ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය


රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය ලබාදෙනු ලැබේ. ලංකාව වැනි රටක නම් මහජනයා බෙහෝ විට මෙම මැතිවරණයෙන් පසු නැවත මැතිවරණයක් එනතුරු කිසිම අයුරකින් දේශපාලනයකට යොමු නොවන අතර කරන එකම දෙය වන්නේ අප්‍රසිද්ධියේ ඉමක් කොණක් නැතිව බැණීම සහ දෙස් දෙවොල් තැබීමයි. මේ ලංකාවේ ඡන්ද දායකයාගේ තත්වයයි. ඊළඟ ඡන්දයේදීද මොවුන් කරනුයේ පෙර වතාවේ මෙන්ම තම කතිරය තුලින් පක්ෂයක් බලයට පත්කර තම උමවනා එපාකම් ඉටුකර සමාජ ප්‍රශ්න එම පක්ෂය විසින් විසදන තුරු බලා සිටීමයි. බලයට පැමිණි අය එය ඉටු නොකරන බව දකිද්දී ඔවුන් නැවත කලකිරීම මුල් කරගෙන බැණීමට, ආඩපාලි කියන තත්වයට පත්වේ.

ලංකාවට සර්වජන ඡන්ද ක්‍රමය ඇතුලු කෙරෙන්නේ ඉතිහාසීය අහම්බයක් ලෙසිනි. එසේ නැතිව ලාංකීය ජනයා මෙම අයිතීන් ඉල්ලා සටන් කිරීමේ හේතුවක් නිසාවෙන් නොවේ. යුරෝපයේ අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු යුරෝපයේ ඇතිවන වෙනස්කම්වලින් කොටසක් ඔවුනගේ යටත් විජිතයන්හිද ඇති වීමට හේතු වේ. ලංකාවේ ප්‍රභූන්ට එරෙහිව ලංකා ජනයා කළ අරගල හේතු කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ලැබීමක් අප සමාජය දන්නේ හෝ හුරු වී හෝ නොමැත. (ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පලමු අරගලය සිදුවන්නේ 1971 අප්‍රේල් අරගලය ලෙස බව මගේ වැටහීමයි. නමුත් මෙහි ඇති ඛේදය වන්නේ මේ අරගලකරුවන් තමන් සටන් වදින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවම අයිතීන් දිනා ගැනීම සඳහා බව නොදැන සිටීම වන අතර ඔවුන් සිතා සිටියේ තමාගේ අරගලය සමාජවාදී සමාජයක් සඳහා කරන අරගලයක් ලෙසයි. ඒ ඇයි යන්න වෙනම සාකච්ඡා කළ යුතුයි)

කෙසේ වුවත් ලංකාවේ ප්‍රභූන්ට හුරුවී තිබුනේ තම යටත් වැසියනට උඩු කය වැසීමටවත් අවසර නොදෙන, තමන් ඉදිරියට එන ඔවුන් දෙපයින් නොව දණ බිම ඇන හතරගාතෙන් ආයුතු, තමන් සමග කතා කරන යටත් වැසියා දෑස් උස්සා තම මූණ නොබලා කතා කළ යුතු බියකින් යටහත් පහත් භාවයකින් තමා සමග ගණුදෙනු කළ යුතු බවකටය. අධිරාජ්‍යවාදී, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගත්තායින් පසුව මේ ප්‍රභූන්ගෙන් කොටසක් ඔවුන් සමග සහයෝගයෙන් ක්‍රියා කරන අතර එතුලින් ඔවුන්ද බලයේ කොටස් කරුවන් වනු ලබති. නමුත් ඔවුන් මේ අධිරාජ්‍යවාදීන් සමග එක්ව බලයේ කොටස් කරුවන් වූවාට අධිරාජ්‍යවාදී මව් සමාජය තුල සිදුවන වෙනස බලපාමින් ලංකාව වැනි යටත් විජිතවල සමාජය, යටත් වැසියා ලබන නිදහස (පුද්ගල) මේ ප්‍රභූන්ට නොවැටහේ. නැතිනම් ඔවුන් තුල ඒ දියුණුව ඇති නොවෙති. එනිසා කළ හැකි වෙනත් යමක් නැති නිසා ඔවුන් මේ පුද්ගල නිදහස ඉදිරියේ කරබා ගත්තා වුවත් ඔවුන් එය වටහා ගෙන ඔවුන් තුල ඇතිවූ වෙනස් තත්වය තුල එය සිදුවීමක් නොවීමේ විපාක පසුකල (නිදහසින් පසු ලංකාව මේ වනතුරුම) අත්විඳිමින් සිටිති.

