මෙවර මැයි රැලිය ශ්‍රීලනිපයට තීරණාත්මකයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී මෙවර මැයි දිනය සැමරීම සඳහා සූදානම්වෙන් පවතින අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයද ගාල්ලේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වීමට තීරණය කර තිබේ.

මෙම මැයි දිනයට සහභාගී නොවී වෙනත් පක්ෂ හා සංවිධාන විසින් සංවිධානය කරනු ලබන මැයි රැලි සඳහා සහභාගී වන ශ්‍රී ලනිපයේ සාමාජිකයන්ට හා නායකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවති ශ්‍රීලනිපයේ මාධ්‍ය හමුවකදී පවසා ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ එළැඹෙන සතිය වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ 14ක් එකතු කර ගැනීමට හැකියාව ඇති බවත් මෙතෙක් සන්ධානයට එක් නොවූ පක්ෂ ගණනාවක් ඒ අතර වන බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පවසා තිබුනේ තමන්ට විදිමත් ආරාධනාවරක් නොලැබුණ බැවින් තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලියට සහභාගි නොවන බවත් කිරුළපනේ පැවැත්වෙන මැයි රැලියට ආරාධනාවක් ලැබුණු බවත්ය.

ශ්‍රීලනිපයේ තරුණ පෙළ යන්නේ කිරුළපන රැලියට නොව ගාල්ලේ මැයි රැලියට බවත් මහින්ද රාජපක්ෂ මහතාටත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියට පැමිණෙන්නැයි ආරාධනා කරන බවත් ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසන අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (19) පවසා තිබුණේ ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගී වන ලෙස ඇරයුම් පතක් ෆැක්ස් මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට යොමු කළ බවයි.

සාන්ත බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෛත්‍රි - ‍මහින්ද මුහුණු සංසදනය කර සිටිමින් පක්ෂයේ අනාගතයට ඵලක් නැති බවත් මීළඟ ජනාධිපති මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරන්නේ කවුදැයි තේරීමට සියලුදෙනා එක්ව ක්‍රියා කළ යුතු බවත්ය.

මැයි රැළිය යනු පක්ෂයේ සාමාජිකත්වයේ බලය පෙන්වීම බවත් ඒ අනූව පෙර ආරාධනා කළද පසුව ආරාධනා කළද ආරාධනා කරනු ලැබුවේ මහ ගෙදර මඟුල් ගෙදරට බැවින් ඊට සහභාගිවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිතා බැලිය යුතු බව සාන්ත බණ්ඩාර මහතා පවසා සිටී.

කෙසේ නමුත් හිටපු ජනාපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් සහභාගීවන්නේ කිරුළපනේ පැවැත්වෙන මැයි රැලියට බවය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළියට සහභාගී වන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ආරාධනා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බවත් එය හෙට හෝ අනිද්දා සිදුවනු ඇති බවත්ය. 

පවතින තත්වය අනුව බොහෝවිට මෙවර මැයි දිනයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම තීරණය වනු ඇති බවත් එම නිසා මෙරව මැයිදිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් තීරණාත්මක එකක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.

Share on Google Plus