අතීසාරයට අඹුඩ ගැසීම නොහොත් නුගේගොඩ රැළිය


මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය. මෙය මීට පෙරත් සිදුවිය. අදත් සිදුවිය. මෙය හෙටත් සිදු විය හැකිය. තම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම වූ කලී මුලික අයිතියකි. දිනේෂ්, විමල් මෙන්ම සියලු දෙනා බාධාවකින් තොරව භුක්ති විඳින්නේ එයයි.

නමුත්, මේ විමල්ගේ හෝ දිනේෂ්ගේ දේශපාලනය නොවේ. මේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනයයි. ඔහුට අවශ්‍ය වූ කාරණයයි. වේදිකාවේ රාජපක්ෂ නොමැතිව රාජපක්ෂගේ දේශපාලනය ගැන කතා කිරීම කදිමය. පරාජයෙන් පසු හිටපු ජනාධිපතිවරයාට වඩා අර්බුදයකට ලක් වී සිටින්නේ මෙම කණ්ඩායම බව බැලූ බැල්මට පෙනුනද එම පෙනෙන මායාව හමුවේ යටපත් කරණ බරපතළ සත්‍යයක් තිබේ. මෙම කාරණය වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත.

සැලකිය යුතු මට්ටමේ සෙනගක් පැමිණ සිටීම භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයෙන් පසු හිරුනිකා බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප දිනා ගැනීම හා සමාන වේ. එය අමුතු දෙයක් නොවේ. එවැනි දෑ අතිශය සරල මෙන්ම සාමන්‍ය දෑ වේ.

පළමුව මෙම රැළියට සහභාගී නොවූ නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එය නැරඹු මහින්ද රාජපක්ෂ මෙන්ම මේ සඳහා පැමිණි සියල්ලෝම අගය කළ යුතු කාරණයක් තිබේ. එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මෙවැනි රැළියක් පැවැත්වීමට හැකිද යන්නය. රැළියක් තබා විශ්ව විද්‍යාල සිසුන්ට උද්ඝෝෂණයක් හෝ කිරීමට නොදී ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ගසා එලවා දැමීමට රාජපක්ෂ කටයුතු කළේය. එසේම උපවාසයේ යේදී සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා බිය ගන්වා එලවා දැමීමට රාජපක්ෂ කටයුතු කළේය. එනයින් බලන කළ අදාළ රැළියට අවශ්‍ය පූර්ණ නිදහස ආණ්ඩුව විසින් ලබා දී තිබීම පැසසිය යුතු කාරණයකි. මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් සිදු කොට ඇති බලවත්ම වෙනස මෙයයි. විමල් ඇතුළු සියලුම දෙනා මේ සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුය.

කෙසේ වෙතත් මෙහිදී ඔවුහු මතුකිරීමට වෙර දරු මුලික කාරණයක් තිබේ. එනම් මෛත්‍රී සහ මහින්ද මිත්‍රයින් කිරීමය. මෙය මෙම සංවිධායකයින්ගේ මුලික අභියෝගය සහ බලාපොරොත්තුව බවට වී තිබේ. මෙය ඔවුහු මුහුණ දෙන මුලික සංකීර්ණයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ලණුව අනුබව කළහොත් නුගේගොඩ රැළියේ පරමාර්ථ ඉරුවනු ඇත. එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද.

එය තේරුම් ගැනීම සරලය.

මැතිවරණයෙන් පසු උදා වූ තත්වය කෙබඳුද? එනම් විමල් වීරවංශ ඇතුළු පිරිසට දේශපාලනික වශයෙන් ගොඩ ඒමට මාර්ගයක් අවශ්‍ය වී ඇත. මීලඟ මහා මැතිවරණයේදී ඔහුගේ පක්ෂයෙන් වෙනම තරග කළහොත් ඔහුට තම ආසනයද අනිවාර්යෙන්ම අහිමි වනු ඇත. අනෙක් පරිවාර පක්ෂවල තත්වයද එසේමය.

