දූෂණ විරෝධීන්ගේ පට්ටපල් බොරු


අද පොලිස් නිලධාරියකුට නිවැරැදි වන්නට අවස්ථාවක් පොලීසියෙන්වත් ලැබෙන්නේ නැත. පොලිස් දෙපාර්තමේන්තුව යනු ජාරාජීර්ණම ආයතනයක් බවට පත්ව තිබීම මත ඒ තුළ ඊට එරෙහි චර්යා සහිත නිලධාරියකුට ද පැවැත්ම පිළිබඳ බරපතළ ගැටලූවලට මුහුණ දීමට සිදුව ඇත.

අවංකව නීතියට රීතියට කටයුතු කරන අතිදක්ෂ පොලිස් නිලධාරියකුට වුවත් උසස්වීම් ලැබීම් ප‍්‍රමාද වීම හෝ නොලැබී යාම ඒ තහවුරු කරන්නකි. එවැනි දුෂ්කර බන්ධනවලට යටත් වූ පොලිස් නිලධාරීන් රැසක් මේ වන විට පොලීසිය තුළ සිටිති. ඒ තබා රටේ නීතිය රැකිය යුතු යැයි ද පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් නොකළ යුතු යැයි ද ආදී වශයෙන් කෑමොර දෙන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ද මේ නිලධාරීන්ටම එරෙහිව අවි අමෝරා ගෙන ඒම තවත් ඛේදවාචකයකි.

පවත්නා තත්ත්වයන්ගෙන් තෝරා ගත් සිදුවීම් තමන්ගේ වාසියට පෙරළාගෙන කටයුතු කරන අලූත් පන්නයේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් නිසා මේ රටේ අපරාධකරුවන්ට නිදැල්ලේ පසුවීමේ වාසනාව ද පැදී ඇත. මානව හිමිකම් රැකීම, දූෂණයට, වංචාවට එරෙහි වීම අනෙකකි. එමඟින් තම තමන්ගේ බඩගෝස්තරය සපයා ගැනීම ගැන ද ගැටලූවක් නැත. එහෙත් එමඟින් තවකෙකුගේ ජීවිතය විනාශ කිරීම අනුමත විය යුතු නැත.

ශ‍්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් බරපතළ ගැටලූ තිබෙන බව ඇත්තකි. විශේෂයෙන්ම සැකකරුවකුගේ මානව හිමිකම් ගරු නොකිරීම බරපතළ ගැටලූවක්ව පවතී. එමෙන්ම අපරාධ විමර්ශනයේ දී අනුගමනය කරන නීති විරෝධී පිළිවෙත් නිසා ද පොලීසිය ජන අප‍්‍රසාදයට පත්ව තිබේ. කොටින්ම පොලීසිය කියන්නේ ජරාව කන මහත්වරුන්ගේ තිප්පොළකි. ඒ තුළ ද විවිධ ජාවාරම්, අපරාධ සිදු වේ. ඒ සියල්ල ඇත්තය. එහෙත් ඒ නිසාම පොලීසිය කරන කියන සියලූම දේ වැරැදි යැයි නිගමනයකට ඒම නිවැරැදි නොවේ.

අප දන්නා පරිදි පසුගිය රජය සමයේ සිදු වූ බරපතළ අපරාධ හා දූෂණ වංචා සම්බන්ධයෙන් වන විමර්ශන විශාල ප‍්‍රමාණයක් සිදු කර ඊට වගකිවයුත්තන් සාක්ෂි සහිතව හඳුනාගෙන නඩු පැවැරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. එහෙත් එම නීතිමය කටයුතු සිදු නොවී පවතින්නේ දේශපාලනික වුවමනා එපාකම් මතය. එහි දී පොලීසිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කර ඇත.

