හිටපු ජනපතිගේ දේශපාලන වෙනස.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා හිටිහැටියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් අලුත් මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමටත් සම්මුතික ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි. තමන්ගේ වසර නවයක පාලන කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ අලුත් මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට හෝ කිසිම පියවරක් ඔහු විසින් නොගන්නා ලදි. එහෙත් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කිරීමට නම් ඔහු වෙහෙස මහන්සි වුණි. එහෙව් ඉතිහාසයක් ඇති හිටපු ජනාධිපතිවරයා විසින් මෙවැනි ඉල්ලීමක් කිරීම උත්ප්‍රාසය උපදවන්නකි.

1978 දී ඇති කළ විධායක ජනාධිපති ක්‍රමයෙන් වැඩියෙන්ම බැට කෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කීවොත් එය වඩා නිවැරදිවනවා නො අනුමානය. ඒ නිසාම එදා විපක්ෂයේ සිටි එම පක්ෂය ලෙයෙහි අත් ගසමින් දිවුරා කිව්වේ තමන් බලයට ආ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. 1994 මහා මැතිවරණයේ දී මෙන්ම ජනාධිපතිවරණයේ දී ද ප්‍රධාන පොරොන්දුවක් වූයේ එම ක්‍රමය අහෝසි කරන බවයි. එහෙත් එදා මෙදා තුර වසර විසිදෙකක් ගෙවී ගොස් ඇතත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අන්දම ගැන ය.

2005 දී හා 2010 දී දෙවතාවක්ම විධායක ජනාධිපතිධූරයට පත්වීමට ජනවරම් ඉල්ලමින් මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ ඒ පොරොන්දු ඉටු කළේ කාලය කා දැමෙන කාරක සභා, කමිටු හා අදහස් ලබා ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක කිරීම වැනි උපක්‍රම මගිනි. එහෙත් අවසානයේ දී විධායක ජනාධිපති ක්‍රමයේ ශක්තිය තහවුරු කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ඔහු අවංකව පෙන්නුම් කළේ තමන්ගේ සටකපට දේශපාලන අරමුණයි. එහෙව් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලීම සත්භාවයෙන් ගත්තා වූ තීන්දු තීරණයක් නම් වෙන්නට බැරිය.

2005 දී බලයට පත්වූ පසුව ක්‍රමය වෙනස් කිරීමට කල් ගැනීම සඳහා විවිධ උපාය උපක්‍රම යෙදුව ද අවසානයේ දී විධායක ජනාධිපති ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටීමට මහින්ද රාජපක්ෂ උපක්‍රමශීලී වුණි. ඒ සඳහා ජනගතකළ අදහස වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හා බෙදුම්වාදය පැරදවීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවයි. ජාතික රාජ්‍යයේ ආරක්ෂාව දේශපාලන කතිකාවේ ඉහළටම ඔසොවා තබන ජනවිඥාණයක් සහිත පරිසරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අලුත් මතයට වලංගුතාවක් නොලැබුනාම නොවේ. එහෙත් දාහත්වසරක් තිස්සේ පීඩාවිඳි දේශපාලන ක්‍රමයක් වෙනස් කරන්නට තැත් නොකර එය තමන්ගේ ස්වාර්ථය සඳහා යොදා ගැනීමට තර්ක නිර්මාණය කිරීම ලැජ්ජා සහගත ය. නමුත් රාජපක්ෂ සංස්කෘතිය විසින් ශක්තිමත් කළ දේශපාලන බලවේගයන්ගේ එකම හඬ වූයේ විධායක ජනාධිපති ක්‍රමය මොනම ‍හේතුවක් නිසා හෝ වෙනස් නොකළ යුතු බවය. එහෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් අලුත් මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා කඩිමුඩියේ කරන මේ ප්‍රකාශ හාස්‍යයෙන් බැහැර කිරීමට ඉක්මන් නොවිය යුතුය.

විසි දෙවසරක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට කෙකර ගෑම

ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් පිළිගත් දේශපාලන මතවාදය වෙනස් කිරීමට අයිතියක් මෙන්ම යුක්ති යුක්තභාවයක් තිබේ. එහෙත් ඒ දේශපාලනික වෙනසට බලපෑ සාධක ඊට හේතූන් විය යුතුය.එහෙත් මෙම ඉල්ලීම කරන්නට පෙර හෝ ඉල්ලීම කරන මොහොතේ හෝ තමන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට එකග වන්නේ මන්දැයි පැහැදිලි කළේ නැත. මේ වනතුරුද එවැනි ප්‍රකාශයක් ඔවුන් විසින් නිකුත් කර නොමැත. පසුගිය දා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන මොහොතේදීත් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට හා බෙදුම්වාදය පැරදවීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය යැයි කියූ රාජපක්ෂ දේශපාලනය අද එය අහෝසි කිරීම සදහා පෙනී සිටීම කුකුසකි.