අපට සර්වජන ඡන්ද බලය හිමිකර දෙමින් ‘සමාජයේ සියළුම වැසියන් එක සමානය’ යන මතය සමාජ ගත කර (ඊට ප්‍රථම ලංකා වැසියන් සිතුවේ ප්‍රභූන් සහ ජනයා අතර සමාන බවක් නැති බවයි. එමෙන්ම කුල සහ වෙනත් නිල තානාන්තරයන් අනුවද සමාජයේ පඩිපෙලක් ලෙස අයිතීන් පෙල ගැසී තිබෙන මට්ටමකය.) හැම අයෙකුටම අධ්‍යාපනයේ ඇති ඉඩකඩ විවරකරනු ලැබීමත් ඉන්පසු ලංකාවට නිදහස ලබාදී එය ස්වදේශිකයන්ටම පාලනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙනු ලැබීය. මේවන විටත් ලංකා දේශපාලනයට අත ගසා සිටි ප්‍රභූන් දේශපාලන පක්ෂ තුල සංවිධානය වී සිටියහ. ආරම්භයේ සිටම මේ පක්ෂයන්හි අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාය තිබූ බවක් දැකිය නොහැක. අනෙක් අතට මේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ බලය තම අතට ගැනීම මිස ජනතාවගේ ප්‍රශ්න විසදීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් රටතුල ශක්තිමත් කිරීම නොවේ.

රටතුල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුව ඡන්දයක් සහ අධ්‍යාපනයක් සඳහා අවකාශ ඇතිකර තිබුනා වුවත් සමාජ සබඳතාවයන් පැවතුනේ වෙනත් තලයකිනි. කුඩා හෝ ප්‍රභූන්ට එතුමා, මෙතුමා, උතුමා, හාමුදුරුවො, හාමු මහත්තයා, නිලමේ, මහත්තැන්, හාන්දුරුවො, ලමාතැනී ආදී මෙකී නොකී බොහෝ ගරුනාමය ඇතුව ආමන්ත්‍රණය කෙරුණි. ඒ අතරම මේ කුඩාම ප්‍රභූන් වුවද වැසියා ඇමතුවේ තෝ, බොල, වර, පල, කුඩ්ඩා, රදවා යන නොයෙක් අන්වර්ථ පහත් කිරීම් තුලිනි. අධිපතීන් යටත් වැසියාට සැලකීම අතපල්ලෙන් වැටුන එකෙකුට මෙන් වීමත්, තම ඇතැති හැර මිටියෙන් පහර දීමත් ඉතා සාමාන්‍ය දේ විය. මේ නිදහස ලබන ලංකා සමාජය තිබූ අයුරුයි.

එක අතකින් සමානයන් ලෙස සර්වජන ඡන්ද බලය සහ පාසැල් අධ්‍යාපනයකට හිමි කම් කියන අතර අනෙක් අතින් අධිපතීන්ගේ ගස්ගෙඩි කඩන, ආවතේව කරන, ඕනෑම සැරටි පහරට ලක්වන බැලයන් ලෙස ජීවත් වන තත්වයක් සමාජය තුල පැවතුණි. මෙම තත්වය වෙනස් කිරීමට නම් රටේ දේශපාලන බලය හිමි අය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් වෙත සමාජය ගමන් කර විය යුතුව පැවතුණි. නමුත් ඒ වෙනුවට සිදු වන්නේ එයට හාත් පසින්ම විරුද්ධ දෙය වන ඒ වන විට සුදු අධිරාජ්‍යවාදීන් ලංකා වැසියාට ලබා දී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද එකින් එක කප්පාදු කරමින් ක්‍රම ක්‍රමයෙන් ලංකා සමාජය පෙර හුරු අධිපතියා සහ බැලයා වෙතට ගමන් කරවීමයි.

ලංකාවේ මෙසේ නිදහසින් පසු බලය ගත් අයට ප්‍රජාතන්ත්‍රවාදය දෙසට බලය ගමන් කිරීමට නොහැකි වීමට ඇති එක ප්‍රධානම හේතුවක් වන්නේ මේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හදුනාගෙන නොතිබීමයි. ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් මිස ඉන් එහා ගිය ක්‍රියාදාමයක් නොවීය. ලංකාවේ බිහිවී ඇති ප්‍රධානම පක්ෂ සෑම එකකම පාහේ පක්ෂ ආකෘතිය බටහිරින් අනුකරණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී බවක ඇතත් එම ආකෘතිය ක්‍රියාත්මක කරවීමේදී ලාංකිකයාට අධිරාජ්‍යවාදීන් අපව යටත් කර ගැනීමට පෙර පැවති සමාජ ආකෘතියට අනුවම පක්ෂ අභ්‍යන්තරය ක්‍රියාත්මක කරවනු ලබති. ලංකාවේ වැසියාටද එය ඒ ආකාරයෙන්ම බලපවත්වයි. ඔවුන්ද සමාජය තුල පැවති පැරණි ආධිපත්‍ය ක්‍රමයටම ආවඩන අතර පැරණි වැඩවසම් සමාජය තුල තිබූ හර පද්ධතීන් ගැන ගුණ වර්ණා කරමින් ඒවා තුලම ගිලී සිටීමට ගිජු වෙති. එනිසාම බලය ගත් අය තම සිතැඟි අනුව සමාජය බැටළු රූණක් මෙන් මෙහෙයවීමට සූදානම් වේ.