ඒ කෙසේ නමුත් පොලීසිය සම්බන්ධයෙන් පසුගිය දා තවත් චෝදනාවක් ඉදිරිපත් විය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා සම්බන්ධයෙන් එල්ලව ඇති මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් පසුගිය 09 වන දින ගාමිණී සෙනරත් මහතාගේ රියැදුරු යැයි පැවසෙන සරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයකට සමගාමීවය. පැවති ජනාධිපතිවරණයට පෙර දින රුපියල් ‘ලක්ෂ 1240ක’ පමණ වටිනාකමකින් යුක්ත චෙක්පත් කිහිපයක් මාරු කිරීම සම්බන්ධයෙන් ඇති සැකය මත ගාමිණී සෙනරත් මහතාට මෙම චෝදනා එල්ල වී ඇත. එහෙත් මෙම චෙක්පත්වලට අදාළ ගනුදෙනුව කුමක්ද යන්න ගැන හෝ මේ මුදල් කවුරු විසින් කා හට නිශ්චිතව ලබා දුන්නේද යන්න ගැන පැහැදිලි නැත. නමුත් එම චෙක්පත් මාරු කර මුදල් බවට පත් කළ තැනැත්තා ගාමිණී සෙනරත් මහතාගේ රියැදුරු යැයි කියන සරත් දිසානායක මහතාය. (ඒ නමුත් මෙම සරත් දිසානායක මහතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටින මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, දූෂණ විරෝධීන් මෙම මුදල ගැන මාධ්‍යයට පවසන්නේ ‘කෝටි 1240’ ක් ලෙසය. එනම් සිය ගුණයකින් වැඩි බොරුවකි.)

මෙයට අවුරුදු එකහමාරකට පෙර වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සරත් දිසානායක මහතා මුල් වරට තොරතුරු අනාවරණය කළේ පසුගිය 09 වන දිනය. ඒ, ඊට දින කිහිපයකට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන පොලීසිය පහර දුන්නාය යන චෝදනාව සමඟ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේදීය. මෙහි දී දූෂණ විරෝධීන් මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් රැසක් මෙම පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි අතර සාක්ෂිකරුවන් විනාශ කිරීම සඳහා පොලීසිය උත්සාහ කරමින් සිටින බවට චෝදනාවක් ද ඔවුන් වෙතින් එල්ල විය. තමාට කෲර ලෙස පහර දී බොරු හොරකමක් පටලවා ගාමිණී සෙනරත්ගේ හොරකම් වසා ගැනීමට ගාමිණී සෙනරත් හා පොලීසිය එකතු වී කටයුතු කරන බව මෙහි දී කියැවිණි.


රියැදුරුගේ රංගනය

ගාමිණී සෙනරත්ට හෝ වෙන යම් කෙනකුට ඇති මූල්‍ය චෝදනාවකට මෙම චෙක්පත් මාරු කළ තැනැත්තාව විනාශ කිරීමෙන් ඇති වන බලපෑමක් ඇත්තේ නැත. ඔහු තමන්ගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර එම චෙක්පත් මාරු කරගෙන ඇති අතර එම චෙක්පතේ අයිතිකරුවා එනම් ගිණුම් හිමියා කවුරුද යන්න ගැනත් රහසක් නොවේ. එමෙන්ම එම මුදල් ගෙන ගොස් බාර දුන්නේ කාටද යන්න ද අමුතුවෙන් සෙවිය යුතු නොවන්නේ එම චෙක්පතේ අයිතිකරුවාගෙන් එය දැන ගැනීමට හැකි බැවිනි. එම රියැදුරා ‘එම මුදල්’ සොරා ගත්තාය කියා චෝදනාවක් ද කළ නොහැකිය. මන්ද, ඔහු පසුගිය අපේ‍්‍රල් මාසය දක්වාම ගාමිණී සෙනරත්ගේ සහ ඔහුගේ හිත මිතුරු රොහාන් ලොකුමුදලිගේ රියැදුරු ලෙස සේවය කළ බැවිනි. අනෙක් කරුණ නම් ඒ වන විටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබුණු අතර සරත් දිසානායකගෙන් කටඋත්තර ද ලබාගෙන තිබිණි. මෙම මුදල් ගනුදෙනුවේ අලගිය මුලගිය තැන් සෙවීමට මේ සරත් දිසානායක නම් රියැදුරා ප‍්‍රබලම සාක්ෂියක් බවත් ඒ විනාශ කිරීමෙන් එම මූල්‍ය අපරාධය වසං කළ හැකි බවත් කිසිවකු හෝ සිතනවා නම් ඒ සිහි බුද්ධියේ අඩුවකි.

