මහින්ද - ප්‍රභාකරන් පරාජයේ කරුණා - මෛත්‍රී භූමිකාව.


‘‘අසරණ තත්ත්වයට වැටුණු විට මිනිසෙකු පළවාහරිනු ලබන්නේ කෝටුවකින් තලා නොව, ඉතා නින්දනීය ලෙස ඔහු ශිෂ්ට මිනිසුන්ගෙන් සමාජයෙන් එළවා ගනු ලබන්නේ කොස්සකින් අතුගා දැමීමෙන්’’ 
(‘අපරාධය හා දඬුවම’- දොස්තොයිවොස්කි)

2015 ජනවාරි 08 වන දා පැවැත් වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්විය. කිසිදු විටක පරාජය කළ නොහැකි යැයි මෙරට සමාජය තුළ මතවාදීමය වශයෙන් මුල් බැසගත් මහින්ද රාජපක්‍ෂ ක‍්‍රියාකාරී දේශපාලනයෙන් මේ වන විට අතුගා දමමින් පවතී. මහින්ද රාජපක්‍ෂගේ පරාජය සහ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පරාජය යම් ආකාරයකට එක සමාන ස්වරූපයක් ගනී. විෂමතා ඇතත් සම තැන් එම පරාජයන්වල බොහෝ වෙති. 

ප‍්‍රභාකරන් ඉස්මතු වූයේ උගත් සමාජයෙන් නොවේ. ඔහු මෙරට හෝ විදේශීය රටක විශ්වවිද්‍යාලයකින් උගත්තෙක් නොවේ. එම නිසා ප‍්‍රභාකරන් උගතුන්ගේ ඇසුර ප‍්‍රිය කළේ නැත. මහින්ද රාජපක්‍ෂ ද උගත් සමාජයකින් මතු වූවෙක් නොවේ. ඔහුගේ නීතීඥ වෘත්තිය ද මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට පිංසිදු වන්නට ලබාගත් එකකි. ඒ නීතීඥ විභාග හා බැඳුණු නමක් ලෙස ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ද ප‍්‍රකටය. එම නිසා මහින්ද රාජපක්‍ෂ මෙන්ම ප‍්‍රභාකරන් තම දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කළේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපති වූ වහාම සිදු කළේ තම දරුවන් විදේශීය විශ්වවිද්‍යාලවලට යවා ඉගැන්වීමයි. බණ්ඩාරනායක ද එයම සිදු කළේය. බණ්ඩාරනායකගේ පියා ද සිදු කළේ එයයි. නමුත් මහින්ද රාජපක්‍ෂ තම දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කළේ නැත. ලොව ප‍්‍රධාන විශ්වවිද්‍යාලවලට ඔවුන් යැව්වේ නැත. තම දරුවන් තම දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා භාවිතා කළේය. ඔහු ඔවුන්ට නිර්මාණය කර දුන්නේ නිල් බලකාය වැනි බලකායන්ය. එමෙන්ම ප‍්‍රභාකරන් ද තම දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කළේ නැත. ඔහු ද තම බලය වෙනුවෙන් චාල්ස් ඇන්තනී බලකාය පිහිටුවා තම දරුවා වූ චාල්ස් ඇන්තනීටම එය භාර දුන්නේය. මේ අනුව නූගත් දෙමාපියන්ට මගපෙන්වීමට උගත් දරුවන් නොමැති වීම මෙම දෙදෙනාගේම පරාජයට හේතු විය. එම නිසා නාමල් රාජපක්‍ෂට විවෘත නොවන ලංකාවේ දේශපාලනය විමුක්ති කුමාරණතුංගට විවර වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. 

ප‍්‍රභාකරන් තම පැවැත්ම උදෙසා රටේ දරුවන් ද භාවිතා කළේය. ළමා සොල්දාදුවන් ලෙස ඔවුන් බඳවා ගත්තේය. ම්ලේච්ඡත්වයට ඔවුන් පුරුදු කළේය. ඔවුන්ගේ දෑත්වල තුවක්කුව රඳවාලූයේය. මහින්ද රාජපක්‍ෂ ද තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් රටේ දරුවන් භාවිතා කළේය. මාධ්‍ය සංදර්ශන පැවැත්වූවේය. 