ලංකාවේ ඇති පක්ෂ (ඉතා සුළුතරයක් හැර) එක්කෝ වැඩවසම් ආධිපත්‍යවාදී පක්ෂ ලෙස ක්‍රියාත්මක වන නවීන පක්ෂ ව්‍යුහ මත සකසා ඇති පක්ෂ වන අතර අනෙක්වා ඒකාධිපති පක්ෂ වේ. මේ තත්වය මත සර්වජන ඡන්දයකට ඉදිරිපත් වන්නේ මේ පක්ෂවලින් නම් කරන නියෝජිතයන් වන අතර බලය හිමි වන්නේ මේ පක්ෂවලින් එකකට හෝ සන්ධානයකටය. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියෝජිතයින් ලෙස තෝරා පත්කර ගන්නේ මොවුන් අතරින් කොටසකි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහසක් හෝ භාවිතයක් නැති පක්ෂයකට, ඒවායේ සාමාජිකයන්ට සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දෙසට ගමන් කර විය හැකිද? මෙය අප මුහුණ දී ඇති ප්‍රධානම ප්‍රශ්නයකි.

මෙවර බල පෙරලියේදී මහින්ද රෙජීමයේ දූෂණ, බල අපයෝජනය, අවනීතිය ක්‍රියාත්මකවීම ආදී කාරණා ගැන ඉතා විශාලව කතාවට ගැණුනි. මේ තුල පෙන්නුම් කරනු ලැබුවේ ලංකා සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉල්ලීමක් සහ නැඹුරුවක් ඇතිබවට පිළිඹිබුවකි. දැන් බලය මාරු වී ඇත. නමුත් බලය මාරු වූ රටේ දේශපාලනය කිරීමට සිටිනුයේද අර පැරණි පක්ෂමය. ඒවායේ මිනිසුන්මය. ඔවුන් දන්නේ පැරණි පිලිවෙතම බව අඩු වැඩිවශයෙන් ඒ අයුරින්ම පවතී. එසේනම් අප හමුවේ ඇත්තේ විශාල අභියෝගයකි.

අද වන විට සමාජය තුලත් මේ පක්ෂතුලමත් ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගය මිලාන වී යාමට ඉඩ නොදී ඒ සඳහා ඇති උවමනාව සහ උද්යෝගය දිගින් දිගටම පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුය. ඒ වෙනුවෙන් ක්‍රමවේද ඇතිකරගෙන බලය ලත් අයට බලපෑම් කළ යුතුව ඇත. කතිරය අපේ ප්‍රශ්නය විසදනු ඇතැයි සිතා සිටීනම් එය සිහිනයක් වනු නොඅනුමානය. පුරවැසියන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු කර ගැනීමට දේශපාලන බලවේගයන් පෙල ගස්වා එම අයිතීන් දිනා ගන්නා තුරු ඒවා මෙහෙයවිය යුතුව ඇත. වැරදි පුද්ගලයින්ට දේශපාලන තානාන්තර දීමට එරෙහිව උද්ඝෝෂණ නොකරන්නේ නම් නැවත තිබුන තත්වයම අපට හිමිවනු ඇත. වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙන එන තුරු උද්ඝෝෂණයන් නොකරන්නේ නම් ඔවුන් කාලය සමග සැඟවී ගොස් වෙනස් ස්වරූපයකින් නැවත බලය අපයෝජනය කරනු ඇත. නීතිය මත පාලනය ඇති කිරීමට ක්‍රමවේදයන් සෑම ආයතනයකම, සෑම බලාධිකාරයකම ඇති කිරීමට බලපෑම් නොකරන්නේ නම් අවනීතිය නැවත රජ කරනු ඇත. දූෂිතයන් ඡන්ද නාමලේඛණයට ඇතුළත් නොකරන ලෙස සියළුම පක්ෂවලට බලපෑම් කළ යුතුය. දූෂිතයන් නාමලේඛණයට අතුලත් කරන පක්ෂවලට පවා ඡන්දය දීමෙන් වැලකී සිටිය යුතුය. මෙසේ විවිධ පැතිවලින් පුරවැසියන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් නොනවතින අරගලයක නොයෙදේනම් දුමින්දලා වෙනුවට රෙනෝලා නැවත ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත්වනු ඇත.

රංජිත් හේනායකආච්චි | Ranjith Henayakaarchchi
Vikalapa


Powered by Blogger.