දේශපාලනයේ සදාචාරය පිළිබඳ අදහසක්




දේශපාලනයේ සදාචාරය පිළිබඳ කරුණ දැකිය හැකි එක් ආකාරයක් මෙසේය. .

කෙනෙකු යෙදී සිටින දේශපාලනයේ සදාචාර පදනම කුමක් ද? එය සදාචාරමය වශයෙන් සාධාරණීකරණය කරන්නේ කෙසේද? තමා අන් අයගේ දේශපාලනය විවේචනය කරන විට තමන් යොදා ගන්නා මිණුම් දණ්ඩේ ඇති ආචාර ධර්මීය පදනම තමා තමාගේ දේශපාලනයට යොදා ගන්නේද?

මේ අර්ථයෙන් යමෙකුට අන් අයෙකු විවේචනය කිරීමට සදාචාරමය අයිතියක් නැතැයි කෙනෙකු කියන විට ඉන් අදහස් වන්නේ “ ඔබ විවේචනය කරන වරද ඔබම විසින් පෙර කොට ඇත, එහෙයින් ඔබ එය වරදක් බව පිළිගෙන ඔබේ ආස්ථානය නිවැරදි කොට ගෙන නොමැති නම් ඔබේ වත්මන් විවේචනය සදාචාරවත් නොවේ,“ යන්න වැන්නකි.

හැබැයි, මේ අදහස පිළිබඳ සාකච්ඡාවකට පිවිසෙන්නට නම් යමෙකු දේශපාලනයට ආචාර ධර්මීය පදනමක් ඇතැයි යන්න පළමුව පිළිගත යුතුය. ඉන් කියැවෙන්නේ අප මානව පැවැත්ම වටහා ගන්නා ආකාරයට ආචාර ධර්මීය පදනමක් ඇති බවය. අපේ ජීවිත වලට ආචාර ධාර්මික පදනමක් ඇතැයි යන්න ය.

මානව ජීවිතයට ආචාර ධාර්මික පදනමක් නැතැයි යන අදහස මත ගොඩ නැගෙන දේශපාලනයේ ස්වරූපය කුමක් ද? එයට ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයෙන් දිය හැකි උදාහරණ මොනවාද?

දේශපාලනය සහ ආචාර ධර්මය පිළිබඳ බටහිර කෙරෙන දාර්ශනික/ න්‍යායික සාකච්ඡාව අපට ලිඛිතව එන ප්‍රධාන මූලාශ්‍ර වන ඇරිස්ටෝටල් ගේ Nicomachean Ethics සහ Politics වල අදාළ කොටස් කිහිපයක් පහත උපුටා දක්වමු. දේශපාලන යේ ආචාර ධර්මය පිළිබඳ දාර්ශනික/ න්‍යායික සාකච්ඡාවකට මේ ඉදිරිපත් කිරීම වලින් ගම්‍යමාන වන අදහස් ආමන්ත්‍රණය නොකොට මග හැර යා නොහැකිය.

කුමුදු
-----------------------------------------------------------
ඇරිස්ටෝටල්
දේශපාලනය
පළමු පොත

[1] සෑම රාජ්‍යයක් ම යම් ආකාර ජන සමාජයකි. සෑම ජන සමාජයක් ම පිහිටවා ඇත්තේ යම් හොඳක් අරමුණු කරගෙනය. මක්නිසාද සෑම කෙනෙකු ම සැම විට ම කි‍්‍රයා කරනුයේ යහපත් යැයි ඔවුන් සිතන දේ ලබා ගැන්ම සඳහා බැවිනි. නමුත් සෑම ජන සමාජයක් (ප‍්‍රජාවක්) ම කි‍්‍රයා කරනුයේ යම් හොඳක් ඉලක්ක කර ගෙන නම් සියල්ලට ම උසස් සහ අන් සියල්ලම ඇතුල්වන රාජ්‍යය හෝ දේශපාලන ප‍්‍රජාව අන් කිසිවෙකුට වඩා විශාල මට්ටමකින් යහපත අරමුණු කරන අතර, ඒ අරමුණු කරනුයේ ඉහළ ම යහපත ද වේ.


රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු, රජෙකු, ගෘහ මූලිකයෙකු හා ස්වාමියකුගේ සුදුසු කම් එකාකාර ම යැයි ද, ඔවුන් වෙනස් වනුයේ වර්ගයෙන් නො ව ඔවුන් යටතේ සිටින්නන්ගේ සංඛ්‍යාවෙන් පමණකැ යි ද, සමහරු සිතති. උදාහරණයක් වශයෙන්, අතළොස්සක් පාලනය කරන්නා ස්වාමියකු ලෙස ද, ඊට වැඩි ගණනක් පාලනය කරන්නා ගෘහමූලිකයකු ලෙස ද, ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් පාලනය කරන්නා රාජ්‍ය තාන්ති‍්‍රකයකු හෝ රජෙකු සේ ද හැඳින්වෙන්නේ හරියට විශාල ගෘහයක් හා කුඩා රාජ්‍යයක් අතර වෙනසක් නැතිවාක් මෙනි.

 රජු සහ රාජ්‍ය තාන්ති‍්‍රකයා අතර දැක්වෙන වෙනස පහත දැක්වෙන ආකාරයෙනි. ආණ්ඩුව පෞද්ගලික වන විට පාලකයා රජෙකි. දේශපාලන විද්‍යාවේ නියමයන්ට අනුව, පුරවැසියන් පාලනය කරන අතර ම පෙරළා පාලනය කරනු ලබන විට ඔහු රාජ්‍ය
 තාන්ති‍්‍රකයෙකැ යි කියනු ලැබේ.


නමුත් මේ දක්වා අපට මඟ පෙන්වා ඇති ක‍්‍රමයට අනුව, මෙම කරුණ සලකා බලන ඕනෑ ම කෙනෙකු ට, පෙනී යනු ඇති පරිදි, මේ සියල්ල වැරදීමකි. විද්‍යාවේ අනෙකුත් අංශයන්හි දී මෙන් දේශපාලනයේ දී ද, සංයුතිය හැම විට ම සරල මූලාංගයන්ට හෝ සමස්තයේ අඩුම කොටස් වලට වෙන් කර ගත යුතුය. එබැවින් වෙනස් ආකාර පාලනයන් එකිනෙකින් වෙනස් වන්නේ කුමකින් ද, ඒ එකින එක ගැන කවර හෝ විද්‍යාත්මක ප‍්‍රතිඵලයක් අත් කර ගත හැකි දැ යි බැලීම සඳහා, රාජ්‍යය සමන්විත වන මූලාංගයන් දෙස අප බැලිය යුතුය.

Kathika Sanvada Mandapaya
Powered by Blogger.