රාජපක්ෂගේ පාලන සමයේ විකාශය කෙරුණු තුලාව, ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද?


එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.

ඒ වූ කලී, රටේ පවතින නියම ගැටලු වල ස්වභාවය වඩාත් පැහැදිලි ලෙස මතුපිටට පැමිණෙමින් තිබේ. සමාජය නිතරම කැලතීමට ලක් විය යුතුය, එවිට පල්වන සමාජයක සිදුවන රොන්මඩ අඩියේ තැම්පත් වීම සහ කොල රොඩු මතුපිටට ඒම නවතින්නේය; යැයි ඇමෙරිකානු පාරසරික අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වූ එඩ්වර්ඩ් අබේ වරක් සඳහන් කළේය.

රටක සමාජ ව්‍යුහය දිරාගිය විට, එම රටේ සමාජය කැලතීමට වඩා එක තැන පල්වීමට මාන බලයි. විවාදයට වඩා අනෙකා අනුමත කිරීම සඳහා ප්‍රසස්ති ගී ගැයීමට කැමතිය. අනෙකා සමඟ තමන් සංසන්දනය කිරීමට කැමතිය. අනෙකාගේ අත්දැකීම් තමන්ටත් එලෙසම ඇති බව කිමට කැමතිය. මාගේ ආදරණීය පාඨකයින්ගෙන් සමාව ඉල්ලමින්, මෙවැනි දෑ භාෂාව තුළින් විවරණය කරගැනීමට විශ්වවිද්‍යාල සිසුන් අතර ඇති හැඳින්වීම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඔවුහු මෙවැනි දෑ හඳුන්වනු ලබන්නේ ගොන් ආතල් ගැනීම, යනුවෙනි. ගැටවරවියේ පසුවන ළමුන්ට මෙවැනි දෑ වීරත්වය පෙන්වන කටයුතු විය හැකිය. නමුත් ඇත්ත හමුවේ හිස් රඟපෑම්ය.

මෙවැනි දෑ සුලභ වන්නේ දිරාගිය සමාජයකය. මන්ද දිරාගිය සමාජයක නියම ලාභ ලබන්නා හෙවත් හූරා කන්නා අතරමැදියා වන හෙයිනි. එවැන්නෙකුට සමාජයක සැබෑ හරය වෙනස් කිරීමේ සැබෑ වුවමනාවක් නැත. ඇත්තේ මතුපිටින් පෙන්වන ව්‍යාජයක් පමණි. මන්ද පැවැත්ම රඳා පවතින්නේ තම ව්‍යාජය නඩත්තු කිරීමෙන් සහ ඊට එකතු කරණ හැඩතල වල ප්‍රමාණය මතය.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම හමුවේ සියුම්ව නිරීකෂණය කළ හැකි කාරණාද මේ හා සම්බන්ධ වේ. සමාජය කැලතීමට ලක් වී තිබේ. මෙය ඉතා හොඳය. ඇතැම් කාරනා විශේෂයෙන් අධිකරණය, සම්බන්ධයෙන් එහි කැලතීමේ දිශානතියද ඉතා හොඳය. නමුත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් එහි චලනය සැක සංකා මතු කරමින් තිබේ.

රාජපක්ෂ පාරාජය කිරීම වූ කලී යමෙකුගේ එකම අරමුණ වූ විට ඉන් ඉදිරියට උදාවෙන කාලය හමුවේ ඇති වන්නේ ඉබාගාතේ ඇවිදින – හිතූ මනාපෙට දොඩවන ස්වභාවයකට එම පුද්ගලයා තල්ලු වීමය. ජයග්‍රහණයේ සතුට මඟින් එය අසීමිතව භුක්ති විඳින්නා මත් වීමකට ලක් විය හැකියි යැයි කියන්නේ මේ නිසාය.

මෙය මාකොස්ගෙන් පසු පිලිපීනයේ සිදුවිය. එසේම ගඩාෆිගෙන් පසු ලිබියාවේ සිදුවෙමින් පවතී. ජෝන් ගැරන්ග්ගේ හදිසි අභාවයෙන් පසු දකුණු සුඩානයේ සිදු වෙමින් තිබේ. මේ ආකාරයෙන් රටවල් රැසක මෙවැනි දෑ සිදු වූවා සේම සිදු වෙමින් තිබේ.

