එට්කා ගිවිසුමට විරුද්ධව පෙළපාලි යන්නේ මෝඩයෝ!


එට්කා ගිවිසුමට විරුද්ධව පෙළපාලි යන්නේ මෝඩයෝ!

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

හැඳින්වීම:
ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් හෙවත් එට්කා ගිවිසුමක් අත්සන් කිරීම ගැන මේ දිනවල උණුසුම් විවාදයක් පවතියි. මේ ගිවිසුම රටට අහිතකර බැවින් එය අත්සන් නොකළ යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරලත් ඉංජිනේරුවන්ගේ සංගමය සහ තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය වැනි කණ්ඩායම්වල අදහසයි. මේ සම්බන්ධව ඔවුන් කොළඹ හයිඞ් පිටියේ උද්ඝෝෂණ රැස්වීමක් පවා සංවිධානය කළා. එහෙත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරන්නේ අලූත් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ නව රජයේ මැතිවරණ පොරොන්දුවට අනුව මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම අත්‍යවශ්‍ය බවයි. තවමත් ගිවිසුම සකස් කොට නැති බවත්, එය සකස් වූ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සාකච්ඡා කරන බවත් අගමැතිවරයා ප‍්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ මහතා නායකයා ලෙස සලකන ඒකාබද්ධ විපක්ෂය ලෙස තමා හඳුන්වා ගන්නා කණ්ඩායම එට්කා ගිවිසුමට විරුද්ධ සටනට තම ආශීර්වාදය පළ කරනවා. එමෙන්ම ලංකාවේ වාමාංශික ව්‍යාපාර සියල්ලම පාහේ තමන් අතර කෙතරම් නොපැහීම් තිබුණත් එට්කා ගිවිසුමට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ අතර පැරැණි වමේ ලංකා සමසමාජ පක්ෂය (තිස්ස විතාරණ කණ්ඩායම) මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් බිඳී ගිය කණ්ඩායම් වන ජාතික නිදහස් පෙරමුණත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් වෙනවා.

මේ අතර ඉන්දියාව සමඟ පමණක් නොව වෙනත් රටවල් සමඟ ද ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම්වලට ලංකාව විසින් එළැබීම අවශ්‍ය බවත්, වෙළෙඳ ශේෂය පියවාගෙන, රටේ සුභසාධන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වියදම් පියවා ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ඒ පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවත් වාමාංශික ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය කුමාර් ඬේවිඞ් ප‍්‍රකාශ කළා. මේ අදහස් වාමාංශිකයන්ගේ විවේචනයට ලක්වුණා. මෙවර ‘සමබිම’ තුළින් අපි මහාචාර්ය කුමාර් ඬේවිඞ් විසින් 2016 මාර්තු 27දා පැවැති නිදහසේ වේදිකාවේ සහ වීදියේ විරෝධය සංවිධානයේ නියෝජිත සමුළුවේදී පළ කළ අදහස් ඇසුරෙන් සකස් කරන ලද විශේෂාංගයක් මෙවර සමබිම ඔබ වෙත ගෙන එනවා. 
———–

ලංකාවේ වෙළෙඳ ශේෂය සෘණ අගයකයි තියෙන්නේ. ඒ කියන්නෙ ලංකාවෙන් පිට රටවලට අපනයනය කිරීමෙන් ලබන ආදායමට වඩා පිට රටවලින් ලංකාවට ආනයනය කිරීමට වැය වන වියදම වැඩියි. අපි ලංකාවට ඩොලර් බිලියන 19ක වටිනාකමක් ඇති භාණ්ඩ ප‍්‍රමාණයක් ආනයනය කරනවා. නමුත් අපේ අපනයනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 11ක් පමණයි. ඉතින් වෙළෙඳ ශේෂය සෘණ (-) 8 ක්. මේ තත්ත්වය 2014, 2015 සහ 2016 වසරවල නොවෙනස්ව පවතිනවා. එය විශාල ප‍්‍රමාණයක පරතරයක්. ලංකාවේ අපනයන ආදායම (බිලියන 11) ආනයන වියදමේ (බිලියන 19)ප‍්‍රතිශතයක් ලෙස 50%ට සමාන නොවෙන්නේ ඉතා අඩුවෙන්. මේ නිසා ආර්ථික වශයෙන් ලංකාව ඉන්නේ ඉතා අමාරු තත්ත්වයකයි.  මේ හිඟය නිසා ඇති වන තත්ත්වය යම් මට්ටමකට හෝ පාලනය කර ගන්නේ සංචාරක ව්‍යාපාරය තුළිනුයි. ඒ හරහා ඩොලර් බිලියන 3ක් පමණ උපයා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව තවත් බිලියන 8ක් පමණ සොයා ගැනීමට මැදපෙරදිග රැකියාවල නියුතු කාන්තා දායකත්වය උදව්වක් වෙනවා. කුමන හෝ හේතුවක් මත මැද පෙරදිග විදේශ රටවල සේවය සඳහා කාන්තාවන් ලංකාවෙන් ගෙන්වා ගැනීම නතර වුවහොත්, එහෙමත් නැත්නම් විදේශ සංචාරකයන් ලංකාවට ඒම නතර වුවහොත් එයත් තදබල ලෙස ලංකා ආර්ථිකයට බලපානවා.

ලංකාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස (ජී.ඞී.පී.) 10.9% පමණයි. සාමාන්‍යයෙන් අපේ වගේ රටක රාජ්‍ය ආදායම ජී.ඞී.පී. එකෙන් 18% – 19% පමණ වෙන්න අවශ්‍යයි. සමාජ සුභසාධනය ඉහළම මට්ටමෙන් තිබෙන ස්වීඩනය වගේ රටක එය 30% පමණ වෙනවා. ඉදිරි අවුරුදු පහ ඇතුළත ලංකාවේ ආදායම ජී.ඞී.පී. එකේ ප‍්‍රතිශතයක් ලෙස 18% දක්වා වත් වැඩි කර ගැනීම අවශ්‍යයි.

දැන් මෙසේ කරන්න නම් ලංකාවේ ධනවත් පිරිසගෙන් ලබා ගන්නා බදු ප‍්‍රමාණය වැඩි කිරීමත්, එය ක‍්‍රමානුකූලව එක් රැස් කරගැනීමත් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ වගේම ලංකාවේ ජාතික නිෂ්පාදනය සහ එහි කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් අවශ්‍යයි.  ලංකාවේ නිෂ්පාදනය වැඩි වෙන විට එයට සාපේක්ෂව ලංකාවේ රජයේ ආදායම ඉහළ යාවි.

ඊළඟට රජයේ රැකියාවන්වල නියුතු පිරිස 2005 වර්ෂය වන විට සිටියේ ලක්ෂ 6ක් (600,000)පමණයි. රාජපක්ෂ පාලන කාලය අවසාන වෙන විට දැන් ඒ ප‍්‍රමාණය ලක්ෂ 14ක් (1,400,000) වෙලා. ඒ අනුව එහි විශාල වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවීම් සිදුකිරීම ලංකා ආණ්ඩුවේ වගකීමක්. පසුගිය දවස්වල ඡන්ද පොරොන්දුවක් ලෙස මසකට රුපියල් 10,000ක මුදලක් සෑම රජයේ සේවකයෙකුටම ගෙවන්න පොරොන්දු වුණා. මෙය රටේ ආර්ථිකයට බලපානවා. ඒ අනුව ලංකාව දැන් පවතින්නේ භයානක ආර්ථික අර්බුදයක බව ඉතා පැහැදිලියි.

මීළඟට අපි ලංකාවේ ණය පිළිබඳව සලකා බැලූවොත් විදේශ ණය සහ දේශීය ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 75% පමණ විශාල ප‍්‍රමාණයක් වෙනවා. ඒ අනුව මේ ණය සඳහා ණය පොලී සහ ණය වාරික ආපසු ගෙවීම වෙනුවෙන් රජයේ ආදායමෙන් 90%ක්වත් මේ ණය ගෙවන්න වෙන් කරන්න සිදු වෙනවා. එහෙම කළොත් ආණ්ඩුව බංකලොත්භාවයට පත් වේවි. ඉතින් ඒ නිසා ආණ්ඩුව සිදු කරන්නේ එක ණයක් ගෙවන්න තවත් ණයක් ගැනීමයි. මේ නිසා ණය උගුලක අපි සිර වෙනවා.

ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. ආණ්ඩුවට පවතින මේ විශාල බර නිසා ආණ්ඩුවෙන් විශාල ආර්ථික වර්ධනයක් එක වර අපේක්ෂා කිරීම තේරුමක් නැහැ. ඒ වගේම ලංකාවේ ඉතිරිකිරීම් ඉතාම පහළ අගයකයි තිබෙන්නේ. ඉතිරි කිරීම සහ ආයෝජන එකිනෙකට සම්බන්ධයි. රටේ ඉතිරිකිරීම් අඩුවීම නිසා ආයෝජන තත්ත්වයත් පහළ අගයක් අරගෙන තියෙනවා.

