ඒකාබද්ධ විපක්ෂයට කටඋත්තර නැති වීම


‘දෙමළ ජාතික සන්ධාන’ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්දන්, වෙනම රාජ්‍යය ප‍්‍රතික්ෂේප කොට තිබේ. මෑතකදී ඉන්දියානු මාධ්‍යයට ප‍්‍රකාශයක් කළ ඔහු, ‘වඩුක්කොඩෙයි සම්මුතියෙන්’ තම පක්ෂය ඉවත්ව ඇතැයි කීවේය. දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට ඇති එකම විසඳුම වන්නේ වෙනම ඊලාම් රාජ්‍යයක් ලබා ගැනීම පමණක් බවට යෝජනාවක් ස්ථිර කර ගැනුණේ මේ ‘වඩුක්කොඩෙයි සම්මුතියෙනි.’ තවදුරටත් කරුණු දැක්වූ ඔහු, නොබෙදුණු ශ‍්‍රී ලංකාවක් තුළ විසඳුමක් සොයා ගත හැකි බවට තම සන්ධානයේ සියලූ පක්ෂ එකඟත්වයකට පැමිණ ඇතැයි කීය.

දෙමළ ප‍්‍රශ්නයට ඇති එකම විසඳුම වෙනම රාජ්‍යයක් බවට පැලපදියම්ව පැවති අදහස, රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය විසින් අතහැර දමනු ලැබීම, ‘ඒකාබද්ධ විපක්ෂයේ’ උමතු ජාතිකවාදීන්ගේ මුඛ පූට්ටු කරනවාට කිසි සැකයක් නැත. සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව බලයට පත් කිරීමට උදව් කළ පිරිස්වල උවමනාව පරිදි මේ ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරන බව, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නෝ හතර අතේ බයිලා ගයති. (යුද ජයග‍්‍රහණයේ සැමරුම් උත්සවයේ ඇතැම් අංග අඩු කිරීම පවා ඔවුන් පටවන්නේ ‘යහපාලන ආණ්ඩුවේ’ බටහිර මිතුරන්ගේ ගිණුමටයි).

‘ඒකාබද්ධ විපක්ෂයේ’ කිසි මාධ්‍ය සංදර්ශනයක්, මේ කියන බටහිර බලවතුන් සහ ඔවුන්ගේ දේශීය ගැත්තන් විසින් රට බෙදීමට ගනු ලැබෙතැයි කියන ප‍්‍රයත්නයන් පිළිබඳ සඳහනකින් තොරව පැවැත්වෙන්නේ නැත. දැන් ඉතා පැහැදිළි, නොවැනෙන දේශපාලනික ප‍්‍රකාශයක් කරමින් දෙමළ සන්ධාන නායකයා මේ සැකය දුරු කොට ඇති තත්වය තුළ, ‘ඒකාබද්ධ විපක්ෂය’ තව දුරටත් ඒ දිරච්ච අත්තේම එල්ලී සිටීද? ඔව්, එසේ වෙතැයි සිතීමට කරුණු තිබේ. ආණ්ඩුව එක දිගටම නැතැයි කියන ඕනෑම දෙයක් නැවත නැවතත් එක දිගටම ඇතැයි කීම ඔවුන්ගේ සිරිතයි. උදාහරණයක් වශයෙන්, අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිළි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ව ඔවුන් හඳුන්වන්නේ ‘රණ විරුවන්’ වශයෙනි. අනිත් අතට, මීට කලකට ඉහතදී පළමු රණවිරුවාව දඬුකඳේ ගැසුවේද අද එම චෝදනාව නගන ඔවුන්මයි. එල්.ටී.ටී.ඊ. ප‍්‍රබල සාමාජිකයන් මේ ආණ්ඩුවෙන් නිදහස් කරතැයි අද චෝදනා කරන මොවුන් එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි එක් ජන ඝාතකයෙකු රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු කර ගති. ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා උතුරු පළාත් සභාව සම්මත කරගන්නා මොනම යෝජනාවක්වත් මධ්‍යම ආණ්ඩුවට බලපාන්නේ නැතැයි මොන තරම් ආණ්ඩුව පෙන්වා දුන්නත්, ඔවුන් කතා කරන්නේම, උතුරු පළාත් සභාව ඇති කර ගත් ෆෙඩරල් යෝජනාව ගැනමයි.

එබැවින් සම්බන්දන් විසින් බෙදුම්වාදය ප‍්‍රතික්ෂේප කිරීම මේ අයවළුන් විසින් සැලකිල්ලට නොගනු ඇත. මන්ද යත්, ආණ්ඩුවට එරෙහිව බලය ගොඩනැංවීමේ ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේම, ජාතිකවාදය උසිගැන්වීම වන බැවිනි. 2010 ජනාධිපතිවරණයේදි සරත් ෆොන්සේකා උතුරේ විශාල ජයග‍්‍රහණයක් ලද අවස්ථාවේ, එදා රාජපක්ෂ හෙංචයියන් කියමින් ඇවිද්දේ, දකුණෙන් පරාජය කරන ලද හිටපු හමුදාපතිවරයාට කොටි ඡුන්ද නම් නොඅඩුව ලැබුණු බවයි. මේ නිසා බෙදුම්වාදී බිල්ලාව එක මොහොතකින්වත් පැත්තකින් තැබීමට ‘ඒකාබද්ධ විපක්ෂයට’ හැකියාවක් නැත. ඔවුන්ගේ ඡුන්ද ඉල්ලම පෑදෙන්නේම ඒ ජාතිකවාදී කතාව මතු කර ගන්නා තරමටයි. මේ නිසා, අද සම්බන්දන් මොනවා කීවත් එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති ඔහුගේ සම්බන්ධතා මොවුන් මෙහිදී නිසැකවම උලූප්පා දක්වනු ඇත.

