බදු, ණය හා අනාගතය.


-චාමර ලක්ෂාන් කුමාර

රජය විසින් සිදු කළ වැට් හා වෙනත් බදු සංශෝධන සම්බන්ධයෙන් විපක්ෂය නොනවත්වා “ප්‍රහාර” එල්ල කරමින් සිටිති. විපක්ෂය නඟන මේ විවේචන කෙතරම් සාධාරණ ද? එය මඳක් විමසා බැලීම වැදගත්ය.

ආර්ථික විද්‍යානුකූලව රාජ්‍ය ආදායම තීරණය වීමෙහිලා බලපාන්නා වූ ප්‍රධානතම මූලාශ්‍රයක් වනුයේ බදු ආදායමය. එම තත්ත්වය තුළ බදු පැනවීමට ආණ්ඩුවකට ඇති අයිතිය තාර්කිකව ප්‍රශ්න කළ නොහැකි තරම්ය. එසේ නමුත් සදාචාරමය විනිශ්චයන් මත පිහිටා එය ප්‍රශ්න කිරීමට ඇති අයිතිය මුළුමනින්ම අහෝසි වීමක් ඉන් සිදු නොවේ. එය පැහැදිලි සත්‍යයකි. විපක්ෂය මෙම බදු වැඩිවීම ප්‍රශ්න කරනුයේ ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන බවට පොරොන්දු වෙමින් බලය හිමි කර ගත් කණ්ඩායමකට එවැන්නක් කළ හැකි ද යන්න විමසමිනි. එසේ ප්‍රශ්න කෙරුමට විපක්ෂ කණ්ඩායම්වලට ඇති අයිතිය ප්‍රශ්න නොකරන නමුත් ගැටලුව වනුයේ එය කෙතරම් සාධාරණ තර්කයක් ද යන්නය.Ravi Ranil

ජනවාරි 8 වැනිදා විප්ලවයෙන් පසු වත්මන් පාලකයන්ට ලැබුණේ හිස් භාණ්ඩාගාරයක් වූ අතර රට ණය උගුලක හිර වී තිබිණි. රට හා රටේ ජනතාවට වෙනුවට තම පටු දේශපාලන න්‍යාය පත්‍රයේ දිග පළල වැඩි කරගැනීම වෙනුවෙන් කිසිදු මූල්‍ය විනයකින් තොරව රාජපක්ෂවරුන් සිදුකළ අවිචාරවත් ණය ගැනීම තුළ පසුගිය වසර අවසන් වෙද්දී ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 සීමාවට පැමිණ තිබිණි. රාජය ව්‍යවසායන් විසින් ගෙවීමට තිබු රුපියල් බිලියන 1042.8 ක ණය පංගුව ද එක් වූ කල එය තවත් විශාල වන බව අමුතුවෙන් විස්තර කර දිය යුතු නැති තරම්ය. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රටේ මුළු ණය බර 76% සීමාව ඉක්මවා තිබීම තුළ ආර්ථිකය මේ මොහොතේ පසු වන රෝගී තත්ත්වයේ තරම මැනවින් විද්‍යමාන වේ. මේ ණය ප්‍රමාණය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 1303ක් ආපසු ගෙවිය යුතු අතර වසරකට ගෙවිය යුතු පොලිය පමණක් රුපියල් බිලියන 509ක් පමණ වේ. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මුල් වරට බලයට පැමිණෙද්දී රටේ මුළු ණය බර රුපියල් මිලියන 2139527ක් වූ අතර, ඔහු බලයෙන් ඉවත් වෙද්දී ණය රුපියල් මිලියන 7390899ක් තෙක් එය වැඩිව තිබිණි. රාජපක්ෂ 2005 දී බලය ලබා ගනිද්දි රටේ ඒක පුද්ගල ණය බර රුපියල් 110086ක් වූ අතර, ඔහු ධුරයෙන් ඉවත් වෙද්දි එය රුපියල් ලක්ෂ හතරේ සීමාවට ළඟා වී තිබිණි. එම සංඛ්‍යා දත්ත අනුව වර්තමානයේ උදාවී ඇති මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය සම්බන්ධයෙන් වන වගකීමෙන් මිදීමට මහින්ද රාජපක්ෂලාට කිසිසේත්ම නොහැකිය.

ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම “පටි බැඳගත්” සාතිශය බහුතරයක් වූ මේ රටේ ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසු සහන අපේක්ෂාවෙන් සිටිමුත් ඔවුන්ට සිදු වූයේ කබලින් ළිපට වැටීමටය. මැතිවරණවලදී පොරොන්දු වැසි වැස්ස වූ මුත් ඒ කිසිවක් ඉටු නොකළ රාජපක්ෂවරුන් භාණ්ඩ මිල අඩු කළේ නැත. එතෙක් ආරක්ෂක වියදම් සඳහා යෙදවූ මුදල් සංවර්ධනය සඳහා යෙදවීමක් සිදු වූයේ ද නැත. නමුත් ඔවුහු එක් දෙයක් නම් සිදු කළහ. ඒ මහා පරිමාණයෙන්ම තවදුරටත් ණය ලබා ගැනීමය. නිදර්ශනයක් ලෙස 2009 වසරේදී රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 2.6ක විශාල ණයක් ලබාගත් අතර එච්. එස්. බී. සී. බැංකුවේ ලන්ඩන් ශාඛාවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක ණයක් 15% ට වඩා අධික පොලියක් යටතේ ලබා ගැනීමට ද කටයුතු කළේය. සැබැවින්ම රාජපක්ෂ සමයේ රටක් ලෙස අසාර්ථක වීම විෂයයෙහි බලපෑවේ හොරකම, නාස්තිය වංචා දූෂණ පමණක්ම නොවේ. ඉවක් බවක් නොමැතිව අසීමාන්තික ලෙස ණය ලබා ගනිමින් ඒවා ආදායම් නොලැබෙන සුදු අලි ව්‍යාපෘතීන්හි යෙදවීම ද ඊට බලපෑ ප්‍රධාන හේතුවක් විය.

අතිශය අසාර්ථක හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම සඳහා ණයට ගත් මුදල රුපියල් කෝටි 3825ක් වූ අතර නෞකා වරායට ගැනීමට නොහැකි වන සේ පිහිටා තිබු කළුගල කැඩීමට අනතුරුව වැය වූ මුදල රුපියල් කෝටි 900ක් පමණ විය. ලෝකයේ අඩුම උපයෝගීතාවක් ඇති වරායක් සේ සැලකෙන හම්බන්තොට වරායට නැව් 100ක් පැමිණීමට මාස 34ක් ගත වූ අතර, මෙරටට ගෙන්වනු ලබන රථවාහන හම්බන්තොට වරාය හරහා ගෙන්විය යුතු බවට නියෝගයක් නොපනවන්නට එම කාලය තවත් දීර්ඝ වනවා නිසැකය. මුළුමනින්ම අසාර්ථක වී ඇති මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මසකට ගෙවනු ලබන පොලි මුදල රුපියල් කෝටි 25ක් පමණ වන බව කියැවේ. මුලදී 1.2% ක පොලියට වරාය ඉදිකිරීම සඳහා ණය මුදල් ලබා ගත් නමුත් පසුව ණය 6‍.2% ක දක්වා ඉහළ නැංවීමට එවකට සිටි පාලකයන් හිටි හැටියේ කටයුතු කරන ලදී. කැබිනට් මණ්ඩලයට ඒ වෙනුවෙන් වූ විශේෂ සංදේශය ඉදිරිපත් කර තිබුණේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ වීම විශේෂත්වයකි.

තම දේශපාලන ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් රාජපක්ෂ පාලනය මත්තල ඉදිකළ ගුවන් තොටුපළෙහි තත්ත්වය ද ඊට නොදෙවැනි විය. රුපියල් කෝටි 3960ක් වැය කරමින් ඉදිකළ මුත් එය මේ වන විට “හොල්මන්” ගුවන් තොටුපළක් වී ඇත. ලබාගත් ණය ගෙවීමට තියා නඩත්තුවට ප්‍රමාණවත් ආදායමක් හෝ එයින් නොලැබේ.