මෙවැනි සිදුවීමක සුල මුල සොයා ගැනීම පොලිස් දෙපාර්තමේන්තුවට අසීරු කරුණක් නොවේ. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අමුතුවෙන් තහවුරු කරගත යුතු දේ තිබිය නොහැකිය. මන්ද, මේ එතරම්ම සරල කරුණක් බැවිනි. ඒ අනුව මේ රියැදුරාට පොලීසියෙන් වද හිංසා පමුණුවා ඔහුව විනාශ කර හෝ බියපත් කර ඔහුගේ සාක්ෂිය යටපත් කිරීම ගැන පොලීසියට කරන චෝදනා කිසිදු පදනමක් නැත.

මේ රියැදුරු තැන දැන් කරමින් සිටින්නේ පැහැදිලිවම බොරු රංගනයකි. ඔහු ගාමිණී සෙනරත්ගේ හෝ රොහාන් ලොකුමුදලිගේ රියැදුරකු ලෙස සේවය කරන්නේ මීට වසර හතරකට එපිට සිටය. ඒ රාජපක්ෂ රජය පැවැති කාලයේ සිටය. ගාමිණී සෙනරත් යනු ඒ යුගයේ මහා ධන ඉල්ලමකි. රොහාන් ලොකුමුදලි කියන්නේ කෝටි ගණන්වලින් ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙකි. ඔවුන්ගේ රියැදුරු ලෙස සේවය කිරීමට ලැබීම සරත් දිසානායකගේ වාසනාවකි. ඒ රැකියාව ඔහු කවර තත්ත්වයකදීවත් අත්හරින්නේ නැත. දැඩි ලෙස විශ්වාසය රකිමින් සේවය කිරීම ඔහු විසින් සිදු කරනු ලබන අතර එම රජයේ බලවතකුට එරෙහිව යමින් වංචාකාරයකු වීම ජීවිතය හානි කර ගැනීමක් බව ඔහු නොදැන සිටි කරුණක් විය නොහැකිය.

රාජපක්ෂ යුගයේ දී සොරකම් පමණක් නොව නීත්‍යනුකූල මූල්‍ය ගනුදෙනු පවා සිදු වූයේ ඒවා හෙළිදරව් වීමට තිබෙන අවස්ථා හැකි තරමින් මඟ හරිමිනි. ගාමිණී සෙනරත්ලා තමන්ගේ ගනුදෙනු සිදු කළේ ද ඒ අනුවය. චෙක්පත්වලින් මූල්‍ය ගනුදෙනු කිරීමේ දී ඒවා මුදල් බවට පරිවර්තනය කර නොගනිමින් බැංකු හරහාම එම ගනුදෙනු පවත්වා ගෙන යාමේ හැකියාව තිබුණ ද කිසිවකුගේ නමට නිකුත් නොකරන ‘මුදල්’ යැයි සඳහන් චෙක්පත් වෙනත් පුද්ගලයන් හරහා මාරු කරගෙන මුදල්වලින් ගනුදෙනු කිරීම මේ රාජපක්ෂ යුගයේ දී බහුලව සිදු වූවකි. මෙම රියැදුරුව යොදාගෙන සිදු කළේ එවැනි ගනුදෙනුවකි. ජනවාරි 07 වන දින අවසන් වශයෙන් සිදු කෙරුණු මෙම ගනුදෙනුව ගැන එම කාලයේදීම යම් හෙළිදරව් වීමක් සිදුව තිබූ නමුදු මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන්නේ ද යන්න ගැන වාර්තා නොවුණි.

