වරාය වැඩ වර්ජනය සහ ශ්‍රම ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා.


කොළඹ වරාය සේවකයන් වර්ජනයක් ආරම්භ කළේය. වරාය ලාභ ලබන ආයතනයකි. එහෙයින් එම ලාභයෙන් ප්‍රසාද දීමනා බෙදා දිය යුතු බව සේවකයන්ගේ අදහසයි. දෙවැනි කොන්දේසිය වරායේ පර්යන්ත දෙකක් පෞද්ගලීකකරණය නතර කිරීමය. තවත් එකක් තිබේ’. එනම් නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර කඩිනමින් මිලදී ගන්නා ලෙස කරන බලකිරීමකි. වරාය සේවකයන් වර්ජනය කිරීමෙන් අධිකාරියට අහිමිවන මුදල, දිනකට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන අලාභය ගණන් බැලීම අපහසු නැත. නමුත් ආසියාවේ කාර්යශූර වරායක් වශයෙන් කොළඹ වරාය අත්පත් කරගෙන ඇති කීර්තිය පලුදුවීම මිල කළ නොහැකි අපරාධයකි.

මෙයින් වසර තිහ හතළිහකට කලින් වරාය යනු රටට එන ආනයනික දේ රටට ගොඩබාන මධ්‍යස්ථානයයි. එතැනට එන්නේ පිටි, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය දේ වන අතර එහිදී නැව්වලට පැටවෙන්නේ තේ සහ රබර් ඇතුළු අපනයන ද්‍රව්‍යයන්ය. හණ ගෝනිවලින් හිසේ සිට පිට පැත්ත ආවරණය කරගත් කම්කරුවෝ යකඩ කොකුවලින් අමුණා තනිවම කර මතට පටවා ගන්නා හොණ්ඩරයක් බර දේ පා ගමනින් ගොස් නැව් තුළ ඇති කුටිවල තැන්පත් කළහ. එය අති විශාල ශ්‍රම මෙහෙයුමක් වන අතර පිට පළාත්වලින් පැමිණි දස දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹ නගරයේ පදිංචි වී තමන්ගේ වෘත්තීය කරගෙන ගියහ. වරාය අවට රාත්‍රී බස් සේවා පවතින්නේ නැව්වලින් බඩු ගොඩ බා ගෙදර යන කම්කරුවන්ටය. වරාය බත් පැකට් හැදෙන්නේ ආහාර වේලකට හෝ වරායෙන් පිටතට යන්නට වෙලාවක් රහිතව එක දිගට වැඩ කරන ශ්‍රමිකයන් වෙනුවෙන්ය. මෙම තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙයි. වරාය තුළ දැවැන්ත දොඹකර සවි කෙරේ. ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට රටට ධනය නැත. වියදම් කරන්නේ පෞද්ගලික අංශයයි. ආණ්ඩුවට පරිබාහිර කොටස් වරායේ මෙහෙයුම් වලට ඇතුළු කරගන්නට අණ පනත් වෙනස් කෙරේ. එයට සමාන්තරව දියුණු තාක්ෂණයෙන් යුතු නවීන දොඹකර සවි කරන අතර නැව් ගෙන එන්නේ බහාලුම් වන අතර එයට පැටවෙන්නේද බහාලුම්ය. නිවැරැදිව බහාලුම් මෙහෙයවන්නට තාක්ෂණය උපයෝගී කරගැනේ.

කොළඹ වරායෙන් මෙහෙයවන බහාලුම් රටට ආනයනය කරන හෝ රටින් අපනයන කරන දේ පමණක් නොවේ. ලෝකයේ විශාලතම බහාලුම් ප්‍රවාහන නැව් සමාගම් කොළඹට පැමිණ භාර දෙන්නේ සහ කොළඹින් භාරගන්නේ ලෝක සැපයුම් ජාලයේ එක්තරා අවස්ථාවන්ය. තොරතුරු දක්වන ආකාරයට කොළඹ වරායේ මෙහෙයුම් වලින් සියයට හැටක් ඉන්දියාව සම්බන්ධ ඒවා බව දැක්වෙයි. ඉන්දියාවට එන, ඉන්දියාවෙන් අපනයනය කරන සහ දෙරට අතර හුවමාරු වෙන දේ අනුව කොළඹ වරාය හරි අඩකටත් වඩා භාවිතා කරන්නේ ඉන්දියාවයි. ආසියානු ආර්ථිකය සමග සම්බන්ධ වූ කොළඹ වරායේ වර්ජනය ඉන්දියාවට දැනෙන, ජාත්‍යන්තර ආර්ථික ප්‍රවාහයට යම් ආකාරයට පණිවුඩයක් දෙන එකක් බවට පත්ව ඇත්තේ එහෙයින්ය. කොළඹ වරාය අග්නිදිග ආසියාවේ වැදගත් තැනක් වන තරමටම එය කාර්යක්ෂම සහ ඉතාම විශ්වාසදායක මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්විය යුතුය.