මේ ආයෝජන හිඟය නිසා ජාත්‍යන්තර ධනවතුන් සමඟ ගිවිසුම්වලට එළැඹීමට ලංකාවට සිදු වෙලා තියනවා. නමුත් අද ලෝකයේ පවතින්නේ ආර්ථික අවපාතමය තත්ත්වයක්. බටහිර රටවල්, එහෙම නැත්නම් ධනවාදයේ කේන්ද්‍රයේ පිහිටි රටවල් අද ලංකාව වැනි ධනවාදයේ පරිධියේ ඇති රටවල් ආයෝජනය කිරීමට මැලිකමක් දක්වනවා. මේ මොහොතේ ඔවුන් කරන්නේ පරිධියෙහි ඇති ආයෝජන පවා කේන්ද්‍රය වෙත නැවත ඇද ගැනීමයි.  විදේශ ආයෝජකයෝ බහුතරයක් ගෝලීය ආර්ථික අවපාතය හේතුකොට ගෙන තමන්ගේ රටවල්වලම ආයෝජන කෙරෙහි යොමු වෙලා තියෙනවා.

මේ තත්ත්වයට උත්තර සොයන්න නම් ආයෝජන සඳහා කැමැත්තක් දක්වන රටවල් ගැන අවධානය යොමු කරන්න සිදු වෙනවා. ඉන්දියාව අද වෙනකොට ලෝක ආර්ථිකය තුළ විශාල වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් ලංකාවේ ආයෝජනය කිරීම සඳහා කැමැත්තෙන් ඉන්නේ. එහිදී අපිට ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉන්දියාවට අපේ ස්වාධීනත්වය යට කරන්නේ නැතුව ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණයයි. එට්කා ගිවිසුම සම්බන්ධවත් පවතින්නේ ඒ ගැටලූවමයි. අපිට වෙනත් විකල්පයක් නැහැ, ඒ නිසා ඉන්දියාව සමඟ හොඳ, මනා, යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගෙන අපට සිතා බලන්නම වෙනවා. එය වෙළෙඳ ගිවිසුමක් පමණක් නොව ආර්ථික සහ  තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් වීම අවශ්‍යයි. ඉන්දියානු තාක්ෂණය වෙළෙඳපොළ ආර්ථිකය තුළ ඉතා ඉක්මනින් ඉදිරියට යනවා. ඔවුන්ගේ තාක්ෂණ ක්ෂේත‍්‍ර අතරින් නාවික, කෘෂිකර්ම, වරාය, ආහාර සැකසීම, මසුන් වගාව ආදී නව පැති කර විහිදී තියෙනවා. තවත් ප‍්‍රයෝජනවත් ආර්ථික ක්ෂේත‍්‍ර ගණනාවක් ඉන්දියාව මේ වෙනකොට දියුණුවට පත් කර ගෙන තිබෙනවා. මේ වගේ දියුණු ක‍්‍රමවේද හඳුනා ගැනීම සහ නිෂ්පාදන කාර්යක්ෂමතාවය  වර්ධනය කර ගැනීම නොකළොත් මේ සිරවීමෙන් එළියට එන්නට හැකි වෙන්නේ  නෑ. අපේ රට තුළ දැන් පවතින තාක්ෂණික ක්ෂේත‍්‍ර ඉන්දියාවේ ක‍්‍රමෝපායන් සමඟ සම්බන්ධ කළ යුතුය. WIN WIN APPROACH එනම් ඉන්දියාව සහ ලංකාව යන රටවල් දෙකටම මේ ගිවිසුම හරහා වාසි තත්ත්වයක් නිර්මාණය විය යුතුය.

අපේ සැබෑ ගැටලූව විය යුත්තේ අපි එට්කා ගිවිසුම අත්සන් කරනවාද යන්න නොව අපි එය  යොදා ගන්නේ කොහොමද කියන එකයි. එට්කා ව්‍යුහය කුමක්ද? ධාරිතාව කුමක්ද? සැකැස්ම කුමක්ද? කුමන අංශ සඳහා එය බලපාන්නේද?  කුමන ක්ෂේත‍්‍ර සඳහා පමණක් අප එකඟ විය යුතුද කියන දේ අප විසින් තීරණය කළ යුතුයි. එට්කා එපා කියල පෙළපාළි යන එක මෝඩකමක්. අපි මේ අවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා නම් අපි ගමන් කරන්නේ කොහාටද? අපිට වෙන විසදුමක් තිබේද? ඉන්දියාව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වල යම් යම් ප‍්‍රශ්න තියනවා. ඒවා නිවැරදි කර ගෙන ඒ වැරදි හඳුනා ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපිට එහිදී මුණපාන්නට සිදුවන ප‍්‍රධානම අර්බුදය වන්නේ තීරු බදුවලට සම්බන්ධ නොවන ප‍්‍රයෝගික ගැටලූ (NON TARTFF BARRIERS) ප‍්‍රමාද වීම්, තාක්ෂණික ගැටලූ ආදී දේවල්. ඉන්දියාව මේ වගේ ගැටලූ සඳහා ඉතා හොඳ පුහුණුවකින් මුහුණ දෙනවා. අපිත් ඒ වගේ හොඳ සූදානමක් ඇති කර ගත යුතුයි එට්කා වෙළෙඳ ගිවිසුමක් පමණක් නොවී එය ආයෝජන හා තාක්ෂණික සහයෝගය සමග සම්බන්ධ වෙන්න   ඕනේ. මෙතෙක් කල් සාමාන්‍ය ගිවිසුමක් දිහා බලපු ආකාරයට මේ දිහා බලා මෙය විවේචනය කිරීම සාධාරණ නැහැ.