ප‍්‍රභාකරන්ගේ පරාජයට ප‍්‍රධානම හේතුවක් වූයේ කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වීමය. ඒ සමගම නැගෙනහිර බලය අහිමි විය. එය මහින්දට ප‍්‍රභාකරන් පැරදවීමට පහසුවක් විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මෛත‍්‍රී ඉවත් වීම මහින්දගේ පරාජයට හේතු විය. ඒ සමගම සිංහල බෞද්ධ ගැමි පදනම යම් ප‍්‍රමාණයකට මහින්දගෙන් ඈත් විය. එල්.ටී.ටී.ඊ. යෙන් කරුණා ඉවත් වීමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මෛත‍්‍රී ඉවත් වීමත් සිදු කළ මහා මොළකරුවා රනිල් වික‍්‍රමසිංහය. ඒ අතින් ගත්ත ද ප‍්‍රභාකරන්ගේ පරාජය සහ මහින්දගේ පරාජය සමානය. 

ප‍්‍රභාකරන් සහ මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් මෙරට මතය ගොඩනැගී තිබුණේ ඔවුන් කිසිදු විටක පරාජය කළ නොහැකි බවය. විශේෂයෙන් ප‍්‍රභාකරන් පරාජයට පත් කළ සටනේදී කිලිනොච්චිය බිඳවැටෙද්දී පවා මෙරට සමාජය විසින් පැවසූයේ ඔහු අවසාන මොහොතේ හෝ කුමක් හෝ කරනු ඇතැයි සිතාය. නමුත් සියල්ල අහිමි වූ කල අවසන් මොහොතද ඉතිරි නොවන බව පසක් කරමින් ප‍්‍රභාකරන් පරාජයට පත්විය. චාල්ස් ඇන්තනී බලකාය විනාශ විය. එමෙන්ම ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වන තුරුම මෙරට සමාජය ප‍්‍රකාශ කළේ මහින්ද ද කුමක් හෝ ගේමක් ගහනු ඇතැයි සිතාය. විශේෂයෙන් ගෝඨාගේ හමුදාව හෝ යොදා බලය තහවුරු කර ගනු ඇතැයි විශ්වාස කළේය. එවැනි උත්සාහයන් පැවතියත් ඒවා සියල්ල ව්‍යර්ථ කරමින් මහින්ද පරාජයට පත් විය. එළිවෙන්නට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත් වන්නට සිදුවිය. මේ අනුව ප‍්‍රභාකරන් බුලට් එකෙන් පරාජයට පත්වන විට මහින්ද බැලට් එකෙන් පරාජයට පත් විය. 

ප‍්‍රභාකරන් පරාජයට පත්වීම සඳහා බලපෑ එක් සාධකක් වූයේ තමා කෙරෙහි පැවති අසීමිත වූ විශ්වාසයයි. එම නිසා ඔහු නව නායකයන් නිර්මාණය කළේ නැත. සිදු කළේ නව නායකයින් ලෙස ඉස්මතු වන සියලූ දෙනා අවනත කර ගැනීම හෝ එසේ නොහැකි වූ විට විනාශ කිරීමයි. මහින්ද ද කළේ එයමය. ප‍්‍රභාකරන් තමන්ට විරුද්ධ සියලූ බලවේග තුවක්කුවෙන් මර්ධනය කරන විට මහින්ද සෙසු දේශපාලන පක්‍ෂ දියාරු කළේය. එපමණක් නොව තම පක්‍ෂය ද දියාරු කළේය. අවම වශයෙන් මෛත‍්‍රී ඉවත්වීමෙන් පසු හෝ තමන්ට ශක්තියක් විය හැකි නව අගමැතිවරයෙක් හෝ නිර්මාණය කර ගත්තා නම් මැතිවරණ ප‍්‍රචාරණයේදී හෝ දි.මු.ජයරත්නට වඩා වැඩි දායකත්වයක් නව අගමැතිට සිදුකළ හැකිව තිබුණී. ඒ හරහා තමන්ට අහිමි වූ ඡුන්ද ලක්ෂ 4 ලබාගැනීමට ද යම් ඉඩ ප‍්‍රස්තාවක් ලැබීමට හැකියාක් තිබුණී. නමුත් මං පොර යන න්‍යාය මත ම කටයුතු කිරීම හේතු කොටගෙන මහින්ද ද ප‍්‍රභාකරන් මෙන්ම පරාජයට පත්විය. 

