ප‍්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?


-රංග ජයසූරිය

ප‍්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත දුසිම් ගණන් මිනිස් ජීවිත පොළොවට යට විය. ලක්ෂ ගණන් අවතැන් වූහ. අවසානයේ, නිල රණවිරු සැමරුම, කලින් ආණ්ඩු කාලයේ පැවති හමුදා පෙරට්ටු සහිත සන්නද්ධ ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමකින් තොරව, රජයේ අනුග‍්‍රහයෙන් පාර්ලිමේන්තු පිට්ටනියේ පැවැත්වුණි. (මේ අතර, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ප‍්‍රතිවාදී සැමරුම දින නියමයක් නැතිව කල් දමා තිබේ).

හමුදා සොල්දාදුවන් සහ හමුදා ශක්තිය, නායයාම්වලින් දිවි ගලවා ගත්තවුන් බේරා ගැනීමටත්, ජල ගැල්මට කොටු වී සිටි අයවළුන් බේරා ගැනීමටත් යොදවන ලදි. රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරියේ පැවති උත්සවය ඇමතූ ජනාධිපතිවරයා, රට බේරා ගැනීම සඳහා ජීවිත සහ අඟපසඟ කැප කළ ආරක්ෂක සේනාවන්හි සියලූ දෙනාටත්, රුදුරු යුද්ධයේදී මියගිය සියලූ සිවිල් වැසියන්ටත් සිය ප‍්‍රණාමය පුද කෙළේය. සාමය ගොඩනැගීමේ සහ අන්තර්-වාර්ගික සංහිඳියාව ස්ථාපිත කිරීමේ අභියෝග ගැනත් ඔහු එහිදී කතා කෙළේය.

යුද්ධයේ අවසාන දින කිහිපයේදී ජීවිතක්ෂයට පත් සිවිල් වැසියන්ව, උතුරු පළාත් සභා මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සහ තවත් නියෝජිතයන් පිරිසක් විසින් මුල්ලිවයික්කාල්හිදී සමරන ලදි. තමා සහ තම පළාත් සභා සාමාජිකයන් විසින් අනුස්මරණය කරනු ලබන්නේ, එම ස්ථානයේදී මියගිය සිවිල් වැසියන්ව මිස ත‍්‍රස්තවාදීන්ව නොවන බව මහ ඇමතිවරයා එහිදී අවධාරණය කෙළේය. යාපනේ පවතින මනෝ භාවය තුළ, ත‍්‍රස්තවාදියා සහ සිවිල් වැසියා පිළිබඳ පැහැදිළි බෙදුම් රේඛාවක් ඇඳ ගැනීම පහසු නැත. මියගිය කොටි සාමාජිකයන් කවුරුත්, යම් කෙනෙකුගේ පුතෙකු හෝ දුවක්, සහෝදරයෙකු හෝ සහෝදරියක්, සැමියෙකු හෝ බිරිඳක් වන්නේය. කෙසේ වෙතත්, ත්‍ර​ස්තවාදියා සහ සිවිල් වැසියා පිළිබඳ වෙනසක් අවධාරණය කිරීමට විග්නේෂ්වරන් මහතාට හැකි වීම එඩිතර ක‍්‍රියාවකි. වැඩියත්ම, සංහිඳියා ප‍්‍රයත්නයන් අඩාල කරවන තරමට, උතුරේ වෙනත් කිසි දේශපාලඥයෙකුට වඩා විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ සංජානිත දුක් ගැනවිලි ඔස්සේ දේශපාලනික වාසි ලබා ගැනීමට කටයුතු කරන්නෙකු වශයෙන් මෑත කාලයේ දකුණේ ඇතැම් බුද්ධිමත් පිරිස් විසින් හඳුනාගනු ලැබ තිබීම තුළ, ඔහුගේ එම ප‍්‍රකාශය තවත් වැදගත් වන්නේය.

