පීකේ සහ ෆායි ගේ ජීවිතයේ සිට පීප්ලි ලයිව් දක්වා - බාසුරු ජයවර්ධන.


ආගම සකස් කරන්නේ මිනිසා බවත්, මිනිසා සකස් කරන්නේ ආගම නොවන බවත්, මාක්ස් වරෙක ලීවේය. එසේනම් මිනිසාගේ භාවිතාව දෙවියන් හමුවේ ද්විතීක(Advanced)වන අතර දෙවියන් නිර්මාණය කිරීම මිනිසාගේ ප්‍රාථමික(Primary)භාවිතාවකි. මේ දිනවල ලොව පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වන pk බොලිවුඩ් චිත්‍රපටය ද තේමාත්මක වශයෙන් ආගම සහ මිනිසා අතර පවතින බැඳීම විවේචනයට හසු කර ගනු ලබන කොමර්ෂලීය චිත්‍රපටයකි.

මෙම තේමාවම, එනම් ආගම හරහා මිනිසා සද්භාවය පිළිබඳව ආත්මීය කියවීමකට ප්‍රවේශවීමට ගනු ලබන වෑයම යෑන් මාර්ටෙල් ගේ life of pi කෘතිය හරහා නිමවුන එම නමින්ම යුතු චිත්‍රපටයේ ද අන්තර්ගත වේ. නමුත් මාර්ටෙල්ගේ කෘතිය හරහා නිම වුන චිත්‍රපටය මිනිසාගේ පරාරෝපණය පිළිබඳව කතා නොකර ඒ වෙනුවට දේවත්වය පිළිබඳ සංශයත්, ඒ හරහා දෙවියන් පිළිබඳව ආත්මීය කියවීමකට මිනිසා යොමු වීම පිළිබඳවත් තේමා කොට ගෙන ඇත.

එයින් වියුක්තව pk ස්වකීය අනන්‍යයතාවයේ අවසානය සනිටුහන් කරනුයේ, ආත්මීයව එක් විය හැකි දෙවියකු ඇත, නමුත් ආගම තුළින් ගොඩනැගෙන මිනිසාගේ පරාරෝපණය පිළිබඳව ‘සහනයෙන්‘ මිනිසා නිදහස් විය යුතුය යන්නත් අවධාරණය කරමිනි. ඒ අනුව මිනිසා මිනිසාට උපකාර කළ යුතු අතර(සාමාජීයව මිනිස් ප්‍රජාවම සංයුක්තව විසඳුම් සෙවීම) කේවල පදාර්ථයකට මනුසත්භාවයේ ඉරණම භාර දිය යුතු නැත.

pk යනු සැබැවින්ම ආරම්භක මොහොතේ සිටම අවසානය දක්වාම කුල්මත් හැඟීමකින් යුක්තව නැරඹිය හැකි චිත්‍රපටයකි. නිර්ණාමික පිටසක්වල ජීවියෙකු නිරුවතින් පෘථිවියට පැමිණ තම අභ්‍යවකාශ යානයේ දුරස්ථ පාලකය සොරාගෙන යෑම නිසා එම පිටසක්වල ජීවියා මුහුණ දෙන සිදුවීම් ඇසුරෙන් මෙම චිත්‍රපටය ගොඩ නැගී තිබේ.

නිරුවත් වානරයා ස්වකීය අඟ පසග වසා ගෙන ඇඳුම් සහ විලාසිතාවන්ගෙන් විකෘති වී ඇති බව බව පවසන pk(මෙම පිටසක්වළ ජීවියා පසුව මෙම අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර මෙහි තේරුම බීලද? යන්නයි.) ජක්කූ නම් තම යෙහෙළියට කපුටෙකු පෙන්වා පවසන්නේ, ‘අර කපුටා ඉන්නේ හෙළුවෙන්. ඒකේ අමුත්තක් තියෙනවද? ඇඳුමක් ඇන්දොත් නම් විකාරයක් වගේ පෙනේවි‘ යැයි කියාය.

වර්තමාන මොහොත වන විට ඇඳුම ස්වකීය නෛසර්ගික අවශ්‍යතා පූරකයක් වශයෙන් ක්‍රියා කිරීම පසෙකලා, එය විලාසිතාවක් බවට පත් වීම තුළින් අවශ්‍යතා පූරණය පසෙකළා මූල්‍යමය අනන්‍යතාවය පිළිබඳව සංකේතයක් වශයෙනුත් ආගමික අනන්‍යයතා සංකේතයක්  බවටත් එය පත්ව ඇත යන ගැඹුරු කාරණාවකට එම දෙබස් ඛණ්ඩය අපව රැගෙන යනු ලබයි. මෙලොවට පැමිණි විගසම pk සිතන්නේ, මෙලොව මිනිසුන්ගේ සම එක් එක් පුද්ගලායාගෙන් වෙනස් බවයි. ඔහු මෙසේ පවසයි.