මහා පරිමාණ සන්දර්ශන පැවැත්වීම වෙනුවෙන් නිර්ලෝභීව වියදම් කළ රාජපක්ෂ පාලනය 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ලබා ගැනීමේ සිහිනයක පසු විය. ඕස්ට්‍රේලියාව සමඟ ඒ වෙනුවෙන් පැවැති තරගයේදී සත්කාරකත්වය අපට අහිමි වුවද ඒ සඳහා වූ ලංසු තැබීමට රුපියල් ලක්ෂ 7840ක් වැය කර තිබිණි. මේ අතර එම වෙන්දේසිය සඳහා සහභාගි වීමට ගිය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් 2011 අප්‍රියෙල් 5 වැනි දින ලන්ඩන් මැරියට් හෝටලයේ එක් රාත්‍රී කෑමක් වෙනුවෙන් රුපියල් හයලක්ෂ හැත්තෑහතර දහස් අටසිය හතළිස් දෙකයි ශත හැට නවයක් ගෙවා තිබුණේ මහ බැංකුවෙන් ඔහු වෙත නිකුත් කර තිබූ ක්‍රෙඩිට් කාඩ් පතිනි. එහි අංකය 48629600 00000509 විය. රටේ මූල්‍ය පද්ධතිය හැසිරවීම වෙනුවෙන් ඇති කේන්ද්‍රීය ආයතනය වන මහ බැංකුව මෙහෙයවීම සඳහා රාජපක්ෂවරුන් තෝරාගත් අජිත් නිවාඩ් කබ්රාල් ඊට පෙර එජාපයෙන් මැතිවරණ කිහිපයකටම තරග කළ පුද්ගලයෙක් විය. ඥාති සංග්‍රහය උපරීමයට රාජපක්ෂ යුගයේ දැකගත හැකි වූ අතර කබ්රාල්, ගාමිණී සෙනරත්, සජින්ද වාස්, නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රියත් බන්දු වික්‍රම, අසන්තා ද මැල්, උදයංග වීරතුංග වැන්නෝ එහි සංකේතාත්මක ඇඟවුම් වූහ. මොවුන් අතින් අති බහුතරයකට ඉහළ ධුර දැරීම සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් නොතිබිණි. අපොස සා. පෙළ හෝ සමත් නොමැතිව වැලේ වැල් නැතුව සිටි නිශාන්ත වික්‍රමසිංහ නමැති තම මස්සිනාව ශ්‍රී ලංකාව ගුවන් සේවාවේ සභාපති ධුරයට පත් කරමින් එය නැත්තටම නැති කළ හිටපු ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල් පුටුවට නම් කළේ අසන්තා ද මැල්වය. අසන්තාගේ අධ්‍යාපන සුදුසුකම් ද නිශාන්තට නොදෙවැනි වූ අතර ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට පත් වූයේ ශිරන්ති රාජපක්ෂට තිබු ඥාතිත්වයට පින්සිදු වන්නටය. ලෝක වෙ‍ළෙඳපො‍ළේ බොරතෙල් මිල වැඩි වද්දී දේශීයව ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට හා එහි මිල ගණන් අඩු වද්දී මේ රටේ තෙල් මිල අඩු කිරීමට ආණ්ඩුවක් අවශ්‍ය නැති බව කියමින් වහසි බස් දෙඩු රාජපක්ෂ පාලනය වෙනම, මිල සූත්‍රයක් ඒ වෙනුවෙන් හඳුන්වා දුන්නේය. එය “හෙජින්” නම් විය. අවසානයේ මෙරටට පාරාවළල්ලක් වූ මේ දූෂිත ගනුදෙනුව නිසා රුපියල් බිලියන 7.5ක මුදලක් ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුවට ගෙවීමට, ශ්‍රී ලංකා රජයට සිදු විණි. රාජපක්ෂ සමයේ අනිවාර්ය වී තිබූ ඥාති සංග්‍රහය නිසා සිදු වූ විනාශයේ තරම පෙන්වීමට එම උදාහරණ දෙක පමණක් ඉදිරිපත් කර අප නතර වනුයේ එසේ නොවුණහොත් එය දිගු ලැයිස්තුවක් වීම නොවැළැක්විය හැකි බැවින් හා අපගේ ප්‍රධාන ප්‍රස්තුතයට එය බාධාවක් වන බැවිනි.

