"හෙට දින අද දකින" පාඨලී චම්පිකට ආණ්ඩුව එපා වෙලාද?.....


2000 වසරේදී 'සිහළ උරුමය' දේශපාලන පක්ෂය නියෝජනය කරන ලද පාඨලී චම්පික තරුණ දේශපාලන චරිතය ශ්‍රී ලංකාවම හදුනා ගත්තේය.ඊට පෙර ඔහුව රටේ ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබදව උනන්දුවක් දක්වන පිරිස් සහ ජාතික මතවාදී දේශපාලනය පිළිගත් පිරිස් දැන සිටියහ.

1981 දී අත්හැර දමන ලද 'රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කරවා ගැනීමේ සටන' නැවතත් ආරම්භ වූයේ 1987 වකවානුවේදීය.එහිදී ශිෂ්‍යයින්ගේ පාර්ශවයේ ප්‍රකාශකයා ලෙස සාකච්ඡාවට අවතීර්ණ වීම නිසා ජීවිත අවධානමට ලක් වීමට පාඨලී චම්පික රණවක මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට එවකට සිදු විය.'රාවය' පුවත්පත් ප්‍රධාන කාර්යාලයට පාඨලී චම්පික තරුණයාගේ දෙ අත් බැද දමා ගෙනවිත් විසි කර තිබුණු බව වික්ටර් අයිවන් මහතාගේ 'චෞර රාජ්‍ය කෘතියේත්' එක් තැනක සදහන් කර තිබේ.

1989 'අපේ මග' කෘතිය ලියමින්, එවකට  තරුණයින්ගේ හැගීම් අවුස්සමින් ක්‍රියා කළ සමහර දේශපාලන බලවේග වලට ඔහු අභියෝග කළේය.1988 දී පළාත් සභා ස්ථාපිත කිරීමට එරෙහිව උපවාස සත්‍යග්‍රහ මගින් අවිහිංසා විරෝධයක් දැක්වීමට ඔහු සමත් විය.

1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනියගේ පොදු පෙරමුණ ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයේ කොන්දේසි වලට යටත්ව උතුරු-නැගෙනහිර පළාත් සදහා වන ෆෙඩරල් යෝජනාවලියක් සම්මත කිරීමට යාමේදී  එහි ඇති බරපතලකම පිළිබදව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරමින් තිලක් කරුණාරත්න මහතා සමග එක්ව භික්ෂූන් වහන්සේලා,වෘර්තීයවේදීන්,ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාවගෙන් යුක්ත ෆෙඩරල් විරෝධී පෙරමුණක් ගොඩ නැගුවේය.

1998 දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් නිදහස් ස්වර්ණ ජයන්තිය පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර දළදා මාලිගාවට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර එකතු කිරීමේ ක්‍රියාකාරකම් තහනම් කරන ලෙස බල කරමින් සහ කොටි ත්‍රස්ථවාදය නියත වශයෙන් පරාජයට පත් කළ යුතුය යන අරමුණ මූලිකව 'ත්‍රස්ථ විරෝධී ජාතික ව්‍යාපාරය' පිහිටු වීමට මූලික විය.

1999 'ත්‍රස්ථ විරෝධී ජාතික සැලැස්ම' ඉදිරිපත් කරමින් "වසර 3ක් තුළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කළ හැකිය" යනුවෙන් රට හමුවේ මුලින්ම ප්‍රකාශ කළේය.1999 සිහළ උරුමය දේශපාලන පක්ෂය පිහිටුවීමේදී මූලිකත්වය ගත් එක් සාමාජිකයෙක් විය.2004 මහ මැතිවරණයට 'ජාතික හෙළ උරුමය' නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් භික්ෂූන් වහන්සේලා මහ මැතිවරණයට ඉදිරිපත් වද්දී ගිහි පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ක්‍රියා කරන ලද්දේත් පාඨලී චම්පික තරුණ දේශපාලන නායකයාය.එහිදී ඔහු සාම්ප්‍රදායිකව 'එක්සත් ජාතික පක්ෂයට' ඡන්දය භාවිතා කරන නාගරික මධ්‍යම පාංතික ඡන්ද දායකයින් ලක්ෂ 10ක් පමණ එක්සත් ජාතික පක්ෂ ඡන්ද ගොඩින් ඉවත් කරමින් ජාතික මතවාදය වෙත සමීප කරවීමට සමත් විය.2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාව බලයට පත් කිරීමේ මූලිකයෙක් විය.

2006 ජූලි 21 දින එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ථවාදීන් වසා දැමූ 'මාවිල් ආරු' අමුණ යළි විවෘත කර ගැනීමට රජයට 2006 ජූලි 27 දින බල කරන ලද පෙරමුණේත් පාඨලී චම්පික රණවක විය.ශ්‍රී ලංකා රජය එදා ආරම්භ කළ කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහි සටන 2009 මැයි 19 ජයග්‍රාහීව නිමාවට පත් විය.එම සටන් පිළිබදව 'සිංහ සේනාංකයේ ප්‍රහාරය' නමින් සිංහල පරිවර්තන කෘතියක්ද ඔහු ඔහුගේම ඉංග්‍රීසි පොතක් මූලික කරගෙන ලියුවේය.