මෙය අවබෝධ කරගත් පිරිස මුලික වශයෙන්, මහින්ද රාජපක්ෂ, නව සන්ධානයක නව නායකයෙකු කිරීමට උත්සහ කළේය. ඒ සඳහා වීරවංශ පමණක් නොව පරාජය වූ සියලුම දෙනා දැඩි උත්සහයක් ගත්හ. නමුත් එය අසාර්ථක විය. මන්ද රාජපක්ෂ ඊට ප්‍රභල විරෝධයක් දැක්වීමය.

නව සන්ධානයකින් ඔහු ගෙන ඒම වූ කලී තවත් අන්ත පරාජයක් ලැබීම සහ මහින්ද නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමය. එම නව සන්ධානය, මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ තරග කළ යුතුව ඇත. එවිට සිංහලයින්ගේ සිව්වන බලඇණිය ලෙස දේශපාලනයට පිවිසීම සංකේතවත් කරමින් එය දේශපාලනට ඇතුළු වනු ඇත. එම තත්වය හමුවේ එම නව සංධානයට පාර්ලිමේන්තු ආසන පහකට වඩා වැඩි ප්‍රමාණයක දිනා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත. එය බොහෝ දුරට ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමෙන්, සිහළ උරුමය බිහිවී කළ දේශපාලන කලබගෑනිය හා සමාන එකක් වනු ඇත්තේය. මේ නිසා වඩාත් වැදගත්ම දේ කුමන හෝ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහා නිහඬ-ක්‍රමෝපායික මෙන්ම බලවත් දීර්ඝකාලීන මෙහෙයුමකට අවතීර්ණ වීමය. මන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි ඇල්ලීම මඟින් පමණක් තම දීර්ඝ කාලීන දේශපාලන අභිමතාර්ථයන් ඉටුවන්නේය, යන පූර්ණ විශ්වාසය වෙන කාටත් වඩා රාජපක්ෂට ඇත.

මෛත්‍රී – රනිල් හැදු ආණ්ඩුව මීළඟ මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කිරීම බරපතල ගැටලුවක් බවට පත්වූයේ වෙන කාටවත් නොව, විමල් වීරවංශ ඇතුළු මෙම නුගේගොඩ රැළිය සංවිධානය කළ පිරිසටය. මහින්ද රාජපක්ෂ ක්‍රමෝපායිකව එහි මුලික අරමුණු වෙනස් කොට මෛත්‍රී වෙනුවෙන් කතාකොට රනිල්ට බැනවැදීම සඳහා කටයුතු කරනු ලැබුවේ මේ නිසාය.

රනිල්ට දේශපාලන වේදිකාවේදී බැනවැදීම සරල සාමාන්‍ය සිදුවීමක් වන අතර බොහොමයක් සිංහල බහුතරය ඊට ඇලුම්කමක් දක්වති. මෙය මහින්ද දන්නේය. නමුත් මෛත්‍රීට එරෙහිව මෙහිදී විවේචනය කළහොත් අත්වන්නේ වඩාත් අවාසිසහගත තත්වයකි. රාජපක්ෂ සහ රනිල් වූ කලී දේශපාලනඥයින් පමණක් නොව මොවුහු පෞද්ගලික මිත්‍රයින්ද වේ. මේ නිසා වේදිකාවේ රනිල් විවේචනය කොට හොර රහසේ රනිල් සමඟ රහස් ගනුදෙනු කිරීම එදා සිටම රාජපක්ෂලාගේ පුරුද්ද විය. මීළඟ මහා මැතිවරණයේ මුලික උපායන් ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.