සාමාන්‍යයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ වැනි දැවැන්ත ක්‍රීඩා උලෙළක් සංවිධානය කිරීමට රටක් ඉදිරිපත් වනුයේ එම රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට පැමිණ පසුය. එසේ ස්ථාවර නොවී ජාත්‍යන්තර ක්‍රීඩා උලෙළක් සංවිධානය කළ පමණින් ඒ අදාළ රට ඉදිරියට යෑමක් සිදුවන්නේ නැත. සාමාන්‍ය ජන ජීවිතය යහපත් වීමක් සිදු වන්නේ නැත. සහතිකවම රටකට පිළිගැනුමක් ලැබෙනුයේ දස අතේ ණය වී, මහා ක්‍රීඩා උලෙළවල් සංවිධානය කිරීමෙන් නොවේ. රටක් ජාත්‍යන්තරය තුළ ඇගැයීමට පාත්‍ර වනුයේ එහි ජනතාවගේ ජීවන මට්ටම, හැකියාව සැබෑ ලෙස ඉහළ දැමීමට කටයුතු කළ හොත් පමණි. ජැමෙයිකාව, ලෝක ක්‍රීඩා බලවතකු වූයේ ඔලිම්පික් උලෙළක් සංවිධානය කර නොවේ. උසේන් බෝල්ට්, අසාෆා පවෙල්, වෙරෝනිකා කැම්බල් වැනි නාමධාරි ක්‍රීඩකයන් බිහි කිරීම තුළය. එහෙත්, රාජපක්ෂවරුනට එය වැදගත් නොවීය. දිගුකාලීනව ලබන වාසීයකට වඩා ඔවුනට හැම විටම අවශ්‍ය වූයේ තාවකාලික සුවය පමණි. එසේ ලබා දෙන්නා වූ තාවකාලික සුවය හරහා සෑහෙන කලකට රටේ සැබෑ ප්‍රශ්න වෙනතක යැවිය හැකි බව ඔවුනගේ ගණන් බැලීම විය.

අසීමාන්තික ලෙස ලබාගත් ණය මුදල් රාජපක්ෂවරුන් යෙදවූයේ මානව සම්පත නිෂ්පාදන හා සේවා කර්මාන්ත දියුණු කිරීමට, කෘෂිකර්මය දියුණු කිරීමට නොවේ. මහාමාර්ග ඉදිකිරීමටය. එම මහාමාර්ගවලින් ගමන් කරන්නේ කොතැනට ද යන්න අදහසක් ඔවුනට නොවීය. ඔවුනට වඩා වැදගත් වූයේ ලාභ සන්තානය පමණි. පාසලට යෑමට පාරක් තිබුණ මුත්, ඩෙස්ක්, පුටු ආදී පහසුකම් එහි නොවීය. ගුරුවරුන් ප්‍රමාණවත් නොවීය. රෝහලට යෑමට පාරක් තිබුණ මුත් එහි බෙහෙත්, ඇඳන් හා ප්‍රමාණවත් ලෙස වෛද්‍යවරු නොවිණි. වෙළෙඳපොළට යෑමට පාරක් තිබුණමුත්, බඩු භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව අත මුදල් නොවීය. මහාමාර්ග ඉදිකිරීම වරදක් යැයි අපි නොකියමු. එහෙත් එය සිදු විය යුත්තේ රටක ආර්ථික දියුණුවට සමාන්තරවය. කර්මාන්ත හා සේවා අංශ දියුණු කිරීමකින් තොරව මහාමාර්ග දුම්රිය මාර්ග, ගුවන් තොටුපොළ, වරාය ඉදි කිරීමෙන් අත් වන සුගතියක් නොමැත. එවැන්නකින් රටකට හෝ ජනතාවට අත් වන ප්‍රතිලාභයක් නැත. එය ප්‍රතිඵලදායක වනුයේ ලාභ උපරීම කරගැනීමේ අරමුණු මත ක්‍රියාත්මක වන කොමිස් කාක්කන්ට පමණි.

