ධනපති පක්ෂ, ජාතික මතවාදය හා හෙළ උරුමයේ නව පෙළ ගැස්ම.


අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම නියෝජිතයකු වූ තිලක් කරුණාරත්න වුවද සැබෑ න්‍යායධරයා වූයේ මහාචාර්ය නලින් ද සිල්වා හැදින්වූ පරිදි “සිංහල ප්‍රභාකරන්” කෙනෙකු වූ පාඨලී චම්පික රණවකයි.

2000 වර්ෂයේ මහා මැතිවරණයෙන් සිහල උරුමය ලැබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නීතීඥ එස් එල් ගුණසේකරට හිමි විය යුතු යැයි පක්ෂය තුළින් ආ යෝජනාව පාඨලී චම්පික රණවක විසින් ප්‍රතික්ශේප කිරීම එහි පළමු පිපිරීම විය. එස් එල් ගුණසේකර කදුළු පිරි දෙනෙතින් ඉකි ගසමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තමන් සිංහල වුවත් කතෝලිකයකු වූ නිසා මන්ත්‍රී ධූරය තමන්ට අහිමි වූ බවය. සිංහලයකු වුවත් බෞද්ධයකු නොවේ නම් සිහල ජාතිකවාදයේ නියෝජනයට අවකාශයක් නොමැති බව එහි මතවාදී දෘෂ්ඨිවාදය තීරණය කිරීම මීට හේතුවයි. ඒ අනුව එය පක්ෂයක වූ හුදු පිපිරීමකට වඩා නව සහශ්‍රයේ හිස එසවූ සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදයේ මතවාදී පිපිරීමක් ලෙස හදුනාගත හොත් වඩා නිවැරදි වේ. ජාතිකවාදී ව්‍යාපාරයක් ආගම,කුලය හෝ වෙනත් බෙදීම් අනුව පරමාණුකරණය විය නොහැකි වුවත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරයට ආවේනික දෘෂ්ඨිවාදීමය ගැටළුවක් නිසා එය හැමවිටම බෙදී වෙන්වී යෑමට දැක්වූයේ වැඩි කැමැත්තකි.

1978 දී ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව කරා එනවිට ජාතිකවාදී මතවාදයන් දැරූ සමාජ කොටස් ගොනුවී තිබුණේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටාය. ගෝලීය ප්‍රාග්ධනය එතෙක් ලාංකික සමාජයේ තිබූ සම්ප්‍රදායික සමාජ පුරුෂාර්ථයන්හි පදනම් වෙනස් කරමින් සිටී අතර ඒ කම්පනයන් දරා ගැනීමට අපහසු වූ සමාජය විමුක්තියේ නව මං සොයමින් සිටීයහ. විශේෂයෙන් සමාජයේ ආන්තික කොටස් තවදුරටත් ආන්තිකකරණයට ලක්වීම ද සම්ප්‍රදායි සමාජ ස්ථරයන්ට එල්ල වූ බලපෑම් ද නිසා සමාජය තුළ ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කදවුරු බැද ගැනීමක් සිදු වුණි. එහෙත් මේ වනවිටත් සමාජ සම්බන්ධතා ප්‍රති ව්‍යහගත වෙමින් තිබුණේ ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙසිනි. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනය මුළුමනින්ම නොතකා කටයුතු කිරීමට සමාජයට නොහැකි වුණි. විශේෂයෙන්ම ධ්‍රැවීකරණය වෙමින් ආ අතරමැදි පන්තියට ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූයේ එම සමාජ කොටස්වල පදනම සකස් වී තිබුණේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය මත බැවිනි. අනෙක අතර මැදි පන්තිය විශාල සීඝ්‍රතාවකින් වර්ධනය වී පුළුල් වූයේ ද ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තුළය. ඒ නිසා අතරමැදි පන්තිය සමාජ විමුක්තිය සදහා ජාතිකවාදය මත පදනම් වෙමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක ගොනු වුණි.

