පාර්ලිමේන්තුව ශුද්ධ කරමු!





1833 කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණත් සමග ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් උදා විය.මෙය 1931 සර්ව ජන ඡන්ද බලය ලැබීමත් සමග වඩාත් අර්ථාන්විත විය.1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව සදහා පත් වූ මන්ත්‍රීවරුන් සැබෑ ලෙසම ජනතා  නියෝජිතයින් ලෙස ක්‍රියා කළහ.1947 මහ මැතිවරණයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රමය තුළින් බිහි වූ 'පාර්ලිමේන්තුවේ ද්වි මණ්ඩලය' තුළම තත්වය මෙසේ සුබවාදී විය.ජනතා ප්‍රශ්න සැබෑ ලෙස සංවාද වී ඒවාට හැකි ඉක්මනින් විසදුම් සපයන ලදි.එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝ මන්ත්‍රීවරුන් උගතුන්,බුද්ධිමතුන්,ධනවතුන් විය.ඔවුන්ට අනර්ථකාරී ලෙස හැසිරීමටවත්,ජනතා මුදල් හොරකම් කිරීමටවත් අවශ්‍යතාවයක් නොවීය.

එහෙත් 1960 වකවානුව වන විට යම් යම් ගොම බිංදු පාර්ලිමේන්තුව නම් වූ කිරි කළයට එක් වීමේ අසුබ නිමිති පහල වූ බව තතු දන්නෝ දනිති.එය 1978 හදුන්වා දුන් 2 වන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් වර්ධනය වූයේ ඕනෑම පුද්ගලයෙකුට පක්ෂවල ප්‍රබලයන්ගේ උදවු ඇතිව දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුව නම් උත්තරීතර ආයතනයට පැමිණ එය කෙළසීමට හැකි වීම තුළය.එයටම හූ මිටි තබන මැතිවරණ ක්‍රමයක්ද රට තුළ බිහි විය.ධනය මැර බලය ඇති හැක්කාට වැඩිම මනාප ලබා ගෙන පාර්ලිමෙන්තු මැතිවරණය ජය ගෙන පාර්ලිමේන්තුවට ප්‍රවේශ විය හැකිය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් බිහි කළේ,රටට කීර්තියක් අත් කර දෙන විද්වතුන් 29ක් පාර්ලිමේන්තුව නියෝජනයට අවකාශ සලසා දීමටය.එහෙත්,අද මැතිවරණ වලින් ජනතා මනාපය නොලබා පරාජයට පත් අපෙක්ෂකයින් බත් බැලයන් ලෙස 'ජාතික ලැයිස්තුව' දූෂණය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ තම බත් බැල වුවමනාවන් වෙනුවෙන් කතා පවත්වන්නට ගොස් සියල්ල අවුල් කර දමති.මූලික වරද පරාජිත,ජනතාවගෙන් පිළිකුල් භාවයට පත් අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරගෙන ඔවුන්ට මඩ කතා පවත්වන්නට ඉඩ ප්‍රස්ථා සලසා දෙන නායකයින්ගේය.

2004 මැ‍යි මාසයේ දිනකදී අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමෙන්තුවේ කථානායකවරයා තෝරා පත් කරගන්නා අවස්ථාවේදී එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 2ක් ස්වාමීන්වහන්සේලා දෙනමකගේ යටි බඩ මිරිකා මෙලෙසම නාඩගමක් නැටුවෝය.නමුත්,යම් සුබවාදී තත්වයක් දෙස ජනතාව දෑස් දල්වා බලා සිටිද්දීම මෙවර අනවශ්‍ය කතාවක් පවත්වන්නට දී ගැටුමක් නිර්මාණය වන්නට හැර පාර්ලිමෙන්තුවේ ලේ සෙලවීමක්ද සිදු වුනේය.අවවාද කළ යුත්තේ දිනේශ් ගුණවර්ධන,පියල් නිශාන්ත යන මන්ත්‍රී වරුන්ට පමනක් නොවේ සරත් ෆොන්සේකා නම් පුද්ගලයාට ද්වේශසහගත කතාවක් පවත්වන්නට අවස්ථාව ලබා දෙමින් සියල්ල අවුල් කරන ලද පුද්ගලයින්ටය.
මෙරට සබුද්ධිමත් මහජනතාව වෙත සංවාදයට භාරයි.....


-ඉෂාර ලක්මිණ

Share on Google Plus