  • 'කෙනෙකුගේ හම රතු පාටයි. තවත් කෙනෙකුගේ හම දිළිසෙනවා....'

ඔහු මෙළෙස පවසන්නේ, සැබැවින්ම මිනිසා තුළ පවතින නෛසර්ගිකමය ඡවි වෙනස නොව, විලාසිතා තුළින් මිනිසා අත් කරගෙන ඇති විකෘතිය පිළිබඳව ප්‍රකෘති මිනිසෙකුගේ කියවීමයි. උණුසුමෙන් සහ සිතළෙන් ආරක්ෂාවීමට ඇඳුම් ඇඳීම වෙනුවට වෙළඳපොළ ධනවාදය හරහා මිනිසා තුළ ජනිත වන අර්චන කාමය ඔහුට/ඇයට පවසන්නේ, තව වැඩි වැඩියෙන් ඇඳුම් අදින්න, විවිධත්වයෙන් යුතු ඇඳුම් අදින්න යනුවෙනි.

ඉතිං, ඒ සඳහා ඔහුට තව තවත් මුදල් අවශ්‍ය වේ. බෝර්දෝගේ මතයට අනුව පසුව එය පංතිමය විලාසිතාවක් බවට පරිවර්තනය වේ. නිරුවතින් රමණයේ යෙදෙන මිනිසුන් දකින pk ඔවුන්ගේ මුදල් සහ ඇඳුම් සොරා ගැනීම ආරම්භ කරයි. සොරකම පිළිබඳවත් මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතුය. pk මෙලොවට පැමිණි පසු ඔහුව දකින පළමු තැනැත්තාම ඔහුගේ ගෙලෙහි රැදි දුරස්ථ පාලකය එල්ලූ මාලය කඩා ගෙන යන අතර pk මඳ තැති ගැන්මකින් යුතුව බලා සිටින්නේ, සිදු වූයේ කුමක්ද කියාය. පසුව කාරණය වටහාගත් ඔහු මිනිසා පසු පස දිව යයි. ඔහු මෙ ලොවට පැමිණ ඉගෙන ගන්නා පළමු පාඩම සොරකමයි. එය ඔහුට ලෝකයට අනුගත වීමට සරිලන සේ මුදල් සහ ඇඳුම් ලබා දේ. මෙය කෙතරම් නම් ගැඹුරු කාරණාවක් ද?. මිනිසා තම පැවැත්ම සමාජගත කිරීමට සොරකමෙහි නිරතවීම අද්‍යතන සමාජක්‍රමය සමඟ මිනිසාට තිබෙන බැඳීම උත්ප්‍රාසයකින් යුතුව පෙන්වීමකි. අඩු වැඩි වශයෙන් ආගම ද එයට දායක වී තිබෙන්නේ, ලුවී අල්තුශර් පවසන රාජ්‍යයේ මර්දන උපකරණයක(පොලීසිය, හමුදාව) මුවාවෙන් බව pk හි පවතින උත්ප්‍රාසයයි.

දැන් අපේ වියමන මඳක් දුර දිග ගෙන යෑමට මට ඉඩ දෙන්න. ත්‍රිපිටකයේ දීඝ නිකායේ සඳහන්වන අග්ගඥ්ඤ සූත්‍රයෙහි සොරකම පිළිබඳව ඉතා අපූරු කතන්දරයක් සඳහන් වේ. මිනිසා තම ආහාර ගබඩා කිරීමට යොමු වීම නිසා ඔහු තම පළමු ධනය නිර්මාණය කර ගනී. ධනය (වස්තුව) නිර්මාණය වූ සැණින්ම සොරුන් ද බිහි වේ. හැල් වී රැගෙන ඒමට දින පතා කෙතට යෑම ප්‍රතික්ෂේප කරන මිනිසුන් තවත් අය එක්රැස් කරගත් ආහාර සොරා ගනී. නිරුවතින් මිහිපිටට පැමිණෙන pk සන්තකයේ තිබෙන එකම වස්තුව වන ගෙලෙහි රැඳි දුරස්ථ පාලකය ඔහුට මුණ ගැසෙන පළමු මිනිසාම සොරා ගැනීම තුළින් පුද්ගලික වස්තු තබා ගැනීම නිසා හට ගන්නා අතුරු භාවිතාව වන සොරකම පිළිබඳව වූ මනා නිරූපණයකි. කොටින්ම කියනවා නම් එම දර්ශනය නොපවසා පවසන්නේ ඔබ නිරුවතින්ම සිටිනවා නම් වඩා හොඳයි! යනුවෙන් මෙනි.