ජාතිකවාදය එහි කෝෂාර්ථයෙන් අර්ථ දැක්වෙන්නේ ධනපති පන්තිය තුළය. ලෝකයේ සාර්ථක ජාතිකවාදී ව්‍යාපාරයක් ඇත්නම් එය පදනම් වී ඇත්තේ ධනපති පන්තිය මතය.නමුත් ගෝලීය ප්‍රාග්ධන ව්‍යාප්තිය හමුවේ තවදුරටත් පවුරු පදනම් තුළ සීමාවීමට ධනපති සමාජයට නොහැකි වුණි. පටු බෙදීම් ඉවත ලා ගෝලීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ ප්‍රථිපලය වූයේ ජාතිකවාදී මතයන් දැරූ සමාජ කොටස් ලාංකික ධනපති පන්තිය හැර යෑමයි. ධනපති පන්තයෙන් ගිලිහී ගිය ජාතිකවාදී මතය දෝතීන් බදා ගත්තේ අතරමැදි පන්තිය වීම ලාංකික සමාජ අර්බුදයේ උභතෝකෝටීකයයි. යම් ජාතියක ස්වයං සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රයත්නය මතවාදීව සූත්‍ර ගත කිරීම එම ජාතියේ ජාතිකවාදයයි. ඒ අනුව පටු බේදයන් ඉක්මවා සමස්ත ජාතිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ධනපති පන්තියට පමණි. එම මතවාදය අතරමැදි සමාජ ස්ථර කරා ආ විට පන්ති ස්ථරයේ සමාජ වගකීම් එකිනෙකින් වෙනස් නිසා අතර මැදි පන්තිය කටයුතු කරන්නේ පුළුල් ජාතිකවාදය ඉක්මවා ගිය පරමාර්ථයෙනි. ඒ නිසා ජාතිකවාදය වර්ගවාදී අගු පිල් කරා ඇදී යෑමත් පටුවීමත් තාර්කිකය. ඒ අර්ථයෙන් ජාතිකවාදය යම් සමාජ කාර්යභාරයක් ඉෂ්ඨ කරන්නේ ධනපති පන්තියයේ ග්‍රහණයට එය ලක් වූ විට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට මූලික වූ කුරුණෑගල මන්ත්‍රී එච් ශ්‍රී නිස්සංක සිංහල ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී අයෙකි. එසේම හොරණ මන්ත්‍රීවරයා වූ විල්මට් ඒ පෙරේරා ද දණ්ඩගමුව මන්ත්‍රීවරයා වූ අයි එම් ආර් ඊරියගොල්ල ද සිංහලයන් වෙනුවෙන් පෙනී සිටී දේශපාලකයන් ය. මේ මන්ත්‍රීවරුන් සැමදාම කතා කළේ සිංහල ජාතියේ අභිවර්ධනය වෙනුවෙනි. නමුත් ඔවුහු වෙනත් ජාතියක අයිතීන් කප්පාදුවක් වෙනුවෙන් කිසි දා පෙනී සිටීයේ නැත. ඒ නිසා පුරවැසිකම් පිළිබද විශේෂ විධි විධාන පනත ගෙන ආ විට ඊට මේ මන්ත්‍රීවරුන් එදා විරුද්ධ වූයේ අදාළ පනත මගින් නීතියේ මූලික පදනමට අභියෝග එල්ල වෙන බව ප්‍රකාශ කරමිනි. එම පනතට පක්ෂවෙමින් ද ඇති තරම් වර්ගවාදී පිළිකනුවල ලගිමින් ද කටයුතු කිරීමට මේ මන්ත්‍රීවරුන්ට හැකි වුවද ඔවුන් එසේ නොකළේ ඒ නිසා සිංහල ජාතියට විශේෂ වාසියක් අත් නොවන බව දන්නා බැවිනි.ඒ අර්ථයෙන් සිංහල ජාතිකවාදය අතීතයේ දී පදනම් වී තිබුණේ ධනපති සමාජ ස්ථරය අතර බව ප්‍රකාශ කළ හැකිය. ඒ නිසා ජාතිකවාදයේ හැසිරීමට, වඩා විදග්ධ පදනමක් තිබුණි. අද සිංහල ජාතිකවාදය පදනම් වී ඇත්තේ අතරමැදි පන්තිය මතය. ඒ නිසා එය සිංහල බෞද්ධ වර්ගවාදයක් ලෙස පෙනී යෑම පුදුමයක් නොවේ. එය මෙම යුගය තුළ ජාතිකවාදයේ දෘෂ්ඨිවාදී ගැටලුවකි.

සිංහල ජාතිකවාදය යැයි කියා ගන්නා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මේ වනවිට පත්ව ඇත්තේ ඉතිහාසයේ හාස්‍යජනකම තත්ත්වයට ය. හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ සහායෙන් ශ්‍රී ලංකා රාජ්‍යයේ මිලිටරි බලයේ හයියෙන් ශක්තිමත් යෝධයකු බවට පත්ව සිටි සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය අද පවතින තත්ත්වයට පත්වූයේ පසුගිය ජනාධිපතිවරණයෙන් සිදුවූ බල කේන්ද්‍රයේ වෙනස නිසාය. රාජ්‍ය බලය අහිමි වූ තත්ත්වය තුළ පැවැත්ම සදහා පදනමක් නොමැති මතවාදයක් ලෙස සමාජය ඉදිරියේ දුර්වල වෙමින් පවතී. එහි තර්කානුකූල විනිශ්චය වන්නේ රාජ්‍ය බලයේ ගැම්ම නොමැතිව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට නැගී සිටිය නොහැකි බවයි.

ඒ අර්ථයෙන් ජාතික හෙළ උරුමය තාර්කික පසු විපරමක් කරමින් ජාතිකවාදයේ දේශපාලන පෙළ ගැස්ම නැවත සකස් කර ගැනීමට උත්සාහ දරන්නට පටන් ගත්තේ දැනට දෑ අවුරුද්දකට පමණ පෙරදී ය. ඒ අනුව ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සිංහලබෞද්ධ සීමාන්තික තත්ත්වයෙන් ඉවතට ගනිමින් ධනේශ්වර රාමුවක ආර්ථික අවශ්‍යතාවන්ට හානිදායක නොවන ලෙස පෙළ ගැස්වීමට උත්සාහ ගනිමින් තිබුණි. එහි තර්කානූකූල අවසානයක් කරා තවමත් ඒ පක්ෂය පැමිණ නැතත් එහි පසුවිපරම හා අලුතින් පෙළ ගැස්ම අගය කළ යුත්තකි. සිංහල ජාතිකවාදී ව්‍යාපාරය පෙනී සිටීය යුත්තේ සිංහලයන්ගේ සැබෑ අයිතීන් හා උරුමය වෙනුවෙන් මිසක් අනෙකාගේ අයිතීන් හා උරුමයන් කොල්ල කා ගැනීමට නොවේ. ඒ අනුව ජාතියක් ලෙස නැගී සිටීමට අනෙකුත් සියළු බෙදීම් ඉවත ලා කටයුතු කළ යුතුය. එවැනි ජාතිකවාදී ව්‍යාපාරයක මතවාදී අවශ්‍යතාවක් සමාජය තුළ පවතින බව නොරහසකි. එහෙත් සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ශක්තිමත්ව නැගී සිටීමට නම් එය සිංහල ධනපති පන්තිය මත පෝෂණය වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය.


කේ.ජී.පිලිප් ශාන්ත.
shan.info1978@gmail.com
Colombo Telegraph



Share on Google Plus