නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ.


එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක් ලෙසද මොවුන් එය හැදින්වීය. මගතොටේදී හෝ වැඩකරන තැනකදී අප මුණ ගැසුණු විට අප හා කතා කළ මිනිසුන් අප ලාංකිකයින් බව දැනගත් විට අපේ රට ගැන කතා කලේ යම් ආදරයක් සහ ගෞරවයක් පෙරදැරිකරගෙනයි. ලොව පලමුවරට ස්ත්‍රියක් රාජ්‍ය නායිකාව වූ රට ලෙසද සමහරු එය දැන සිටියහ. තවත් විශාල ප්‍රමාණයකට එය ආගන්තුක වූ අතර ලංකා තේ නාමය උදව්කර ගනිමින් වරක අපි කෙනෙකුට ලංකාව හඳුන්වා දීමට පුරුදු වී සිටියෙමු.

ඒත් එම තත්වය වැඩි කල් එසේ පැවතුනේ නැත. 1983 කළු ජූලිය විසින් කොළඹ නගරය ඇතුළු ලංකාවේ ප්‍රධාන නගරවල කඩසාප්පු ගිනිබත් කරන අයුරු, වෛරයෙන් සාහිසකත්වයෙන් පිරුණු මිනිසුන් රංචු පොලු මුඟුරු ගෙන නිරායුධ මිනිසුන් හඹා යන, පණ පිටින් පුළුස්සන, ඒ ගිනිගොඩවල් වටා ගී ගයමින් නටන අයුරු ලෝකය පුරා රූපවාහිනී මගින් පෙන්වනු ලැබීය. කඩ සාප්පුවලට කඩා වැදුනු මැර පිරිස් අතින් කටින් එල්ලා ගත් බඩු බාහිරාදිය දේශප්‍රේමී සටන්පාඨ කියමින් ගෙන යන අයුරු පෙන්වනු ලැබීය. අපට මේ අපේ රටද කියා සිතා ගැනීමට වත් නොහැකිව මේ දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමු. රාජ්‍ය අනුග්‍රහය ලද වර්ගවාදයකට කොතරම් නම් හානියක් මිනිස් සමාජයකට කළ හැකිද යන්න මේ 83 සිදුවීම මොනවට පැහැදිලි කරනු ලැබීය.

ඉන්පසු දිගින් දිගටම ලංකා සමාජය තුල දේශපාලන මිනීමැරුම්වලින් අඩුවක් නොවීය. ජනවාර්ගික ප්‍රශ්නය මුල් කර ගනිමින් ඇතිවූ යුද්ධය එය තව තවත් භීෂණයකම ගිල්වනු ලැබූ අතර එය තව තවත් අන්තවාදය දෙසට තල්ලු කරනු ලැබීය. රටේ කොතැනක කුමන මොහොතක බෝම්බයක් පුපුරා යාවිද? එමෙන්ම කුමක් හේතු කරගෙන කවුරුන් විසින් කාව මරා දමාවිද? යන්න කිසිවෙකු දැන නොසිටි අතර මුළු ලංකා දේශයම වසා බියක් පැතිර ගොස් තිබුනි.
88/90 මුළු දකුණම භීෂණයක ගිලී තිබූ අතර ලාම්පු කණුවල ගැට ගැසූ මළමිණී, වැටිඉණිවල ඇමිණු හිස්, ටයර් සෑයවල අඟුරු වූ මලමිණී, බල්ලන් කපුටන් බුදින අයුරු ලෝකය හමුවේ ප්‍රදර්ශනය විය. අප ඉපදුනු රටට සිදුවී ඇති දෙය ගැන ඈත සිට වුවත් අපි එදා කම්පා වීමු. මේ ම්ලේච්ඡ සිදුවීම් ගැන ජාත්‍යන්තරයේ මිනිසුන් කථාබස් කරනු ලැබූ අතර ඔවුන් අපෙන් මේ ගැන විමසීය.

ඉන්පසු අවධියේ ඉතා ජනාකීර්ණ තැන්වල බෝම්බ පිපිරී මිනිසුන් සිය ගණනින් කැබලි වී යන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය මගින් පෙන්වනු ලැබීය. මේ පිළිබඳව වාර්තා කරන වාර්තාකරුවන් මෙය අමානුෂික තත්වය, එහි ඇති ඛේදජනක බව පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබුණි. යුද්ධය අවධියේ සිවිල් වැසියන්ගේ මරණයන් පිළිබඳව ජාත්‍යන්තරයට වාර්තා වූයේ අනුවේදනීය අයුරිනි. රජයේ හමුදා සිවිල් වැසියන් මත බෝම්බ හෙලන අයුරුත්, විමුක්ති කොටි හමුදා තම ආරක්ෂාවට සිවිල් වැසියන් ආරක්ෂක පලිහක් ලෙස යොදා ගන්නා අයුරුත් දුටු ශිෂ්ඨ සම්පන්න ලෝකය ඒවා හෙලා දකිනු ලැබීය. ඒත් ලාංකීය අපි එයින් කම්පා නොවුනු අතර තව තවත් ප්‍රචන්ඩත්වයටම ආවැඩුවෙමු.