පසුගිය වසරේ තිර ගත වූ අමීර් ඛාන්ගේ චිත්‍රපටයක් වන Peepli Live යනු මාධ්‍යය සදාචාරය සහ වත්මන් මාධ්‍යයය භාවිතාව පිළිබඳව නිරූපිත සිනමා කෘතියකි. දුප්පත් දිළින්දෙකුගේ සිය දිවි හානි කරගැනීම සජීවීව පෙන්වනු ලබන විද්‍යුත් මාධ්‍ය කිසිඳු අපුලකින් තොරව එම ගොවියාගේ අශූචි පවා කැමරාවට හසු කරගනිමින් ඒවායේ පැහැය අනුව එම ගොවියාගේ මානසික මට්ටම විශ්ලේෂණය කර පෙන්වයි. මෙම ජුගුප්සාජනක මාධ්‍ය භාවිතාව pk චිත්‍රපටය තුළ ද තරමක් දුරට නිරූපණය කර ඇත. සිය දිවි හානි කරගන්නා බල්ලෙකුගේ ප්‍රවෘතිය පෙන්වන ජග්ගූ සේවය කරන නාලිකාව, අවසානයේ pk සම්බන්ධව කරගෙන යනු ලබන ප්‍රවෘත්ති වැඩසටහන්වලට ආගමනය වීම සමස්ථයක් ලෙස මාධ්‍යය  සතු විය යුතු වාර්තා කිරීම වෙනුවට ප්‍රශ්න කිරීම හා  වාර්තා කරනු ලබන දෙයහි බුද්ධිමය හෝ සමාජීය වැදගත්කම අවබෝධකරගැනීමේ අගය පෙන්වනු ලබයි. අද වන විට මෙරටේ ජනමාධ්‍යවේදය උගන්වන බොහොමයක් ගුරුවරුන් පවා ආචාරධර්ම පයිසෙකට මායිම් නොකරමින් යාන්ත්‍රිකව කෙනෙකුගේ සියදිවි නසා ගැනීම හෝ ‘කවර්‘ කළ යුතු බව තම සිසුන්ට උගන්වනු ලබයි. මේ සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමක් මට ද තිබේ. නමුත් අප සැබැවින්ම සිදු කළ යුත්තේ ඒ අමන වාර්තා කිරීම නම් නොවන බව මම අවධාරණයෙන් සඳහන් කරමි.

තම නැති වූ දුරස්ථ පාලකය සොයා ගැනීමට දෙවියන්ගේ පිහිට ලබා ගත යුතු බව තීරණය කරන pk කෝවිලක් අසළට ගොස් කුඩා අනුරුවක් මිල දී ගෙන අවසන එම අනුරුව මිලදී ගත් වෙළෙන්දාගෙන් අසන පැනය මෙම ලිපියේ ප්‍රවේශය කරා නැවත පොළා පැනීමට අපට මඟක් වනු ඇත.

  • 'දෙවියන් ඔබව මැව්වද ? නැතිනම් ඔබ දෙවියන්ව මැව්වද?'

දෙවියන් සම්බන්ධ සංශයේදී මාක්ස් පවා එම ඓතිහාසික ප්‍රශ්නයට අවතීරණ වීම පිණිස යොදා ගනු ලබන ප්‍රධාන ගණයේ තර්කයක් වන්නේ එයයි. සැබැවින්ම දෙවියන් අපව නිර්මාණය කළා නම් ඔහු දහසක් වූ ඔහුගේ දරුවන්ව බඩගින්නේ තබන්නේ ඇයි? ඔවුන්ව දිළිඳු බවේ පතුළට ඇද දමමින් තවත් කොටසකට සශ්‍රීකත්වය ලබා දෙන කුහක දෙවියෙකුගෙන් ඇති ඵලය කුමක්ද කියා pk අපෙන් විමසයි. අන්ධ භක්තිය පෙරදැරිකරගෙන ඊනියා ඉන්ද්‍රජාලිකයන්ට අසුවන දහසක් දෙනාගේ හදවතට pk නැරඹීමෙන් පසුව නම් ගැළවිය නොහැකි බව සහතිකය.

එය අපට පවසන්නේ විශ්වාසය(භක්තිය සම්බන්ධ විශ්වාසය) යන වදන වෙනුවට ප්‍රශ්න කරන්න යන වදන භාවිතා කරන ලෙසයි. මේ වන විට pk චිත්‍රපටය ලබා තිබෙන සාර්ථකත්වයට හේතු වී තිබෙන්නේ, මෙම බුද්ධිමය සංවාදය කොමර්ෂලීය අයුරින් ඉදිරිපත්කර තීබීමයි. පසුගිය දිනක ඉන්දීය ලේඛක කපිල් ඉසපූරි  පවසා සිටියේ මෙම චිත්‍රපටය තම “Farishta”නවකථාවේ සිදුවීම් උපුටාගෙන නිර්මාණය කර ඇති බවයි. මේ වන විට ඒ සඳහා ඉන්දීය අධීකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබෙනවා. කෙසේ වුවද සැබැවින්ම pk යනු නැරඹීමෙන් පසුව කිසිදිනෙක අමතක නොවන අපූරු චිත්‍රපටයකි.


බාසුරු ජයවර්ධන.
LNW

Share on Google Plus