කොළඹ වරායේ වැඩ වර්ජනයෙහි නිරත වූ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එහි වැදගත්කම තේරුම්ගෙන තිබේ. ඔවුන්ට අනුව නැ‍ඟෙනහිර පර්යන්තයට දොඹකර අවශ්‍යය. ඒවා මිලදී ගැනීම ප්‍රමාද වන විට වරාය මෙහෙයුම් සීමා සහිත වෙයි. එය රටට අවාසියකි. ඒ අතරම ඔවුන් කියන්නේ පර්යන්ත දෙකක් පෞද්ගලීකරණය කිරීමේ අදහස අත්හරින ලෙසය. පුද්ගලීකරණය යනු නරක දෙයක් නොවේ. ආණ්ඩුව වෙනුවට කාර්ය මෙහෙයවීමකි. ඒකාධිකාරය වෙනුවට තරගකාරීව කාර්ය කරන්නට ඉඩ දීමකි. කොළඹ වරායේ බහාලුම් මෙහෙයවීම රාජ්‍ය හා පුද්ගලික තරගකාරිත්වයකින් සිදු වෙයි. එසේ නොවෙන්නට මේ සා විශාල ජාත්‍යන්තර අවධානයක් ලැබෙන්නේ නැත. පුද්ගලීකරණයත් එපා කියමින් පමණක් නොව තවත් දොඹකරවලට ආයෝජනය කරන්නට කියන වෘත්තීය සමිති වැඩි වර්ජනය කරමින් සිටී. එය කාර්යක්ෂමතාව නොවේ. මුලින් වරාය සේවකයන්ට ප්‍රසාද දීමනා ගැටලුවක් වූ එය තග් යාත්‍රා ඇතුළු සියලු අංශ එකතු වී කරන වර්ජනය දින හයක් බවට පත්වන විට කොළඹ වරායේ පිටත නැංගුරම් සහිතව කල් හරින නැව් ගණන හතළිහක් පමණ වූ අතර අලාභය ආසන්න වශයෙන් රුපියල් මිලියන 800 ඉක්මවීය. නැව් සාමාන්‍යයෙන් වරායක නතර කර තැබෙන දින ගණනක් තිබේ. ගමන් කරන කාල සටහන වෙනස් වුවහොත් එම නැව් වල රැගෙන යන අනෙක් රටවල භාණ්ඩ වෙනුවෙන් අවාසියක් සිදුවන බැවිනි. එය වලක්වන්නට ප්‍රමාද ගාස්තු ගෙවන ක්‍රමයක් ඇති අතර වැඩ වර්ජනය හෙයින් නැව් ප්‍රමාද ගාස්තු කොපමණ ගෙවන්නට සිදුවී ඇත්දැයි අනාවරණය නොවේ. රටට ආර්ථික වශයෙන් සිදුවන පාඩුවට භාණ්ඩ නිදහස් කිරීම, නැව් ප්‍රමාද ගාස්තු, ජාත්‍යන්තර අපකීර්තිය යන සියලුම කාරණා ඇතුළත්විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක අර්බුද විසඳා ගන්නට ඇති අවසාන අවස්ථාව වර්ජනය ද එය පැහැදිලි නැත. කර්මාන්ත යුගයට එළැඹෙන විට ජාත්‍යන්තරය සේවක අයිතිවාසිකම් නිල වශයෙන් පිළිගත්තේය. වහලුන් සේ වැඩ ගැනීම නතර කරන්නට නම් වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් හිමි විය යුතු බව ලිබරල් ආණ්ඩු විශ්වාස කළ කාරණයකි. එහි ප්‍රතිඵලය වූයේ වැඩ වර්ජන නීතිගත කිරීමය. ප්‍රංසය ඇතුළු ඇතැම් යුරෝපා රටවල වැඩ වර්ජන අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී තිබේ. නමුත් මෑත කාලීන ප්‍රවණතා අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවා වැඩ වර්ජනය භයානක ආයුධයක් බව පිළිගෙන තිබේ. පදනමක් නැති කාරණා මුල් කරගනිමින් කරන වැඩ වර්ජන සේවක අයිතිවාසිකම් රැකදෙන නමුත් අති විශාල ජන කොටසකට පීඩා අත්පත් කර දෙන බව ඔවුහු ගණන් බලා ඇත. හැකි උපරීම ආකාරයෙන් ක්‍රියා කර වර්ජන නතර කරගන්නට පමණක් නොව ආයතන සහ සේවක වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුම් අත්සන් කරගන්නට ද පොලඹවන්නේ එහෙයින්ය. සාමූහික ගිවිසුම අනුව ආයතන ප්‍රධානීන් පමණක් නොව ශ්‍රමිකයන්ට ද වගකීමක් ඇති අතර ආයතනවල අභ්‍යන්තර තොරතුරු දැනගෙන එහි පාලනයේ ස්වභාවය අවබෝධ කරගෙන ක්‍රියා කරන්නට එය ඉඩකඩ පාදා දෙයි.

