Srilankan Airlines සල්ලි ගිල්ල හැටි. (විමර්ශන වාර්තාව ඇසුරින් සකස් කල විශේෂ ලිපිය)

ශ්‍රී ලංකන් එයාර් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගුවන් යානා පැදවීම පුහුණුවන යන්ත්‍රයක ආකෘතියක් පිළිගන්වමින්.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වරාය, නාවික හා සිවිල් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පත්කෙරුණු විමර්ශන මණ්ඩලයේ වාර්තාව දැන් නිකුත් වී තිබේ. පරිච්ඡේද 11 කින් සහ අනු කොටස් 10 කින් සමන්විත විශාල නිබන්ධයක් වන එම වාර්තාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මෙසේ පළකරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙතෙක් සැඟවුණු යථාර්ථය පොදු පාඨකයා හමුවේ තැබීමේ අරමුණෙනි.

විමර්ශනයට සහභාගි කරගත්තවුන්ගේ ලැයිස්තුව
(නිර්ණාමිකව සිටීමේ කැමැත්ත පළකළ අය හැර - අනුපිළිවෙළකට නොවේ)

1. නිශාන්ත ඒ. වික්‍රමසිංහ මයා - හිටපු සභාපති
2. කපිල චන්ද්‍රසේන මයා - ප්‍රධාන විධායක නිලධාරි (ඉල්ලා අස්විය)
3. යසන්ත දිසානායක මයා - මූල්‍ය ප්‍රධානී
4. ප්‍රදීප කැකුලාවල මයා - මානව සම්පත් ප්‍රධානී
5. කපිතාන් ඩෲවි පෙරේරා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
6. මේජර් ජෙනරාල් පියාදි චන්ද්‍රවංශ - සමූහ ආරක්ෂක ප්‍රධානී
7. මහේෂ් නානායක්කාර - අභ්‍යන්තර විගණක ප්‍රධානී
8. මායුකා රණසිංහ මයා - නීති අංශ ප්‍රධානී
9. සරත් ප්‍රනාන්දු මයා - ශ්‍රී ලංකා කේටරින් ප්‍රධාන විධායක නිලධාරි
10. නාලක සන්ජීව මයා - ශ්‍රී ලංකා කේටරින් මූල්‍ය ප්‍රධානී
11. චින්තක කුලතිලක මයා - මානව සම්පත් කළමනාකරු
12. චානක ඔලාගම මයා - බෙදාහැරීම් සේවා, ප්‍රධානී
13. ටයිටස් කන්නන්ගර මයා - ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමනාකරු
14. කපිතාන් උපුල් සමරකෝන් - ප්‍රධාන නියමු සමාකෘති මධ්‍යස්ථානය
15. ඇන්ජලෝ පුංචිහේවා මයා - රාෂ්ට්‍රීය කළමනාකරු- ඩුබායි
16. මොහාන් මීගොල්ල මයා - දේපොළ හා පහසුකම් කළමනාකරු
17. පුලස්ති ජයසිංහ මයා - මෙහෙයුම් කළමනාකරු
18. සී.පී.රාමනායක - ජ්‍යෙෂ්ඨ කාර්මික ශිල්පී
19. රජීව ජයවීර - විශ්‍රාමික ශ්‍රීලන්කන් නිලධාරි
20. නිත්‍යා සේනානි සමරනායක මිය - ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකා
21. චතුරිකා ජීවනී මුහන්දිරම් - ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකා
22. කේ. එස්. කරුණාරත්න මයා - ප්‍රධාන ආරක්ෂක අධීක්ෂක
23. කේ.ඩී. එල්. ජගත් කමල් පෙරේරා මයා - අධීක්ෂක
24. ඒ. එස් .සිල්වා මයා - ජ්‍යෙෂ්ඨ නඩත්තු අධීක්ෂක
25. ඒ. ෂාමල් ප්‍රනාන්දු මයා - අධීක්ෂක
26. පී.එම්.උපුල් බණ්ඩාර මයා - විධායක කෝකි
27. ප්‍රියාන් විජේසුන්දර මයා - ගුවන් සමාකෘති ඉන්ජිනේරු
28. අලි ඛාන් මයා - භාණ්ඩ ප්‍රධානී
29. ඒ. කේ. එම්. සුදසිංහ - ජ්‍යෙෂ්ඨ අධීක්ෂක
30. ඩී.ඩී.සී. දීපාල් - අභ්‍යන්තර විගණක නිලධාරී
31. කුමාරි වික්‍රමරත්න මිය - හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි
32. කපිතාන් යූ. එස්. බී. රණවීර - නියමු
33. කපිතාන් ටී.ආර්.ජේ.අමදෝරු - නියමු
34. කීර්ති දිසානායක මයා - ගුවන් සේවා ඉන්ජිනේරු
35. දීපාල් ලොකුගලප්පත්ති මයා - සමාකෘති මධ්‍යස්ථානයේ හිටපු කළමනාකරු
36. දේහාන් ද සිල්වා මයා - ප්‍රධානී - වාණිජ මෙහෙයුම්
37. සන්ජීව ජයතිලක මයා - ගුවන් ටැක්සි - කළමනාකරු

