රිංගා යා හැකි තැන්වලට ඇබ ගසන්න


ගිය මාසයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ අයවැය කෙරෙහි බොහෝ ප‍්‍රශංසා පළවුණි. මාධ්‍ය එය හැඳින්වූයේ රොබින්හුඞ් අයවැයක් වශයෙනි. එනම්, පොහොසතුන්ට බදු ගසා දුප්පතුන්ට සහන සැලසූ අයවැයක් බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වශයෙන් ආණ්ඩුව හඳුනා ගත් ආහාර වර්ග 13 ක බදු අඩු කිරීම ඊට ඇතුළත් විය. එම ආහාරවලින් සමහරක් ඇත්ත වශයෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය ද යන්න වෙනම ප‍්‍රශ්නයකි. අනිත් අතට, අධික ලෙස ලාභ ඉපැයූ පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම්වලට එක වරක් පමණක් ගෙවන විශාල බද්දක් ද පැනෙව්වේය. එයින් වඩාත් ආන්දෝලනාත්මක වුණේ, 2014 බදු වර්ෂයේ දී රුපියල් බිලියන දෙකකට වැඩියෙන් ලාබ ඉපැයූ ව්‍යාපාරවලට පැනවූ විශාල බද්දයි.

පසුගිය පස් වසර තුළ කූට ව්‍යාපාරික ක‍්‍රම හරහා උපයා ගත් ‘අසාධාරණ ධනයක්’ ඇතැම් සමාගම් සතුව ඇති බවත්, ඔවුන්ගේ එම මුදල් සඳහා වැඩි බද්දක් අයකර ගැනීම නිවැරදි ක‍්‍රියාමාර්ගයක් බවත්, අයවැයෙන් පසු පැවති නොයෙක් සාකච්ඡාවලදී, ආණ්ඩුවේ ඇමතිවරු පෙන්වා දුන්හ. මේ තර්කයේ යම් අඩුපාඩු ඇතත්, එම ක‍්‍රියාමාර්ගය සාමාන්‍ය ජනතාවට ආකර්ශනීය විය. එසේ හෙයින්, මතුපිටින් බැලූ විට, එය පරිපූර්ණ අයවැයකැයි පෙනෙන්ට තිබුණි. ‘‘ධනවත් පප්පා සහ දුප්පත් පප්පා’’ නැමැති ග‍්‍රන්ථය ලියා ප‍්‍රසිද්ධියට පත්, ස්වෝත්සාහය පිළිබඳ ප‍්‍රකට කතුවරයෙකු සහ ආයෝජකයෙකු වන රොබට් කියොසාකි පෙන්වා දී තිබූ පරිදි, ධනපතියන් තමන්ට පැවරෙන බදු නොගෙවා පැහැර හැරීමට කුමක් හෝ උපායක් අවසානයේදී සොයාගනු ඇත. ලංකාවේදී සිදුවන්නට යන්නේද හරියටම එයයි. මේ ධනපති ව්‍යාපාරිකයන් තමන්ට අදාළ බදු නිසියාකාරයෙන් ගෙවතැ යි මුලදී පෙනෙන්ට පුලූවනි. එහෙත් සත්‍ය තත්වය එයද? නැත. ඔවුන් අවසානයේදී කරනු ඇත්තේ, අර්ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් එම බද්ද ජනතාව වෙත පැටවීමයි.

උදාහරණයක් වශයෙන්, මේ බද්දට හසුවන ව්‍යාපාරිකයන් සිය සේවකයන්ගේ වැටුප් වැඩි වීම් සහ බෝනස් නතර කරනු ඇත. එවැනි නතර කිරීම්වලින් තොරව අදාළ බද්ද තමන්ට දරාගත නොහැකි වන බවට ඔවුන් තර්ක කරන්ට ඉඩ තිබේ. එහෙත් ආණ්ඩුව තම අයවැයෙන් සහන සැලසීමට බලාපොරොත්තු වන සමාජ කොට්ඨාශය වන්නේද මේ සේවකයන්මයි. ඒ අනුව, අවසානයේදී මේ බද්ද දරා ගැනීමට සිදුවනු ඇත්තේ මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු එම ජනතාවටමයි.

තවත් ඇතැම් සමාගම් වර්ෂාවසාන ලාභ පංගු බෙදාහැරීම් දැනටමත් නතර කොට තිබේ. මේ පංගුකාරයන් එම සමාගමේ අයිතිකරුවන්ම වන බවත්, එසේ හෙයින් ඔවුන්ගෙන් එවැනි අයකිරීමක් ලබා ගැනීම සාධාරණ වන බවත් කෙනෙකු මෙහිදී තර්ක කරන්ට පුලූවනි. එහෙත්, යම් ව්‍යාපාරයක සුළු කොටස් හිමිකමක් පමණක් ඇති සහ එම කොටස් හිමිකමින් පමණක් යම් සහනයක් ලබන ව්‍යාපාරික පංගුකාර පිරිස්වල තත්වය එවිට කුමක් විය හැකිද?

සල්ලි හම්බ කරන පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් බදු අය කර ගැනීමේ අභිප‍්‍රාය නිසැකවම යහපත් අභිප‍්‍රායකි. ඇත්ත වශයෙන්ම කළ යුත්තේද එයමයි. එහෙත්, බදු අය කර ගැනීම සඳහා ඉලක්ක කරගන්නා අයවළුන් අවසානයේදී එම බදු ගෙවීම් පැහැර හැරීම සඳහා හෙවත් වෙනත් පිරිසකගේ කරට එම බදු පැටවීම සඳහා ඔවුන්ට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ, මේ අයවැයෙන් අපේක්ෂිත ජනතා හිතවාදී බොහෝ දේවල් ඒවායින් අභිපේ‍්‍රරිත අපේක්ෂාවන්ට පටහැනි වන ආකාරයකින් අවසන් වීමයි.


*2015 පෙබරවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ Plug The Loopholes නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය
(Vikalpa)

Share on Google Plus