හදිසියේම මෙම රියැදුරා පොලිස් අත්අඩංගුවට ගැනීම සහ පෙර කී චෙක්පත් ගනුදෙනුව අතර කිසිදු සම්බන්ධයක් නැත. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මොහුව අත්අඩංගුවට ගන්නේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අනුවය. මෙම මුදල් සොරකම සිදුව තිබුණේ පසුගිය අපේ‍්‍රල් මස 07 වන දිනය.

ඒ කතාව මෙසේය. එදින උදෑසන රොහාන් ලොකුමුදලි රැගත් බී.එම්.ඩබ්ලිව්. වාහනය පදවාගෙන ගියේ රියැදුරු සරත්ය. රොහාන් ලොකුමුදලි බත්තරමුල්ල ප‍්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයකු හමුවී මූල්‍ය ගනුදෙනුවක් සිදු කර ඇත. එහි දී ලැබුණු රුපියල් ලක්ෂ 100ක මුදල් කළුපැහැ පොලිතීන් කවරයක (ටියුලිප් බෑග්) බහා රැගෙන ඇවිත් ඇත. එම මුදල් සහ ලොකුමුදලි සතුව තිබූ තවත් ලක්ෂ 25ක මුදල ඒ මොහොතේ බැංකුවේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වූ නමුත් රොහාන්ට මූල්‍ය අක‍්‍රමිකතාවක් ගැන කටඋත්තරයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට සිදුව තිබිණි. ඒ උදෑසන 11.30ටය. එම මුදල් බෑගය පරෙස්සම් කර ගන්නා ලෙස තමාගේ විශ්වාසවන්ත රියැදුරාට පවසා ලොකුමුදලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. රියැදුරු සහිත වාහනය නවතා තැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටය.

ඒ අතර 11.45ට පමණ මෙම රියැදුරු නිට්ටඹුවේ පදිංචි ලොකුමුදලි මහතාගේ ළඟම ඥාතියකු වන පුද්ගලයකුට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ තමන් සිටින වාහනය අසල සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු ගැවසෙන බවත් වහාම පැමිණෙන ලෙසත්ය.

එම පණිවුඩය සමඟ අදාළ ඥාතියා තවත් පිරිසක් හා එම ස්ථානයට පැමිණුණු අතර වාහනය එතැන තිබූ නමුත් රියැදුරු තැන අතුරුදන්ව සිටියේය. පසුව පොලීසියට කටඋත්තර දී ලොකුමුදලි මහතා රියැදුරුට ඒ මොහොතේ දුරකථන ඇමතුම් ලබා ගත්ත ද පිළිතුරු දී නොමැත. ඔහු වාහනය පරීක්ෂා කිරීමේ දී එය දොරගුලූ නොදා තිබී ඇති අතර යතුර ඉදිරිපස ආසනය මත තිබී ඇත. නමුත් ලක්ෂ 100 හා ලක්ෂ 25 බෑග් දෙක ගැන සොයා බැලීමේ දී ලක්ෂ 100 බෑගය අතුරුදන්ව තිබිණි. පසුව රියැදුරුගේ මොරටුව රාවතාවත්තේ නිවසට ගොස් ඔහු අතුරුදන්ව ඇති බව එම බිරිඳට හා දරුවන්ට පැවසීමට කටයුතු කළ ද එම මොහොතේ දී එම නිවැසියන් ලොකුමුදලිට බැණ වැදී ඔහුව පන්නාගෙන ඇත. ඒ ඔහු හොරෙක් බවත් සැමියාව අමාරුවේ දැමූ බවත් ආදී දේ පවසමිනි. තම සැමියා අතුරුදන් වීම ගැන ඔවුන්ට ගැටලූවක් නැත. නමුත් පසුව ඔහු අතුරුදන් වූ බව සඳහන් කර පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

පසුව එදින සවස මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලීසියට ලොකුමුදලි විසින් පැමිණිල්ලක් සිදු කරනු ලැබීය. එම පැමිණිලි අංකය 121/108 GlaIB ය. ඒ මොහොත වන විටත් එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබුණි. කොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ඉහළ නිලධාරීන් පැමිණ මේ වාහනය පරීක්ෂා කර තිබිණි. ඒ අනුව කොටුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම ලක්ෂ 100 සහ රියැදුරු අතුරුදන් වීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත. එහි දී පොලීසිය රියැදුරුගේ නිවසට ගිය විට ද එම නිවැසියන් පොලීසියට බැණ එළවාගෙන තිබිණි.



