ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය


හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප‍්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක‍්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට විවාද කෙරෙමින් තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය, යහපත් වෙනවා පමණක් නොව, අත්‍යාවශ්‍ය එකක් ද වන්නේය.

සෑම පුරවැසියෙක්ම, පොහොසත් වේවා දුප්පත් වේවා, රාජ්‍ය අංශයට යම් දායකත්වයක් සපයයි. සමස්ත රාජ්‍ය ව්‍යුහයත්, ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු දස ලක්ෂ ගණන් වන රාජ්‍ය සේවකයිනුත් නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. ආණ්ඩුවක් යම් ණයක් ගැනීමට සාකච්ඡා කරන මොහොතේ පටන්, යම් දවසක එම ණය ගෙවීමේ බර පැටවෙන්නේ ජනතාවටයි. එම ණය ලබා ගැනීමට සාකච්ඡා කළ පුද්ගලයන්, දේශපාලඥයන් හෝ නිලධාරීන්, එම ණය ගෙවීමට සිදුවන අවස්ථාවේ ජීවතුන් අතර නොසිටිය හැකිය. එහෙත් එම ණය ගෙවා අවසන් වන තෙක් පවතින වගකීම රටටත් ජනතාවටත් පැවරෙයි.

දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ

රටක ආත්මය වන්නේ එම රටේ වෙසෙන ජනතාව යැයි පිළිගන්නේ නම්, තොරතුරු දැන ගැනීමට එම ජනතාවට ඇති අයිතිය ඔප්පු කිරීමට වැල්වටාරම් තර්ක අවශ්‍ය නැත. ජාතික ආරක්ෂාවත්, රාජ්‍යයේ ඒකාග‍්‍රතාවට අදාළ සංවේදී කරුණු සහ සමහර විට රටේ ආර්ථික ස්ථාවරත්වයට අදාළ ඇතැම් කරුණුත් හැරුණු කොට, රාජ්‍ය ආයතනවල සිදුවන්නේ කුමක්ද සහ මහජන මුදල්හදල් පාවිච්ච් කෙරෙන්නේ කෙසේද යන්න දැන ගැනීමේ අයිතියක් ජනතාවට ඇත්තේය. ඉහත කී ඇතැම් කරුණු සම්බන්ධයෙන් රහස්‍ය භාවයක් රැක ගැනීම අත්‍යාවශ්‍ය විය හැකි වෙතත්, එහිදී සැපයෙන රහස්‍ය භාවයේ ආවරණය පවා සැම කල්හි පැවතිය යුත්තක් නොවේ. යම් කාලයකින් පසු එම රහස්‍ය භාවයේ ආවරණය ඉවත් කෙරෙන අතර, එතෙක් රහස්‍ය යැයි සැළකුණු තොරතුරු එතැන් පටන් නිරාවරණය කෙරේ.

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම්වලට පමණක් සීමා නොවෙයි. වෙනත් ස්ථානවල සිදු වන දේවල්, බදු ක්ෂේම භූමි, එතෙර ගිණුම්, විදේශ රටවල කෙරෙන මූර්ත දේපල ගනුදෙනු ආදිය, සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි තවත් රටක ක‍්‍රම පද්ධති සහ ගනුදෙනු කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. ‘පැනමා පත‍්‍රිකා’ මගින් දැන් පුපුරුවා හැර ඇති මහා ආන්දෝලනය තුළින්, බලය සහ ධනය අතර පවතින අශුද්ධ සන්ධානය අපූරුවට ඉස්මත්තට පමුණුවා තිබේ. බලය සහ ධනය වෙන්ව ගමන් කළොත් ඒ ඉතා කලාතුරකිනි.

දැනට එළියට කාන්දු වී ඇති තොරතුරු අනුව, රාජ්‍ය නායකයන් ගණනාවක්ම අප‍්‍රකාශිත බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් තිබේ. මෙවැනි රහස් ක‍්‍රම ඔස්සේ මුදල් අප‍්‍රකාශිතව සඟවා තබා ගත් අයවළුන් අතර, ලතින් ඇමරිකානු රටක එක් දූෂණ-විරෝධී ආයතනයක ප‍්‍රධානියෙකුද සිටී.

