දේශපාලන මධුසමයේ අවසානයක ආරම්භය!


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින ගැටලුව මෙයයි. රටේ නායකයා මුහුණ දී සිටින වත්මන් තත්වය මෙයයි. මෙය තමන්ගේ ශුද්ධ දේශපාලනය ආරක්ෂා කිරීම උදෙසා අනෙකාට සිදුකරන චෝදනාවකි. මෙය දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භයද?

කෙසේ වෙතත්, බලයට පත් වී හරියටම මාසයක් ගත වූ තැන ජනාධිපතිවරයා යම් ආකාරයක තුෂ්නීම්භූත බාවයකට තල්ලු වී සිටින්නේය. ජනාධිපති මෛත්‍රීගේ ඇති වෙනස ඔහු තම අදහස් ප්‍රසිද්ධියේ කීම සහ ඒවා ජනතාවට ඒත්තු ගැන්වීමය. මෙය ඉතා හොඳ ලක්ෂණයක් වන අතර එමඟින් ඔහුගේ දේශපාලන භූමිකාව තවදුරටත් ශක්තිමත් වීම පමණක් නොව රටේ ජනතාවට තීරණ ගැනීම සඳහා පහසු මාර්ගයක් නිර්මාණය කරනු ලබයි.

කෙසේ වෙතත්, මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් වීම වූ කලී රටේ පාලනයේ මුහුණු වෙනස් වීම පමණක් නොව, පැවති රටාව සහ පිළිගැනීම් වල ඇති වූ වෙනස් වීමකි. ශ්‍රේෂ්ඨයෙකුගේ උත්තරීතර කමින්, සතුරාගේ විරෝධය යුද්ධයකින් තොරව මැඩපැවැත්විය හැකිය, යන්නට හොඳම උදාහරණය මෛත්‍රීගේ ආගමනය බව යළි යළිත් මතක් කිරීම වැදගත් වේ.

රටට අත්‍යවශ්‍ය මොහොතක ඔහු රැගෙන ආවාය. රටට අත්‍යවශය මොහොතක ඔහු තම දේශපාලන පිළිගැනීම් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේය. රටට අත්‍යවශ්‍ය මොහොතක ඔහු රටේ මුල් පුරවැසියා ලෙස රටේ මව් බාසාව හොඳින් හසුරුවන්නේය. ඊට හිමි විනය යළිත් ලබා දෙන්නේය. රටට අතවශ්‍ය මොහොතක ඕපාදූප කතා කොට ජනතාවට මානසික වින්දනය ලබා දීම වෙනුවට කළ හැකි ප්‍රායෝගික දෙයක් ගැන සිතමින් කටයුතු කරන්නේය. මෙය මෛත්‍රීගේ සමාජීය භූමිකාවයි. පෙරදා පැවතී “වැඩවසම් රදල කුහක මෝඩ මානසිකත්වය” වෙනුවට දේශපාලනය වූ කලී තවත් එක් වෘත්තීයක් පමණක් බව ඔහු රටට ඒත්තු ගන්වමින් සිටින්නේය. මීට අකමැති පිරිස් බොහෝ වෙති. ඔවුන්ගේ වෛරය දිනෙන් දින මෝදුවෙමින් තිබේ.

උතුරේ දෙමළ ජාතික සංධානයටත්, දකුණේ ජනතා විමුක්ති පෙරමුණටත් මෙහි ඇති අවකාශය තේරුම් ගෙන කටයුතු කිරීමට හැකිනම් නම් ලංකාවේ දේශපාලනය තුළ මීළඟ අරුම් පුදුම දෑ මෙම පක්ෂ දෙකෙන් බලාපොරොත්තු විය හැකිය. ඊට කාලයක් අවශ්‍යය. නමුත් එය නිවැරදිව භාවිතා කළහොත් වෙනස්ම මුහුණුවරකින් අනාගතයේ යම් යම් වෙනස්කම් සිදුවනු නොඅනුමානය. නමුත් මෙම පක්ෂ දෙකේ පවතින ගැඹුරට විහිදී ගිය අභ්‍යන්තර රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට ස්‌වයං ප්‍රතිකාර කොට සුවය ලබන තෙක් ඔවුහු පිළිබඳව දැඩි බලාපොරොත්තු තබා ගත නොහේ. මෙරට දේශපලාන ඉතිහාසය තුළ පමණක් නොව අපි සියලු දෙනාගේම ජීවිත වල අත්හළ සහ මඟ හැරුණු අවස්ථා එමට ඇති බව අපි සියල්ලෝම දන්නා සාමන්‍ය කාරණයකි.

