බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි!


‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත් නාගරික මැද පන්තිය විශාල මෙහෙවරක් කරනු ලැබීය. තමනට යමක් ලබා ගැනීම සඳහා එනම් ‘පඬුරු පාක්කුඩම් දී තාන්න මාන්න’ ලැබීමේ ක්‍රමවේදයට අනුව මොවුන් ක්‍රියාත්මක වනු ලැබීය. මේ කණ්ඩායම මෙම කියමන් තුලින් මුලු සමාජය පසුගාමීත්වයට ඇද දැමීමට කළ මෙහෙවර ඉතා විශාලය. ඒ අනුව මොවුන් ලංකා සමාජයට කළ හානිය කියා නිමකළ නොහැකි තරම්ය.

සමාජයක සමාජ මානසිකත්වය දීන බවකට ඇද දැමීම ඒවාගේම අත්තනෝමතික දූෂිත කල්ලියක් රජවරුන් ලෙස නම්කිරීම තුල ඔවුන් රටේ සමාජවටිනාකම්වලට , ආර්ථිකයට පමණක් නොව රටේ පරිසරයද විනාශ කිරීමට (ලංකාවේ සුන්දර පරිසරය, දේශගුණය, අලංකාරය මේ වන විටත් කොන්ක්‍රීට් වනාන්තර කරමින් පැවතුනි) මග පාදවනු ලැබීය. ඒවාගේම කොතරම් ස්ත්‍රෝත්‍ර ගැයුවත් ශක්තිමත් නායකයෙකු රජෙකු ලෙස (ගොනාට) අඳින්නේ නැත. නමුත් බෙලහීනයෙකු මෙවැනි තත්වකදී වහාම එම ඇඳුම් ඇග ලා ගනී. ඉන්පසු ඔහු ඔහුටම මෝහනය වනු ලබයි. මහින්ද එයට හොඳම උදාහරණයකි. මේ වන විට මෛත්‍රීපාලටත් ස්ත්‍රෝත්‍ර ගැයීම කොටසක් අරඹා හමාරය. මෛත්‍රීපාලට ඒවායින් නොඇඳ සිටීමට තරම් ආත්ම ශක්තියක් ඇති මිනිසෙකු වේවායි මගේ පැතුමයි.

බලයෙන් උන්මත්තක ව හිස් තෝන්තු කරගෙන සිටි (මෙම අසනීපය හඳුන්වන්නේ අහන්කාරොන්මාදය ලෙසිනි) මහින්ද සහ පවුල ක්‍රියාත්මක වූ ආකාරය මා මෙහි ලිවිය යුතු නැත. රට තුල ජීවත් වන ජනයා ඒ ගැන දනී. එසේ නොදන්නේ නම් ඉදිරි දින වලදී ටිකින් ටික ඒවා ඔවුනට එළිදරව් වනු ඇත. පිලිපීනයේ මාකෝස්ගේ මාළිගාවේ මාකෝස් ජීවත් වූ අයුරු, මාකෝස්ගේ බිරිය ඉමෙල්ඩාට තිබූ සපත්තු කුට්ටම් දහස් ගණන් ආදී දෙය පිලිපීන රජය ඒ රටේ ජනයාට දැක ගැනීමට සැලැස්වීය. එමෙන්ම අපට ළඟම රට වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ජයලලිතාගේ සාරි ප්‍රමාණය ආදී අවශ්‍ය නම් ඕනෑවටත් වඩා මෙවැනි උදාහරණ ලෝකය තුල තිබේ. ජනාධිපති සේවයට වාහන 800ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබූ බව හෙලි වී ඇත. අරලියගහ මැදුර තුල සිදු කර ඇති වෙනස ඔවුන් ජීවත් වූ කුවේර ආකාරය ජනතාවට දැක බලා ගැනීමට සැලැස්විය යුතුය යන්න මගේ හැඟීමයි. රුමේනියාවේ ඒකාධිපතියා චව්සෙස්කු පැන්නූ පසු ඔහු ජීවත් වූ මාළිගය තිබූ ආකාරය එරට ජනතාවට දැක ගැනීමට සැලැස්වීය. එවිට ජනතාවට තමන් රජෙකු ලෙස සැලකූ මෙම මිනිසුන් ජනතාවගේ මුදලින් ජීවත් වූ ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. එවිට පමනකි ජනතාවට තමා රජෙකු කරගෙන සිටියේ කොතරම් පහත් අසනීපකාරයෙකුද කියා වටහා ගනු හැකි වන්නේ. එසේ මොවුන්ගේ මෙම ජීවන රටාව ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරවීම වැදගත් වන්නේ ඉදිරියේ රට මෙවැනි ව්‍යවසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි.

