"ජාතියේ සිනමාවට පණ දුන් පියා දැයෙන් සමු ගනී..."


කැළණිය ධර්මාලෝක විද්‍යාලයත්,කොළඹ ආනන්ද විද්‍යාලයත් තම අනාගත අරමුණ වෙත පියනැගීමට ශක්තිය කරගත් ඔහු නමින් ඩී.බී.නිහාල්සිංහයන්ය.කොළඹ ආනන්දයේ ශිෂ්‍ය ක්‍රියාධරයන් අතර ඔහු එවකදී පෙරමුණේම පසු විය.විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමේත්,ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායමේත් ශූරතම සාමාජිකයා ඔහු විය.1956 වසරේදී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමත් සමග යුද්ධ හමුදාවට සම්බන්ධ වීමට නිහාල්සිංහ තරුණයා තුළ දැඩි කැමැත්තක් හට ගත්තද තම මවගේ දැඩි අකමැත්ත නිසාම එම ආශාව අත් හැර දැමීමට ඔහුට සිදුවිය.1959 වසරේදී නිහාල්සිංහ තරුණයාට ලංකා විශ්ව විද්‍යාලයට[පේරාදෙණිය විශ්ව විද්‍යාලය]ඇතුළත් වීමට වාසනාව උදා විය.විශ්ව විද්‍යාලය තුළදී ආර්ථික විද්‍යාව හැදෑරුවද සිනමාකරණය සම්බන්ධව උනන්දුවක් නිහාල්සිංහ තරුණයා තුළ විය.තම සමකාලීන විශ්ව විද්‍යාල සගයින් වූ සරත් අමුණුගම වැනි පුද්ගලයන් එකතු කරගෙන නිහාල්සිංහ තරුණයා සතියකට වරක් කොළඹින් ගෙන්වා ගෙන විශිෂ්ට සිනමා නිර්මාණ පෙන්වමින් ඒවා පිළිබදව සංවාද පවත්වා ඇත.1964 වසරේදී විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව විශේෂවේදී උපාධිය ලබා ගත් නිහාල්සිංහ තරුණයා 1965 වසරේදී වෛද්‍ය කළ්‍යාණී නිහාල්සිංහ සමග විවාහ පාත්‍ර විය.

විවාහයෙන් සති 2ක් යාමටත් මත්තෙන් 'වියට්නාමයේ පැවති යුද්ධ තත්වය' වාර්තා කිරීමට යාමට නිහාල්සිංහයන්ට සිදු විය.එම අභියෝගය භාර ගත් නිහාල්සිංහයන් මාස 8ක් පුරාවට වියට්නාමයේ යුද්ධ තත්වය වාර්තාකරණය කළේය.නැවතත් මෙරටට පැමිනි පසුව තම මුල්ම නිර්මාණය ලෙස 1965 වසරේදීම "සත් සමුදුර" සිනමා නිර්මාණය කැමරා අධ්‍යක්ෂණයෙන් ජාතියට දායාද කිරීමට සමත් විය.1965 වසරේදීම "භක්ති" සිනමා නිර්මාණයේ කැමරාකරණය සදහා පොදු රාජ්‍ය මණ්ඩලීය 'කාඩිෆ්' සම්මානයද හිමි කරගැනීමට නිහාල්සිංහයන් සමත් විය.

"දහසක් සිතිවිලි","පාරාවළල්ල" සිනමා නිර්මාණ මෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ  "මුහුදු ලිහිණි","කැලෑ මල්" සිනමා නිර්මාණ වලට කැමරා අධ්‍යක්ෂණය සදහා දායකත්වය සපයන ලද්දේත් නිහල්සිංහයන්ය.1967 වසරේදී තමන්ගේම අධ්‍යක්ෂණයක් ලෙස "වැලි කතර" සිනමා නිර්මාණය ජාතියට දායාද කරන නිහාල්සිංහයන් ප්‍රථම වරට 'සිනමා ස්කෝප්' තාක්ෂණය භාවිතයට ගෙන රූගත කිරීම් සිදු කරන ලදි.ජෝ.අබේවික්‍රම රංගවේදියානන් ලක්වාසීන්  හදුනා ගත්තේත් "වැලි කතර" සිනමා කෘතිය තුළිනි.1971 වසරේදී ප්‍රථම වරට එය ප්‍රදර්ශනය කරන ලදි.

1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුව විසින් නිහාල්සිංහයන්ගේ හැකියාව හදුනා ගනිමින් 'රජයේ චිත්‍රපට අධ්‍යක්ෂ' ධුරයට පත්කරන ලදි.වයස අවුරුදු 28ක් වූ නිහාල්සිංහයන්ට එය තම හැකියාවත්, ශක්තියත් පෙන්වීමට මහගු අවස්ථාවක් විය.1971 වසර මුලදී 'පාප් වහන්සේගේ මෙරටට සම්ප්‍රාප්තිය' වෙනුවෙන් විනාඩි 40 චිත්‍රපටයක් පැය 3ක් තුළ සකස් කිරීමේ අභියෝගය නිහාල්සිංහයන් විශිෂ්ට ලෙස ජයගෙන තම අභියෝගය ජය ගත්තේ සියල්ලන් විශ්මයට පත් කරමිනි.1972 වසරේදී 'ජාතික චිත්‍රපට සංස්ථාව' පිහිටුවාලීමට පුරෝගාමී වූ නිහාල්සිංහයන් එහි පළමු විධායක නිලධාරියා ලෙසින් පත් වීම් ලැබ වසරකට  8-10 ත් අතර නිර්මාණය වූ මෙරට සිනමා කෘති ගණන 35-40 දක්වා ප්‍රමාණයක් දක්වා වර්ධනය කරවීමට පුරෝගාමී විය.කළුතර සිට දිනපතා චිත්‍රපට සංස්ථාවේ සේවයට ඔහු පැමිණ ඇත්තේ මගී බස් රථ වලින්ම වීම තුළ ඔහුගේ නිහතමානීත්වයත් දෑ හිතකාමීත්වයත් පිළිඹිබු වේ.