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව විමර්ශන මණ්ඩලයට බලය පැවරී තිබුණේ (i) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය බලය අයුතු ලෙස භාවිතා කිරීම (ii) ගුවන් යානා බද්දට ගැනීම හෝ සපයා ගැන්මේදී අක්‍රමිකතා සිදුව ඇති බවට සාධක තිබුණේ ද යන්න (iii) ශ්‍රී ලන්කන් ගුවන් සේවය මඟින් රුපියල් මිලියන 25 කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී නිසි ක්‍රියා පිළිවෙත අනුගමනය කර ඇතිද යන්න සහ (iv) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මනා ක්‍රියාකාරීත්වයට අහිතකර අන්දමින් බලපාන බාහිර මැදිහත්වීම් තිබුණේ ද යන්න බැලූ බැල්මට තහවුරු කෙරෙන සාක්ෂි තිබුණේ ද යන්න විමසා බැලීමටය.

ඉහත කරුණු 4 සම්බන්ධව බැලූ බැල්මට තැතිගැන්වෙන තරමේ සාක්ෂි ඇති බව විමර්ශන මණ්ඩලය සොයා ගැනිණ.

2011/2012 වසරේ සිටම මේ නැඹුරුව දක්නට ලැබුණු අතර හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ පූර්ණකාලීන පදනමකින් එම තනතුරට පත්කිරීමෙන් හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිල චන්ද්‍රසේන පත්කිරීමෙන් පසුගිය රජය ඊට දිරි දී ඇති බව පෙනී ගොස් තිබේ.

විමර්ශන මණ්ඩලයේ විශ්ලේෂණයන් හා සොයා ගැනීම් පහත සඳහන් පරිච්ඡේද යටතේ ව්‍යුහගත කර තිබේ.

1. හැඳින්වීම.
2. හිටපු සභාපති හා හිටපු ප්‍රධාන විධායක නිලධාරි
3. මානව සම්පත්
4. ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු
5. බාහිර බාධක හා අයථා ක්‍රියා
6. ශ්‍රී ලන්කන් කේටර්ස්
7. ප්‍රචාරණය හා අනුග්‍රාහකත්වය
8. ගුවන් ටැක්සි සේවය
9. ගුවන් යානා ප්‍රතිපියාසර
10. ගුවන් යානා ප්‍රතිවින්‍යාශය
11. ආයතනික පාලනය 

මේ විවිධ අංශ පිළිබඳව වාර්තාවේ දැක්වෙන ස්වභාවයන්ට අනුව බහුවිධ ප්‍රශ්න පිළිබඳ නිගමනයන් හා නිර්දේශයන් සෑම පරිච්ඡේදයකම හා අනුපරිච්ඡේදවල දක්වා ඇත.


  • 1. හිටපු සභාපති හා හිටපු ප්‍රධාන විධායක නිලධාරී

හිටපු සභාපති හා හිටපු ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඉතා අප්‍රසන්න ලෙස බලය අයුතු ලෙස භාවිතා කර ඇති බව විමර්ශන මණ්ඩලයට නිරීක්ෂණය විය. විධායක මට්ටමින් ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පත්කිරීම පැහැදිලිවම සමපාර්ශ්වීය අවශ්‍යතාවක් අනුව සිදුකරන ලද්දක් ලෙස පෙනී ගොස් තිබේ. විශේෂයෙන්ම පූර්ණකාලීන සභාපතිවරයාට ගුවන් සේවා කර්මාන්තයේ පළපුරුද්දක් නැති බව සැලකිල්ලට ගැනීමේදී පූර්ණකාලීන සභාපතිවරයකුගේ පැවැත්මේ යුක්ති සහගත බවක් විමර්ශන මණ්ඩලය නොදකී.

ප්‍රධාන විධායක නිලධාරි චන්ද්‍රසේනගේ සුදුසුකම් හා පළපුරුද්ද පැහැදිලිවම විදුලි සංදේශ ක්ෂේත්‍රය හා බැඳී පවතිද්දී, බොහෝ කරුණු සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඔහුගේ එකම ගුවන් සේවා පළපුරුද්ද මිහින් ලංකා හි කෙටිකාලයකට සීමා වී තිබීම නිසා ඔහු එම තනතුරට පත්කර තිබීම සැක කටයුතු බව විමර්ශන මණ්ඩලයට පෙනී ගොස් තිබේ. ඔහුගේ පත්වීමේ යෝග්‍යතාව හා සැකකටයුතු බව තවදුරටත් තහවුරු කෙරෙමින් ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පත්කිරීම කිසිදු තරඟකාරී සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් තොරව සිදුව තිබිණ.

මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විධායක ප්‍රධානීන් දෙදෙනෙක් විය. එක් අයෙක් අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා විය. අනෙක් පුද්ගලයා ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ මද පළපුරුද්දක් හෝ නොතිබුණු එහෙත් ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවය කළමනාකරණය කිරීමේ කාර්ය බාරය පැවරුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කළමනාකාරීත්ව ප්‍රධානියා විය.

විමර්ශන මණ්ඩලයට කළ හැකි එකම නිගමනය වන්නේ මේ පත්වීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපරිම යහපත අරමුණු කරගත්තක් නොව නිශ්චිතවම සමපාර්ශ්වීය අවශ්‍යතා ඉටුකර ගැන්මක් බවය. පරීක්ෂණය පුරාම මේ බව මනාව පැහැදිලි විය. විමර්ශන මණ්ඩලයේ විශ්වාසය වන්නේ මෙම ක්‍රියාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි බලපාන ලද අතර අත්විඳීමට සිදුව ඇති විශාල අලාභවලට මූලික හේතුවක් වූ බවය.


  • 2. මානව සම්පත්

මානව සම්පත් කළමනාකරණය ගුවන් සේවා කර්මාන්තයේ සමස්ත පූරණය සඳහා අවශ්‍ය කොටසක් බව විමර්ශන මණ්ඩලයට පෙනී ගියේය. කෙසේ වෙතත් හිටපු සභාපති වික්‍රමසිංහ, හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කපිතාන් ඩෲවි පෙරේරා හා මානව සම්පත් ප්‍රධානී (HHR) ප්‍රදීප කොතලාවලගේ බලාධිකාරයෙන් ඇතිවූ බලපෑම් විසින් මෙහෙයවන ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නීති හා රෙගුලාසි ක්‍රියාත්මක වීම පැහැදිලිවම අනනුකූල වූවක් බව දක්නට ලැබිණ.

තවද හිටපු ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන, කලින් නොතිබුණු තනතුරක් වන යුරෝපා - විකුණුම් හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ලෙස පත්කිරීම ඇතුළු සමහර උසස්වීම් හා මූලික පත්වීම් විමර්ශන මණ්ඩලය විසින් නිරීක්ෂණය කෙරිණ. ආයතනයේ ඵලදායකත්වය හා දිරිමත් බවට බලපාන අයුරින් මානව සම්පත් ප්‍රතිපත්තිය හා එහි තීරණයන්ගේ අනුරූපතාවෙහි බරපතළ අඩුවක් පැවති බව විමර්ශන මණ්ඩලය නිගමනය කරයි. ඉන් බලය අයුතු ලෙස යොදා ගැන්මට පාදක වන සංස්කෘතියක් සඳහා අවස්ථාවන් නිර්මාණය කර තිබිණ.

එහෙයින් මානව සම්පත් ප්‍රතිපත්තිය, ආකල්ප හා සංස්කෘතිය, ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකමින් මුළුමනින්ම ප්‍රති ඇගැයුමකට ලක්කළ යුතු බවට විමර්ශන මණ්ඩලය නිර්දේශ කරයි.


  • 3. ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු

මේ පරිච්ඡේදයේදී (i) පොදු විකුණුම් ඒජන්ත පත්කිරීම (ii) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවිය හා අන්තර්ජාලයෙන් ආසන වෙන්කර ගැනීමේ යාන්ත්‍රණය බැහැර පාර්ශ්වයකින් ලබාගැන්ම (iii) ගුවන් යානයේ තීරු බදු රහිත සේවා කොන්ත්‍රාත්තු (iv) ගුවන් යානයේ භාවිතය සඳහා වයින් හා ෂැම්පේන් සැපයීම හා බෙදාහැරීම (v) මගී සේවයේ නිරතවන්නන් ප්‍රවාහනය කිරීම සඳහා ටෙන්ඩර් ප්‍රදානය කිරීම (vi) ගුවන් රක්ෂණය සඳහා රක්ෂණ තැරැව්කරුවකු පත්කිරීම (vii) භාණ්ඩ පිරික්සුම් ද්විත්ව එක්ස්-රේ යන්ත්‍රය සැපයීම සඳහා වන ටෙන්ඩර් අවලංගු කිරීම (viii) සමාකෘති කොන්ත්‍රාත්තුව යන අංශ විමර්ශන මණ්ඩලය විසින් විශ්ලේෂණය කෙරිණ.