ඇමැතිගෙන් පොලීසියට බලපෑම්

මේ අතරේ දී දූෂණ විරෝධියකු ලෙස පෙනී සිටින ජනප‍්‍රිය තරුණ ඇමැතිවරයකුගේ නිවසේ රියැදුරා සැඟව සිටින බවට ලැබූ තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට කොටුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සූදානම් වුවත් ඉහළ පොලිස් නිලධාරියකු විසින් එය වළක්වා ඇත. එහි දී ඇති වූ විවාදාත්මක තත්ත්වය මත මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාට පැමිණිලි කිරීමෙන් පසුව රියැදුරාව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරන ලෙස කොළඹ අපරාධ අංශයට බාර දී තිබිණි. එය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් එදිරිසිංහ මහතාට පැවරුණ අතර ඔහු විසින් පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි සහ උප පොලිස් පරීක්ෂක තිබ්බොටුව යන අයට පවරන ලදී.

ඒ අනුව එම විමර්ශනයේ දී අදාළ සැකකරුගේ දුරකථන පණිවුඩ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත හඹා යෑම සිදු කර තිබිණි. ගම්පහ, නුවර, කතරගම ආදී ප‍්‍රදේශවල ඔහු සැඟව සිටි බවට තොරතුරු හෙළි විය. අවසානයේ දී කතරගම ඔහු නවාතැන් ගෙන තිබූ හෝටලය ද සොයා ගැනීමට හැකි විය. දින 4 ක කාලයක් එහි ඔහු නවාතැන් ගෙන තිබූ අතර එම හෝටල් අයිතිකරුවා සමඟ එම ප‍්‍රදේශයෙන් විශාල ඉඩමක් මිලදී ගැනීම සඳහා දින කිහිපයක්ම ඉඩම් සොයා ඇවිද තිබිණි. එමෙන්ම එම හෝටල් හිමියාගේ සාක්ෂි අනුව රියැදුරු සතුව සල්ලි පිරුණු බෑගයක් තිබී ඇත. එය කළු පැහැති ටියුලිප් බෑගයක් බව ද ඔහු පවසා ඇත. එමෙන්ම හෝටල් හිමියාගේ ජාතික හැඳුනුම්පතට දුරකථන සිම් පතක් ද මේ රියැදුරු විසින් ලබාගෙන තිබිණි. මෙම දින කිහිපය මධුවිතෙන් සප්පායම් වෙමින් විනෝදයෙන් කල් ගෙවා තිබෙන අතර අවසන් වශයෙන් එහි රැඳී සිටි දිනයේ දී ඉහළ පොලිස් නිලධාරියකු එම හෝටලයට පැමිණීම නිසා ඇති වූ සැකය මත මොහු එතැනින් අතුරුදන්ව ඇත.