2007 'පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා' බවට පත් වෙමින් දිනූ දේශයේ පරිසර සම්පත් රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාශීලීම අමාත්‍යවරයෙකු බවට පත් විය.කාබන් ණය පිළිබදව සම්මුතිය මගින් ශ්‍රී ලංකාවට ජයග්‍රහන රැසක් ගෙන ඒමට සමත් විය.කසල කළමණාකරනය පිළිබදව විශේෂ උනන්දුවක් දක්වමින් 'පිළිසරු' ව්‍යාපෘතිය හදුන්වා දුණි.එවකට 'මධ්‍යම පරිසර අධිකාරියේ' සභාපති ධුරය දැරූ නීතිඥ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය පාඨලී චම්පිකගේ දේශපාලනයේ මහා සෙවණැල්ල බදු විය.

වන සංරක්ෂණ පනත,වනජීවි පනත,සාගර දූෂණ වැළැක්වීමේ පනත,පතල් කැණීම් පනත සංශෝධනය කර වසර 20ක් ඉදිරියට ශ්‍රී ලංකාවේ පරිසර තත්වය ගැන සිතුවේය.මෙලෙස වසර  3කට ආසන්න කාලයක් තුළ විශාල සේවයක් තම අමාත්‍යාංශය හරහා ඉටු කරමින් මහා භාණ්ඩාගාරයට බරක් නොවන අමාත්‍යාංශයක් බිහි කරේය.

2010 මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ඉදිරිපත් වෙමින් 'හෙට දින අද දකින - චම්පික' යනුවෙන් තේමාව සකස් කර ගනිමින් "ආසියාවේ ආශ්චර්යය - ශ්‍රී ලංකාව කරමු!" යන එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පංච බල කේන්ද්‍ර සංකල්ප අනූව සකස් කරේය.විශිෂ්ට මැතිවරණ ජයග්‍රහනයෙන් අනතුරුව 'විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති' අමාත්‍යවරයා බවට පත් විය.නමුත්,2014 නොවැම්බර් 18 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ඉවත් වෙමින් ඔහු සදහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දක්ශ ක්‍රියාශීලී අමාත්‍යවරුන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත්,පුත්‍ර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් වැඩක් කිරීමට ඉඩ නොදෙන බවයි.

2015 තීරණාත්මක ජනාධිපතිවරණයේදී පාඨලී චම්පික රණවක 'ආලාපාළු ආර්ථිකය' නමින් කෘතියක් රචනා කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාවත්,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් දැඩිව විපක්ෂයේ වේදිකාවලට ගොඩ වෙමින් විවේචනය කරන්නට විය.'මෙගා ඩීල් - සොරුන්' ලෙස වාග් ප්‍රහාර එල්ල කරන්නට විය.කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන්නට විය.2015 ජනාධිපතිවරණය විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කළේය.

 පාඨලී චම්පික මහතා දේශපාලනයේදී 'ජොන් දුවන්' ලෙස හැදුන්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පෙරමුණ දේශපාලනයට පැති මාරු කරමින් 2015 මහ මැතිවරණය ජය ගත්තේය.'මහා නගර සංවර්ධන සහ බස්නාහිර පළාත් (මෙගාපොලිස්) සංවර්ධන' නව කැබිනට් අමාත්‍ය ධුරයට පත් පාඨලී චම්පික මහතා නව සංවර්ධන සැලසුම් සකස් කරනවා වෙනුවට සිදු කරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංවර්ධන සැලැස්මේම දිගුවකි.මෙය බොහෝ විද්වතුන් තුළත්, ජනතාව තුළත් විස්මය දනවන කාරණාවක් විය.2015 ජනාධිපතිවරණ වේදිකාවේදී 'මෙගා ඩීල්' ලෙස හැදුන්වූ සංවර්ධන ව්‍යාපෘතීන්ම නාම පුවරු වෙනස් කොට අමාත්‍ය පාඨලී චම්පික විසින්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

ආන්දෝලනාත්මක පැනමා රහස් බැංකු ගිණුම් වල අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ සමීපතමයෙකු වන විද්‍යා අමරපාල මහතාගේ නමින්ද බැංකු ගිණුම් ඇති බව ජාත්‍යන්තර තොරතුරු වලින් හෙළිවිය.විද්‍යා අමරපාල මහතා වරින්වර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ  විෂය පරාසයන්ට අයත් ආයතනවල මුල් පුටු හොබවන ලද අයෙක් වීමත් තවත් ආන්දෝලනයකි.

රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු තම රාජකාරි රථයේ ගැටීම නිසා ඇති වූ තත්වය නිසාත් අමාත්‍ය පාඨලී චම්පික ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.බස්නාහිර පළාත ප්‍රධාන කොට ගනිමින් ඇති වූ හදිසි ස්වභාවික ආපදා තත්වය නිසා ස්වභාවික ව්‍යසනය අවස්ථාවේදී අමාත්‍ය පාඨලී චම්පිකගේ හැසිරීම එතරම් ක්‍රියාශීලී නොවීය.ජනාතාව තුළ මේ වන විට අමාත්‍ය පාඨලී චම්පික පිළිබදව යම් විශ්වාස කඩවීම් තත්වයක් ඇති වී ඇති බව නොරහසකි...

මෙවන් වාතාවරණයක් මෙන්ම, රජය උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධව දරන මතවාදය මූලික කරගෙන අමාත්‍ය පාඨලී චම්පික තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වේ.ඒ බව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ කරුණු කියා පෑමට නියමිතය.

ඉෂාර ලක්මිණ

Share on Google Plus