රාජපක්ෂ දේශපාලනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයක් පමණක් නොවේ. ඒ තුළ එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් විවිධ දේශපාලන පර්ශ්වයන් නියෝජනය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව දුර්වල වී බෙදුම්වාදය ශක්තිමත් වනු ඇතැයි හඩ දෙමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය නොකරන මෙවැනි වෙනත් දේශපාලන කොටස් විසිනි. ඒ අතර විමල් වීරවංශගේ, දිනේෂ ගුණවර්ධනගේ, උදය ගම්මන්පිලගේ හඩ ප්‍රබල විය. ඔවුන් සියල්ල සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය නියෝජනය කරන්නන් ය. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ අලුත් දේශපාලන ආස්ථානය සම්බන්ධයෙන් මොහුන් අද වනතුරු තම ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැඩතල වෙනස් කර එහි ආඥාදායක ස්වරූපය සංශෝධනය කිරීමට අදාළව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශයෙන් වැදගත් ය. නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඇතිවූ නැවුම් දේශපාලන පරිසරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ඇති කර ගැනීමට යහපත් සංවාදයක් බිහිවුණි. ඒ තුළ යන්නට හැකි උපරිමයට බාධා කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මොට කළේ රාජපක්ෂ පාර්ශ්වයයි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට අනුව රාජ්‍යයේ ස්වරූපය නීර්ණය කිරීමට ගිය ඔවුන් ප්‍රජාතන්ත්‍රීයකරණයට දැක්වූයේ අල්ප උනන්දුවකි. ඔවුන්ගේ තාර්කික අවශ්‍යතාව වූයේ සිංහලබෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමත් එහි ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමත් ය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට තිබූ අසිරිමත් අවස්ථාවක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී රටට අහිමි වුණි.

ඒකාධිපති හැඩතල රැක ගැනීමට රාජපක්ෂවරුන් මහන්සිවීම

සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලූ කළ 19 වැනි සංශෝධනයේ දී රාජපක්ෂ පාර්ශ්වයේ හැසිරීම අතිශයෙන් පටුය. ඒ නිසා සමාජයට ඔවුන් කළ හානිය අති මහත් ය. එදා එලෙස හැසිරුණ ඔවුන් අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි සම්මුතික ආණ්ඩුවට බල කිරීම අවස්ථාවාදයේ එක් ස්වරූපයක් යැයි කිව හැකිය.අලුත් දේශපාලන ආස්ථානයට සුජාතභාවයක් ලබා ගැනීමට නම් ඒ වෙනසට හේතුවූ සාධක හිටපු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතුය. එසේම තම අනුත්තර නායකයාගේ ආකල්පමය වෙනස දේශපාලනිකව විග්‍රහ කිරීමට ඔහුගේ අනුගාමිකයන් සමත්විය යුතුය. විශේෂයෙන් විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි දේශපාලකයන් මහින්ද රාජපක්ෂගේ අලුත් දේශපාලන ස්ථාවරය තම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රතිපත්තියට කෙසේ බලපාන්නේදැයි පැහැදිලි කළ යුතුය.