ඒ කෙසේ වෙතත්, බෙදුම්වාදී ඉල්ලීම ඉවතලීමට සම්බන්දන්ට වලංගු හේතු තිබේ. එල්.ටී.ටී.ඊ. බාහු බලය තවදුරටත් නැති තත්වය තුළ, ෆෙඩරල් ඉල්ලීම ගැන නැවත සිතා බැලීමට ඔවුන්ට සිදුවෙයි. විශේෂයෙන් දකුණේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි ප‍්‍රතිචාරය ගැන සිතීමේදී, බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් තබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට කොහොමත් නැත්තේය. උතුරේ ෆෙඩරල්වාදයක් ගැන කතා කරන දේශපාලනය, දකුණේ ජාතිකවාදීන්ගේ දේශපාලනයමයි. ඒ මගින් තම තමන්ගේ කලාපවල ඡුන්ද ගරා ගැනීමේ හැකියාව ඔවුනොවුන්ට ලැබේ. උතුර සඳහා වෙනම රාජ්‍යයක් අපේක්ෂා කරන්නේ නම් කිසි දවසක සම්බන්දන් ජාතික දින උත්සවයේදී සිංහල බෞද්ධ ජනාධිපතිවරයා සමග එකට අසුන් නොගනු ඇත.

ඇත්ත, මේ ඉල්ලීම තවමත් කරේ තියාගෙන යන ෂිවාජිලිංගම් වැනි උද්ඝෝෂකයෝ සිටිති. එහෙත් එවැනි අයට ඇත්තේ කරච්චල් දේශපාලනයක් පමණි. සිංහල ජාතිකවාදී දේශපාලනික හාම්පුතුන් වෙනුවෙන් සේවය කිරීමට සැදී පැහැදී සිටින දකුණේ මාධ්‍යයට අමුද්‍රව්‍ය සපයා දීම හැරුණු කොට එවැන්නන් කරන වෙනත් බලපෑමක් නැත. කාලයක් දෙමළ ඊලාමයක් වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රධාන දෙමළ දේශපාලනික ප‍්‍රවාහය, දෙමළ ජනතාව සඳහා වන සාධාරණ ස්වාධීනත්වයක් වෙනුවෙන් දැන් ඊලාම් ඉල්ලීම අතහැර ඇති තත්වය තුළ, දකුණේ දේශපාලඥයන් කළ යුතුව ඇත්තේ, මේ ප‍්‍රශ්නය වවාගෙන කන්නේ නැතිව, ජාතික සංහිඳියාව සඳහා වන ප‍්‍රයත්නයන්ට දායක වීමයි. යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු කරන ලද ප‍්‍රකාශනයන් අනුව, හිටපු ජනාධිපතිවරයාගේ පරමාර්ථය වුණේද එයයි. එසේ තිබියදී දැන් ජාතිවාදී ප‍්‍රවේශයකට අවතීර්ණ වීම, ඔහු පිළිබඳ විශ්වසනීයත්වයට අවැඩක් මිස වැඩක් වන්නේ නැත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, වෙන් වී සිටි ප‍්‍රජාවන් එක්සත් කිරීමට උපරිමයෙන් කටයුතු කළ බව ඈට කරන ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය. සිංහල දෙමළ භේදය ඇති කිරීමේ පුරෝගාමියා වශයෙන් සැළකෙන්නේ ඇගේ පියා වීම තුළ, ඇගේ අභිලාෂයන් කෙරෙහි විශාල විශ්වසනීයත්වයක්ද ඇති කර ගත හැකිව තිබුණි. එපමණක් නොව, ඇය, වචනයෙන් නොකීවද, ෆෙඩරල් ක‍්‍රමයක්ද හඳුන්වා දීමට යම් ප‍්‍රයත්නයක් ගත්තාය. එහෙත් එදා එක්සත් ජාතික පක්ෂ විරෝධය මධ්‍යයේ එය ව්‍යර්ථ විය.

දෙමළ ජාතික සන්ධානය පිළිබඳ මොන විවේචන තිබිය හැකි වෙතත්, ඔවුන් දැන් ගෙන ඇති ස්ථාවරය අගේ කළ යුතුය. ඔවුන්ගේ සද්භාවය පිළිබඳ දකුණේ තිබිය හැකි සැකසාංකා දුරු කැරැුවිය හැකි ආකාරයෙන් දැන් ඔවුන් කටයුතු කළ යුතුව තිබේ. තනි ප‍්‍රශ්නයක් මත දේශපාලනයක් පදනම් කරන ව්‍යාපාරයක් වෙනුවට එය ජාතික පර්යාදර්ශී දේශපාලනයකට අවතීර්ණ විය යුතුව තිබේ. ඒ අනුව, විපක්ෂ නායකයා වශයෙන් සම්බන්දන්, ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්න ප‍්‍රමුඛත්වයට ගනිමින්, තමා ජාතික නායකයෙකු බව බහුතර ප‍්‍රජාවට පෙන්විය යුතුය. එය, සහජීවන ක‍්‍රියාවලියේ ඉතා වැදගත් පියවරක් වනු ඇත.

*මැයි 20 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවු “JO Checkmated” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’


Powered by Blogger.