2005 දී බලයට පත් වූ මහින්දට යුද්ධ කිරීමට අවශ්‍ය මානසික ශක්තිය හා පසුබිම විවර කර දුන්නේ ද මෙරට සමාජය තුළ යුද්ධයට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කළේ ද ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් පෙරට පැමිණ මෙරට සමාජ අවධි නොකරන්නට යුද්ධ කළ නොහැක. එමෙන්ම මහින්දගේ පරාජයටද ප‍්‍රධාන හේතුවක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය මෙරට සිංහල ජනතාව තුළ ගොඩනගන ලද මහින්ද විරෝධී මතවාදයයි. එදා ප‍්‍රභාකරන් විරෝධී වූ බලවේගම මෙදා මහින්ද විරෝධී වී ප‍්‍රභාකරන් මෙන්ම මහින්ද ද මෙරට දේශපාලන සිතියමෙන් ඉවත් කළේය. 

ප‍්‍රභාකරන්ට විරුද්ධව කරන ලද සටන අතරතුර මෙරට සමාජය තුළ කියැවුණේ ප‍්‍රභාකරන් මෙරටින් පැනයාමට ද ඉඩ ඇති බවයි. නමුත් ප‍්‍රභාකරන් තම දරුවන් සමඟ සටනේදී මිය ගියේය. මහින්ද ද බැරිවෙලා හෝ පරාජය වුවහොත් ලංකාවෙන් යනු ඇතැයි ඇතැම් මිනිස්සු විශ්වාස කළේය. නමුත් මහින්ද ලංකාවෙන් නොගිය අතර, තම දරුවන් හා බිරිඳ සමඟ ගියේ මැදමුලනටමය. නමුත් ඒ වන විට ඔහු දේශපාලන වශයෙන් පරාජය වී අවසානය. 

ප‍්‍රභාකරන් සටන යන අතරතුර සාමාන්‍ය ජනතාව තම ආරක්‍ෂාව සඳහා පළිහක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කළ බවට වාර්තා තිබුණි. එමෙන්ම මහින්ද ද පරාජයෙන් පසු මැදමුලනට ගොස් යළිත් ජනතාව පළිහක් ලෙස භාවිතා කිරීමට කටවචනයෙන් හෝ උත්සාහ කළේය. තමන්ට ලක්ෂ 57ක ජනතාවක් සිටින බවට තවතවත් පුනපුනා ප‍්‍රකාශ කරන්නේය. මේ අනුව තම පැවැත්මට ජනතා පවුරක් ගොඩනැගීමට මෙම දෙදෙනාම උත්සාහ දැරීම සුවිශේෂී වේ. 

ප‍්‍රභාකරන් හැමවිටම පෙනී සිටියේ ප‍්‍රාදේශීය ස්වාධීනතාවය වෙනුවෙනි. ඔහුට අවශ්‍ය වූයේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම නිජබිමක් නිර්මාණය කර ගැනීමටය. ඒ සඳහා හැම විටම ජාතිවාදය භාවිතා කළේය. මෙරට සෙසු ජනවර්ග වන සිිංහල සහ මුස්ලිම් ජනාතාව උතුරෙන් පන්නා දැමුවේය. මහින්ද ද තම පැවැත්ම සම්පූර්ණයෙන් තීරණය කළේ මුස්ලිම් හෝ දෙමළ ජන කොටස් දිනා ගැනීම මත නොව ඔවුන් ප‍්‍රතික්ෂේප කිරීම මතය. හැම විටම සිංහල බෞද්ධ පදනම මත ගොඩනැගුණු ආගමික ජාතිවාදයක් මහින්ද භාවිතා කළේය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන හෝ යුධමය පරාජයකදී කිරිබත් කෑමේ සංස්කෘතිය නිර්මාණය කළේ මහින්ද රාජපක්‍ෂය. හන්දියක් හන්දියක් ගානේ ජාතික කොඩි වනමින් කිරිබත් කෑවේ ප‍්‍රභාකරන්නේ පරාජය සමඟය. රතිඤ්ඤා දැල්වීම පේ‍්‍රමදාස මරණයෙන් පසු සිදුවුවත් කිරිබත් කෑමේ සංස්කෘතියේ නිර්මාතෘ මහින්දය. මහින්දගේ පරාජයෙන් පසුව ද හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කන සංස්කෘතිය ව්‍යාප්ත විය. එය යම් ප‍්‍රමාණයකට ප‍්‍රසාරණය වී කිරිබත්වලට අමතරව ඇතැම් තැන්වල ආප්ප ද සංකේතයක් බවට පත්විය. තමා ඇතිකළ ක‍්‍රමයම තමාගේ පරාජයෙන් පසුව භාවිතා කරනු ඇතැයි මහින්ද කිසිදාක නොසිතන්නට ඇත. 