රාජපක්ෂලා නිර්මාණය කළ මෙම ණය උගුලෙන් රට බේරාගන්නා බවට පොරොන්දු වෙමින් ණය බරින් තොර රටක් මතු පරපුරට සහතික කරන බව කියමින් බලය හිමිකර ගත් “යහපාලන ආණ්ඩුව” ඒ සඳහා විවිධ වූ මානයන් ඔස්සේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී. වැට් බදු සංශෝධනය යනු එහි එක් පියවරකි. එකතු කළ අගය මත බදු පැනවීම හෙවත් වැට් බද්දේ ඉතිහාසය ගත් විට, 2006 වසරේදී රාජපක්ෂ පාලනය 20%ක් තරම් ඉහළ තනි, වැට් බදු අනුපාතයක් හඳුන්වා දෙන ලදි. නමුත් නව රජය බලයට පැමිණි පසු එය 11% දක්වා අඩු කිරීමට පියවර ගනු ලැබිණි. නව බදු සංශෝධනයේදී පවා අඩු ආදායම් ලාභීන්ගේ ජන ජීවිතයට බලපෑමක් ඇති නොවන සේ, කටයුතු කිරීමට රජය මෙතැනදි ප්‍රවේශම් වී තිබීම සාධනීයය. විශේෂයෙන්ම සාමාන්‍ය ජන ජීවිතය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සේ සැලකෙන කිරිපිටි. සහල්, තිරිඟු පිටි, පරිප්පු. හාල්මැස්සන්, ලූනු, සීනි, ටින් මාළු, නැවුම් කිරි, පොදු ප්‍රවාහන, අධ්‍යාපන, ඛනිජ තෙල් හා විදුලි බලය වැනි අංශ කෙරෙහි නව වැට් බදු සංශෝධන අදාළ නොවන බව රජයේ ප්‍රකාශකයෝ පුන පුනා පවසති. ඊට අමතරව ජන ජීවිතයට එල්ල වන්නා වූ බලපෑම පිළිබඳ සැලකිලිමත් වෙමින් සෞඛ්‍ය ආදි ක්ෂේත්‍රවලදී මෙමඟින් එල්ල වන්නා වූ බලපෑම, කෙරෙහි යළි සිතා බැලීමට ද තමන් සූදානම් බව රජය ඉඟි කර තිබේ. විශේෂයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධ වාද විවාද රැසක් සිදු වූ බව කියවෙයි.