කොළඹ වරාය මෙහෙයුම්වලට ද සාමුහික ගිවිසුමක් අවශ්‍යය. වැඩ වර්ජනයට සූදානම් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන්නට මැදිහත් නියෝජිතයන් කණ්ඩායමක් සූදානම් කළ යුතුය. වර්ජනයකට කලින් තත්ත්වය පාලන කළ හැක්කේ එවිටය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවන පැති ද මෙම අවස්ථාවේ දී සිහිපත් කළ යුතුය. කොළඹ වරාය මෙයින් දශක හතරකට කලින් කොකුවලින් අමුණා ගෝනි කෑලි ගණනට වරායෙන් භාණ්ඩ කරට පටවාගෙන පැමිණි යුගයේ සිට බහාලුම් මෙහෙයුම දක්වා ගමනක් පැමිණ තිබේ. මෙම බහාලුම් මෙහෙයවන්නේ අර්ධ ස්වයංක්‍රීය ආකාරයකටය. කම්කරු සංවිධානය කියන්නේ ලෝකයේ පවත්නා වර්ජන, බලපෑම්, පීඩන කණ්ඩායම් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල අවසාන ප්‍රතිඵලය රොබෝ තාක්ෂණය අවතීර්ණ වීම ඉක්මන් කරනු ඇති බවය. වෘත්තීය ක්‍රියාමාර්ග, සමාජ සුරක්ෂිතභාවය, ශ්‍රම සංක්‍රමණය, ගැටුම් සහිත කලාපවල ශ්‍රමය සහ ඒ අතරවාරයේ තිරසාර නිෂ්පාදන ව්‍යුහය පවත්වාගෙන යන්නට වශයෙන් අංශ පහකින් ලෝක කම්කරු සංවිධානයට බලපෑම්වලට යටත් වන්නට සිදුව තිබේ. එක පැත්තකින් කම්කරු අයිතීන් ගැන සාකච්ඡා කරන අතරවාරයේ අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන්ට සිදුවන අවාසිය ගැන තක්සේරුවකට ගමන් කළ යුතුය. එක්තරා සන්ධිස්ථානයක දී ශ්‍රමය අඩු වී රොබෝවරු අවතීර්ණ විය හැකි ය සහ එයට ඉඩ දිය යුතු ය යන මතයට ලෝක කම්කරු සංවිධානය ද ඉඟි කර ඇත. එය නොසලකා හැරිය යුතු කාරණයක් නොවේ.