1977 බලයට පත් රජය යටතේ තවදුරටත් රාජ්‍ය සේවයේ කටයුතු කිරීමට අකමැති වූ නිහාල්සිංහයන් නැවතත් නිර්මාණ සදහා තම දායකත්වය සපයන්නට විය.ඒ වන විට ලාංකේය ප්‍රේක්ෂකාගාරය වසරකට මිලියන 74ක් සිනමා ප්‍රවේෂ පත්‍ර අලෙවි වන වාර්ථාගත ස්ථානයක් දක්වා ඔසවා තැබීමට නිහාල්සිංහයන් සමත් වී තිබුණි.1978 වසරේදී කරුණාසේන ජයලත් නිර්මාණවේදියානන්ගේ තිර රචනයක් වූ "රිදී නිම්නය" සිනමා කෘතියට දායක විය.එහි විශේෂත්වයක් වූයේ ප්‍රධාන චරිතයක් නොමැතිව කථා මාලාව  ඉදිරිපත් වීමයි.1978 වසරේදී ලාංකේය ජන සමාජයට නවමු අත්දැකීමක් ලෙස 'රූපවාහිනිය' දායාද වද්දී රූපවාහිනී පුහුණු කිරීමේ ආයතනය ලෙස "ටෙලිසිනේ' ජාතියට දායාද කරන ලද්දේ නිහාල්සිංහයන් විසින් බව දන්නේ අද සමාජයේ අතලොස්සක් වීම ජාතියේ ඛේදාන්තයකි.ශ්‍රී ලාංකේය රූපවාහිනිය තුළ පළමු ටෙලි නාට්‍ය වූ "දිමුතු මුතු" නිහාල්සිංහයන්ගේ ප්‍රතිභාව මැනවින් පෙන්වූ අවස්ථාවක් විය."රේඛා"ටෙලි නාට්‍යද රෝහණ වීරසිංහයන්ව ක්ෂේත්‍රයට හදුන්වා දුන් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැක්කේය.

"කොටි වලිගය","සාගරයක් මැද" සිනමා නිර්මාණයන් සදහා සංස්කරණ ශිල්පියා ලෙස දායක වූයේත් නිහාල්සිංහයන්ය."සාගරයක් මැද" සිනමා නිර්මාණය සදහා  'සරසවි සම්මානයද' හිමි විය.මෙරට සිනමාව තුළ පළමු වර්ණ චිත්‍රපටය වූ "මල් දෙණියේ සිමියොන්" සදහාද කැමරා අධ්‍යක්ෂණයෙන් ඔහු දායක විය.එහි රංගනය සදහා 'අනෝජා වීරසිංහ ශිල්පිනියට' ජාත්‍යන්තර සම්මානද හිමි විය.ජාතික හැදුනුම්පත් සදහා (මි.මී.35) ප්‍රමාණයේ ඡායාරූප භාවිතය හදුන්වා දෙනු ලැබුවේද නිහාල්සිංහයන් විසිනි.ජීවිත කාලය තුළ කලාකරුවෙකුට හිමි වන උසස්ම සම්මානයක් වන 'ජනාධිපති සම්මානයෙන්ද' 1990 වසරේදී නිහාල්සිංහයන් පිදුම් ලැබීම සාධාරණ වන්නේ ඔහු විසින් මෙරට සිනමාවටත්,රූපවාහිනී ක්ෂේත්‍රයටත් සිදු කරන ලද සේවාව තරාදියකින් මැන කිනුම් මිණුම් බැලීමේ ප්‍රමාණයද ඉක්මවා ඇති බැවිනි.1992 වසරේදී 'රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ නිබන්ධනය වෙනුවෙන්' දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියෙන් නිහාල්සිංහයන් පිදුම් ලැබුවේය.1991දී සිදු කරන ලද "කෙළි මඩල" නිහාල්සිංහයන්ගේ අවසාන නිර්මාණය විය.1993 වසරේදී ඔහු මෙරට සිනමා කර්මාන්තයේ උන්නතියට කරන ලද සේවාව අරඹයා 'ඇමරිකානු චිත්‍රපට ඉංජිනේරු ප්‍රවර්ධන සංගමයේ සම්මානනීය' සාමාජිකත්වයෙන් පිදුම් ලැබීය.

1994 වකවානුව තුළදී මෙරට පැවති දේශපාලන ප්‍රවාහය පිළිබදව කළකිරුණු සිතින් නිහාල්සිංහයන් මලයාසියාව බලා පිටත් වීය.එහිදී 'ඇස්ට්‍රෝ' චිත්‍රපට ආයතනයේ නිශ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන්නට විය.එහිදීද ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ඔසවා තබන්නට ඔහු සමත් විය.2005 නැවත මෙරටට පැමිණෙන නිහාල්සිංහයන් නෙළුම් පොකුණ රංග ශාලාව ජාතියට දායාද කිරීමටද මූලික විය.ඩී.බී.නිහාල්සිංහ නම් වූ ඒ සොදුරු මිනිසා ජාතියට අහිමි වීම පියවිය නොහැකි පාඩුවකි.රටේ සිනමා කර්මාන්තය දෙස නැවත වරක් විමසුම් ඇසින් බැලිය යුතු කාලයකට දැන් එලඹ තිබේ...

- ඉෂාර ලක්මිණ | Ishara Lakmina
www.facebook.com/ishara.lakmina.1



Powered by Blogger.