යුද්ධය අවසන් වී ගතවන කාලයේදී එම යුද්ධයෙන් පීඩා ලද ජනයාට සහන ලැබෙනු ඇතැයි ලෝකය බලා සිටිනු ලැබීය. නමුත් එවැනි ක්‍රියාදාමයකට යාමට තරම් හැදියාවක් හෝ සභ්‍යත්වයක් ඇති බවක් ලංකා රාජ්‍ය කරවන අය නොපෙන්වීය. මේ පිළිබඳව විමසන ලෝකයට ලංකා රාජ්‍යයේ පිලිතුරු වූයේ බැණ අඬ ගැසීම හා චෝදනා කිරීම් පමනි.

ලංකා රජයේ ජනාධිපතිට අනුව තවදුරටත් රටේ ජන කණ්ඩායම් දෙකක් නොමැත. ආරක්ෂක ලේකම්ට අනුව රටේ ඇත්තේ රජය සමග සිටින ජනතාව සහ ත්‍රස්තවාදීන්ය. රජය සමග සිටින අය යහපත් මිනිසුන් ලෙස හැඳින්වෙන අතර රජයට එරෙහි සියලුදෙනා ඔවුන් විසින් ත්‍රස්තවාදීන් ලෙස හඳුවන්වනු ලැබීය. යුද්ධය අවසානයේ රජය කියා සිටියේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත් රටට ඇත්තේ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් බවත්ය. වසර 25 කට වැඩි කාලයක් රටේ දේපළ මෙන්ම ජීවිත ලක්ෂ 2 ක් පමණ බිලිගත් රටතුල පමණක් මිලියනයකටත් වැඩි ප්‍රමාණයක් දේශපාලන අනාථයන් බවට පත්කළ, රටින් පිට මිලියන එක හමාරක් දේශපාලන සරණාගතයන් බවට පත්කළ ප්‍රශ්නයක ස්වභාවය රාජ්‍ය කරවන්නන් හඳුනාගත්තේ ඒ තරම් සරල අයුරිනි. ඒවාගේම රට තුල මොනයම්ම හෝ ප්‍රශ්නයක් ගැන රැකියා ප්‍රශ්නයක්, ජලය පිළිබඳ ප්‍රශ්නයක්, තම සේවා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක්, ජනවාර්ගික හෝ මානව අයිතීන් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව ගොවීන්ගේ පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ගැන වුවද කථා කළවිට රජය කරවන්නන් විසින් මේ සියල්ලම ජාතී ද්‍රෝහීන් බවට, ආධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් බවට, ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමක් බවට, රට දෙකඩ කිරීමට සහාය දීමක් බවට හංවඩු ගසමින් ඒවා සියල්ල නිශේධ කරනු ලැබීය. එකෙකුට වෙඩි උන්ඩයද, තවකෙකු පැහැර ගෙන යාමටද, තවකෙකු අතුරුදහන් කිරීමකටද, තවකෙකුට මැර ප්‍රහාරයකට මුහුණ දීමටද ආදී ලෙස සෑම අයෙකුටම රාජ්‍ය උදහසේ පිළිතුරට ලක්වීමට සිදුවිය. එසේ නැත්නම් මේ සියල්ලන්ටම එකම කස පහරින් පිලිතුරු ලැබුණි.

මේ පිලිබදව කතාකළ ජාත්‍යන්තරය කොටින්ගේ ඔත්තු කරුවන් ලෙස හැදින්විය. ජනාධිපති මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෝකය නගන ප්‍රශ්න ඉදිරියේ හැසුරුණේ හන්දිවල ගණන්කාරයන් ප්‍රශ්නවලට අවතීර්ණවන අයුරිනි. සමහර ඇමතිවරු (මර්වින්, විමල් වැනි) කිසිම සදාචාරයකට අයත් නැති නින්දිත ආකාරයෙන් ජාත්‍යන්තරය හා එහි නායකයින්ට පරිභව කරනු ලැබීය. විදේශ ඇමතිවරයා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වූවාට ඔහු හැසිරුනේද පාලක රෙජීමයේ මුග්ධකම් ඉටුකරමින් දෙකේ පන්තියට අධ්‍යාපනය ලැබූ මෝඩ ලමයෙකු මෙනි. විදේශ සේවා සදහා පත් කළ දේශපාලන හෙංචයියලා ලෝකය ඉදිරියේ තමනට තම රට තුලදී පුරුදු ගණන්කාරයින්ගේ විලසින් හැසිරෙමින් ලෝකය ඉදිරියේ තම රටේ රාජාතාන්ත්‍රික බව පහල මට්ටමකට හෙලනු ලැබීය. එමෙන්ම ලෝකයා හමුවේ ලැජ්ජා විරහිතභාවයෙන් හැසිරීම තුල රට බාල්දුවට ලක් කලහ. 21 වන සියවසයේ රටක රාජ්‍යතාන්ත්‍රිකයින් මෙතරම් පහත වැටෙන්නේ කෙසේදැයි ලෝකයා පුදුමයට පත්වනු ලැබීය.

