ගුණරත්නම්ට එරෙහිව වීම සහ නහය කපා ගැනීම


කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණියේ ජනවාරි පළමුවැනිදාය. ආගමන විගමන නීතියට අනුව නම් ජනවාරි 31 වැනිදා යළිත් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත් විය යුතුය. එහෙත්, යළිත් ඕස්ටේ‍්‍රලියාවට නොගොස් මෙරට රැඳී සිටීමට හෙවත් ආගමන විගමන නීතිවලට අභියෝග කිරීමට ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබෙන බව පෙනෙන්නට තිබේ. නීතියට අභියෝග කරන දෙපිරිසක් සිටිති. එක් පිරිසක් නීතියෙන් පලා යන්නන්ය. අනෙක් පිරිස දේශපාලනය කරන්නන්ය. ගුණරත්නම් මෙහි දෙවැනි ඛාණ්ඩයට අයත් වේ. නීති වෙනස් කිරීමේ ශක්තිය ඇත්තේ ඔවුන්ටය.


ගුණරත්නම් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි තීරණයක් ගෙන සිටින විට එම තීරණය සමඟ ගැටෙන පිරිසක්ද සිටිති. ගුණරත්නම් ලංකාවේ දී ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇතැයි පැමිණිලි කර තිබුණේද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි. ඔවුන්ගෙන් බහුතරය වත්මන් මෛත‍්‍රීපාල ආණ්ඩුව සමඟ සමීප සබඳතා දක්වන්නන්ය. එහි හාස්‍යයක්ද තිබේ.


කුමාර් ගුණරත්නම් මීට ඉහත අවස්ථාකදී ලංකාවට පැමිණියේය. ඒ 2011 වසරේ දීය. ඔහු එවර පැමිණියේත් මෙවර පැමිණි නීතියම පාදක කර ගෙනය. ඒ අවස්ථාවේදී ඔහු ආවේ ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර බෙදීම ආසන්නයේය. මෙවර පැමිණි නීතියට අනුවම දිවයිනට පැමිණි ඔහු ජනඅරගල ව්‍යාපාරය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැඟීමේ කාර්යයට මැදිහත් විය. එලෙස රට තුළ දේශපාලනය කරමින් සිටියදී 2012 අපේ‍්‍රල් 7 වැනිදා ඔහු සහ දිමුතු ආටිගල පැහැර ගෙන යනු ලැබීය.


කුමාර් සහ දිමුතු නිදහස් කරන්නැයි ඒ අවස්ථාවේ විශාල සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිනි. ඒ මොහොතේ ආණ්ඩුව සමඟ සබඳකම් නොපැවැත්වූ කණ්ඩායම් අතරින් ගුණරත්නම්ලා නිදහස් කරන්නැයි හඬ නොනැඟුවේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. ජනතා විමුක්ති පෙරමුණ කළේ ‘අපි දන්න කුමාර කෙනෙක් නෑ. අනුර කුමාර කෙනෙක් නම් පක්ෂයේ ඉන්නවා’ යැයි කිය කියා යාම පමණි. එහෙත් වත්මන් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව ගුණරත්නම්ලා නිදහස් කරන්නැයි හඬ නැඟූහ. එහිදී ප‍්‍රධාන සටන් පාඨයක් වූයේ ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවයි.


පසුගිය ජනවාරි පළමුවැනිදා ගුණරත්නම් දිවයිනට පැමිණියේ කලින් පැමිණි නීති ප‍්‍රතිපාදනම යොදා ගෙනය. කලින් මෙන්ම දේශපාලනය කිරීමටය. ඔහු පැමිණ කළේද කලින් මෙන්ම දේශපාලනය කිරීමයි. වෙනසකට තිබුණේ කලින් මාධ්‍ය ඉදිරියට නොපැමිණි අතර මෙවර මාධ්‍ය ඉදිරියට පැමිණීමයි.


ගුණරත්නම්ට එරෙහි පළමු පැමිණිලි ඉදිරිපත් කෙරුණේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන පාර්ශ්වයකින්ම වීම ඇත්තෙන්ම හාස්‍යයජනකය. මුලින්ම මානව හිිමිකම් ක‍්‍රියාකාරියකු හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු වන නීතීඥ නාමල් රාජපක්ෂ ගුණරත්නම් අත්අඩංගුවට නොගන්නේමන්දැයි පැමිණිලි කළේය. ඉන් පසුව මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින රාවය පුවත්පත එම කටයුත්ත කළේය. තමන් කළ පැමිණිල්ල ගැන නාමල් රාජපක්ෂ පවසා තිබුණේ, ගුණරත්නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට හානිදායක ලෙස කතා කරන නිසා ඔහුට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි. රාවයද සිද්ධියට මැදිහත්වූ ඒ අර්ථයෙන් බව අපැහැදිලි නැත. මේ විරෝධය එම දෙපාර්ශ්වය අතහැර ඇති බව පෙනෙන්නට තිබුණත් තවමත් ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් පවත්වා ගෙන යනු ලබවයි. ඔවුන්ගේ ඍජු ප‍්‍රහාරයට ගොදුරු වී සිටින්නේ කුමාර් ගුණරත්නම්ය. ඔවුන් කියන්නේ ‘මහින්ද රාජපක්ෂගේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කිරීමට ආ ගුණරත්නම් ලංකාවෙන් එලවා දැමිය යුතුය, ඔහුට මෙරට දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුය’ කියාය.
මේ විරෝධය හඳුන්වා දිය හැක්කේ ඔවුන් විසින් තමන්ගේම නහය කපා ගනු ලැබීමකටය.


