ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හොම්බෙන් යාම.



-ෂ්‍යාමන් ජයසිංහ
‘ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ’ කතාන්තරය දැන් මුලූ රටම දනී. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන කාලය ගැන තවමත් ප‍්‍රශස්ති ගයන සහ ඔහු යළි බලයට පත්වීමක් ගැන කෑමොර දෙන අයවළුන්ට යෝනිසෝ මනසිකාරය වඩවා ගැනීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොකෙරේ.

මේ සිද්ධිය වනාහී, රටක විනාශයේ විභවය පෑදූ, දුර්භාග්‍යවන්ත ආණ්ඩුකරණ මාදිලියක් පිළිබඳ ආඛ්‍යානයක එක් අංගයකි. අධිකාරීවාදී මජර තන්ත‍්‍රයන් අයාලේ ගොස් තුවාලයක් වූ විවිධ ඓතිහාසික අවස්ථාවන්ට මෙය තවත් උදාහරණයකි. එබැවින් මොනයම් හෝ පුද්ගල කෝන්තරයකින් පරිබාහිරව, අනාගතය සඳහා අදාළ කර ගත හැකි දර්ශකයක් හෝ ආදර්ශමත් අධ්‍යයනයක් වශයෙන් මෙම සිද්ධිය සියුම්ව පරීක්ෂාවට ලක් කිරීම වටනේය. මහා අසාර්ථකත්වයක් පාඩමක් කර ගත හැකි අත්දැකීමක් බවට පත්කර ගත හැක්කේ එයාකාරයෙන්ම පමණි.

එමිරේට්ස් ගුවන් සමාගමත් සමග එතෙක් පැවති හවුල් ව්‍යාපාරික ගිවිසුම යටතේ ‘ශ‍්‍රී ලංකා ගුවන් සේවය’ 1998 සිට සෑහෙන ලාභ ඉපැයූ බව සඳහන් ය. නාමයේ විශේෂ අලංකාරයක් නොතිබුණත්, ආඩම්බර විය හැකි ජාතික ගුවන් සේවයක් අපට තිබුණි. අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමටත්, ජාත්‍යන්තර හඬක් ඇති කර ගැනීමටත් එය ඉවහල් විය. ඒ කිසි විටෙක එය අපේ ආර්ථිකයට බරක් වුණේ නැත. කාර්ය මණ්ඩලය ඵලදායී අන්දමින් සේවා නියුක්තිකව සිටි අතර, ව්‍යාපාරික යාන්ත‍්‍රණය හොඳින් වැඩ කෙළේය.

කොස්ස හට ගත්තේ කෙසේදැ යි ඔබට මතකද? වාර්තා වූ අන්දමට, එය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාන්නය රිදවූ පෞද්ගලික සිද්ධියකි. වරක් ලන්ඩන් නුවර සිට හදිසියේ කොළඹ ඒමට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව, ඔහුට සහ ඔහුගේ පරිවාර සේනාවට, ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ආසන ඉල්ලා සිටින ලදි. එහෙත් වෘත්තීයමය ව්‍යාපාරයක නීතිරීති ඔස්සේ කටයුතු කළ එම සමාගම, ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේය. මන්ද යත්, ඔහුගේ ඉල්ලීම ප‍්‍රකාරව කටයුතු කෙළේ නම්, ඒ හේතුවෙන් තවත් මගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවට පත් කිරීමට සේම, සමාගමේ ව්‍යාපාරික කීර්ති නාමයට හානි පමුණුවා ගැනීමටත් සිදුවිය හැකිව තිබුූ බැවිනි. එහෙත් රාජපක්ෂ සනුහරය ඒ ගැන සිතුවේ, සී.ටී.බී. බස් රථයක් වෙනත් මාර්ගයකට හරවා ගැනීමක් මෙනි. ජාත්‍යන්තර ගුවන් සේවාවන් එසේ ක‍්‍රියාත්මක නොවේ.