ප‍්‍රභාකරන්ගේ පරාජයෙන් පසු ප‍්‍රභාකරන් සමග සිටි හොඳම අනුගාමිකයෝ ප‍්‍රභාකරන්ගේ විරුද්ධවාදියාගේ පිළේ හිටගත්තේය. එපමණක් නොව ප‍්‍රභාකරන්ගේ නරක ගතිගුණ ඔවුන් විසින් එළිපිට ප‍්‍රකාශ කළේය. දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර්, නගුලන්, කුමරන් පද්මනාදන් ඒ අතර ප‍්‍රධාන වේ. මහින්දගේ පරාජයෙන් පසුව ද අප්පච්චිගේ මළකුණ හැරදා බොහෝ මහින්ද අසලම සිටි මහින්ද වර්ණනා කළ හිතවාදීන් මහින්දගේ විරුද්ධවාදියාගේ පැත්තේ හිටගත්තේය. එපමණක් නොව ඔවුන් අද මහින්දටම විරුද්ධව අපරාධ විමර්ශණ ඒකකයට පැමිණිලි ද භාර දේ. ඇතැම් අය මහින්ද පැරදි දිනය තම ජීවිතයේ සතුටුම දිනය බවට ද ප‍්‍රකාශ කළේය. 

ප‍්‍රභාකරන් පරාජයට පත්වීමෙන් පසු උතුරේ තැන් තැන්වලින් විවිධ මාළිගා මතවන්නට විය. ඒ මාළිගාවල සාමාන්‍ය ජනතාව නුදුටු බොහෝ දේ විය. ප‍්‍රභාකරන්ගේ භූගත මාළිගාව, පිහිනුම් තටාකය බැලීමට මිනිසුන්ට ඉඩ දුන්නේය. තම නායකයා විශේෂිත සැප විඳි නායකයෙක් බවට ඇතැමුන් කල්පනා කළේය. එපමණක් නොව ඉඳහිට අදටත් තැන් තැන්වලින් මෝටාර්, කාලතුවක්කු යනාදිය ද මතුවන්නේය. මහින්දගේ පරාජයෙන් පසුව ද අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිර ජනතාවට විවෘත වන ලකුණු පහළ වෙමින් පවතින්නේය. කෙටි කාලයකට නොව දීර්ඝකාලයකට අරලියගහ මන්දිරය භුක්තිවිඳීමේ අපේක්‍ෂාවෙන් මහින්ද සහ පවුලේ අය සිටි බවට විරුද්ධ දේශපාලන වේදිකාවේ මත පළකෙරෙන්නේය. එපමණක් නොව සුදු පෝනියන්, සුදු අශ්වයින්, කෝටි ගණන්වල බැංකු ගිණුම් සමාජගත වන්නේය. 


‘‘බලය විසින් මිනිසා දූෂණය කෙරේ. අසීමිත බලය අසීමිත දූෂණයට හේතුවයි.’’ (ඇක්ටන් සාමි)



හේමප‍්‍රිය කවිරත්න | Hemapriya Kaviratne
 © Lanka DNA

Powered by Blogger.