බලයට පත් ශක්තිමත් මිනිසුන් කිසි දිනෙක තම ප්‍රතිවාදීන් හඹා යමින් තම බලය අනිසි ලෙස යොදා ගනිමින් ඔවුනට දිගින් දිගටම පහර නොදෙති. ඒ තමාට තම ශක්තිය ගැන ඇති ආත්ම විශ්වාසය නිසාවෙනි. ආත්ම විශ්වාසය නොමැති බෙලහීනයෙකු තමා බලය ලද විගසම කරනුයේ තමාගේ බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ප්‍රතිවාදීන්ට එළව එළවා පහර දීමයි. මහින්ද කල්ලිය පාලන බලය අත්පත් කර ගත් පසු ඔවුන්ව බලයෙන් පෙරළා දමන තුරුම ඔවුන් ලංකා සමාජය තුල කරනු ලැබුවේ තම ප්‍රතිවාදීන්ට වචනයක් පිට කිරීමට ඉඩ නොතබා දිගින් දිගටම ඔවුන් පෙලීමයි. මේවාට උදාහරණ ලෝකයේ එමට තිබේ. සිම්බාබ්වේ හි මුගාබේ, ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි වැනි උදාහරණයි. එමෙන්ම මෙයට ප්‍රතිවිරුද්ධ උදාහරණ ලෙස බලයට පැමිණි රජවරු තමා බලයට පත්වූවායින් පසු තම රටේ සම්පත් සහ බලය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදා ගත් අවස්ථාවන්ටද ඉතා අගනා උදාහරණ ලෝකයෙහි ඇත. ඕමානයේ සුල්තාන්වරයාගේ ක්‍රියාකලාපය, බොට්ස්වානාහි ජනාධිපතිවරයා වන කහමේගේ ක්‍රියාකලාපය වැනි නායකයින්ගේ ක්‍රියාවන් තුලින් අවශ්‍ය නම් වෙනත් නායකයින්ට ඉගෙන ගත හැක. නමුත් බොට්ස්වානාවලින් ඉගනගැනීම වෙනුවට මහින්දලා ආදර්ශයට ගෙන ඇත්තේ සිම්බාබ්වේ හි අපකීර්තිමත් මුගාබේලායි.

දියුණු මිනිසෙකු තමනට අනවශ්‍ය ගරුත්වයක් පෙන්වන ලෙස කිසිවෙකුට බල නොකරති. ඒවාගේම අනවශ්‍ය අතිශෝක්තියකින් ගරු නම්බු දෙන විට ඒවාට එකලාවන්ව විරුද්ධ වෙති. ලංකා සමාජය තුල ඇති උතුමාණන්, නායකතුමන්ලා, මැඩම්ලා, සර්ලා, එතුමාලා, මෙතුමාලා යන භාෂා ව්‍යවහාරය ගැනද දැන් අලුතින් සිතිය යුතු බව මගේ හැඟීමයි. මෙම අනවශ්‍ය ගරුත්වයක් දෙමින් කතා කරන භාෂා විලාශය මෙරට යටත් වැසියන් කාලාන්තරයක් තිස්සේ ගෙන ආ භාෂා විලාශයකි. පලමුව රජුන්ට සහ රදල අධිපතීන්ටද ඉන්පසු අධිරාජ්‍යවාදී අධිපතීන්ටද යටත් වැසියන් ආමන්ත්‍රණය කළ භාෂාව මෙය වේ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙම මැති ඇමතිවරු ජනාධිපතිවරු හඳුන්වන්නේ මහත්මයෙකු හෝ නෝනා මහත්මයෙකු යන යෙදුමෙන් යුතුවයි. අඩුම තරමේ දැන් පුවත්පත් කලාවේදීන් සහ ලේඛකයින් තම ලිවීම්වලදී මෙම ක්‍රමවේදය ඇරඹිය යුතු යැයි මගේ හැඟීමයි. (ලංකාවේ පුවත්පත් කලාවේදය ගැන ද වෙනම ලිවිය යුතුයි)

මහින්ද කල්ලිය බලය අතහැර නිකම්ම ඉවත්ව නොයනු ඇත. නැවත බලය ලබා ගැනීමට ඔවුන් විවිධ උපක්‍රම (උප්පරවැට්ටි) දමනු ඇත. ඒ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ නියාමයන් අබමල් රේණුවකට මායිම් නොකරන හෙයිනි.