අනිත් අතට, දෙමළ ජනතාව අනුස්මරණය කළ යුත්තේ හෝ නොකළ යුත්තේ කවුරුන්ද යන්න දකුණෙන් තීන්දු කළ යුතු කාරණයක් සේ ගැනීමත් සටකපට ය. වැඩියත්ම, අතීතයේ පැවති යුද සැමරුම්වලදී, උතුරේ මියගිය දෙමළ සිවිල් වැසියන්ව අමතක කොට තිබීමත්, වර්තමානයේදී පවා ඔවුන්ගේ මතකය හුදෙක් පාද සටහනක් පමණක් බවට පත්ව තිබීමත් නිසා, එය තවත් අශෝභන ය. එසේ අමතක කරනු ලැබීම දෙමළ ජනතාව තුළ දනවන්නේ කටුක වේදනාවකි. එය, සංහිඳියාව ව්‍යාකූල කරන්නේය. ජාතියක් වශයෙන් ශ‍්‍රී ලංකාව කළ යුත්තේ, යුද්ධයෙන් මියගිය සියල්ලන් සිහිපත් කිරීමත්, ජාතික ඒකාබද්ධතාව ඇති කරමින්, යුද්ධයේ වින්දිතයන් සියල්ලන්ට හැකි පමණින් හානිපූරණය කිරීමත් ය. යුද්ධය යෝධ ඛේදවාචකයක් විය. එහිදී දෙපාර්ශ්වයෙන්ම විනාශ වු සහ ජීවිත කාලයක් විඳවීමට ඉරණම් කෙටුණු දහස් ගණනක්, ඒ රුදුරු විනාශයේ නිරුත්සාහක වින්දිතයෝ වූහ. යුද්ධය තුළ නිර්මාණය කෙරුණේ, සියල්ලන්ව බිළි ගන්නා තත්වයන් ය. එහිදී, වින්දිතයන්ට තමන්ගේම වන තේරීමක් කිරීමේ කිසි ඉඩක් ඉතිරි කෙරුණේ නැත.

යුද්ධයෙන් විපතට පත් සිවිල් වැසියන් සේම සටන්කාමීන්වද සිහිපත් කිරීමෙන්, ඒ තිරශ්චීන විනාශය අවසානයකට පත්කළ හමුදාමය ජයග‍්‍රහණය බාල්දු වන්නේ නැත. ඇත්ත වශයෙන්ම එයින් කෙරෙනුයේ, හමුදාමය ජයග‍්‍රහණය තිරසාර සංහිඳියාවක් බවට පත්කර ගැනීමට රුකුලක් සැපයීමයි.

පැවති ආණ්ඩුව එසේ කිරීමට අසමත් විය. ඒ වෙනුවට, ඒ ඒ ජාතීන් බිඳුවන ආකාරයෙන්, හමුදා ජයග‍්‍රහණය සැමරීම උන්මාදයක් කර ගත්තේය. එය, යුද්ධය ජයගත්තේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. උපරිමයම ඉල්ලා සිටින ත්‍ර​ස්තවාදී සංවිධානයක් පැරදවීමට නම් නිර්දය වීම අනිවාර්ය කෙරේ. මේ රුදුරු ගැටුම තුළ දීර්ඝ කාලයක් තිස්සේ හිර වූ සහ මිනිස් පලිහක් සේ පාවිච්චියට ගනු ලැබූ සිවිල් ජනතාවක් විශාල වශයෙන් විනාශ විය. එසේ සිදු වූ එකම යුද්ධය මෙය නොවේ. ෂෙෂ්නියාව, ඉරාකය, ඊශ‍්‍රායලය සහ වියට්නාමය වැනි තැන්වලත් එසේ වී තිබේ. කෙසේ වෙතත්, ත්‍ර​ස්තවාදීන්ව මුළුමණින් පරදවා අවසානයක් සනිටුහන් කළ යුද්ධය මෙයයි. වඩාත් වැදගත් වන්නේ එවක් පටන් අද දක්වා එක බෝම්බයක්වත් පිපිරී නොතිබීමයි. එය දැවැන්ත සාර්ථකත්වයකි. එවැනි හමුදාමය ජයග‍්‍රහණයක්, සාධාරණ වූත්, තිරසාර වූත් සාමයකට පරිවර්තනය කර ගැනීමට හිටපු ආණ්ඩුව අසමත් වීම ලජ්ජාවට කාරණයකි. ඒ වෙනුවට සිදුවුණේ, දෙවියන්ගෙන් බලය ලත් ඉස්සර රජෙකු සේ තමාගේ පවුලේ බලය එක දිගටම පෝෂණය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ විසින් එම ජයග‍්‍රහණය පාවිච්චි කිරීමයි.

යුද්ධය කෙරුණේ කෙසේද යන්න පිළිබඳ විෂයබද්ධව බැලීම ඔහු ප‍්‍රතික්ෂේප කෙළේය. ඇතැම් අනීතික සිදුවීම් ගැන නාමිකව හෝ විමර්ශනය කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කෙළේය. යුද්ධය අවසන් වීමෙන් පසුව පවා, අනීතික පියවර ගැනීමට ඔහු තුළ තිබූ නැමියාව, හමුදාමය ජයග‍්‍රහණය උත්කර්ෂයෙන් සැලකු සිංහලයන්ගේ පවා අප‍්‍රසාදයට හේතු විය. එවැනි ක‍්‍රියාවන් තුළින් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද, හමුදාමය ජයග‍්‍රහණය ඔහු පාච්චල් කරගත්තේය.

