සියල්ලෝ මැයි 1 බලය පෙන්වූහ.නමුත්,කම්කරුවා?

2016 මැයි දින රැළි සියල්ල සාමකාමීව නිමා වීම ගැන පළමුවෙන්ම සතුටට පත් වෙමි.පූර්ව මැයි දින සූදානම තුළදී අප දුටුවේ බලු පොරයක් බදු කල්ලිවාදී උණුසුමක්ය.එවන් තත්වයක් තුළ මැයි දින රැළි සදහා ප්‍රචණ්ඩත්වය මුසු වේදෝ යන සාධාරණ සැකයක් අප තුළ නොවුනාම නොවේ.නමුත්,වාසනාවට හෝ නැතහොත් ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියේ වර්ථමානයේ ඇති ගුණාත්මක භාවය නිසාදෝ කිසිදු කළහකාරී තත්වයකින් තොරව සියල්ල නිමා විය.මාධ්‍යවේදියෙකු ලෙස ඉතාමත්ම කාර්යයබහුල දිනයක් ගත කරන්නට මා හට සිදු වූ පළමු අවස්ථාව විය.උදෑසන 10.30ට ආරම්භ වූ මැයි පෙළපාලි සහ රැළි ආවරණ කටයුතු සියල්ල නිම වන විට රාත්‍රී 9 ආසන්නව තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනයේ මැයි රැළිය පස්වරු 2 පමණ වන විට ආරම්භ විය.මෙහි පෙළපාලි ස්වරූපයක් නොගත්තේය.එයට හේතු වශයෙන් පෙනී යන්නේ සමහර පක්ෂ සංවිධායකයින් කාල වේලාව පිළිබදව නොසැළකිලිමත්ව ක්‍රියා කිරීමෙන් කාල වේලාව ඉක්මවා තිබීමයි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ඉතාම සරල සිත් ගන්නා අයුරින් පැවැත්වුණි.සංස්කෘතික සංදර්ශනයන්ටද යම් තැනක් ලබා දී තිබුණි.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රතු පැහැති කමිසයක් ඇද සිටීම පාක්ෂිකයන් බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්විය.එතුමා දේශපාලනයට අත් පොත් තබා ඇත්තේ 15 හැවිරිදි වියේදී පාසල් දරුවකුව සිටිද්දී 'ෂන්මුගදාසන්ගේ චීන කොමුයුනිස්ට්' මතමාද සමග සංවාද කරන්නෙකු ලෙසිනි.එම ආභාෂය තවමත් එතුමා තුළ වන බවට ඉගියක් ලෙස මම මෙම සිදුවීම දකිමි.ඇතැමුන්, බලාපොරොත්තු වූවාටත් වැඩි ජනකායක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දිනයටද සහභාගි වී සිටීම විශේෂත්වයකි.ඒ අතර පොළොන්නරුව,මාතර,මහරගම,කෝට්ටේ,හෝමාගම ආසන වලින් වැඩි ජනකායක් පැමිණ තිබෙනු දක්නට ලැබුණි.අභිනවයෙන් පත් වූ බස්නාහිර පළාත් මහ ඇමති 'ඉසුර දේවප්‍රිය'මහතා තමන්ගේ සංවිධාන හැකියාව උපරිමයෙන් පෙන් වීමට මෙම මැයි රැළිය අවස්ථාවක් කර ගත් බවක් පෙනේ.



එක්සත් ජාතික පක්ෂය-මැයි පෙළපාලි කීපයක් කොළඹ නගරයේ ස්ථාන කීපයකින් ආරම්භ වී අවසානයේ බොරැල්ල 'කැම්බල් පිටියට' ළගා විය.එම පෙළපාලි අතර නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කරන ලද 'අලුත්කඩේ සිට' පෙළපාලියත්/සෞඛ්ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආරම්භ කරන ලද 'ඉබ්බන්වල හන්දියේ සිට' පෙළපාලියත් විශාල ජන සහභාගීත්වයකින් යුක්ත විය.අවසාන මැයි දින රැළිය කැම්බල් පිටියේදී ආරම්භ වන විට සවස 4 ආසන්න වී තිබුනි.

