සිද්ද වෙලා තියෙන්නෙ විපක්ෂයෙ යෝජනා පිටිපස්සෙමයි. උදා විදිහට මහින්දගේ ලොව දිනන මග ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයම මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්ති වලට දීපු උත්තර විතරයි. ආණ්ඩුවක් විදිහට විපක්ෂයට තමන්ගෙ අභියෝග වලට පිළිතුරු දෙමින් එන්න සිද්ද කරනවා වෙනුවට මහින්දට විපක්ෂයේ පදේට නටන්න සිද්ද වෙනවා. වඩා ප‍්‍රගතිශීලී අදහස්, යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව අභියෝගයට ලක් කරන්නෙ විපක්ෂය. ආණ්ඩුවෙන් කරන්නෙ ‘එහෙම නෑ’ කියන එක විතරයි.

මහින්දගේ තත්වය වඩාත් අමාරු කළේ සමාජ ජාල වෙබ් අඩවි වලින්. නැත්තං අන්තර්ජාලයෙන්. අන්තර් ජාලය හරහා වඩා නිදහස් අලූත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. තවදුරටත් මුදලට වැඩ කරන මාධ්‍ය වෙනුවට තොරතුරු දැනගැනීමේ අයිතිය එක්ක ඉස්සරහින්ම ඉන්න වෙබ් එකට පුළුවන් වුණා. ඒ ඇරුණම නිරන්තරයෙන් ජනතාව ලෝකයේ විවිධ රටවල ජනතාව ඔවුන්ගේ සිතුම් පැතුම් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා. එතනදි නැවත රටක්, දූපතක් විදිහට කොටු වීමම පදනම් කර ගත්ත මහින්ද චින්තනය ෆේල් වෙනවා. අන්තර් ජාතික කුමන්ත‍්‍රණ කිය කියා මහින්දගේ පිළ කියන්නෙ මේ විවෘත වීම.

තමන්ගේ මුදලට යට වෙන මාධ්‍ය සහ ආයතන සියල්ලට බැහැරින් දැවැන්ත බලවේගයක් නිර්මාණය වීමත් එය නිතැතින්ම තමන්ගේ දේශපාලනයට අභියෝග කිරීමත්. ඒක තමයි ඒ කියන කුමන්ත‍්‍රණය. ජනතාවගේ පැත්තෙන් මේ කුමන්ත‍්‍රණය අතිශය සාධනීයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ- දේශපාලනික ප‍්‍රවේශයන් පැත්තෙනුත් මේ තත්වය ඉත සිතින් වැළඳගත යුතු සහ පෙනී සිටිය යුතු තත්වයක්.

මහින්දගේ පාලනයට විරුද්දව නැගෙන වෙනස වඩා පුළුල් වපසරියකට පැතිරෙනවා. ඒක දේශපාලනයට වඩා විශාල සංස්කෘතික වෙනසක් යෝජනා කරනවා. ප‍්‍රධානවම ගත්තොත් ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය අතර තෝරාගැනීමක් බවට මේ ජනාධිපතිවරණය පත් කරනවා. නැවත විවෘතව හිතන්න, විවිධ අදහස් ඇතිව එකට ඉන්න, වඩා නිර්මාණශීලී වෙන්න අවශන්‍ විවරයක් වෙනුවෙන් මේ සංස්කෘතික වෙනස වැඩ කරනවා.

උදා විදිහට කලාකරුවො පොදු අපේක්ෂකයා පිටිපස්සෙ පෙළගැහෙන්නෙ මේ සංස්කෘතික වෙනස වෙනුවෙන්. මහින්ද චින්තනවාදී කලාව ඉවර කරලා ලැජ්ජාවක් නැතුව කරන්න පුළුවන් සිතීමක් සහිත කලාවක් ඇති කරගන්න. වඩා වැදගත් වෙන්නෙ හැමෝම එක පෙළට මේ අරමුණ වෙනුවෙන් සංවිධානය වීම. ආර්ට් ගැන බිංදුවකවත් දැනීමක් ඇති කිසි කෙනෙක් නෑ මහින්ද එක්ක. මේ වෙනස් වෙන තත්වය ඇතුලෙ සමාජ දේශපාලන සංස්කෘතික හැම අංශයකම ප‍්‍රතිසංවිධානයක් යෝජනා වෙනවා. ඒක රටක් විදිහට බලාපොරොත්තු දනවන වෑයමක්.

