පරහක් ඇති පරිවර්තනයක්.


‘‘ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය’’ – රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්)

මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙල අපේ හිතට හරි මදි. ඒ තරමට එය, රාජපක්ෂ ශෛලියට නෑකම් කියයි.

ශිරානී බණ්ඩාරනායකව අවනීතික දෝෂාභියෝගයක් හරහා ඉවත් කිරීමෙන් පසු රාජපක්ෂලා කළ යුතුව තිබුණේ, වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් හෝ යම් ස්වාධීනත්වයක් සහිත වෙනත් නීති විශාරදයෙකුගෙන් ඒ පුරප්පාඩුව පිරවීමයි. ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ, රාජපක්ෂ ගැත්තෙකු සේ කුප‍්‍රකටව සිටි, මොහාන් පීරිස්වයි. එසේ කිරීමෙන් ඔවුන් පැහැදිළිවම පෙන්නුම් කෙළේ, ඔවුන්ගේ ශ‍්‍රී ලංකාව තුළ අධිකරණයෙන් ඔවුන් බලාපොරොත්තු වන පක්ෂග‍්‍රාහීත්වය සහ යටහත් පහත් භාවයයි.

පීරිස් මහතා තමාගේ හාම්පුතුන්ගේ ඒ අපේක්ෂා බින්දේ නැත. ඔහු කටයුතු කෙළේ ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා වශයෙන් නොව, රාජපක්ෂලාගේ අගවිනිසුරුවරයා වශයෙනි. එම කැරැට්ටුව සහිතව, මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වෙමින් පැවති දා පාන්දර ඔහු අරලියගහ මැදුරේ සිටීම මවිතයට කාරණයක් නොවුණි.

‘අගවිනිසුරුවරයෙකු’ වශයෙන් ඔහු, ඊට කලින් සිටි සරත් නන්ද සිල්වාව අවංක සහ විශ්වසනීය කෙනෙකු බවට පත්කළ තරමි. එයම, විශාල අරුමයකි.

පීරිස් මහතාට ගෞරවාන්විතව ඉල්ලා අස්වීමට තිබුණි. එහෙත් ඔහු එසේ කෙළේ නැත. කල් තියා සැලසුම් කළ ප‍්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා තවත් දෝෂාභියෝගයක් මොහාන් පීරිස්ව ඉවත් කර ගැනීම සඳහාත් ඇටෙව්වේ නම් ඒ සමස්ත ක‍්‍රියාවලියම ගඳ ගහන සරදමක් වන්නට තිබුණි.

දැන් ඔහුව ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පාවිච්චි කළ නෛතික රීත්‍යානුකූලත්වය තුළ සමහර විට වලංගු තර්කයක් තිබිය හැකිය. එහෙත් එතරම් අත්තනොමතික සේ නොපෙනෙන පරිදි, බලය අනිසි ලෙස භාවිත වීමක් එතරම් ප‍්‍රදර්ශනය නොකෙරෙන පරිදි එය කළ හැකිව තිබුණි. අඩු වශයෙන්, තමන් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නත්, ඊට හේතු කවරේද යන්නත්, කලින් පාර්ලිමේන්තුවට දැනුම් දීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබුණි. ඇතැම් විට, පාර්ලිමේන්තු අනුමැතිය සහ අධිකරණයේ අවසරය පැතිය හැකිව තිබුණි. එවැනි ක‍්‍රියාවන් වුව හුදෙක් ප‍්‍රදර්ශනාත්මක විජ්ජාවන්ට වැඩි දෙයක් නොවිය හැකි වෙතත්, එවැනි ක‍්‍රියාවලියක් නොතිබීම නිසා සිදුවන්නේ, විධායක බලයත්, දේශපාලනික හයියත් අනිසි ලෙස උපයෝගී කර ගත් බවට චිත‍්‍රයක් ඇඳී යාමයි.

පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි විසින් කෙළේ යැයි කියන චන්ඩි කම නිසා ඒ සමස්ත චිත‍්‍රය තවත් අවලස්සණ වුණි. තමාට අසාද් සාලි තර්ජනය කළ බවට මොහාන් පීරිස් පොලීසියට පැමිණිලි කොට තිබේ. එම පැමිණිල්ල අපක්ෂපාතීව සහ ඉක්මණින් විභාග කොට බැලිය යුතු අතර එහි යම් ඇත්තක් ඇත්නම් අසාද් සාලිව නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ. පීරිස් මහතා පිළිකුල් සහගත අගවිනිසුරුවරයෙකු බව ඇත්ත. එහෙත් ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ඔහුට ලැබිය යුතු ආරක්ෂාව සැපයිය නොහැකි නෛතික ක‍්‍රමයක්, පීරිස්ට හෝ ඔහුගේ රාජපක්ෂ හාම්පුතුන්ට වඩා යහපත් ක‍්‍රමයක් වන්නේ නැත.

දේශපාලනික පාප ක‍්‍රියාවන්හි අඳුරු සෙවනැලි බොහෝ ඈතට විහිදෙයි. පසුගිය දිනවල දිග හැරුණු නපුරු සෙල්ලමේ පළමු වටය දිග හැරුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ජනාධිපති ධුර කාලයේ ය. තමාට පහසුවෙන් හැසිරවිය හැකි අධිකරණයක් පිළිබඳ ආශාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප‍්‍රනාන්දුව නොතකා හල ඈ තමාගේ සුරතල් තේරීම වශයෙන් සරත් එන්. සිල්වා ඒ තනතුරට පත්කළාය. රාජ්‍යයේත්, ආණ්ඩුවේත් අනිසි බලයේ ගොදුරු බවට පත්වූ පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැක දීමට මාක් ප‍්‍රනාන්දු විනිසුරුවරයෙකු වශයෙන් විශාල මෙහෙවරක් කර තිබුණි. ඔහු අදීනයෙකි. විශිෂ්ට උගතෙකි. නිර්භය විනිසුරුවරයෙකි. ඔහුගේ ඒ කීර්තිමත් අධිකරණමය චරිතයට එරෙහි කිසිවක් ගෙන ඒමේ නොහැකියාව තුළ, ඔහුගේ ආගම (කතෝලික) රටේ අගවිනිසුරු ධුරයට ‘නොගැළපෙන’ බවට එදා බලධාරීන් තර්ක කළ බව කියැවේ. ඒ අයුක්තිය සහ අසාධාරණයෙන් ගොඩඒමට අපේ අධිකරණයට කිසි දවසක නොහැකි විය. (උත්ප‍්‍රාසය වන්නේ, ඊට වසර කිහිපයකට පසු, අගමැති ධුරයට මහින්ද රාජපක්ෂව ඔසවා තැබීම සඳහා මේ ‘ආගමික’ තර්කයම, ඔහුට වඩා එම තනතුරට අත්‍යන්තයෙන්ම සුදුස්සෙකු වූ ලක්ෂමන් කදිරිගාමර්ට එරෙහිව එදා ජාතික හෙළ උරුමය විසින් පාවිච්චි කරනු ලැබීමයි).

නවතමයෙන් පත්කෙරුණු අගවිනිසුරුවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ය. මේ අතිශය අඳුරු රංගනය තුළ පෙනෙන්ට ඇති එකම සහනය එයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසුරු ධුරය පැවරිය යුතුය යන්න ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ යුතුව තිබේ. එවැනි ව්‍යවස්ථාමය නියමයක් සමග ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කරන්නේ නම්, විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් අධිකරණයට කරන ඇඟිලි ගැසීමේ නරක පුරුද්ද නතර කළ හැකි වන්නේය.

මොහාන් පීරිස්ව ඉවත් කරනු ලැබූ ආකාරය, තවත් මාරක පූර්වාදර්ශයක් විය යුතු නැත. එසේ වීම වැළැක්විය හැක්කේ, (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර) බල විභේදනය, පුනර්ජීවනය කොට, ශක්තිමත් කළ හැකි ආකාරයේ නව ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කර ගැනීම හරහා ය.