සුවිශාල වේදිකාව නවීන ඩිජිටල් ක්‍රමවේද යටතේ සකස් කර තිබුණි.'සන් ෆ්ලවර්' සංගීත නාදයෙන් රැළිය රසවත් විය.වර්ෂාව නොතකා අධික ජන කායක් රැළිය අවසානය තෙක් රැදී සිටියහ.





ඒකාබද්ධ විපක්ෂය-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විරුද්ධ පක්ෂය නියෝජනය කරන පිරිස/මහජන එක්සත් පෙරමුණ/ජාතික නිදහස් පෙරමුණ/ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ/පිවිතුරු හෙළ උරුමය/ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ පිළ/ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සහ වුර්තීය සමිති ගනණාවක් එක්ව සංවිධානය කළ 'ඒකාබද්ධ විපක්ෂයේ' මැයි පෙළපාලිය නාරාහේන්පිට මංසන්ධියෙන් ආරම්භවී කිරුළපන  මංසන්ධියට ලගා වන විට පස්වරු 4 ආසන්නව තිබුණි.ඒ වන විටත් ගාල්ල ආසනයෙන් පැමිණ සිටි අති විශාල ජනතාවගෙන් කිරුළපන 'ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ' ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී තිබුණි.

පෙළපාලියෙන් පැමිණි බොහෝ දෙනාට සිදු වූයේ කිරුළපන මංසන්ධියේ අසුන් ගෙන තම දේශපාලන නායකයින්ගේ කතාවලට අත්පොලසන් නැගීමට පමණි.මෙය බොහෝ පාක්ෂිකයින්ගේ දැඩි විවේචනයටද හේතු විය."පිට්ටනිය මදි බව හොදටම දැන ගෙන මොකටද මේ පිට්ටනියම වෙන් කරගත්තේ" යනුවෙන් පාක්ෂිකයින් ඔවුනොවුන් අතර දැඩි ලෙස කතා කරන්නට විය.වෙනදා මෙන් සංස්කෘතික හැඩ රුවක් මෙවර මැයි රැළියට ලබා දී නොතිබීමද විමතියට කරුණකි.ගාල්ල,බෙන්තර-ඇල්පිටිය,බළන්ගොඩ,හොරණ,මතුගම,කළුතර,අවිස්සාවේල්ල යන ආසන වලින් වැඩි ජනතා සහභාගීත්වයක් විය.මහරගම ආසනයේ වෙනදා මෙන් විශාල ජන කායක් සහභාගී නොවීමේ හෙතුව 'මහරගම ආසනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෑතක සිදු වූ බල පෙරළිය' බවට සනාථ වන ලක්ෂණ ගාල්ලේ 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළිය සමග සංසන්දනයේදී පෙනී යයි.'   


ජනතා විමුක්ති පෙරමුණ-සුපුරුදු ලෙස බී.ආර්.සී. පිටියේදී මෙවරද තම මැයි දින රැළිය පැවැතිවීය.නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණෙන විට සවස 5 ආසන්න විය.මෙවර යම් උදාසීන බවක් රැළිය පුරාවට දැක ගත හැකි විය.

මෙලෙස ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන ධාරාවන් සෑම එකක්ම මැයි 1 තම බලය පෙන්වීය.යාපනයේදී දෙමළ ජාතික සංධානයත්/කදුකරයේදී වතුකරයේ කම්කරු ජනතාව නියෝජනය කරන දෙශපාලන පක්ෂයන්ද එලෙසම අනුගමනය කරන ලදි.ප්‍රශ්නාර්ථය වනුයේ මැයි 2 වනදා සිට කම්කරුවා තම සුපුරුදු ළතෝනි ජීවිතයම ගත කරයි.ණය බරින් මිරිකෙමින්,නිවාස,ප්‍රවාහන,පෝෂණ අවශ්‍යතාවයන්වත් නිසි ලෙස ඉටු කරගත නොහැකිව දුක් ගෙවයි.අඩුම තරමේ තම දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක්වත් ලබා දීමට වත්කමක් මෙරට කම්කරුවා තුළ නොමැත.අවසානයට කීමට ඇත්තේ"සිහින ලොවක එළිය දකින කුරුල්ලනේ කවදා ඔබේ සිහිනයන් සැබෑවේ දෝ යනුවෙන් පමණකි."

ඉෂාර ලක්මිණ

















Powered by Blogger.