සිදු කරන ලද මෙම බදු සංශෝධනය හරහා රජය උපයා ගැනීමට උත්සාහ කරනුයේ රුපියල් බිලියන 100 ක අමතර ආදායමක පමණි. අප මීට පෙර සඳහන් කළ ආකාරයට, රටක් ලෙස ලබාගෙන ඇති ණය වෙනුවෙන් පමණක් රජය වසරකට බිලියන 1303ක් නැවත ගෙවිය යුතුය. නව බදු සංශෝධනය හරහා ලැබෙන්නේ ඉන් 8%ක් පමණි. රාජපක්ෂවරු රටට ඉතිරි කර ගිය “ණය උගුල” එතරම්ම දරුණු එකකි. සිදු කළ මෙම නව බදු සංශෝධනයත් සමඟ තම පාලන කාලයට සාපේක්ෂව බඩු මිල ඉහළ ගොස් ඇති බව පෙන්වීමට රාජපක්ෂවාදී ප්‍රකාශකයෝ නොනවත්වා උත්සාහ දරමින් සිටිති. ඒත් මෙය ඇත්තක් ද? සාමාන්‍ය ස්වභාවය වනුයේ කාලයත් සමඟ බඩු මිල ඉහළ යෑමය. සාමාන්‍ය තත්ත්වය එය වුවද බොහෝ බඩු භාණ්ඩවලට අදාළව, මිල ඉහළ යෑම වෙනුවට මීට වසර දෙකකට පෙර පැවැති මිලට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යෑමට රජය තවමත් සමත්ව සිටි. නිදසුනක් ලෙස රාජපක්ෂවරුන් රට කරද්දී රුපියල් 165ක් වූ පෙට්‍රල් ලීටරය අද රුපියල් 117ක් පමණි; එකසිය තිහක් වූ ඩීසල් ලීටරය රුපියල් 95ක් පමණි; රුපියල් 2650ක් වූ ගෑස් සිලින්ඩරය රුපියල් 1350ක් පමණි. කොත්තමල්ලි කිලෝවකින් රුපියල් 202ක් බදු ගනිමින්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52ක් බදු ගනිමින් කිරිපිටි පැකට්ටුවකින් රුපියල් එකසිය පනහක් බදු ගනිමින් ජනතාව තළා පෙළු යුගයට තිත තබමින් පැහැදිලි මූල්‍ය විනයක් යටතේ ක්‍රියාත්මක වෙමින් බදු පැනවීමේදී සාමාන්‍ය ජනතාවට සිදු වන පීඩා අවම කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. වඩාත් වැදගත් කරුණ වනුයේ එදාට සාපේක්ෂව අද ජනතාව අත මුදල් ගැවසීමය. පසුගිය සිංහල අවුරුදු සමයේ ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ස්වයංක්‍රීය නිෂ්කාශන යන්ත්‍ර (ATM) වෙතින් ජනතාව මුදල් භාවිත කර ඇති ආකාරය පෙන්වන පරිගණක දත්ත ඊට සාක්ෂි සපයයි. අප්‍රේල් 01 සහ 12 අතරතුර කාලයේ පමණක් ලංකා බැංකුවේ ATM යන්ත්‍ර හරහා රුපියල් බිලියන 31ක් පමණ මුදලක් ජනතාව ලබාගෙන ඇත. අප්‍රේල් 08 වැනිදා පමණක් රුපියල් බිලියන 4.5ක් ලබාගෙන තිබේ. සෙසු වාණිජ බැංකුවල ATM යන්ත්‍ර ද ඒ ආකාරයටම ඊට නොදෙවැනි ලෙස “කාර්යබහුල” වීම තුළ පෙනෙනුයේ, මුදල් සංසරණය වේගවත් වී ඇති තරමය. ජනවාරි අට වැනිදා සිදුවූ නිහඬ විප්ලවයෙන් පසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් විශාල ලෙස අඩු කිරීමට රජය කටයුතු කළ අතර රජයේ සේවකයන්ගේ වැටුප 30%කින් පමණ ඉහළ දැමීමට ද කටයුතු කළේය. එසේම 1976න් පසු ප්‍රථම වරට පුද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ද රජය කටයුතු කරන ලදි. මුදල් සංසරණය වේගවත් වීම විෂයෙහි මේ සියලු සාධක බලපෑ බව සුපැහැදිලිය.

රාජපක්ෂ පාලනයේ දුර්වල මූල්‍ය කළමනාකරණය තුළ රටක් ලෙස අප පැටලී සිටින “ණය උගුල” නොවන්නට මීටත් වඩා සහන අනිවාර්යයෙන්ම ජනතාවට ලැබිය හැකි ව තිබිණි. එබැවින් දැන් අප මේ ණය උගුලෙන් ගැලවීමට වහ වහා කටයුතු කළ යුතුය.