බලය අපහරණය කිරීම

යහපාලන සන්ධානයට රාජපක්ෂ තන්ත‍්‍රය ගැන එදා පැවති ප‍්‍රධාන විවේචනයක් වුණේ ජනාධිපතිවරයා වටේ සිටි කල්ලියක් අතේ සකල බලය කේන්ද්‍රගතව තිබීමත්, පහත්ම පෙළේ පන්දම්කාර කාර්ය මණ්ඩලයක සහායෙන් ජනාධිපති පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් තීන්දු තීරණ ගැනීමත් ය. රජයේ ඉහළම තැන්වල එදා තීන්දු තීරණ ගැනුණේ ක‍්‍රමවත් ආකාරයකට නොවේ. එම තීරණත්, තම තමන්ගේ වාසියට ගැනුණු, අන් අයගෙන් වසං කෙරුණු තීරණයි.

ජනාධිපති ක‍්‍රමය ආරම්භයේ පටන්ම මෙම ජනාධිපති ධුරය අපගේ වැනි දේශපාලනික පරිසරයකට සහ දේශපාලනික සංස්කෘතියකට නොගැළපෙන බව පෙනෙන්ට තිබුණි. බලය අපහරණය කිරීමට සහ බලය දිග් ගස්සා ගැනීමට සේම, දූෂණයටත් අපමණ අවකාශයක් ඒ මගින් සලසා දෙයි. විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ යම් ආකාරයක යහපතක් දුටු අයවළුන්ට පවා, කාලයක් යන විට, සංකල්පීය වශයෙන් එම ක‍්‍රමය තුළ පැවතිය හැකි යහපතකට වඩා අයහපතක් ප‍්‍රායෝගික වශයෙන් එම ධුරය මගින් සිද්ධ කෙරෙන බවට සාක්ෂි, රාජපක්ෂ ධුර කාලය තුළ දැක ගැනීමට හැකි වුණි. ඒ අනුව, රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහි සමස්ත ව්‍යාපාරයම එදා මුළුදුන්නේ, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඔස්සේ ය.

එසේ පොරොන්දු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කර ගන්නා තෙක්, මුළුමණින් ඉවත් නොකළත්, වහාම විනිවිද භාවයක් යටතට ගත යුතු ජනාධිපති ධුරයේ අංග ගණනාවක් තිබේ. එයින් එකක් වන්නේ ජනාධිපති අරමුදලයි.

ජනාධිපති අරමුදල

ඊනියා ජනාධිපති අරමුදල පිහිටුවන ලද්දේ, කරකියා ගත හැකි දෙයක් නැති, හදිසි උදව්වක් ලැබීමට යෝග්‍ය අයවළුන්ට යම් ආධාරයක් කිරීම සඳහා ය. ජනාධිපති යන වචනය ඊට ඈඳී ඇති නිසාම එම අරමුදලට ශුද්ධවන්ත භාවයක් ලැබෙන්නේ නැත. මේ කියන ජනාධිපති අරමුදලට සියලූ මුදල් ගලා එන්නේ, ලොතරැයි ආදායම් ඇතුළු මහජන මූල්‍ය මූලාශ‍්‍රවලිනි. ආණ්ඩුවේ සාමාන්‍ය අරමුදල් පද්ධතිවලින් මුදල් ලබා ගැනීම දීර්ඝ ක‍්‍රියාවලියක් වන නිසා, ඒ සඳහා අනුගමනය කළ යුතු නිලබල ක‍්‍රියාවලිය දුෂ්කර එකක් වන නිසා, හදිසි මුදල් අවශ්‍යතාවක් ඒ මගින් පිරිමසා ගැනීම උගහට ය. එවැනි අවස්ථාවකදී ලෙහෙසියෙන් කෙනෙකුට පිහිට වීම සඳහා ජනාධිපති අරමුදලක් වැදගත් වෙයි. මීට අදාළ පනතට අනුව, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ වෙනත් අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා ආධාර කරනු ලැබේ.