අපේ ඉතිහාසය කුමක්ද? බලය ලබා ගන්නා පුද්ගලයා සහ ඔහු වටා ඒකරාශී වන සියලුම දෙනා, හොරා කෑමට උපන් හපන්කමක් දක්වන, කිසිඳු ලැජ්ජාවක් නැති සහ තමන්ගේ හොරකම මෙන්ම නොහැකියාව වසා ගැනීම සඳහා බලය උපරිමයෙන් යොදා ගන්නා පිරිසක් විසින් රට පාලනය කිරීමකි. ලංකාවේ ඉතිහාසය මෙයයි. ඉඳ හිට හමුවන දේශපාලනඥයින් අතලොස්සක් හැරෙන්නට, බහුතර දේශපාලනඥයින් තම “වෘත්තියට” අදාළ වගකීම ලෙස සලකන්නේ මෙයයි.

මෙම ක්‍රියාවලීය සංකීර්ණ මෙන්ම දැඩිව එකිනෙකට සම්බන්ධ වූ ජාලයකින් සමන්විත වේ. එහි එක් කොනක එක් ප්‍රසිද්ධ හොරෙක් මෙන්ම අනෙක් කොනෙහි වෙනස්ම ස්වරූපයක් ගත් සෑම පොහොය දිනකටම බුදු පිළිම ඉදිරියේ වැතිර සිටින සැදාවත් “පිං කඳකි”. සියල්ල සිදුවන්නේ මෙම දෙදෙනා අතර ඇති සම්බන්ධය තුළය. කාලාන්තරයක් තිස්සේ එය පවත්වාගෙන යමින් එය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන සංස්කෘතියේ කොටසක් බවට පත් කරනු ලැබීය. වැරදි යැයි නිශ්චිතවම තමන්ට පෙනෙන නමුත් ඊට එරෙහිව කටයුතු කළ නොහැකි තත්වයකට සමස්ථ රට පත් කරනු ලැබුවේ ඒ නිසාය.

හොරු රැලකින් වඩාත් හොඳ ගුණ ගරුක හොරා තෝරා ගැනීම වූ කලී ලංකාවේ දේශපාලන නායකත්වය තෝරාගත් මූලික කාරණය විය. මෙය එක් ආකාරයක ඛේදනීය විහිළුවකි. එය වැළක්වීමට අවශ්‍ය වන්නේ නම් පළමුව කැඩිය යුත්තේ එකිනෙකට සම්බන්ධ වන ජාලයය. එය මෛත්‍රීට තනිවම කළ හැකි කටයුත්තක් නොවේ.

එය ඔහුට තනිවම කළ නොහැකි බව ඔහු යළි යළිත් මතක් කරමින් සිටින්නේය. රටේ මුල් පුරවැසියා තුෂ්නීම්භූත වී සිටින්නේනම්, මෙරට ප්‍රයෝගීක තත්වය තුළ ඇති ව්‍යාකූල භාවය තේරුම් ගැනීම අපහසු නැත.

එසේ නම් අදාළ චෝදනා වලට අදාළ පැමිණිළි කඩිනමින් විභාගයට ගැනීම මෙන්ම ඊට අදාළ වගඋත්තර කරුවන් නීතියට හසු කර ගැනීම ප්‍රමාද වන්නේ කොතනද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙනී සිටින මෙම මූලික කාරණයට එරෙහිව කටයුතු කරන්නේ කවුරුන්ද? ඔහුගේ ආණ්ඩුව තුළම සිටින දේශපාලනඥයින් මීට සම්බන්ධ වී සිටින්නේද? ජනාධිපති මෛත්‍රී නිවැරදිව සඳහන් කළ පරිදි, අදාළ කාරණා ගැන කටයුතු කිරීම දැනටමත් ප්‍රමාදය.