කාර්මික ක්ෂේත‍්‍ර පිළිබඳව කතා කළොත් මෙතන ප‍්‍රශ්න කිහිපයත් තියනවා. ලංකාව තුළ වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය,  සහ අත්උදව්කරුවන් වැනි  කාර්මික ක්ෂේත‍්‍රවල කම්කරු හිඟයක් තිබෙනවා. ඊට එක හේතුවක්  ලෙස මැද පෙරදිග රැකියා සඳහා ඔවුන්ගේ යොමුවීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ තත්වය තුළ එවැනි ක්ෂේත‍්‍ර සඳහා ඉන්දියාවෙන් ලංකාවට පිරිසක් පැමිණෙන්න ඉඩක් තිබෙනවා. ඔවුන් ලංකාවට එන්නේ ඉතා අඩු වැටුපකට සේවය සපයන්න. ඒ නිසා ලංකාවේ මේ ක්ෂේත‍්‍ර යටතේ සේවය කරන ජනතාවට ඉන් බලපෑමක් ඇතිවීමට ඉඩක් තිබෙනවා. ලංකාවේ තේ කර්මාන්තයට ඉන්දියානු කම්කරුවන් ගෙන්වීම වගේ මේ තත්වයේදීත් අපේ සාමාන්‍ය රැකියාවල නිරත වෙන පිරිසට යම් බලපෑමක් එල්ල වේවි. ඒ වගේම ඉන්දීය ආයෝජකයන් රැකියා අවස්ථා සඳහා ලබා දෙන්න බලාපොරොතු වෙන වැටුප අපේ රටේ තරුණයන් බලාපොරොත්තු වෙන මුදලට වඩා අඩු අගයක් විය හැකියි. නමුත් ඒ තත්වය අපට වළක්වන්න බැරි මට්ටමේ පවතින්නක්. අපි විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට වගේම විදේශ වෙළෙඳපොළ තුළ යම්කිසි ආකාරයක තත්වයක් ඇති කර ගැනීමට නම් මේ වගේ ඇතිවන ගැටලූකාරී තත්වයන්ට සාර්ථක මුහුණ දීමට සිදුවෙනවා.

”අපේ රටේ ජනතාව මැදපෙරදිගට යනව වගේ ඉන්දියාවේ අයටත් අපේ රටට ශ‍්‍රම වෙළෙඳපොළට පිවිසීමට හැකියාව තිබිය යුතුයි. ඒ ගැන අපට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඒ තුළ ශ‍්‍රමයට ගෙවන මිල පහත නොහෙළා පවතින නීති රීති ආරක්ෂා කළ යුතුයි.”

-පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ -Dinamina.lk

” ඕනෑම සමාජ ක‍්‍රමයකදී ශ‍්‍රමයේ මිල නියම වන්නේ ශ‍්‍රමයේ ඵලය මත මිස ශ‍්‍රමය වගුරන පුද්ගලයාගේ අවශ්‍යතාව මත නෙමෙයි. අනෙක් පැත්තෙන් ශ‍්‍රමය වෙළඳපොළෙන් නිදහස් කරන්නට බැහැ. වෙළඳපොළ කියන්නේ නරක දෙයක් නෙමෙයි. එය මිනිසා විසින් කරන ලද හොඳම සාමූහික නිර්මාණවලින් එකක්. අප උත්සාහ කළ යුත්තේ වෙළඳපොළ සූරාකෑමේ මාධ්‍යයක් බවට පත් වීම වළක්වන්නට මිස වෙළඳපොළ නැති කරන්නට නොවෙයි. ශ‍්‍රමය සම්බන්ධයෙනුත් වෙළඳපොළ නියාමනයක් අවශ්‍යයි. උදාහරණයක් ලෙස, අවම වැටුප් නීතිගත කිරීම වැනි දේ කරන්නට පුළුවන්. හැබැයි මේ දේවල් ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ කරන්නට බැහැ. ජාත්‍යන්තර සම්මුති දෙස සුබවාදීව බැලිය යුත්තේ ඒ නිසායි.”

අජිත් පැරකුම් ජයසිංහ 

උපුටා ගැනිම සමබිම 2016 අප්‍රේල් කලාපය

Powered by Blogger.