අලුත් දේශපාලන ආස්ථානය තාර්කික කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාර්ශ්වයට ශක්තිමත් පදනමක් නොවූවද එම වෙනස සමාජයට වැදගත්වන බව නම් සත්‍යයකි. දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ට අඩත්තේට්ටම් කළ දේශපාලන ක්‍රමයක් වෙනස් කිරීම සදහා රටේ සියළු දේශපාලන බලවේගයන් ගොනුවීම යහපත්ය. මේ මොහොත වනවිට විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ එක්සත් ජාතික පක්ෂය පවා එම ක්‍රමය වෙනස් කිරීමට සූදානම්ව සිටී. නව ජනාධිපතිවරයා ද අධිෂ්ඨාන සහගතව සිටින්නේ පීඩාකාරී ක්‍රමය වෙනස් කිරීමට ය. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ දේශපාලනය ද ඊට එක්වීම ප්‍රශස්තය. එහෙත් මේ දේශපාලන පෙළ ගැස්ම දෙසජනප්‍රිය කෝණයන්ගෙන් නොබලා යථාර්තය දැකීම සදහා සමාජය සූදානම් විය යුතුය.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක්?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ 18 වැනි සංශෝධනයේ නීතිමය ප්‍රතිපාදන අහෝසි කරමිනි.තේරී පත් වූ ජනාධිපතිවරයකුට තුන්වනවරටත් ජනාධිපතිවරණයක් සදහා තරග කළ නොහැකි යැයි නීතියක් පවතින නිසාඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයක දී මහින්ද රාජපක්ෂට තරග කළ නොහැක. මේ තත්ත්වය තුළ තමන් නියෝජනය කරන දේශපාලන බලවේගයට රාජ්‍ය බලය ලබාගත නොහැකි බව රාජපක්ෂ තේරුම්ගෙන ඇත. තවදුරටත් පවතින ව්‍යුහය තුළ රාජපක්ෂ දේශපාලනයට ඉදිරියට යා හැක්කේ එක්කෝ වෙනත් ජනාධිපතිවරයකු යටතේ ය, නො එසේනම් විපක්ෂ දේශපාලන ක්‍රියාකරුවකු ලෙස ය. ඒ නිසා පියවරක් පස්සට ඇද ගනිමින් ඉදිරියේ දී වෙනස් වන තත්ත්වයන්ට මුහුණදීමට ඔහු තීරණයක් ගෙන ඇති බව තේරුම් ගත හැකිය.

සම්මුතික ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් නොපවතී. මේ නිසා යම්හෙයකින් පොරුන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අපොහොසත්වුවහොත් ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදුවේ. එහිදී තමන් කරන්නට යන්නේ කුමක්දැයි වත්මන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි නැත. යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් වත්මන් ජනාධිපතිවරයා ද අපේක්ෂකයකුවීම නොවැළැක්විය හැකිය. එසේවුවහොත් දේශපාලන භූමිය අලුත් ආකාරයකින් සකස්වනු නොඅනුමානය.

වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයක දී තරග කරන අවස්ථාවක රාජපක්ෂ දේශපාලනය පවත්වන්නේ අතිශය දුෂ්කර තත්ත්වයකට ය. මහින්ද රාජපක්ෂට එහිදී තරග කරන්නට නොහැකි නිසා ඔහුගේ දේශපාලන වටිනාකම අවලංගුවීම අනිවාර්ය කරුණකි. ඒ සඳහා අනුප්‍රාප්තිකයකු තෝරා ගත්ත ද ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් ලබා ගැනීම දුෂ්කර වන්නේ එහි නායකයා සිටිය දී වෙනත් අයකු අපේක්ෂකයා කර ගැනීමට පවතින ඉඩකඩ අල්ප නිසාය. මහින්ද රාජපක්ෂට තරග කරන්නට නීතිමය ඉඩකඩ තිබුණා නම් අපේක්ෂකත්වය ලබා ගැනීම හා ලබා නොගැනීම යන අවස්ථා දෙකෙහිදීම වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ඔවුන්ට කළ හැකි යම් බලපෑමක් තිබේ. එහෙත් තරග කරන්නට නීතිමය ප්‍රතිපාදන නොමැති නිසා වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වයට අඩත්තේට්ටම් කිරීමට රාජපක්ෂවරුන්ට හෝ ඔවුන්ගේ අන්තේවාසිකයන්ට නොහැක. මේ නිසා ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීම මහින්ද රාජපක්ෂට හා ඔහුගේ දේශපාලනයට බරපතළ හානියකි.

මහින්ද රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයේ දී තරග කරන්නට නොහැකි වටපිටාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වන වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව රාජපක්ෂ පර්ශ්වයට කළ හැක්කේ ‘හදට ගල් ගැසීම’ වැනි නිරර්ථක කටයුත්තක් පමණි. ඒ හැරෙන්නට ප්‍රබල දේශපාලන කාර්යයක් කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා තරගයට යොමුවන්නේ අභ්‍යන්තර ශක්තියක් සහිතවය. ඒ තත්ත්වය අභියෝගයක් වන්නේ ඔහුට එරෙහිව අනිවාර්යෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ය. ඒ අනුව එළබෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ සාධකය අහෝසි වී ගොස් තරගය පවතින්නේ වත්මන් ජනාධිපතිවරයා හා වත්මන් අග්‍රාමාත්‍යවරයා අතරය.