හොරාගේ ලක්ෂණය වූ කලී හැකි තරම් කල් ගැනීමය. ලංකාවේ නීතීයද හොරුන්ගේ මෙවලමක් බවට සිදු කරනු ලැබුවේ මෙම කල් ගැනීමේ රෝග ලක්ෂණය ඊට බෝ කිරීමෙනි. මේ වන විට උසාවි වල සිර වී ඇති නඩු ප්‍රමාණය මෙන්ම එම සිර වී ඇති නඩු විභාග කොට අවසන් කිරීම සඳහා කෙතරම් කාලයක් ගත වන්නේද? ඊට අවශ්‍ය මුල්‍යමය අවශ්‍යතාවය කුමක්ද? එය දැරීමට ලංකාවට හැකියාවක් තිබෙන්නේද? ඊට අවශ්‍ය මානව සම්පත් තිබේද? එසේ නොමැති නම්, ඒ සඳහා සහය වීමට ජාත්‍යන්තර සංවිධාන තිබේද? යන කාරණා අධිකරණ ඇමතිවරයා මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ සිටින බලපෑම් කළ හැකි පිරිස් සතුවන මූලික වගකීම වේ.

බලයට පත් වී මාසයක් ඇතුළත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුෂ්නීම්භූත කිරීමට හැකියාව ඇති මෙම රට මෙහෙයවන සැබෑ බලවේගය හදුනා ගැනීම පමණක් නොව එය නීතිය ඉදිරියට පැමිණවීම එතරම් පහසු නැත. නමුත් මීළඟ පියවර තැබීමට නම් එය අත්‍යවශ්‍ය කාරණයක් මෙන්ම, ජනතාව හමුවේ මෙම පුද්ගලයින් නිරාවරණය කිරීම අතිශය වැදගත් වේ. එය කඩිනමින් සිදු නොකළහොත් එහි වන්දිය මීළඟ මහා මැතිවරණයේදී ගෙවීමට සිදුවනු නොඅනුමානය.

ප්‍රකට ඇමෙරිකානු ලේඛකයෙකු වන ක්‍රිස් හෙග්ස් සඳහන් කළ ආකාරයට; “ අපට වර්තමානයේ ජීවත් වීමට සිදු වී ඇති සමාජයේ, දොස්තරවරුන් විසින් සෞඛ්‍ය විනාශ කොට ඇත; නීතිඥයින් විසින් යුක්තිය විනාශ කොට ඇත; විශ්වවිද්‍යාල විසින් දැනුම විනාශ කොට ඇත; ආණ්ඩුව විසින් නිදහස විනාශ කොට ඇත; මාධ්‍ය විසින් තොරතුරු විනාශ කොට ඇත; ආගම විසින් සදාචාරය විනාශ කොට ඇත; බැංකු විසින් ආර්ථිකය විනාශ කොට ඇත.” ලංකාවේ තත්වයද මීට වෙනස් නැත.

මෛත්‍රී මහුණ දී සිටින සැබෑ අභියෝගයද මෙහි ප්‍රතිඵලයකි. එය එක් කොමිසමක් පත් කිරීමෙන් පමණක් කළ හැකිද යන්න පැන නගින මූලික ගැටලුවකි. කොමිසන් වල ඉතිහාසය මෙන්ම ඒවායේ කටයුතු වෙන කාටත් වඩා ජනාධිපති මෛත්‍රිපාල දන්නා බව යළිත් මතක් කළ යුතු නොවේ. මෛත්‍රීට කොමිසන් සභා ගැන විශ්වාසය තැබීමට වඩා වැදගත් වන්නේ තම බලය සහ ඊට හිමි කාලය ගැන විශ්වාසය තැබීමය.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa
Vikalpa

Powered by Blogger.