ඉදිරි වසර පහ ඇතුළත ලෝකයේ ශ්‍රම වෙළෙඳ පොළට අලුත් ශ්‍රමිකයන් මිලියන 44.5ක් එකතු වනු ඇත. එය කොළඹ වරාය ද එහි වැඩ කරන්නට කැමැති පිරිස ද සහිතවය. නමුත් අභියෝගය වෙන්නේ තාක්ෂණය අවතීර්ණ වීමය. කාර්මික රොබෝවරු ලක්ෂ දෙක බැගින් අවුරුද්දකට එකතු වෙමින් තිබේ. පසුගිය වසර වන විට නිල තොරතුරුවලට අනුව මිලියන 1.5 ඉක්මවූ රොබෝවරු පිරිසක් වරාය පමණක් නොව එකිනෙකට වෙනස් කර්මාන්ත හා සේවා අංශවල සේවය කරමින් සිටියහ. ජපානයේ හෝටල්වල පිළිගැනීමේ අංශවල සිට සිංගප්පූරුවේ චොකලට් නිෂ්පාදන අංශ දක්වා පරාසයක වැඩ කරන්නට පටන්ගෙන තිබේ. රොබෝවරු ඉල්ලීම් දිනාගන්නට වැඩ වර්ජනය කරන පිරිසක් නොවෙති. වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලන්නේ නැත. එක වැඩ මුරයක් පමණක් නොව හොඳට නඩත්තු කරන්නේ නම් දවසකට පැය අටේ වැඩ මුර හතරක් වැඩ කරන්නට සූදානම්ය. ජාත්‍යන්තරය තුළ වේගයෙන් රොබෝ තාක්ෂණය සඳහා ආයෝජනය වන අතර වැඩිම වේගයකින් ඒ වෙනුවෙන් නැඹුරු වෙන්නේ චීනය බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. ඉතාම වැඩි ශ්‍රම බළකායක් සිටින චීනය ඉතාම වේගයෙන් රොබෝවරු ශ්‍රමිකයන් වශයෙන් යොදවා ගන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යනු සඳහා පමණක් නොව ජාත්‍යන්තර තරගකාරීත්වය මැනැවින් මුහුණ දෙන අදහස ඇතිවය.

කොළඹ වරායේ වැඩ වර්ජනය හුදෙක් අයිතීන් දිනා ගැනීමක්පමණක් නොවේ. පුද්ගලීකරණය නතර කර දොඹකර වලට ධනය යොදවන්නැයි බල කරන එකක් ද නොවේ. එය ඉක්මන් කරන්නේ කොළඹ වරායේ තාක්ෂණික ප්‍රවේශයයි. මැදි ආදායම් රටක් වශයෙන් නැගී ඇති ශ්‍රී ලංකාව ඉදිරි ආර්ථික අභියෝග ජය ගන්නට නම් පරිවර්තනයකට මුහුණ දිය යුතුය. එය අලුත් ආයෝජන සහ තාක්ෂණය උපයෝගී කරගන්නා එකකි. නුදුරු කාලය තුළ කොළඹ වරායේ මෙහෙයුම් ආසියාවේ ඉහළින් තබන්නට නම් රොබෝ තාක්ෂණය පමණක් නොව ඉතාම නූතන පරිගණක මෙහෙයුම් පද්ධති වලට පවා ඇතුළු වෙන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. වරින් වර සේවා අඩාල වන අකාර්යක්ෂම ස්වභාවය ඒ සඳහා වන ගමන ඉක්මන් කරනු ඇත. ලෝක කම්කරු සංවිධානය පවා කම්කරු අයිතිය ආරක්ෂා කරන්නට ජාත්‍යන්තර වශයෙන් පෙනී සිටින අතරවාරයේ ඔවුන් මුුහුණ දෙන අපහසුව අනාවරණය කරන්නේ එහෙයින බව වටහා ගත යුතුය.

කොළඹ වරාය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පවත්වාගෙන යන්නට හෝ ඒ වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ආණ්ඩුවට බල කරන්නට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැත. ස්වභාවය එයයි. ජාත්‍යන්තර පරිසරය වෙනස් වන විට එයට අනුගත නොවුණහොත් ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් නැ‍ඟෙන ඉලක්කය සාක්ෂාත් කරගත හැකි වන්නේ නැත. වෘත්තීය සමිති සහ ආණ්ඩුවේ බලධාරීන් අතර සුමුදු මටසිළිටු එකඟතාවයකට ගමන් කළ යුතු මොහොත උදා වී තිබේ. වර්ජනය එක පියවරක් වන අතර එයට විකල්ප නොතිබුණ යුගය තුළ එය අති දරුණු ආයුධයකි. නමුත් වර්තමාන තාක්ෂණික යුගය තුළ වර්ජනය සාර්ථක එකක් බවට පත්වන්නේ ඉතා සුළු කාලයකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියන්නේ එයයි. එක පැත්තකින් විශාල ශ්‍රමික පිරිසක් අවුරුදු පතා එකතු වන අතර එයට නොදෙවැනි ලෙස රොබෝවරු ආක්‍රමණය කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ අනාගත වරාය මෙහෙයුම් කෙබඳු විය හැකි දැයි වැඩ වර්ජනය අනතුරු අඟවනු ඇති බව නිසැකය.

-රූපාන්ති බුලත්සිංහල

Share on Google Plus