2020 ජනාධිපති කවුද? ආණ්ඩුව කාගෙද? දේශපාලන ඇසින්...




මීළග ජනාධිපතිවරණය සහ මහමැතිවරණය විශේෂ සිදු වීමක් සිදු නොවුනොත් අනිවාර්යෙන්ම 2020 වසර අවසානයට පෙර පැවැත්වීමට නියමිතය.2015 ජනාධිපතිවරණය සදහා යොදා ගත් පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කිරීමත් සමග මෙරට දේශපාලනය අවිනිශ්චිත බව තහවුරු විය.2014 වසරේ අවසානය දක්වාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි දැන ගැනීමට මහත් කුතුහලයක් රටේ පොදු ජනතාවට විය.බොහෝ දෙනා පැවසුවේ 'සජිත් ප්‍රේමදාස' මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම නියත බවයි.නමුත් එක්සත් ජාතික පක්ෂයේ නගරබදව ජීවත්වන පාක්ෂිකයින්ගේ ඉල්ලීම 'රනිල් වික්‍රමසිංහ' මහතා විය.එක්සත් ජාතික පක්ෂයේ සුළු ජන වර්ග නියෝජනය කරන්නන්ගේත් ඉල්ලීම රනිල් වික්‍රමසිංහ විය.ඒ වන විට රටේ පැවති තත්වය අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකත්වයට මහින්ද රාජපක්ෂ පත්වන විටම ඔහුට අති බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද තීරණය වී අවසන්ය.එක්සත් ජාතික පක්ෂයේ අපේෂකත්වයට රනිල් වික්‍රමසිංහ පත් වූවානම් දෙමළ / මුස්ලිම් ඡන්ද පදනම සහ නාගරිකව ජීවත්වන සිංහල මහින්ද විරෝධී ඡන්ද පදනම හිමි වේ.එහෙත්,ගම්බදව ජීවත්වන මහින්ද විරෝධී ඡන්ද පදනම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා ලබා ගත්තා නම් එහි වාසියෙන් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් 50% ආසන්නව පසු කර ඡන්ද ලබා ජනාධිපති වනු නිසකය.රනිල් වික්‍රමසිංහ මහතාට කිසි විට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයකදී සහාය නොදැක්වීම නිසකය.ජනතා විමුක්ති පෙරමුණ 2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර අනියම් ආකාරයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනයට උදවු කළ බව දේශපාලනයේ 'අ' වැටහෙන සැමට රහසක් නොවේ.2015 ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයාගේ ජයග්‍රහනයට උතුරේත්,නැගෙනහිරත් සුළු ජන ඡන්ද පදනමත් මහා විශාල මෙහෙයක් ඉටු කළේය.ඒ 2015 තත්වයයි...

මේ 2020 උප කල්පිත තත්වයයි,පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්ව 2015.01.09 දින සිදු කළ කතාවට අනූව නම් ඔහු ශ්‍රී ලංකාව තුළ යහපත් ව්‍යවස්ථානුකූල වෙනස්කම් ඇති කර තම පළමු ධුර කාලය අවසන් වන 2020 ජනවාරි 9 වන දිනම දේශපාලනයෙන් සමු ගනී.එහෙත් 2016.05.13 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ 2021 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවයි.ප්‍රධාන දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙකු ජනතාවට මෙවන් බරපතල ප්‍රකාෂයක් කරමින් විහිළු කරන්නේ නැතැයි අපි සිතමු! මෙවර පැවති මැයි දින රැළි වලින් පසුව සිතූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් වූයේ නැත.සිදු වූයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පිළ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පිළ අතර කොන්දේසි වලට යටත්ව සාකච්ඡා ආරම්භ වීමත් පමණි.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතාව පත් කොට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමක් සිදු වේයැයි බොහෝ දෙනෙක් පවසයි.එහෙත්,අපට අනූව එවැන්නක් සිදු නොවේ.රනිල් වික්‍රමසිංහ මහතා 2020 ජනාධිපතිවරණයට අනෙක් පාර්ෂවයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවේනම් නිසක වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා ලෙස තරග කරනු ඇත.එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා සහ පාඨලී චම්පික මහතා අතර ද්වන්ද සටනක් ඇති වීම අනිවාර්යයෙන්ම සිදු වන බව අප ප්‍රකාශ කරන්නේ; එක්සත් ජාතික පක්ෂයට උරුමකමක් ඇති සහ එක්සත් ජාතික පක්ෂයේ ගම්බද ජන පදනම සහිත නායකයා සජිත් ප්‍රේමදාස මහතාය.එතුමාට හිමිවූ නිවාස අමාත්‍ය ධුරය යොදා ගෙන 'උදා ගම්මාන පිහිටුවමින්' සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ ආකර්ෂනය දිනා ගනී.නමුත්,පාඨලී චම්පික මහතා යනු හමනා දේශපාලන සුළග සමග ගණු දෙනුවක නිරත වෙමින් දේශපාලනය කරනා උපක්‍රමශීලී නායකයෙකි.ඔහුට සිංහල බෞද්ධ නාගරික ජනතාවගේ ජන පදනම තවම හිමි බව 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ වැනි අතිශය තරගකාරී දිස්ත්‍රික්කයකට තරග කරමින් මනාප 105,000 ඉක්මවා ලබා ගනිමින් හෙළි කළේය.2004 මහ මැතිවරණයේදී 'ජාතික හෙළ උරුමය' පිහිටුවමින් සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ නාගරික සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 10ක පමණ කුට්ටියක් කඩා ශ්‍රී ලාංකේය මැතිවරණයන්හි ජයග්‍රාහී පාර්ෂවය තේරීමේ තීරණාත්මක සාධකය බවට පත් කළේය.