මේ සභාපතිවරයා සහ ඔහුගේ පෙම්වතියන් පඳුරක් පඳුරක් ගානේ පෙම් කෙළියේ, හින්දි රිදී තිරයේ තාරකාවන් මෙනි

වාර්තාවලට අනුව, මේ සිද්ධියෙන් ජනාධිපතිවරයාට හොඳටම කේන්ති ගියේය. ඉන් දින කිහිපයකට පසු, එමිරේට්ස් ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයා වශයෙන් ලංකාවේ සිට කටයුතු කළ පීටර් හිල්ගේ වීසා බලපත‍්‍රය අහෝසි කෙරුණු අතර, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ එමිරේට්ස් ගුවන් සමාගම සමග පැවති ගිවිසුම 2007 දී අවලංගු කෙරුණි. ඒ වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කොට තිබූ ලාභ ප‍්‍රමාණය රුපියල් බිලියන 7 ක් පමණ විය.

ඒ ඛේදනීය සිදුවීමේ සිට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ව්‍යාපාරයක් වශයෙන් වේගයෙන් පල්ලම් බැස්සේ මහා අගාධයකටයි. වර්තමාන අගමැතිවරයාගේ විචිත‍්‍ර උපමාවකට අනුව, ඒ වනාහී, මුළු ජාතික ආර්ථිකයම පුපුරුවා හල හැකි ආර්ථික බිම් බෝම්බයක් වැන්න.

කිසිවකින් මෙල්ල නොවන ඒ සා යෝධ බලයක් ඇති ඕනෑම පාලකයෙකු තමා භාරයේ ඇති රටත් සමාජයත් තම පුද්ගලික දේපළක් වශයෙන් සැලකීම පුරුද්දකි. මෙහිදී සිදු වුයේද හරියටම එයයි. අපේ ජාතික ගුවන් සේවය රාජපක්ෂ දේපළක් විය. විශේෂයෙන් තුන් වැනි ලෝකයේ පාලකයන්, ඇමතිවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් තම බල ප‍්‍රදේශ සළකන්නේ, ස්වකීය නින්දගම් වශයෙනි. පුද්ගල අවකාශයෙන් පොදු අවකාශය වෙන් කොට හඳුනා ගැනීමට ඔවුහු අසමත් වෙති. ඒ දෙක ඔවුන් ඉදිරියේ එකට කවලම් වෙයි. එවැනි ඇතැම් ප‍්‍රවණතා මේ යහපාලන ආණ්ඩුව යටතේ පවා දැක ගත හැකිය. දකුණු ආසියාතික දේශපාලනික සංස්කෘතීන් තුළ එම තත්වය දුරලීම පහසු නැත. උදාහරණයක් වශයෙන්, මුහුදෙන් එහා තමිල්නාඩු පාලනය හොබවන විරාජමත් ජයලලිතා දෙස බලන්න. ශ‍්‍රී ලංකාවේ ඡුන්දදායකයා තමිල්නාඩුවේ සාමාන්‍ය ඡන්දදායකයාට වඩා තරමක් උගත් ය. තරමක් දියුණු ය. එබැවින් එවැනි ජරපත් හැසිරීම් රටාවන්ගෙන් අපට වැළකී සිටීමට බැරි කමක් නැත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික‍්‍රමසිංහත්, එවැනි ප‍්‍රවණතා ලත් තැන ලොප් කිරීමට වගබලා ගත යුතුව තිබේ.

මේ ආකාරයේ පුද්ගල දේපළ අයිතියක් පිළිබඳ ඌරුව, අනතුරුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ධූරයට පත්, මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන, වික‍්‍රමසිංහගේ ක‍්‍රියා කලාපයෙන්ද මොනවට පිළිබිඹු වෙයි. මේ සම්බන්ධයෙන් කරන ලද ඇතැම් පරීක්ෂණ වාර්තාවන්ට අනුව, වික‍්‍රමසිංහට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ගැන තිබුණේ, සුරුට්ටු කඩේක හෝ පාරේ ලෑලි කඩේක අයිතිකරුවාට ඔහුගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබූ හැඟීමට සමාන ආකාරයේ හැඟීමකි.