මහින්ද කල්ලිය වෙනුවෙන් පෙනී සිටීම හැරුණුවිට වෙනත් ක්‍රියාදාමයක් නොදන්නා මාධ්‍යකරුවන් රූනක් සියලුම පාහේ මාධ්‍ය ආයතන වසාගෙන සිටි අතර ඔවුන් රජයට ස්ත්‍රෝත්‍ර ගීත ගයනවා හැරුණු කොට මහින්ද රෙජීමය විසින් කරන නොපනත් කම් වසා ගැනීම සඳහා ජිනීවා වැනි ස්ථානයන්හි මානව හිමිකම් ආයතනවලටද යවනු ලැබීය. තම ස්වාමිපුරුෂයා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ගැන ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ සන්ධ්‍යා එක්නැලිගොඩට රාජ්පාල් ඒකනායක වැනි මාධ්‍යවේදීන් එම කොමිසම තුලදීම නින්දා සහගත පහත් අයුරින් අපහාස කරමින් හැසිරුණු ආකාරය සදාචාර සම්පන්න ලෝකයම හෙලා දකිනු ලැබීය. ජීවිතය බේරාගෙන රටින් පලාගොස් සිටි මානව හිමිකම් ක්‍රියාධරයන් මෙන්ම මාධ්‍යවේදීන්ට රජයෙන් දිගින් දිගටම අපහාස සහ චෝදනාවන් කරනු ලැබීය. ලෝකයේ වෙනත් රටවලින් ලංකාවේ පවතින මානව හිමිකම් තත්වය ගැන විමසූ විට ලංකා තානාපතිවරුන් හැසිරුනේ සදාචාරය සභ්‍යත්වය ආදිය පිළිබඳ චර්යාවන් තබා ඒ වචනයන්වත් අසා නැති පුද්ගලයන් ලෙසය.

රට තුලත් රටින් පිටතත් සිදුවීම් සහ රජයේ ක්‍රියාවන් ලෝකයට ලංකාව පිළිබඳ අඳිනු ලැබු චිත්‍රය වූයේ ශිෂ්ඨ බවින් තොර අශීලාචාර රටක් බවයි. අසාර්ථක දූෂිත රටවල් ගැන ජාත්‍යන්තර හැදින්වීම්වලදී ලොව නරකම රටවල් පිළිබඳ ගන්නා උදාහරණයක් ලෙස පසුගිය වකවානුවේ ලංකාව පත්ව තිබුනි. මෝඩ උද්දච්ඡ නොදියුනු හිතුවක්කාරී නායකයින් පිරි රටක් ලෙස එය නම්කර පැවතුනි.

පසුගිය ජනවාරි 08 වෙනිදා බලය මාරුවීම සමග මේ තත්වය නැවත වෙනස් වී ඇත. ජාත්‍යන්තර ප්‍රජාව ලංකාව දෙස බලා සිටින්නේ සිදුවන වෙනස දකිමිනි. එහි නායකයින් ජාත්‍යන්තරය ඉදිරියේ හැසිරෙන ආකාරය, ඔවුන්ගේ කතා විලාශය නැවත තම ශීලාචාර සම්පන්න බව ලෝකයට කියා පායි. පැහැදිලිවම ලංකාව තමා ජාත්‍යන්තර තුල අහිමි කර ගෙන තිබූ හොඳ නම නැවත ඇතිකර ගනිමින් පවතී.

ඒත් එය ඉහලම තලයේ බල මාරුවකට පමනක් සීමා වුවහොත් සැබෑ වෙනස්කමක් බවට පත්නොවනු ඇත. දිගුකාලීනව සමාජය වසා පැතිර රජව ඇති දූෂණය සහ අවනීතිය වෙනුවට නීතිය මත පාලනය නැවත ඇතිකර ගත යුතුව ඇත. එය සඳහා ක්‍රමවේදයක් තාමත් පූර්ණ වශයෙන් ස්ථාපිත වී ඇති බවක් නොපෙනේ. එසේ නම් එම තත්වය නැවත ඇතිකර ගැනීමට පුරවැසියාගේ මැදිහත්වීමද අත්‍යවශ්‍ය වේ. වැරදි කළවුන් නීතියට ඉදිරියට පැමිණවීම සඳහා බලාධිකාරයට බලපෑම් කිරීම තුලින් නීතිය මත පාලනය සමාජ ගත කර ගත හැකි වනු ඇත. නැවත අපට ශීලාචාර මිනිසුන්ගෙන් යුතු රටක් ලෙස ලෝකය ඉදිරියේ නම පවත්වාගත හැකි වන්නේ එසේ රට තුල යහපාලනයක් ඇති කිරීම සහ නීතිය මත පාලනය ස්ථාපිත කිරීම තුල පමනි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi
VIKALPA

Share on Google Plus