හිටපු පාලකයාගේ අවකල් ක‍්‍රියාවන් වෙනුවෙන් වන්දි ගෙවීම පැවරී ඇත්තේ වර්තමාන ආණ්ඩුවටයි. කෙසේ වෙතත්, අපේ සංහිඳියාව අත්කර ගැනීම අපේ කාර්යයක් පමණක් සේ ගැනීමට පුලුවන් කමක් ඇති සෙයක් නොපෙනේ. එසේ වුවද, මෑතක සිට අපට දේශනා පවත්වන ජාත්‍යන්තරයේ උපදෙස් කෙමෙන් අඩු වෙමින් තිබේ. මේ වසරේ එවැනි උපදේශයක් අපට දීමට ඉදිරිපත් වුණේ කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පමණි.

බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මොන තරම් අව්‍යාජව කැප වුවත්, අලුත් ආණ්ඩුවට යා හැකි දුර ප‍්‍රමාණයේ සීමාවක් තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් එල්ල වූ තර්ජනය දැන් නැති නිසා, බලය බෙදා හැරීම සඳහා වන සීමා මායිම් පුළුල් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් දකුණේ මතයත් නම්‍යශීලී වෙමින් තිබෙන අතර, දැඩි මතධාරී ජාතිකවාදය, පැවති රජය පෙරලීමත් සමග පසුබෑමකට ලක්ව තිබේ. කෙසේ වෙතත්, උතුරට දෙන ඕනෑම විසඳුමක්, දකුණේ එකඟත්වයක් නොතිබුණොත්, අඩපන විය හැකිය. ඉස්සර සිට සිදුවුණේ එයයි. දෙමළ ප‍්‍රශ්නයේ ත්‍රස්තවාදී අංශයට දිය හැකි එකම පිළිතුර හමුදාමය විසඳුමක් බවට පත්වුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

දැන් ත්‍රස්තවාදය පරාජය කොට ඇති නිසා ඒ ප‍්‍රශ්නය මතු වන්නේ නැත. එහෙත් දකුණ දෙපැත්තකට බෙදීම ප‍්‍රශ්නයකි. ප‍්‍රතිවාදී රණවිරු සැමරීමක් පිළිබඳ අදහසක් ඒකාබද්ධ විපක්ෂයෙන් මතු වීම ඊට උදාහරණයකි. දකුණේ මේ බෙදීම සමනය කර ගැනීමට අවශ්‍ය සහාය, විටෙක ආණ්ඩුවෙන් පැත්තෙන්ද නොලැබෙන බවක් පෙනෙන්ට තිබේ.

රාජපක්ෂගේ හෙංචයියන්ට වෙනම රණවිරු සැමරුමක් පැවැත්වීම සඳහා යෝජනා කිරීමට එක් හේතුවක් වුණේ, හිටපු ජනාධිපතිවරයාව රජයේ නිල උත්සවයට ආරාධනා කරනු නොලැබීමයි. මහින්ද රාජපක්ෂව එම උත්සවයෙන් ඉවත් කිරීම ඥානාන්විත නැත. ඔහුගේ මොන අවකල් ක‍්‍රියා තිබුණත්, අවසානයේ යුද්ධය අවසානයක් කෙළේ ඔහුගේ ආණ්ඩුවෙනි. ඒ කීර්තිය මොන තරම් ගසාකෑමට ඔහු තැත් කළත් ඒ කීර්තියෙන් යම් කොටසක් ඔහුටත් හිමි විය යුතුය.

සංහිඳියාව සම්බන්ධයෙන් මෙන්ම, ඊටත් වඩා, බලය බෙදා හැරීමේ විසඳුමක් සම්බන්ධයෙන් දකුණේ පොදු එකඟත්වයක් ඇති කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන්ගේ සහාය අවශ්‍ය කෙරේ. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීමේදී ඔවුන්වත් සහභාගී කර ගත යුතුව තිබේ. ඔවුන්ව ඉවත් කිරීමට තැත් කිරීමෙන් සිදු විය හැක්කේ අනර්ථයක්මයි.

*2016 මැයි 23 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Why JO Wants Rival War Heroes Commemoration?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Share on Google Plus