'මිස්ටර් ක්ලීන්' ගේ නව දේශපාලන සංස්කෘතිය.


ඇතිවීම, නැතිවීම හා නැවත ඇතිවීම විශ්වීය යථාර්ථයයි. එම යථාර්ථයට පිටුපා කටයුතු කරන්නෝ ලෞකික වශයෙන් වෙන්ව අලෞකික වශයෙන්ද පිරිහීමට හා පරාජයට පත්වන්නාහුය. මේ සිද්ධාන්තය දේශපාලනයටද පොදුය.

වෙනස්වන ආර්ථික, සමාජීය හා දේශපාලනික අවශ්‍යතාවන්ට අනුරූපව වෙනස් නොවූ දේශපාලන පක්ෂ නායකයින්ට හා කණ්ඩායම්වලට පරාජයත්, කාලීන සමාජ යථාර්ථයක් සමග කථිකාවක යෙදුණු නායකයින් හා පක්ෂ ජයග‍්‍රහණය කරනු ලැබීමත් මෙම වර්ෂයේ ආරම්භයේ සිට අප අත්දුටු අත්දැකීමකි.

අද අප ජීවත්වනුයේ ගෝලීයකරණය වූ සමාජයකය. අන්තර්ජාලය ඔස්සේ ජාත්‍යන්තරයේ ඇතිවන වෙනස්වීම් සමග පුද්ගලාන්තරය තුළ ඇතිවන සිතුම් පැතුම්වල වෙනස්වීමද සියුම් ලෙස ග‍්‍රහණය කරගැනීමේ ඥානයක් දේශපාලන නායකයින්ට තිබිය යුතුය. නූතන පරම්පරාව යුද්ධය, ප‍්‍රචණ්ඩත්වය, මැර බලය හා ජාතිවාදය අලූයම ලූ කෙළපිඩක් සේ බැහැර කරන බව ජාත්‍යන්තරය විමසා බලන විටද පැහැදිලිවම පෙනී යන කාරණයකි. ඇමෙරිකා එක්සත් ජනපදය හා එංගලන්තය මැද පෙරදිග කලාපයේ ගෙනයන අධිපතිවාදී යුද මානසිකත්වය හා බටහිර ව්‍යාප්තිවාදයට එරෙහිව එම රටවල තරුණ පිරිස් අතර දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 


  • ජාතිවාදය

ජාතිවාදය හා ආගම්වාදය කරපින්නා ගත් සාම්ප‍්‍රදායික දේශපාලනික මතිමතාන්තර නූතන පරපුරේ ආකර්ෂණයට කිසිසේත්ම හේතු නොවන බව ගෝලීය හැසිරීම නිරීක්ෂණය කරන විට මැනවින් පෙනී යන කාරණයකි. එම යථාර්ථය ශ්‍රී ලංකාවටද අදාළ බව 2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේත් ඉන් අනතුරුව අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයේත් ප‍්‍රතිඵල විග‍්‍රහයන් බලනවිට පෙනී යයි.

වසර 30 ක් රුදුරු ත‍්‍රස්තවාදයෙන් වෙලී සිටි ශ්‍රී ලංකාව 2009 වර්ෂයේ මැයි මාසයේදී මුළුමනින්ම මුදාගැනීමට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. එම ජයග‍්‍රහණයට කෘතගුණ සැලකූ මෙරට ජනතාව 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර දුන්නේය. යුද්ධයේ ගිනිදැල් නිවී ගියද අලූයම ගිනි පුපුරු තිබිය හැකිය. එහෙයින් යුද්ධයෙන් වැටුණු රට ගොඩගන්නා අතරතුර උණ්ඩයෙන් තැලී පොඩිවුණු උතුරු නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජන හදවත් යළි සුවපත් කිරීමේ මහඟු කර්තව්‍යයද කළ යුතුව තිබුණි. එහිදී යාපනයේ පුස්තකාලය යළි ගොඩනැගුණද, යාපනය මහ රෝහල ඉදිවුණද, යාල්දේවිය කොළඹ සිට කන්කසන්තුරය, බලා යළි ගමන් ආරම්භ කළද ජාතීන් අතර අන්‍යොන්‍ය සුහදතාවය හා සහෝදරත්වය අවංක පදනමක් මත පිහිටා ගොඩනැගීමට දේශපාලන අධිකාරිය කටයුතු කළේද යන්න ප‍්‍රශ්නාර්ථයකි. ඒ වෙනුවට කොටි අවතාර දේශීයවත් ජාත්‍යන්තරවත් සැරිසරන බව කියමින් බෙදුම්වාදය හා ජාතිවාදය වපුරවමින් ඒ ඒ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට උත්සුක වූවා මිස විවෘත මනසකින් සමාජය විනිවිද බැලීමට නායකත්වය කටයුතු කළේ නැත.