අගමැති-ජනපතිවාදය

රාජපක්ෂ ව්‍යාපෘතියේ පැවති විශේෂ ස්වභාවය නිසාම, රාජපක්ෂ පවුල් පාලනයෙන් සාමාන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට නැවත පැමිණීම සංකීර්ණ කටයුත්තක් වී තිබේ. සහෝදරයන්ගේ ඉලක්කය වුණේම, ලාංකේය රාජ්‍යය, පරවේණිගත රදළ ක‍්‍රමයක් බවට පත්කර ගැනීමයි. ඒ අනුව, හමුදාවේ සිට අධිකරණය දක්වාත්, නිලධර තන්ත‍්‍රයේ සිට රටේ ආර්ථිකය දක්වාත් වන සෑම සියලූ දෙයක් මතටම පවුල්වාදී අධිකාරය පැනවීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත.

මේ නිසා, ශ‍්‍රී ලංකාව අද මුහුණදෙන අත්දැකීම, හුදෙක් එක් ආණ්ඩුවකින් තවත් ආණ්ඩුවකට මාරු වීමක් පමණක්ම නොවේ. ‘ජාතික විධායක සභාව’, ඒ සුවිශේෂී තත්වය මත බිහි වූ නව අත්හදාබැලීමකි. එම ව්‍යුහය තුළ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජාතික හෙළ උරුමය එකට වැඩ කිරීමට තරම් යම් පරිණත භාවයක් දැක්වීම, මීට මාස කිහිපයකට පෙර හිතා ගැනීමටවත් නොහැකි වූ දෙයකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආන්දෝලනාත්මක දේශපාලඥයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම, ‘තව මාස තුන හමාරකින් මේ රටේ මහින්ද රාජපක්ෂ යුගයක් බිහි කරන’ බව පසුගිය දා ප‍්‍රකාශ කොට තිබුණි. එම ප‍්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ, රාජපක්ෂලාගේ අතිජාත නෑහිතමිතුරන් මහින්ද රාජපක්ෂව නැවත බලයට ගෙන ඒමට කැසකවන ආකාරයයි. එවැන්නක් වළක්වාලීම, හිටපු ‘පොදු විපක්ෂයට’ පමණක් නොව, පශ්චාත්-රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යහපතක්ම වන්නේය. ඒ නිසා නව විපක්ෂ නායකවරයාවත් ‘ජාතික විධායක සභාවට’ අනුයුක්ත කරගත යුතු අතර, ඒ ආකාරයෙන් එම සභාවට වඩාත් පුළුල් නියෝජනත්වයක් ලබා දෙමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ/එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින රාජපක්ෂවාදී හැකරයන්ව හුදෙකලා කළ යුතුව තිබේ.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට ද්විත්ව-විධායක ක‍්‍රමයක් ඇති කිරීමට ‘ජාතික විධායක සභාව’ එකඟත්වයකට පැමිණ ඇත. ඒ ගැන වැඩි විස්තර තවම ප‍්‍රකාශයට පත්ව නැතත්, එම අළුත් වැඩපිළිවෙල, ජනපති-පාර්ලිමේන්තු ක‍්‍රමයකට වඩා, අගමැති-ජනපති ක‍්‍රමයකට වැඩි බරක් දක්වන බව පෙනේ. අගමැති-ජනපති ක‍්‍රමයකින් අදහස් වන්නේ, අගමැති සහ කැබිනට් මණ්ඩලය, මුළුමණින්ම පාර්ලිමේන්තුවට වගකිව යුතු බවයි. එසේම, ජනාධිපතිවරයා සතු බොහෝ බලතල ද ඒ මගින් අවම කෙරේ. එවැනි ක‍්‍රමයක් තුළ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බෙදා හැරෙන විධායක බලය සමග ස්වාධීන කොමිෂන් සභා ද ක‍්‍රියාත්මක වන විට, වඩාත් ශක්තිමත් ආකාරයකින් (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර) බල විභේදනය ස්ථාපිත වන අතර, ආණ්ඩුකරණය කෙරෙහි සැබෑ හඬක් නැගීමේ අවස්ථාව ද විපක්ෂයට ලැබෙනු ඇත. ඒ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංයෝගය තුළට මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතකුත් ඇතුළත් කර ගත් විට ඇති වන පාලන ක‍්‍රම ව්‍යුහය තුළ, බලයට කෑදර දේශපාලඥයන්ගේ විකාර උන්නතිකාමයන් බරපතල ආකාරයකින් සීමා කළ හැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේනට හැකි වුණේ ආර්ථික කරුණු පෙරදැරිවයි. ඒ නිසා, නැවත රාජපක්ෂගේ පැමිණීමක් වළක්වාලීමට නම් සාමාන්‍ය ජනතාවගේ ආර්ථික අවශ්‍යතා කෙරෙහි නව රජය සංවේදී වීම අත්‍යාවශ්‍ය කෙරේ. මේ දක්වා නව ආණ්ඩුව ක‍්‍රියා කොට ඇති ආකාරය තුළ, තමන්ගේ ජීවන තත්වයන් පිළිබඳ අපේක්ෂා දල්වා ගැනීමට හැකියාවක් පොදු ජනතාවට ලැබී තිබේ.