මෛත්‍රී සමඟ මිත්‍රත්වයක් ඇතිකොට මීළඟ මැතිවරණයේදී කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීම මහින්දට අතිශය තීරණාත්මක මෙන්ම වැදගත් වේ. විමල් වීරවංශ කෑ මොර දෙන්නේ මේ නිසාය. ඔහු වියරු වැටී ඇත. මෙම වියරුව ඉතාම පහසුවෙන් වඩාත් අනුවේදනීය සහ කණගාටුදායක දේශපාලන භාවිතාවක් බවට පත් කළ හැකිය. ඔහුට අනුව ඔහුගේ බිරිඳ කිසිඳු නිතීවිරෝධී කටයුත්තක් සිදු කොට නැත. එසේම අදාළ කාරණය හාස්‍යජනක ලෙස සමච්චලයට ලක් කිරීමට ඔහු වගබලා ගත්තේය. එමඟින් සියුම් අභියෝගයක් ආණ්ඩුවට ඔහු ලබා දුන්නේය. එනම් ආණ්ඩුවට දේශපාලනික අවස්ථාවක් ලබා දී ඇත.

කෙසේ වෙතත්, මෛත්‍රී මෙහිදී අතිශය පරෙස්සම් විය යුතු ප්‍රධාන විෂයයන් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වූ කලී තමන්ට මතුපිටින් පෙනෙන මහින්ද රාජපක්ෂගේ වියරුව සහ ඔහුව කවට රඟපෑමයි. දෙවැන්න තමන්ට පිටුපසින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයයි. මෙම දෙකම එකම කාසියේ දෙපැත්ත වේ. මේ දෙකටම මෛත්‍රීව දීර්ඝ කාලීනව තබා ගැනීමේ කිසිඳු වුවමනාවක් නොමැති අතර මෙම දෙපාර්ශවයම තම බලය වෙනුවෙන් ගූඪ අරගලයක නිරත වෙන දෙපිරිසකි.

එබැවින් රාජපක්‍ෂ තැනට අවශ්‍ය ආකාරයෙන් හසුරුවා ගැනීමේ කෞශල්‍ය මෙන්ම රනිල් වික්‍රමසිංහගේ කෛරාටක දේශපාලන කෞශලයන් නිවැරදිව කියවීමේ හැකියාව මෛත්‍රීට තිබේනම් මීළඟ මැතිවරණයේදී තම නිර්පාක්ෂික අස්ථානය මැනවින් මෙහෙයවිය හැකිය.

රනිල් නොමැතිව එක්සත් ජාතික පක්ෂය දිනවිය හැකිද යන්න එක්සත් ජාතික පක්ෂය සතු එසේම එම පක්ෂය අවස්ථා කිහිපයකදීම පිළිතුරු දී ඇති මුලික කාරණයකි. නමුත් මහින්ද නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවිය හැකිද යන නව ගැටලුවකි. එය පක්ෂ සභාපති ලෙස විසඳිය යුත්තේ මෛත්‍රීය. එය කළ හැකි කාරණයක් මෙන්ම කළ යුතු කාරණයකි. එසේ නොකළ හොත් අවසානයේදී මෛත්‍රීට අත්වන්නේ මෛත්‍රී ජනාධිපතිවරණයෙන් පැරදුනහොත් රාජපක්ෂලා ලබා දීමට සැලසුම් කොට සිටි දඬුවම් වලට මුහුණ දීමටය.

මේ නිසා නුගේගොඩ රැළිය තුළින් කියවෙන දේශපාලනය කියවීමේදී මං මුලාවට පත් නොවීම අතිශය තීරණාත්මක වේ. පාලනයක සාර්ථක බව රඳා පවතින්නේ නායකත්වය මත පමණක් නොව, නායකයාට තමන් සමීපයෙහි සිටින අව්‍යාජ සහ විෂයයෙහි නිපුණයින් තෝරා ගැනීමට හැකි ඉව මඟිනි. මෛත්‍රීට තම කෞශලයන් පෙන්විය හැකි මෙන්ම යුතු නියම කාලය උදා වී තිබේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa


Powered by Blogger.