"හලාල්" වැනි දශක ගණනාවක් පුරා පැවැති සාම්ප‍්‍රදායික පිළිවෙත්වලට හිටි ගමන් මතුවූ විරෝධයන් පාලනය කිරීමට පැවැති ආණ්ඩුව අසමත් වීමත් සමග ජාතිවාදී මුහුණුවරක් දක්වා එම විරෝධතා උත්සන්න වූ බව අපට අමතක කළ නොහැකිය. මුස්ලිම්, සිංහල ජාතීන් අතර පැවැති අන්‍යොන්‍ය සුහදතාවයට ඉන් තාවකාලිකව කැළලක් එකතු වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එය දැවැන්ත පාරා වළල්ලක් විය.

ඉකුත් ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේදීත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුළු ජාතීන්ගේ ඡුන්ද නොලැබී යාම ඔවුන්ගේ පරාජයට මූලික හේතුවක් විය.

කෙසේ වෙතත් මැතිවරණ 29 ක් පරාජයට පත්වී සිටියද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිවාදී මඩ ගොහොරුව කලම්බා ඉන් වාසි ලබාගැනීමට කටයුතු නොකළේය. තම පක්ෂය තුළම තමාට එරෙහිව අභ්‍යන්තර අරගල හා ගැටුම් තිබියදීත් තම ස්ථාවරයේ නොසැලී කටයුතු කිරීමේ ආත්ම ශක්තියක් තිබීම මෙහිදී අගය කළ යුත්තකි. කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධ වී රට බෙදීමට රනිල් කටයුතු කරන බවට ඔහුට එරෙහිව දේශපාලන බලවේග මඩගසනු ලැබුවද සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාවක් වෙනුවෙන් තම ස්ථාවරය වෙනස් නොකිරීම අධ්‍යතන දේශපාලනයේ කැපී පෙනෙන සලකුණක් සේ සටහන් කිරීම යුක්ති සහගතය. 


  • සංවර්ධනය

2009 යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව 2010 වර්ෂයේ පැවැති මැතිවරණයට ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් දියත් කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු විය. එම රජය යටතේ ශ්‍රී ලංකාවේ පළමු අත්දැකීම වශයෙන් අධිවේගී මාර්ග ඉදිවුණි. හම්බන්තොටට වරායක් හා ගුවන්තොටුපොළක් (මත්තල) ලැබුණි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල මාර්ග සංවර්ධනය හා කොළඹ නගරය පවිත‍්‍ර කොට නවීකරණය කරනු ලැබීය. මේවා ආර්ථිකමය වශයෙන් පැවැති ආණ්ඩුව ගනු ලැබූ ඉදිරි පියවරයන්ය. කෙසේ වෙතත් එම ආණ්ඩුවෙන් ගිලිහුණු ජනතාවගේ එදිනෙදා ජීවිතය හා බැඳුණු ගැටලූ රාශියකි. වේගයෙන් ඉහළ යන ජීවන වියදම, විරැකියාව, දුප්පත්කම, සමාජ අසහනය, දුෂණය, වංචාව, අවනීතිය රජවීම, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ආදී සමාජය පෙළෙන දුර්භාග්‍යයන් කඳු ගැසුණි. මේ සියලූ ව්‍යසනයන් 2009 යුද ජයග‍්‍රහණයෙන් වසා ගත හැකි යැයි සිතූ පැවැති ආණ්ඩුව විපක්ෂයට එරෙහිව සුපුරුදු බෙදුම්වාදී ලේබලය අලවමින් කල්මැරීය. 