ත්‍යාගශීලීව දෙනු ලබන දානවන්ත පාලකයෙකු සහ එම පාලකයාගෙන් අනුග‍්‍රහ ලබන ජනතාවක් පිළිබඳ ආකල්පය නූතන යුගයට නොගැලපෙන්නක් වුවද, මෙම වරදානය ලැබිය යුත්තේ කවුරුන්ද සහ කෙතෙක් දුරටද යන්න තීරණය කරන ජනාධිපතිවරයෙකු සිටීම අපට ප‍්‍රශ්නයක් වන බවක් පෙනෙන්ට නැත. මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට කෙනෙකු සිටිය යුතු බව ඇත්ත. එසේම එම තීරණ අවංකව ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඇත්ත. එහෙත්, මේ අරමුදල් එක්කාසු කර ගැනෙන්නේ ජනතාවගෙන් බවත්, ඒවා ජනතාව සඳහාම වන බවත්, අමතක කිරීමට කෙනෙකුට පුලූවන් කමක් නැත.

කෙසේ වෙතත්, ජනාධිපති ධුරයට අදාළ වෙනත් අංශවලදී සේම මෙහිදීත් අරමුදල් අපයෝජනය වෙතැයි යන පොදු මතයක් ගොඩනැගී තිබේ. ඊට අදාළ කොන්දේසි, නීතියෙන් සහ ආරම්භක අරමුණුවලින් අපේක්ෂිත වූ ආකාරයටම නොපිළිපැදෙන බවට පොදු මතයක්ද ගොඩනැගී තිබේ. මේ අරමුදල කිසි විටෙකත් ජනාධිපති ධුරයට සමීපතමයන්ට අතහිත දීම සඳහා ගොඩනැංවූවක් නොවේ. එසේම, ජනාධිපතිවරයාගේ දේශපාලනික ස්ථාවරයන් ඔසවා තැබීම සඳහා හෝ ජනාධිපතිවරයාගේ කේවල් කිරීමේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා හෝ පාවිච්චි කළ යුත්තක්ද නොවේ. එහි ආරම්භක අරමුණ ඊට වඩා බරසාර ය. උත්කෘෂ්ට ය.

ප‍්‍රශ්නකාරී ප‍්‍රදානය කිරීම්

මෙම අරමුදලින් දෙන ලදැයි කියන ඇතැම් ප‍්‍රදානයන් දෙස බැලීමේදී, කෙනෙකුගේ ඇස් උඩ යයි. එක්තරා ඇමතිවරයෙකුගේ පුතෙකු වරක් විදේශයකදී අනතුරකට මුහුණදීමෙන් පසු ඔහුට මේ අරමුදලින් මුදල් ප‍්‍රදානයක් කරන ලදැයි වාර්තා විය. එසේම ඇතැම් ධනවත් මහාචාර්යවරුන්ට, කලාකරුවන්ට/කාරියන්ට සහ ව්‍යාපාරිකයන්ට පවා ඔවුන්ගේ වෛද්‍ය වියදම් සඳහා මෙම අරමුදලින් ගෙවීම් කර ඇති බව මෑතකදී කතාබහට ලක්වුණි. ජනාධිපති අරමුදලින් මුදල් ආධාර ලබා දීමේ නිර්ණායකය මොන විදිහකින්වත් කෙනෙකුගේ කීර්තිය විය නොහැක. කෙනෙකු උසුළන ප‍්‍රසිද්ධිය හෝ ජනප‍්‍රියත්වයද විය නොහැක. තවද, ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන්ද තම උසස් තනතුරු පාවිච්චියට ගනිමින් තම දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මෙසේ ආධාර ලබාගෙන ඇත.

ජනාධිපති අරමුදලේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ නොකෙරෙන නිසා මේ සිදුවීම්වල ඇත්ත නැත්ත සොයා ගැනීමේ හැකියාවක් ජනතාවට නැත. එහෙත් මෙය මහ ජනතාවගේ අරමුදලකි. ජනතා මුදලින් ගොඩනගන ලද අරමුදලකි. ඒ මුදල්වලින් ඵල ප‍්‍රයෝජන ලබන්නෝ කවුරුන්ද යන්න දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ.

කොටින්ම, තමන්ගේ මුදල් වියදම් කෙරෙන්නේ කෙසේදැයි දැන ගැනීමේ අයිතියක් මහ ජනතාවට තිබේ.

-රවි පෙරේරා
*2016 අපේ‍්‍රල් 12 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ President’s Fund: Right To Knowනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Share on Google Plus