රාජපක්ෂලා විසින් රාජ්‍ය සම්පත් සහ බලය අපහරණය කරන ලද ආකාරය, මේ රටේ සාමාන්‍ය ජනතාවට, විශේෂයෙන් බහුතර ජනතාවට අවබෝධ කර දිය යුතුව තිබේ. එහෙත්, වැඩදායක වන්නේ, රේස් කාර් සහ මුහුදු අහස්යානා ගැන එහෙන් මෙහෙන් කෑගහනවාට වඩා, රාජපක්ෂලාගේ බල අපහරණය වඩාත් විධිමත් ආකාරයකින් සහ නීතිමය ආකාරයකින් නිරාවරණය කර ගැනීමයි.

කරන ලද අපරාධවලින් ගැලවී යාමට ඉඩ දිය යුතු නැත. එහෙත් මෙවැනි ඉස්පාසුවක් නැති මොහොතක, යුක්තිය ඉල්ලා සිටීම සහ පළිගැනීම අතර සීමා ඉර ඉතා තුනී වන්නේය. තමන්ගේ අනුගාමිකයන් එම සීමාව පනින්නේ නැති බවට නව නායකයන් වගබලාගත යුතුව තිබේ. නීති ප‍්‍රකාරව දඬුවම් කිරීම වෙනුවට අයාලේ දඩයම් කිරීම, යහපාලනයට සහ බුද්ධිමත් ආණ්ඩුකරණයට පටහැනි ය.

යුක්තිය ඉල්ලා මොර දීම සමග දයාව, ප‍්‍රයෝගිකත්වය සහ සිහිබුද්ධිය ද මුසු කළ යුතුව තිබේ. ප‍්‍රාණත්‍යාගී විරුවන්ගේ සළුපිළිවලින් (අසාධාරණ පළිගැනීමට ලක්වූවන්ගේ සළුපිළිවලින්) රාජපක්ෂලා හැඩවැඩ වුණොත් එය නරක ආදර්ශයකි. කිරීමට තැත් කෙළේ යැයි කියන කුමන්ත‍්‍රණයක් පිළිබඳ චෝදනා, ඊට අදාළ ලිඛිත නියෝග නැති තත්වයක් තුළ, නීතිමය පදනමක් සහිත ශක්තිමත් චෝදනාවන් නොවනු ඇත. එහෙත් මැතිවරණය සඳහා බස් රථ, හෙලිකොප්ටර් සහ මාධ්‍ය වෙනුවෙන් රාජපක්ෂලා වියදම් කොට ඇති කෙලකෝටි ගණන් මහජන මුදල් ගැන ඔවුන්ට ගැලවීමක් තිබිය නොහැක.

තිසරණී ගුණසේකර

*2015 ජනවාරි 29 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A Checkered Transition නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Share on Google Plus