අඥානයන්ගේ ඔල්මොරොන්දන් වෙනුවෙන් ජනතාවක් වන්දි ගෙවීම.



-මහේෂ් සේනානායක

අද රටේ වාසය කරන ජනතාවට දරන්නට වී තිබෙන ‘ණය කන්දරාවට’, නිදහසින් පසු බලයට පත් ආණ්ඩු වගකිව යුතු බව කීම අතිශයෝක්තියක් නොවේ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කර බැලූවොත් එය සාධාරණ සැකයකින් තොරව කෙනෙකුට ඒත්තු යනු ඇත.

ඉන්දීය සාගරයේ මුතු ඇටය යැයි කලක් හැඳින්වුණු පරණ ලංකාව, එදා තිබූ බොහෝ රටවල් අතරේ, විශේෂයෙන් ආසියානු කලාපයේ බොහෝ රටවල් අතරේ, විවිධ ආකාරයෙන් සහ විවිධ අංශයෙන්ගෙන් ස්වයං-පෝෂිතව පැවති, ආර්ථික සාර්ථකත්වයක සංකේතාත්මක මූර්තියක් විය. එදා ස්වයං-පෝෂිතව පැවති රට අද වන විට ‘ණය උගුලක’ පැටලූණු රටක් බවට පත්ව ඇතැයි කියන්නට වීම කණගාටුදායක ය. කනස්සල්ල දනවන සුළු ය. තමන්ට සහ රටට මග පෙන්වීමට සහ නායකත්වය සැපයීමට ජනතාව විසින් තෝරා පත් කර ගත් බොහෝ නායකයන් විසින් අකාරුණික ලෙස මේ කාලය තුළ එම ජනතාව නොමග යවා තිබේ.

1950 සිට මේ දක්වා රටක් වශයෙන් ගෙන ඇති ණය ප‍්‍රමාණයත්, ඒ හේතුවෙන් ඇති කොට තිබෙන ඒක-පුද්ගල ණයකාරීත්වයත් දෙස බලන විට පෙනෙන නග්න සත්‍යයන් ඉතා රුදුරු ය. ඒ අනුව, රටේ වෙසෙන සෑම පුරවැසියෙකුම වසරකට ණය පොළිය වශයෙන් ගෙවිය යුතු ප‍්‍රමාණය රුපියල් 25,000 කි. ඒ වනාහී, තවත් ගෙවීමට ඇති රුපියල් 40,000 ක මූලික ණය ප‍්‍රමාණයකට අමතරවයි.

1950 දී අපේ රටේ පැවැති මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 654 කි. ඒ අනුව තනි පුරවැසියෙකුගේ ණයකාරීත්වය රුපියල් 86 ක් පමණක් විය. 2003 වන විට රටේ මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 2139 ක් දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව තනි පුරවැසියෙකුගේ ණයකාරීත්වය රුපියල් 111,563 ක් විය. අද වන විට, බොහෝ නාස්තිකාර රාජ්‍ය ව්‍යාපෘති, දූෂිත ගනුදෙනු සහ වංචනික රාජ්‍ය සේවයත් නිසා රටේ මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 8503 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක පුද්ගලයෙකුට වසරකට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය, රුපියල් 425,000 කි.

2015 දී ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1355 ක් වූ අතර ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන 2290 ක් විය. ඒ අනුව, අයවැය හිඟය රුපියල් බිලියන 829 ක් විය. ලබා ගෙන තිබූ ණය වෙනුවෙන් ඒ වසරේදී ගෙවූ පොලී ප‍්‍රමාණය රුපියල් බිලියන 509 ක් වූ අතර, තවත් රුපියල් බිලියන 808 ක්, කොටස් වශයෙන් හෝ මුළුමණින්, මූලික ණය පියවීම සඳහා අවශ්‍යව තිබුණි.

ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කරන ව්‍යාපෘති සඳහා ආයෝජයන කිරීමට ණය ලබා ගැනීම ලෝකයේ ඕනෑම රටක හෝ ආණ්ඩුවක සාමාන්‍ය සිරිතයි. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට බොහෝ ණය ලබාගෙන ඇත්තේ, පරිභෝජනය සඳහා හෝ සහනාධාර සැපයීම උදෙසා ය. ණය ලබාගෙන ආරම්භ කළ යෝධ ව්‍යාපෘති පවා, බොහෝ කොට සුදු අලින් බවට පත්ව ඇත. ඒ සියල්ලේ බර කර ගැසීමට සිදුව ඇත්තේ ජනතාවටයි. මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ආදිය ඊට නිදසුන් ය. ඒවායේ ප‍්‍රතිලාභ පේන තෙක් මානයක පෙනෙන්ට නැත. එම ව්‍යාපෘති ඇති කිරීමට මත්තෙන් ඒවායේ අනාගත ප‍්‍රතිලාභ ගැන නිවැරදිව ඇස්තමේන්තු කෙළේ නම්, අද මුහුණදෙන දුෂ්කර ආර්ථික ප‍්‍රශ්න මතු නොවනු ඇත. කිසි වැඩකට නැති හම්බන්තොට වරාය වෙනුවෙන් වියදම් කළ මුදල් ප‍්‍රමාණය, වෙරළශ‍්‍රිත සැපයුම් මධ්‍යස්ථාන ගොඩනැගීම වෙනුවෙන් ආයොජනය කළ හැකිව තිබුණු බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ. මුහුදේ යනෙන නැව් සඳහා තෙල් සැපයීම වැනි කාර්යයන් වෙනුවෙන් එවැනි මධ්‍යස්ථාන පලදායීව ප‍්‍රයෝජනයට ගත හැකිව තිබුණි. සුනාමියෙන් බැට කෑ හම්බන්තොට ප‍්‍රදේශයේ වැසියන්ට කිසි ප‍්‍රයෝජනයක් නැති ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට වැය කළ අති විශාල මුදල් කන්දරාව, මහ පරිමාණික වශයෙන් කාබනික පළතුරු හෝ කාබනික එළවලූ නිෂ්පාදනය සඳහා හෝ එම පළාතේ ධීවර කර්මාන්තය වෙනුවෙන් වැය කළ හැකිව තිබුණි.

මේවා වනාහී ශ‍්‍රී ලංකාව අද මුහුණදෙන විශාල ණය අර්බුදයට හේතු වූ ව්‍යාපෘතීන්ගෙන් සමහරක් පමණි. මෙම ප‍්‍රවණතාව වහා ආපසු හැරවිය යුතුව තිබේ. එහිදී කෙටිකාලීන දුෂ්කරතාවන්ට මුහුණදීමට ජනතාවට සිදුවිය හැක. කෙසේ වෙතත්, මේ දැවෙන ආර්ථික ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව හුදෙක් බදු වැඩි කිරීම් සහ අලූත් බදු පැනවීම්වලින් එපිටට සිතා බැලිය යුතුව ඇත.

ඕනෑම රටක් හෝ ආණ්ඩුවක් රට සංවර්ධනය කිරීම සඳහා ණය ලබා ගනු ලැබේ. ශිෂ්ට සම්පන්න ලෝකයේ ඒ ලබා ගත් ණය ආපසු ගෙවීම අපේක්ෂා කෙරේ. එහෙත් අවාසනාව වන්නේ, අඥානයන්ගේ ඔලමොට්ටල කම් වෙනුවෙන් වන්දි ගෙවීම ජනතාවගේ කර මතට වැටී තිබීමයි.

*2016 මැයි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Pay For The Vices Of The Unwise” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
Powered by Blogger.