එදා මහින්ද තම පරාජය හමුවේ අරලියගහ මැදුරෙන් ඉවත්ව යන්නේ පැදුරටත් නොකියා බව ඔවුන් ඉවත්ව ගිය ආකාරයෙන් පෙන්වයි. (ඔවුන් බලයේ සිටීමට අසාර්ථක කුමන්ත්‍රණයක් කළා හෝ නොකළා) ඔහුගේ නික්ම යාම රජෙකුට තබා සාමාන්‍ය ආයතනයක ප්‍රධානියෙකුටවත් නොහොබිනා අයුරකි. ඔහු බලය අතහැර ඉවත්ව යන්නේ තමාගේ පරාජයෙන් පසු එයට මූණ දීමට ආත්ම ශක්තියක් නැති මිනිසෙකු ලෙසයි. රටක සැබෑ නායකයෙකු නම් ඔහු කළයුතුව ඇත්තේ, තිබුනේ ලද ජයග්‍රහණය ගැන මෛත්‍රීපාල මහතාට සුභ පතා ආචාර කර තමා අත තිබූ පදවියේ වගකීම් ඔහුට මහත්මයෙකු ලෙස භාර දී ජනතාවටද තමාගේ පරාජය ගැන කතාකර සමුගැනීමයි. නමුත් ඔහු පැන යන්නේ නීච අයුරිනි. එසේ ගොස් ගිය වහාම තමා පැරදුනේ නැති බවකට විගඩම් ප්‍රකාශ කරමින් රටතුල ජාතිවාදය අවුස්සවන ප්‍රකාශයන් එකක් පසුපස එකක් ලෙස කිරීම අරඹයි. එක අතකින් ඔහු මෙයින් පෙන්වන්නේ තමා ලංකා භූමියේ වාසය කරන විවිධ ජන කණ්ඩායම් පිලි නොගන්නා බවයි. ඔහුගේ එම ප්‍රකාශයන් තුල අඩංගු වන්නේ ආත්ම ශක්තියක් නැති බෙලහීන බව පමනි. අඩුම තරමින් ඔහුගේම පලි ගැනීමට පාත්‍ර වූ වරක් ඔහුගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා සහ හිටපු අග්‍රවිනිශ්චයකාරවරිය ශිරාණි බණ්ඩාරනායකගෙන් ඔහුට යමක් ඉගෙන ගැනීමට ඉඩ තිබුනි. ඔවුනගේ සියලු බලතල ඉවත් කර නින්දා අපහාසයට පත්කළ අවස්ථාවන්හිදී ඔවුන් දෙදෙනාම ඉතාමත් ශක්තිමත් ආත්ම ශක්තියකින් හෙබි මිනිසුන් ලෙස හැසිරුණු ආකාරයෙන් වත් ඉගන ගැනීමට තරම් මහින්දට බුද්ධියක් හෝ නිහතමානීත්වයක් නොතිබුනි. ඒ ඔහු ඒ තරමටම බෙලහීන මිනිසෙකු නිසාවෙනි.

ඉන්පසු ඔහු චිට් මන්ත්‍රීකමකින් මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට ඒමට කරන වෑයම, එතුල බලය පෙරලීමට කරන උත්සාහය නින්දා සහගතය. ඒවා අසාර්ථක වූ තැන තමා තම පක්ෂයේ සභාපතිකම දිගින් දිගටම පවත්වා ගැනීමට උත්සාහ කළා වුවත් අවසානයේදී තත්වයන් බලකර සිටින බැවින් ඔහු පවසන්නේ සභාපතිකම මෛත්‍රීට ප්‍රදානය කරන බවයි. නමුත් අවසානයේ පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන විට මෛත්‍රීට සභාපතිකම පිලිගැන්වීමට ඔහු නොපැමිණෙන්නේ එවැනි දේකටවත් ආත්ම ශක්තියක් නැති දුබලයෙකු බව පිළිබිඹු කරමිනි. අඩුම තරමින් තම පක්ෂ මධ්‍යම කාරක සභාව තුලදී පක්ෂයේ නායකත්වය භාරදීමට පැමිණීමට තරම් වත් ආත්ම ශක්තියක් ඔහුට නොමැත. වන්දි භට්ටයන් රජතුමාණෝ නැතිනම් අපේ රජු ලෙස ආවඩනු ලැබුවේ මෙවැනි දුබලයෙකුටයි. රටක් පාලනය කරනු ලැබුවේ (ඇත්තෙන්ම කාබාසිනියා කරනු ලැබුවේ) මේ මිනිසායි.

ඉතින් මෙයින් වත් අනාගත නායකයින් මෙන්ම මේ රටේ ජනතාවත් ඉගන ගනු ඇතැයි මම සිතමි. ඒවාගේම මම පතමි. මුලින්ම මේවායින් ඉගන ගැනීමට ඇත්තේ අලුතින් තේරී පත්වූ මෛත්‍රී ජනාධිපතිවරයාටයි. ඊළඟ රනිල්ටයි. නමුත් මහින්ද නැටුවා මෙන් දේශපාලන නායකයන් මෙවැනි මලපෙරේත නාඩගම් නැටීමෙන් වලකා ගැනීමේ වගකීම සහ අයිතිය පූර්ණ වශයෙන්ම ඇත්තේ පුරවැසියාටයි. පුරවැසියා නින්දේ නම් නායකයින්ගේ පිස්සු කෙලීම නතර කළ නොහැක.

අවසානයේ මා මෙසේ ලියමි. ඕනෑම මෝඩයෙකු බලයට පත්විය හැක. බලය ලබා ගත හැක. නමුත් බලය නිසිලෙස පරිහරණය කර නිසි මොහොතේ එම බලය අතහැර යා හැක්කේ ඥානවන්තයෙකුට පමණි


රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi

Share on Google Plus