එම ඡන්ද කුට්ටිය වැඩිවනු මිසක අඩු වීමක් සිදු නොවනුයේ නාගරික ජනතාවගේ අධ්‍යාපන මට්ටම දිනෙන් දින තරගකාරී ලෙස වර්ධනය වීම සහ තමන් නියෝජනය කරන මධ්‍යම පාංතික උගත් අපේක්ෂකයින් පිළිගැනීමට එම නාගරික ජනතාව සූදානම් නිසාය.මෙවර 'මහා නගර සංවර්ධන හා බස්නාහිර පළාත් භාර' අමාත්‍ය ධුරයට පාඨලී චම්පික මහතා පත් වීම තුළින්ම එය උපක්‍රමශීලී දේශපාලකයෙකු වන පාඨලී චම්පික මහතා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරවමින් තවතවත් නාගරික ජන පදනම වැඩි කර ගැනීමට හේතු වේ.

යම් හෙයකින් පාඨලී චම්පික මහතාට එරෙහිව යනු ඇත්තේ රවී කරුණානායක මහතා පමණි.බොහෝ විට සජිත් ප්‍රේමදාස මහතා යම් එකගතාවයකට පැමිණ අවසන් මොහොතේ පාඨලී චම්පික මහතාට උදවු කරනු ඇත.........(උප කල්පිත දේශපාලන විග්‍රහයකි....)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ෂව එකමුතුවී ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාව ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩක් තිබේ.එයට හේතුනම් ප්‍රසන්න රණතුංග මහතා යනු බස්නාහිර පළාත වැනි ජන පදනම අතින් බහුවිද පළාතක මහ ඇමති ධුරය සාර්ථකව සිදු කරමින් සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාවගේම ගෞරවයට පාත්‍ර වූ සුළු ජන ඡන්ද පදනමක් තැනිය හැකි ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු හොදම විකල්පයයි.එමෙන්ම අගමැති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරනු ඇත.මෙරට බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යම පාංතික ජනතාවගේ වැඩක් කළ හැකි නායකයෙක් ලෙස විශ්වාසය දිනා ගත් නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රබල ස්ථානයක සිටී.රාජපක්ෂවරුන්ගෙන් අඩුවෙන්ම කුණු නා ගත් නායකයාත් වන්නේ මොහුය.දේශපාලන වශයෙන් පසු බෑමට ලක්ව සිටි සරත් ෆොන්සේකා මහතාව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරගෙන අමාත්‍ය ධුරයක්ද ප්‍රධානය කිරීමේ රහස පාර්ලිමෙන්තු වරප්‍රසාදයන්ට මුවාවෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාව අපකීර්තියට පත් කිරීම බවට සැක සංකා මතු වන්නේ සරත් ෆොන්සේකා මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදීද එළි විය...



2020 තරණය ජය ගන්නේ කවුද? අප එය පැවසීමට දැනම ඉක්මන් නොවන්නෙමු!



ඉෂාර ලක්මිණ


Share on Google Plus