බලාපොරොත්තු නොවූ මොහොතක පරාජය නොවන්නේ යැයි සැලකෙන සාධකයක් දිය වී ගොස් පරාජය වන විට ජයග්‍රාහකයාට ඇතිවන ප්‍රීතිය හමුවේ බුද්ධිමය වශයෙන් බරපතල හිස් බවක් ඇති වේ. එම හිස් බව සෑම විටම පිරවීමට මාන බලන්නේ අතීතය තුළ තමන්ගේ වෛරයට හේතු වූ සිදුවීම් ගැන මතකයට අනුව උපදින හැඟීම් වලිනි.

හොඳම උදාහරණය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ පළමු රූපවාහිනී වැඩසටහන මෙහෙයවූ වෘත්තීයෙන් පෞද්ගලික පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා හැසිරුණු ආකාරය සහ ඔහුගේ දෙඩවීමය.

රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රශ්න ඇසිය යුත්තේ බීර පානය කිරීමට ගොස් තම සගයෙකු සමඟ පෙරදා රාත්‍රියේ තමන් දුටු සිහින ගැන කතා කරණ විලාශයකින් නොවේ. එසේම සූත්තියක් ඉරීමෙන් රටේ “හොරුන්, තක්කඩියන්…. “ ආදී නොයෙක් අයවලුන් ගැන හිතු මනාපේ දෙඩවීමට ඇති ආශාව රාජ්‍ය නායකයෙකු ඉදිරියේ අත්හදා බැලීම එම සමස්ථ රටට කරණ අගෞරවයකි. පෞද්ගලික අශාවන් ජාතික ආශාවන් බවට පත්කර ගැනීමේ බරපතළම වන්දිය ගෙවනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාය. භාෂාව උගන්වන ගුරුවරයෙකුගේ මුලික හරය රඳා පවතින්නේ ඔහුගේ භාෂාවේ පවතින විනය මත මිස උස් හඬ මත නොවේ.

එසේම තමන් ඉතාම වෙහෙස මහන්සියෙන් ලියාගෙන සහාව ඉදිරියට විත් තම අත්පිටපත කියවන්නේකුගේ භූමිකාව රඟපෑමෙන් රාජ්‍ය නායකයෙකුගේ ගැඹුරු දර්ශනය මතුපිටට ගත නොහැකිය. අදාළ පිළිසඳර මඟින් සන්නස්ගල මහතා, ජනාධිපති මෛත්‍රී වීමට ගත් උත්සහයක් පමණක් දක්නට ලැබුණි. මෛත්‍රීට සහයෝගය දැක්වීම එකකි. එය ඔහුගේ පෞද්ගලික අයිතියකි. නමුත් “මාධ්‍යවේදියෙකුගේ” වෙස්ගත්විට ඔහු හෝ ඇය පෙනී සිටිය යුත්තේ එම වෘත්තීයට අදාළ පරාමිතිය තුළය.

නමුත්, දිරාගිය රටක පවතින මුලික ගැටලු වලින් එකක් වූ කලී පුද්ගලයෙකු විසින් තෝරාගන්නා වෘත්තීය මඟින් ඊට පැවරෙන මූලික වගකීම් හැර වෙනත් ඕනෑම දෙයක් කිරීමට එම පුද්ගලයා පෙළඹීමය. ඒ ඒ වෘත්තීයට අදාළ නිපුණයින් වෙනුවට එම වෘත්තීයට හිමි අවකාශය ග්‍රහණය කරගන්නා ඒජන්තයින් ඊට ඇතුළු වී එහි ඇති ශක්තිය සහ බලය හීන කරනු ලබන්නේ මේ නිසාය. ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය වඩාත් අප්‍රසන්න වී ඇත්තේ මෙම කාරණය මඟිනි.

රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විකාශය කෙරුණු තුලාව, ඇතුලාන්තය, සහ ජනපති ජනහමුව වැනි වැඩසටහන් වලින් සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” වෙනස්වන්නේද යන්න විමසීමෙන් එය අවබෝධ කරගත හැකිය. සැබවින්ම කිසිඳු වෙනසක් නැත. වර්තමානය ගැන ඇසීමට ඇති වැදගත් ගැටලු රාශියක් තිබියදී මේවන විට අවලංගු වෙමින් පවතින කාරණා සහ නීතීය මඟින් තීරණය කිරීමට ඇති කාරණා ඉස්මත්තට ගෙන එමඟින් එම අවස්ථාවට හිමි වැදගත්කමද අහිමි කරනු ලැබීම පමණක් අදාළ පිළිසඳරේදී සිදු විය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරිපත්කළ අදහස්වල ඇති සරල සහ ගැඹුරු බව සාකච්ඡාව මෙහෙයවන්නා හීන කරනු ලැබීම කණගාටුදායක කාරණයකි. මෙය ඉහත සඳහන් කළ පරිදි, සන්නස්ගල, මෛත්‍රීවීම හෙවත් ලංකාවේ අලුත්ම විජ්ජාවේ විද්‍යාව බවට පත්වුවහොත් ඒ ගැන පුදුමයක් නැත. මෙය පැරණි නාඩගමේම වෙනස් හැඩයකි.

රාජ්‍ය නායකයෙකුගෙන් ප්‍රශ්න ඇසීමේ කලාවක් තිබේ. එය නොදන්නේ නම් එවැනි දෙයකට සහභාගී නොවී රටේ ජනතාවගේ කාලය, ධනය මෙන්ම ශ්‍රමය නාස්ති නොකළ යුතුය.

නමුත් මෙම සම්පූර්ණ ක්‍රියාවලීය හමුවේ සිදුවන දේශපාලනික ක්‍රියාවලීය කුමක්ද? සන්නස්ගල මෙන්ම අනෙකුත් බොහෝ දෙනෙකු නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන විවිධාර බණ දේශනා කරති. ඔවුහු විශේෂයෙන් ඇසිය යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනය. නමුත් එය සියුම්ව සඟවා තබා ගනී. මන්ද ලංකාවේ පෞද්ගලික පන්ති ජාවාරම්කරුවන් විසින් විනාශ කරනු ලැබූ නිදහස් අධ්‍යාපනය ගැන කොන්ද කෙලින් තබාගෙන මොවුන්ට ඇසිය නොහැකිය. මන්ද විමුක්තියේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටින මොවුහූ සැබෑ ව්‍යාකූල විකෘතියේ නිර්මාණ කරුවන්ය.

මෙය වෙනස් කළ හැක්කේ සැබෑ නිදහස සහ පෞද්ගලික විමුක්තිය පුළුල් සංස්කෘතික අවබෝධයක් ලෙස සමාජය හමුවේ පැළපදියම් වූ විටය. ජනාධිපති මෛත්‍රී ප්‍රවේශම් විය යුත්තේ, පෙනෙන සතුරාගෙන් නොව වංක මිතුරන්ගෙනි. මන්ද සැබෑ අර්බුදය ආරම්භ වන්නේ එතැනය.

ලිපියේ මාතෘකාවේ අසා ඇති ගැටලුවට පිළිතුරු දීම සඳහා ඉදිරියට පැමිණ, ඔව් මම තමයි සන්නස්ගල කියන්නේ යැයි, චන්ඩියෙකු ලෙස පිළිතුරු දීමට සන්නස්ගල කටයුතු කළහොත් ඒගැන පුදුම විය යුතු නොහේ. ට්‍රෝජන් වීරත්වයේ හැටි එහෙමය. තම චරිතය අසීමාන්තිකව විකිණීමට අවශ්‍ය වූ අයෙකුට, ට්‍රෝජන් වීරත්වය වූ කලී අත්‍යවශය උපායකි.

ජනාධිපති මෛත්‍රී තම දේශපාලනය බේරාගත යුත්තේ මෙවැනි සියුම් මෙන්ම කෲර කෛරාටක භාවිතයන් සමඟ ගනුදෙනු කිරීමේදීය. මෙහි ඇති දේශපාලනය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය අතර ඇත්තේ පිටත ආවරණයේ ඇති වෙනසක් පමණි.

අදාළ “පිළිසඳරේදී” ජනාධිපති මෛත්‍රිපාල මහතා ඉදිරිපත් කළ අදහස් වෙනම විමසිය යුතු කාරණයකි. නමුත් එම කාරණා බොහොමයක් හෙතම තම ජයග්‍රහණයට පෙර සඳහන් කළ දෑ වන අතර දේශපාලන මදුසමය ගතකරන වත්මන් නායකයා තම කට ලේ රහවෙන තෙක් කියූ දෑ යළි ප්‍රකාශ කිරීමට කීම කිසිඳු වැදගත් කමක් නැත.


නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa

Powered by Blogger.