  • ඉබ්බයි හාවයි තරගය

පවතින දේශපාලන වාතාවරණය තුළ වංචාවට හා ¥ෂණයට ඇති ඉඩකඩ අසුරා වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කළ යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය කටයුතු කළ බව පෙනී ගියේය. ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පෙර පැවැතීමට මහින්ද රාජපක්ෂ රජය තීරණය කරනු ලැබුවේ විපක්ෂය පිළිබඳව තිබූ අවතක්සේරුව නිසාමය. ඌව පළාත් සභා මැතිවරණයෙන් ආත්ම විශ්වාසය ගොඩනගාගත් එජාපය සන්ධානය කිසිසේත්ම අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මෙහිදී වඩාත්ම ප‍්‍රකට වූයේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුරදර්ශීභාවය හා දේශපාලන පරිණතභාවයයි.

ආණ්ඩුවෙන් ඈත් වී යන සුළු ජාතික ඡන්ද සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියා නිසා කලකිරී සිටි තරුණ පිරිස් එක විට ආකර්ෂණය කළ හැකි චරිතය ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකත්වය ලබාදී වෙනසක් අපේක්ෂා කළ හැකි බවට වික‍්‍රමසිංහ මහතා විශ්වාස කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුෂණ වංචා චෝදනා නොමැත. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකට ”මිස්ටර් ක්ලීන්” ලෙසටය. මේ දෙපළගේ සුසංයෝගය ජාතියේ හදගැස්මට සමපාතී විය. නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනතාවගේ මනාපය ඉල්ලා සිටි මොවුන් දෙදෙනාට ජනතාවගේ ඉහළම පිළිගැනීම ලැබුණි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී ඡන්ද 61 ලක්ෂයක් ලැබෙන විට අගෝස්තු මහ මැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට ලක් ඉතිහාසයේ මන්ත‍්‍රීවරයකු ලැබූ ඉහළම මනාප ඡුන්ද ප‍්‍රතිඵලය කොළඹින් ලබාගැනීමට හැකිය. මහින්දxරනිල් සටනක් බවට පත්වූ පසුගිය මහ මැතිවරණයෙන් තවදුරටත් ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩ නැති බව මේ රටේ ජනතාව ඔප්පුකර පෙන්වීය. 


  • සම්මුතිවාදය

ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝදෙනෙක් සාම්ප‍්‍රදායික ලෙස ජීවත්වීමට බොහෝ කැමතිය. එහෙත් මේ රටේ තරුණ පරපුර වෙනසක් අපේක්ෂා කරති. ජාතික ආණ්ඩුව පිළිබඳ සංකල්පය ගත්විටද එය බොහෝදෙනකුට නුහුරුය. ඒ පිළිබඳව බලනුයේ සැක සහිතවය. එහෙත් මේ රටට වෙනසක් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගා දීමේ ස්ථාවරයේ සිටි මෛත‍්‍රී-රනිල් සුසංයෝගය පරාජිත විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද අමාත්‍ය තනතුරු ප‍්‍රදානය කිරීමට තරම් නිර්ලෝභීව සිටිති. තම පක්ෂයේම නියෝජිතයන් මනාප පොරයට ගහ මරාගන්නා පසුබිමක මහ මැතිවරණයකින් පරාජය වී විපක්ෂයට තල්ලූ වී ගිය මන්ත‍්‍රීවරුන් කැඳවාගෙන ආණ්ඩුවක් කිරීමේ පරමාර්ථය හුදු බල ලෝභයට නොවන බව ඉඳුරාම පැහැදිලිය. අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂයේ පුටු කිහිපයක් එහාට මෙහාට කොට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව  ඕනෑවටත් වඩා තිබුණි. නමුත් ඒ වෙනුවට අග‍්‍රාමාත්‍යවරයා ලබාදුන් ප‍්‍රතිඥාව ඒ ආකාරයෙන් ඉටුකිරීමට පෙළඹීම නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන්නන් තුළ ප‍්‍රබෝධවත් හැඟීම් ඇති කරවන්නකි.

රටක් වශයෙන් අපට හුදකලා විය නොහැකිය. මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට රට තුළ යහපාලනයක් ඇති කරමින් නීතිගරුක සමාජයක් ගොඩනැගීමට හැකිවන විට අග‍්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවෙන් ඈත්වූ ජාත්‍යන්තරය යළි සමීප කරවමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමටත් හැකියාව ලැබෙන්නේය.


-යටමලලගේ සුමනසාර හිමි

Share on Google Plus