2011/ 2012 වසරේ සිට හෝ ඒ ආසන්නව හෝ ශ්‍රී. ල. ගු. සේවය මඟින් අත්හල ප්‍රසම්පාදන ටෙන්ඩර් පටිපාටීන් සියල්ලම පාහේ ඉතා බරපතළ අයුරින් නොතකා හැර ඇති බව විමර්ශන මණ්ඩලයට පෙනී‍ ගියේය. මෙය හිටපු සභාපති වික්‍රමසිංහ හා හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේනගේ කළමනාකාරීත්ව පාලනය හා තීරණ ගැනීමට අදාළ වූවක් බව විමර්ශන මණ්ඩලයේ මතයයි.

ඉහත සඳහන් කරුණට අදාළ බොහෝ තීරණ ශ්‍රී. ල. ගු. සේවයට යහපත් ප්‍රතිඵල අත්කර දෙන්නක් නොවුණු බව විමර්ශන මණ්ඩලයට පෙනිණ. පොදු විකුණුම්, ඒජන්තවරුන් පත්කිරීමේදී අක්‍රමිකතාවන් සිදුව ඇති අතර පොදු විකුණුම් මාර්ගෝපදේශනය යටතේ දැක්වෙන ක්‍රියාපටිපාටීන් අත්හැර තිබීම පැහැදිලි උල්ලංඝනයක් බවත්, විමර්ශන මණ්ඩලයට පෙනී ගියේය. විශේෂයෙන්ම එවන් පොදු විකුණුම් ඒජන්තකමේ සැබෑ අර්ථලාභී හිමිකරුවන් වසංකිරීමේ පැහැදිලි ප්‍රයත්නයක් පැවති හෙයින් රුසියාවේ හා ඕස්ට්‍රේලියාවේ පොදු විකුණුම් ඒජන්තයින් ගැන විශේෂ අවධානයක් යොමා තිබිණ. රුසියාවේ පොදු විකුණුම් ඒජන්තයින් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ගේ මැදිහත්වීමත්, රුසියාව හා ඕස්ට්‍රේලියාව යන දෙරටම සම්බන්ධයෙන් ඩිලාන් ආරියවංශගේ මැදිහත්වීමත් ප්‍රශ්නකාරී හා සැකකටයුතු බව විමර්ශන මණ්ඩලයට පෙනී ගොස් ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙබ් අඩවිය හා අන්තර්ජාලයෙන් ආසන වෙන්කර ගැන්මේ යාන්ත්‍රණය බාහිර පාර්ශ්වීය සේවා ලැබීමක් ලෙස හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේනගේ සමීප සහකරුවකු බව සැලකෙන සීමාසහිත M/S එජ් ගෲප් (පෞද්) සමාගම වෙත පැවරීම අක්‍රමිකතාවක් වූවා පමණක් නොව ශ්‍රී. ල. ගු. සේවයට අති විශාල පිරිවැයක් දැරීමට හා අලාභයක් විඳීමට සිදුව ඇති බව විමර්ශන මණ්ඩලයට පෙනී ගියේය.

තීරු බද්දෙන් නිදහස් සේවාවන් හා වයින් හා ෂැම්පේන් සැපයීම යන කාර්යයන් දෙකම බාහිර පාර්ශ්වයකින් ලබාගැන්මේ කොන්ත්‍රාත්තුව M/S ෆීනික්ස් රයිසින් වෙන්ඩර්ස් සමාගම වෙත පැවරීම හිටපු සභාපති හා හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වෙත කළ පෞද්ගලික ඉල්ලීමක ප්‍රතිඵලයක් විය. මේ කොන්ත්‍රාත්තු ලබාදීම කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් යටතේ සිදු නොවිණ. මේ කොන්ත්‍රාත්තු දෙකට අදාළව ශ්‍රී. ල. ගු. සේ. කළමනාකාරීත්වය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ සමහර ලියකියවිලිවල අත්‍යවශ්‍ය සාධක සමහරක් සාවද්‍ය ලෙස දක්වා තිබුණු අතර තවත් සමහරක් යටපත් කර තිබිණ.

මේ පරිච්ඡේදය යටතේ විශ්ලේෂණය කෙරුණු කොන්ත්‍රාත්තුවලදී අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය සෑම මට්ටමකදීම බලය අයථා ලෙස භාවිතා කර ඇති බව මනාව තහවුරු වූ අතර එය ශ්‍රී ලන්කන් ගුවන් සේවා ක්‍රියාදාමයේ අප්‍රසන්න යථාර්ථය නිරූපණය කරන්නක් විය.

ඉතිරි කොටස හෙට
-දිනමිණ පුවත්පත ඇසුරිණි.


Share on Google Plus