පෙර සඳහන් කළ ආකාරයටම බදු පැනවීමෙන් පමණක් එය සිදු කළ නොහැකිය. ඒ වෙනුවෙන් ක්‍රියාවේ යෙදවිය හැකි ශක්තිමත්, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුය. සියල්ල ගෝලීයකරණය වූ පසුබිමක අද රාජ්‍ය අතර අන්තර් පරායත්තාව පිම්මේ වර්ධනය වෙමින් පවතී. එම තත්ත්වය තුළ ළිංමැඬියන් සේ තවදුරටත් අපට කටයුතු කළ නොහැකි ය. ශ්‍රී ලංකාවට පිටතින් දියුණු ලෝකයක් ඇති බව අප පිළිගත යුතුය. රාජපක්ෂවරුන්ට එම අවබෝධය නොවීය. ඔවුන් ලෝකය ලෙස සැලකුවේ තමන් වැනිම වූ පසුගාමි රාජ්‍ය කිහිපයක් පමණි. එහෙත් මෙහිදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රවේශය ඊට වඩා ධනාත්මකය. රටවල් තරහ කරගැන්ම වෙනුවට වැලඳ ගැනීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය වී තිබේ. එම නැණවත් විදේශ ප්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශ්වාසයක් යළිඳු වතාවක් නිර්මාණය වී තිබේ. මත්ස්‍ය අපනයන තහනම ඉවත් වීම, එහි වැදගත් අවස්ථාවකි. නිසැකවම අපගේ මීළඟ ඉලක්කය විය යුත්තේ GSP+ සහනය ලබාගැනීමට කටයුතු කිරීමය. එය අතිශය තීරණාත්මකය. 2000 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 33% ක මට්ටමක පැවැති අපේ අපනයන මට්ටම 2014 වන විට 17% තෙක් පහළ බැස තිබිණි. පොදුවේ ගත් විට යුරෝපා සංගමය අපේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ලෙස සැලකෙන අතර විශේෂයෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තයට අදාළව ප්‍රධාන ගැනුම්කරුවා වනුයේ යුරෝපයය. එය යුරෝපයට කෙරෙන මුළු අපනයනවලින් 65%කට වග කියනු ලබයි. ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කරගැනුම හා එය තවදුරටත් වර්ධනය කිරීම වැදගත් වනුයේ ඉන් ඍජු රැකියා 340000ක් නිර්මාණය කරමින්, මිලියන 1.2 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආවරණය කරන බැවිනි. පසුගිය රජයේ වැරැදි විදේශ ප්‍රතිපත්තිය තුළ GSP+ සහනය අහිමි වීමෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදන 6400කට පමණ කණකොකා හැඬු අතර, එය අපගේ ඇඟලුම් අපනයන ධාරිතාව බලා සිටියදී අඩු කළේය. එම සහනය අහිමි වීමෙන් පසු වසර 06ක් ඇතුළත අපගේ අපනයන ආදායමේ අඩුවීම, රුපියල් බිලියන 150ක් පමණ විය. එය අධ්‍යාපන අමාත්‍යාංශය 2014 වසරට මුළු රටටම වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක් විය. මේ තත්ත්වය තුළ GSP+ සහනය යළි දිනාගැනීම අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මකය.

ඒ සඳහා වන සුබදායි බලාපොරොත්තු මේ වන විට නිර්මාණය වී තිබේ. අනාගතය යහපත් වනු ඇති බවට ඇති බවට ඉඟි බොහෝය. එහෙත් යම් යම් අඩුපාඩු ද නැත්තේ නොවේ. ජනවාරි අට වැනිදා මේ රට ජනතාව නිස්සරණධ්‍යාශයෙන් යුතුව ස්වේච්ඡාවෙන් බලමුළු ගැන්වී එම යහපාලන වෙනස සිදු කරද්දී ඉරහඳ, තාරකා, ඉල්ලා සිටියේ නැත. ඔවුනට මූලිකවම අවශ්‍ය වූයේ හොරකම, දූෂණය, වංචාවට තිත තබමින් අත මිට සරු සමෘද්ධිමත් රටක් බිහි වනු දැකීමය. නමුත් හොරකම, දූෂණය හා වංචාවට එරෙහි ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජයේ උනන්දුව පැවැති අවශ්‍යතාව හා කිසිසේත්ම සමපාත නොවේ. නමුත් එසේ කියා ප්‍රතිවිප්ලවයට අප ඉඩ තැබිය යුතු නැත. අසීරුවෙන් ලබාගත් නිදහස තවදුරටත් රැක ගත යුතුය. ඒ වෙනුවෙන් ඉවසීමක් තිබිය යුතුය. දස වසරකට අධික කාලයක් දූෂිත කොල්ල කල්ලියක ග්‍රහණයේ තිබු රටක් අවුරුද්දක් දෙකක් තුළ යළි නිවැරැදි පීල්ලට ගත හැකි යැයි සිතීම නිවැරැදි අනුමානයක් නොවේ. ඒ සඳහා යම් සාධාරණ කාලයක් පාලකයන්ට ලබා දෙමින් එය සිදු වන ආකාරය පිළිබඳ සුපරීක්ෂාවෙන් සිටීම ජනවාරි අට වැනිදා විප්ලවයට සම්මාදම් වූවන්ගේ යුතුකම හා වගකීම විය යුතුය.

Share on Google Plus