එක අතකින්, මෙවැනි භාරදූර වගකීමක් තමාගේ මස්සිනාට පැවරීමම, රාජපක්ෂ තුළ පැවති නින්දගම් ආකල්පය හෙළි කරන තවත් අවස්ථාවකි. ගසක් මැරෙන්ට පටන් ගන්නේ මුදුනේ සිට ය. සංවිධානයක්ද එසේම ය. මේ වික‍්‍රමසිංහ නැමැත්තාට තිබුණු එකම ‘සුදුසුකම’ වුණේ, ඔහු මහින්දගේ බිරිඳගේ සහෝදරයා වීමයි. අධ්‍යාපනික වශයෙන්වත්, වෙනත් නිපුණතා හෝ අත්දැකීම් සම්බන්ධයෙන්වත් කිසි සුදුසුකමක් ඔහුට තිබුණේ නැත. පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි, මේ සභාපති තනතුර පාවිච්චි කරමින් ඔහු හැසිරී ඇත්තේ ඉතා ශෘංගාරාත්මකවයි. ඔහුගේ පේ‍්‍රමාතුර කල්ක‍්‍රියාව ඉදිරියේ, ජාතික ගුවන් සේවයේ මූල්‍ය කළමණාකරණය නොවැදගත් තැනකට ඇද වැටුණි. ඇතැම් අවස්ථාවක, මේ සභාපතිවරයාගේ පෞද්ගලික අවශ්‍යතා මත ඇතැම් ගුවන් යානයක් වෙනත් මාර්ග ඔස්සේ ගෙන යාමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වුණි. මේ ආකාරයට, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ඔහුගේ සෙල්ලම් පිටියක් බවට පත්විය. ‘ජීවිතය රස විඳින කිසි මිනිහෙක් අසාර්ථක මිනිහෙක් නොවේ’ යැයි විලියම් ෆෙදර් කියා ඇත. එය සැබෑවකි. සභාපති වික‍්‍රමසිංහ පුද්ගලයෙකු වශයෙන් අසාර්ථක නොවුණි. එහෙත් ඔහු යටතේ පැවති ජාතික ගුවන් සේවය අසාර්ථක විය. ලංකාවේ ජාතික ආර්ථිකය එයින් වලපල්ලට ගියේය.

මේ සභාපතිවරයා සහ ඔහුගේ පෙම්වතියන් පඳුරක් පඳුරක් ගානේ පෙම් කෙළියේ, හින්දි රිදී තිරයේ තාරකාවන් මෙනි. ඇත්තෙන්ම එය, සිනමා පටයකට පවා සුදුසු කතාන්තරයක් විය හැකිය. සභාපතිවරයා නටන විට, පේ‍්‍රක්ෂාගාරය ‘අම්මට සිරි’ යැයි එවිට කියනු ඇත.

එදා පැවති පාලනය විසින් මේ ජාතික ගුවන් සේවය හැසිරවූ ආකාරය, ‘මගේ පාර, මගේ කාර් එක, මගේ පෙට‍්‍රල්’ නැමැති ආකල්පය විදහා පෑ අවස්ථාවකි. එම ආකල්පය විසින් තවත් යෝධ විනාශයන් ආර්ථිකයට දායාද කෙළේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව සහ මිහින් ලංකා ගුවන් සමාගම ඉන් සමහරකි. මේ අතරට, හම්බන්තොට වරායත් ඇතුළත් බව අමතක නොකරන්න.

මේ සියල්ල, ඇස් ඉදිරියේ දැන් සක්සුදක් සේ පැහැදිළිව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කතාන්තරය, ව්‍යාපාරයක් පාලනය නොකළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් කළමණාකරන ඉතිහාසයට අලුත් පාඩමක් වනු ඇත.

*2016 අපේ‍්‍රල් 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “SriLankan Air Nose-Dives Into Disaster” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Powered by Blogger.