දුර්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැතිවම සටන් බිමට එළඹීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වත්මන් අග්‍රාමාත්‍යවරයාට ද එතරම් යෝග්‍ය නොවේ. ඔහු ඒ බව දන්නා අතර දේශපාලන දාම් ලෑල්ලේ ඉත්තන් අදිමින් ඔහු උත්සාහ ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂයේ දුර්වල අපේක්ෂකයකු ඉදිරියට ගැනීමටය. හිටපු ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් වූ තම ස්ථාවරය පසුගිය දා වෙනස් කරන්නට ආසන්නව ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ බවක් ද ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. සමහර විට හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන වෙනසට බලපාන්නට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බලපෑමක් වන්නට ඇත. කෙසේවුවත් නව ස්ථාවරය හිටපු ජනාධිපතිවරයාට මෙන්ම වත්මන් අග්‍රාමාත්‍යවරයාට ද එකසේ වාසිසහගත ය.

බොර දියෙහි මාළු බෑමේ වාසිය

ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රයෙන් මතුවන දේශපාලන තත්ත්වය තමන් දෙදෙනාටම වාසි සහගත ලෙස සකස් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයාත් වත්මන් අග්‍රාමාත්‍යවරයාත් කතිකා කර ගත්තාදැයි කියන්නට සාක්ෂි නොමැත. එහෙත් දෙදෙනා විසින්ම වෙන වෙනම කරන්නට හදන කාර්ය දෙස බැලීමේ දී ඒත්තු යන්නේ ඒ සඳහා සූදානමක ඉන්නා බවය. කෙසේ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඉදිරියේ ජනාධිපතිවරණයක් නොපවත්වන තත්ත්වයක අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මහා මැතිවරණයක දී තරගයක් ඇති වීම වැළැක්විය නොහැක. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත්වීම අනිවාර්යය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කවුරු ඉදිරිපත්වේදැයි ස්ථිවරව කිව නොහැක. සමහරවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපතිවරයාට ලැබිය හැකිය. සමහරවිට හිටපු ජනාධිපතිවරයාට ලැබිය හැකිය. එළඹෙන මහා මැතිවරණයෙදී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය කාට හිමිවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා දුර්වල අපේක්ෂකයෙක් වීම වැළක්විය නොහැක.

අපේක්ෂකත්වය වත්මන් ජනාධිපතිවරයාට ලැබුනහොත් රාජපක්ෂ පාර්ශ්වය ඔහුට එරෙහිව වි අමෝරා නැගී සිටින බව ස්ථිරය. එසේම අපේක්ෂකත්වය හිටපු ජනාධිපතිවරයාට ලැබුනහොත් වත්මන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ඔහුට එරෙහිව අවි අමෝරාගෙන නැහී සිටින බවත් ස්ථිරය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා අනිවාර්යෙන්ම දුරවල අයකු වන්නේ ය. ඒ තත්ත්වය වාසිසහගත වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටය.

සමාජයට අත්වන්නේ කුමන ප්‍රතිලාභයක් ද?

මේ දේශපාලන හෙයියම්මාරූන් තුළ ඒ ඒ පර්ශ්වයන්ට දේශපාලනික වශයෙන් බරපතල වාසිසහගත තත්ත්වයක් උදාවුවද සමාජයට අත්වන්නේ බරපතල හානියකි. ඒ නිසා සමාජයට යම් දේශපාලනික වාසියක් අත්කර ගැනීමට නම් කිසියම්ම හෝ දේශපාලන න්‍යාය පත්‍රයකින් බැහැරව ජනවාරී අටවැනිදා ජයග්‍රහණය කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක කරගත යුතුය. ඒ සදහා පොරුන්දු වූ පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුය. එහිදී පවතින විධායක ජනාධිපති ධූරයේ ඒකාධිපතිත්වය අවලංගු කළ යුතුමය.

මේ තත්ත්වය තුළ රාජපක්ෂ පාර්ශ්වයට යම් ගැම්මක් ලැබිය හැක්කේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම සදහා නැවතත් මහා මැතිවරණයකට තරග කරන්නට අවස්ථාවක් ලැබෙන හෙයිනි. ඉදිරි මහා මැතිවරණයක අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සමග තරග කර ජයග්‍රහණය කළ ද නොකළ ද වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි සිදුවීම අනිවාර්ය කරුණකි. ඔහු හා තරග කර අපේක්ෂකත්වය ලබා ගත්ත ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද භින්න වන තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය හා සටන් වැදීම පහසු නොවන්නේ ය.

ඒ අනුව ඉදිරියේ දී වත්මන් ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ මත ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා වන අතර කුමන දේශපාලන තත්ත්වයක් යටතේ හෝ මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවලංගුවීම වැළැක්විය නොහැක.

කේ.ජී.පිලිප් ශාන්ත

Share on Google Plus