න්‍යායික වශයෙන් ගත් කල ඔවුන්ගේ විරෝධයට පදනමක් නැත. ගුණරත්නම්ට ලංකාවෙන් යාමට සිදු වූයේ පැවැති ආණ්ඩුවේ මර්දනය හා රාජ්‍ය ත‍්‍රස්තවාදය නිසාය. ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගැනීමට සිදු වූ තීරණ පවතින නීතියට අනුකූලව ගත්තේදැයි මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ප‍්‍රශ්න කරන්නේ නම් එය විහිළුවකි. මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ වගකීම වන්නේ පවතින නීතිය විසින්ද මර්දනය කැඳවා ඇති පුද්ගලයන් පවා ආරක්ෂා කර ගැනීම හා ඔවුන් ආරක්ෂා කළ හැකි පරිදි නීති වෙනස් කිරීමට මැදිහත්වීමයි. එසේ තිබියදී ගුණරත්නම් සම්බන්ධයෙන් ඔවුන් තමන්ගේ පදනම් ස්ථාවර අවුල් කර ගැනීම ගැටලූසහගතය.


ජීවිතාරක්ෂාව වෙනුවෙන් රටින් පැහැර වී විදේශයට පුරවැසියභාවය ලබාගත් පුද්ගලයකුට යළි රටට පැමිණීමට ක‍්‍රම දෙකක් තිබේ. එක් ක‍්‍රමයක් සංචාර වීසා මඟින් පැමිණීමයි. අනෙක් ක‍්‍රමය හොරෙන්, බෝට්ටුවකින් ගොඩබැසීමයි. මේ ක‍්‍රම දෙක හැර වෙනත් ක‍්‍රමයක් තිබේ නම් ඒ, ද්විත්ව පුරවැසිභාවය ලබා ගෙන පැමිණීමයි. එහෙත් ගුණරත්නම් ලංකාවට එවන අවස්ථාව වන විට ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම අත්හිටුවා තිබිණි. අනෙක් අතට ගුණරත්නම් ඉල්ලා සිටියේ ද්විත්ව පුරවැසිභාවය නොව ලංකාවේ පුරවැසිභාවයයි. ඒ සඳහා ඔහුගේ පැත්තෙන් සාධාරණ හේතු ගණනාවක් තිබේ. නෛතිකව ගත් කල ඔහුට ඊට සුදුසුකම් තිබේ. ඔහුගේ සීයා, පියා සහ ඔහු ලංකාවේ උපන්නෝය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ වන අතර ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් බැහැර වන අවස්ථාව වන තුරුම ලංකාවේ දේශපාලනය කළේය.


මේ කරුණු සැලකීමේදී මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්ගේ අවධානය යොමු විය යුත්තේ ගුණරත්නම් වැනි දේශපාලන හේතූන් මත ලංකාවෙන් බැහැරවීමට සිදු වූවන්ට යළිත් ලංකාවේ දේශපාලනය කිරීමට ඇති බාධා, අවහිරතා ඉවත් කිරීමට ගත හැකි පියවර කුමක්ද යන්නයි. ඒ වෙනුවට දේශපාලන හේතු නිසා රටින් බැහැරව ගිය අනෙක් අයගේ අයිතිය ආරක්ෂා කරන ගමන් ගුණරත්නම් කෙසේ හෝ එලවා දැමීමට උත්සාහ කරන්නේ නම් එය කුහකකමකි. මේ කරුණ වඩාත් අවධාරණය කළ යුතුව ඇත්තේ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් රැුසක් මේ මොහොතේ ආණ්ඩුව සමඟ සිටින අතර ඔවුන් ගුණරත්නම්ගේ ප‍්‍රශ්නය හමුවේ නිහඬව සිටින බැවිනි. ඒ අතරම ඔවුන්ගෙන් ඇතැමෙක් ගුණරත්නම් කෙසේ හෝ එලවා දැමීමට ගත හැකි පියවර ගනිමින් සිටින බැවිනි.


අවම වශයෙන් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඔහුගේ මැදිහත්වීම සම්බන්ධ යම් විවේචනයක් තිබේ නම් එය ඉදිරිපත් කරන තැනකට මේ ‘තමන්ටම විරුද්ධ වන්නන්’ පත් වන්නේ නම් එය රාජ්‍ය මර්දනය නිසා දේශපාලන අයිතිය අහිමි වූවන්ගේ හා හෙට දවසේ අහිමි වීමට නියමිතව සිටින්නන්ගේ සුබසිද්ධියට හේතු වනු ඇත.


ආර්. වී. ගමගේ


Powered by Blogger.