මහින්ද චණ්ඩිකමෙන් නවත්තන්න හදන්නෙ මේ දැවැන්ත සබුද්ධික ප‍්‍රවාහය. කුඹුක්ගැටේදී දෙකයි පනහෙ මැර මන්ත‍්‍රීන් අතින් ප‍්‍රදර්ශනය වෙන්නෙ මහින්දගෙ මනස. ඒ සිතීමේ තරම. ශිෂ්ටත්වයට සිද්ද වෙනවා ගෝරිල්ලො එක්ක ගැටෙන්න. ඒත් පරිණාමයේ ඒ සටනින් හැමදාම ශිෂ්ටත්වය ජයගන්නවා. කොයිතරං පව් වුණත් කිංකොංලා මැරෙනවා.

මේ මැතිවරණෙ පදනම් වෙන ප‍්‍රධාන දේශපාලන කාරණය විදිහටම ගත්තොත් ජනතාව පැත්තෙන් උත්සාහ ගත යුත්තේ තුන් වරක් දක්වා එකම ජනාධිපති කෙනෙක් රඳවා ගැනීම වෙනුවට එකවරක් අවසානයේ බාර දී යන තැනට ජනාධිපති පදවිය පුද්ගල උවමනාවන්ගෙන් වියුක්ත කර තබා ගැනීමටයි. අවුරුදු හයකට වරක් ජනාධිපති කෙනෙක් මාරු වීම ප‍්‍රජාතාන්ත‍්‍රික උවමනාවන් පැත්තෙන් ගොඩක් හොඳ දෙයක්. එතනදි පුද්ගලයෙකුට වඩා වැඩපිළිවෙලකට, පක්ෂයකට මුල්තැනක් ලැබෙනවා. මහින්ද නිසා සිදුවුණු ලොකුම දේශපාලනික අවුල පක්ෂයකට වැඩපිිලිවෙලකට වඩා පුද්ගලයෙක් ඉස්සරහට ආපු එක. දියුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවට නැවත රාජකීයත්වයක් නිර්මාණය වුණු එක. ජනතාවගේ සිතීම, දේශපාලනික හුරුව යුග ගානක් ආපස්සට අරන් ගියපු එක.

අවුරුදු හයෙන් හයට ජනාධිපති චරිතය මාරු වීම ඇතුලෙ පක්ෂයකට වුණත් සිද්ද වෙනවා වඩා තරගකාරී දෙවැනි අපේක්‍ෂකයා නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරමින් ජනතාව දිනාගන්න. මිනිස්සු මාරු වුණාට රජයෙන් ක‍්‍රියාත්මක ජාතික වැඩසටහන් වරින් වර මාරු නොවෙන සංස්කෘතියක් නිර්මාණය කරන්න නම් මේ තත්වය ගොඩනගා ගන්න වෙනවා. පුද්ගලයෙකුට වඩා පක්ෂයක් ජනතාවට අනිවාර්යෙන් වග කියනවා.

මේ ජනාධිපතිවරණය අතිශය වැදගත් වෙන්නෙ මේ සියලූ කාරණාවන් ආමන්ත‍්‍රනය කරන නිසයි. ඒක නැවතත් දේශපාලන සවිඥාණකත්වයක්, සබුද්ධික සමාජයක් වෙනුවෙන් නැගෙන ක‍්‍රියාකාරීත්වයක් නිසයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මේ තත්වයන්ගේ වෙනස ඉස්සරහ අසරණයි. ඇගේ  පතේ හයිය පාවිච්චි කරනවා මිසක වෙන දේශපාලනික අභියෝගයක් ඉදිරිපත් කරන්න ඒ මනුස්සයා අසමත් වෙන එක ස්වභාවිකයි.

එක යුගයක අවශ්‍යතාවයක් ඉටු කළ ඒ මිනිසාට ගෞරවයෙන් යුතුව වේදිකාවෙන් බැස යාමට ඉඩ සලසන එකත් යෝජනා කරන ඉදිරිගාමී සදාචාර සම්පන්න සමාජයේම පළමු වගකීමක්.


චින්තන ධර්මදාස


Share on Google Plus