පසුව පොලීසිය විසින් යොදා තිබුණු ඔත්තුකරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔහු පිළියන්දල මොරටුව පාරේ නිවසක සැඟව සිටින බවට තොරතුරු ලැබිණි. ඒ අනුව පසුගිය 06 වන සිකුරාදා රාත‍්‍රී 10.20ට පමණ පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරචිචිගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම නිවස වටලනු ලැබීය. අඩි අටක පමණ උසකින් යුතු තාප්පයකින් වට කර තිබූ මෙම නිවසේ ගේට්ටුව ඉබි යතුරු දමා තිබීම නිසා තාප්පයෙන් පැන පොලීසිය ඉඩමට ඇතුළු විය. නිවස ද දොරගුලූ ලා තිබූ නමුත් තමන් පොලීසියෙන් බව පොලීසිය දැනුම් දී ඇත. එවිට එම නිවසේ සිටි රියැදුරු සහ ඔහුගෙ පුත‍්‍රයා එම නිලධාරීන්ට බැණ වැදී ගැටුමකට සූදානම් වී ඇත. කෙසේ නමුත් දොර නොහැරීම නිසා එය කඩා දමා පොලීසිය නිවසට ඇතුළු විය. ඒ මොහොතේ දී රියැදුරුගේ පුතා පිස්තෝලයක් රැගෙන වෙඩි තැබීමට සූදානම් බව පෙන්නුම් කළ ද එය ව්‍යාජ පිස්තෝලයක් විය. පොලීසිය ඔහුව මෙල්ල කරගන්නා අතරේ දී රියැදුරා නිවස පිටුපසින් පැන යාමට ගත් උත්සාහය වළක්වාලීම සඳහා පොලිස් නිලධාරීන් රියැදුරු ලූහුබැඳ ගොස් අල්ලා ගැනීමේ දී රියැදුරුව මෙල්ල කර ගැනීම සඳහා පොර බැදීමටත් පහර කිහිපයක් එල්ල කිරීමටත් සිදුව ඇත.

රියැදුරු සහ පුත‍්‍රයා අත්අඩංගුවට ගත් අතර නිවස පරීක්ෂා කිරීමේ දී මුදල් හෝ වටිනාකමක් සහිත විශේෂ කිසිවක් සොයා ගැනීමට නොහැකිව ඇත.

පසුව සැකකරුවන් දෙදෙනාම කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් ලක්ෂ සියය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත. නමුත් ලක්ෂ සියයට සිදු කළේ කුමක්ද යන්න ඒ රාත‍්‍රියේ දී මොහු විසින් පවසා තිබුණේ නැත. නමුත් අත්අඩංගුවට ගෙන පැය දෙකක් ඉක්ම යන්නට පෙර, පෙර කී තරුණ ඇමැතිවරයා කතා කර සැකකරුවා නිදහස් කරන ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇත.

ඔහුව අත්අඩංගුවට ගත්තේ හොරකමකට බවත් එම නිසා ඔහුව නිදහස් කිරීම සිදු කළ නොහැකි බවත් පොලීසිය දන්වා ඇත. රැඳවුම් නියෝග මත සැකකරුවා පොලිස් අත්අඩංගුවේ රඳවා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබුණ ද ඊට අනුමැතිය ලබා දිය යුතු ඉහළ නිලධාරියා මඟ හැරී ඇත. පසුදින මෙම සැකකරුවා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබිය දී ලක්ෂ සියය හොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තිබෙන චෝදනාව නොසලකා සැකකරුව පොලිස් ඇප මත නිදහස් කරන ලෙස පොලීසියේ ඉහළ නිලධාරියකු දැඩිව බලපෑම් කර ඇත. ඒ අනුව මෙම සරත් දිසානායක නමැති සැකකරුව නිදහස් කර ඇත.

හොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, පොලීසියෙන් කට්ටි පනිමින් මාසයක කාලයක් සැඟව සිටි සහ පොලීසිය සමඟ ගැටුමකට අර ඇඳි අයකු පොලිස් ඇප මත නීති විරෝධීව නිදහස් කිරීමට හැකියාවක් නැත. අනිවාර්යයෙන්ම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. එහෙත් දේශපාලන බලපෑම් මත ඔහුව නිදහස් කිරීම සිදුව ඇත. දින ගණනාවක් විශාල වෙහෙසක් හා ජීවිත පරදුවට තබා අල්ලා ගත් සැකකරුවකු මෙලෙස නිදහස් කිරීම විහිළුසහගතය. නමුත් මානව හිමිකම්, දූෂණ විරෝධීන්ගේ තර්කය වනුයේ රජයේ සාක්ෂිකරුවකුව විනාශ කිරීම සඳහා පොලීසිය දැනුවත්ව ක‍්‍රියා කර ඇති බවටය.



ලක්ෂ 100 හොරකම රාජිත පිළිගනී

මොහු රජයේ සාක්ෂිකරුවකු නම් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිටිය යුතු අයෙකි. එහෙත් මොහු අතුරුදන් වන තෙක් සේවය කළේ ලොකුමුදලිගේ රියැදුරු ලෙසය. පසුව පොලීසියෙන් කට්ටි පනිමින් සිටියේය. එමෙන්ම මොහු ලක්ෂ සියයක හොරකමක චෝදනාවක් මත පැන ආ පුද්ගලයකු ගැන දැනුවත්භාවයක් සහිතව සිටිය දී ඇමැතිවරයකු ඔහු ආරක්ෂා කළේය. කොටින්ම මොහු රජයේ සාක්ෂිකරුවකු ලෙස ලේබලයක් ගසා ගන්නේ ලක්ෂ සියයේ සොරකම් චෝදනාවෙන් පසුවය. ලක්ෂ සියයේ හොරකම යටපත් කර ඔහු රටේ දූෂණ විරෝධී වීරයකු කිරීමට මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, දූෂණ විරෝධීන් දැනුවත්ව කටයුතු කළේය. මන්ද අප සතුව තිබෙන තොරතුරු අනුව මේ මානව හිමිකම් සහ දූෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන් මෙම හොරකම සම්බන්ධයෙන් ඒ වන විට දැනුවත්ව සිටියහ. මෙහි දී වූ අනෙක් විහිළුව නම් පසුගිය මැයි 11 වන දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැති රාජිත සේනාරත්න, මෙම රියැදුරා විසින් ලක්ෂ සියයක මුදලක් සාක්කුවේ දමා ගත් බව ඔහු විසින් පිළිගත් බව පැවසීමය. නමුත් ඒ පෙර කිව් ‘කෝටි 1240’ බව ද ඔහු කීවේය. සේනාරත්න මහතා මාධ්‍ය හමුවල දී කරනු ලබන අනෙක් විහිළුසහගත ප‍්‍රකාශ සමඟ මෙය සැලකිය හැකි වූවත් රියැදුරු විසින් ලක්ෂ සියයක් සොරා ගත් බව මේ වන විටත් කිසිවකු හෝ ප‍්‍රතික්ෂේප කර නැත. පොලීසිය මොහුව අත්අඩංගුවට ගත්තේ මේ හොරකමටය. එපමණක් නොවේ. මානව හිමිකම් හා දූෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන්ගේ බොරු බේගල් හේතුවෙන් අවංකව සාධාරණව සේවය කළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනමට ලක්වීමේ අවදානමක් ද මතුව තිබිණි. නමුත් නිලධාරීන් නිවැරැදි බව පැහැදිලි විය.

පොලීසිය හැමදාම කරන්නේ වැරැදිමය යන මෝඩ තකතීරු හා තක්කඩි ආකල්ප මත අද මේ රටේ ඕන හොරකු වීරයෙක් කිරීමට මේ මානව හිමිකම්කාරයන් සහ ඊනියා දූෂණ විරෝධීන් අල්ලා ගැනීමෙන් ඉතා පහසුවෙන් සිදු කළ හැකි බව මේ සිදුවීමෙන් ද පෙන්නුම් කෙරේ. පසුගිය රජය සමයේ දූෂණ වංචා අපරාධවලට සම්බන්ධ වූවන් රැසක් දැන් තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වීමට ‘රජයේ සාක්කිකරුවන්’ වී ඇත. යහපාලනය කියන්නේ මේ තක්කඩිකම්වලටදැයි අපි නොදනිමු.


සුභාෂ් ජයවර්ධන
ඡායා- තුසිත සිංහකුට්ටිආරච්චි
SathHandha

Share on Google Plus