මවුකිරට ඇති වන්දිය පියවූ දිනය ඔබට මතකද?



අද මැයි මාසයේ 18 වැනි දා... මීට වසර 7 කට පෙර ඔබට මතකද? විචාරකයින්යැයි කියා ගන්නා බොහෝ දෙනෙක් කුමන වැල් වටාරම් දේශනය කළත්, යාන්තම් බහ තෝරන වයසේ සිට ඔත්පල නොවූ වැඩිහිටියා දක්වා සෑම පුරවැසියෙකුගේම දෑත් මත ජාතික කොඩිය රැදුණි.කිරිබත්,කැවුම් මේස නගර ගම් දනවු සිසාරා සකස් වුනේ ක්ෂණිකවය.උතුරේ සැබැවින්ම අසරණ දෙමළ ජනතාව තුළත් නිර්ව්‍යාජ සතුටක් සිත් තුළ හට ගැනුණි.1987 සිට උතුරේ සාමාන්‍ය පවුල් වල දෙමළ ජනතාවත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වයෙන් පීඩා වින්දේය.ඔවුන්ගේ දූ දරුවන්ව එල්.ටී.ටී.ඊ. ය බලහත්කාරයෙන් යුද්ධ පෙරමුණට යැවුවේය.අධික ලෙස අයබදු එකතු කළේය.

1983 දකුණේ ජීවත්වූ දෙමළ ජනතාවටත් නොමග ගිය මැර පිරිස් වල අකටයුතුකම් වලට ලක් වීමට සිදු විය.බොහෝ දෙමළ වියතුන් රට හැර ගියෝය.රටේ දළ දේශීය නිෂ්පාදිතයට උතුරේත්/නැගෙනහිරත් පළාත් දායකත්වය අහිමි විය.2002 සාම වැඩපිළිවෙලක් නෝර්වේජියානු ආධාරයෙන් සහ ජපන් අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වුවද සැබෑ සාමයක් රට තුළ උදා නොවීය.ලොව 4 වන විශාලතම හමුදාව වූ ඉන්දීය හමුදාවටවත් ජය ගත නොහැකි වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය 2006 මාවිල් ආරු සොරොව්ව මුදා ගැනීමේ මෙහෙයුමෙන් ආරම්භ වී 2009 මැයි 18 වෙල්ලමුල්ලි වයික්කාල් වලින් ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට යුද්ධ,නාවුක,ගුවන් හමුදාවන් සමත් විය.

නිවැරදි තීන්දු ක්ෂණිකව ගන්නා දේශපාලන මෙන්ම ත්‍රිවිධ හමුදා නායකත්වයක්,නොපසුබස්නා අරමුණෙන් ඉලක්ක කරා යන ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ දායකත්වයත් නිසා 2009 මැයි 18 අපි ත්‍රස්ථවාදය ජය ගත්තෙමු!එහෙත්,එතැන් පටන් රටේ දේශපාලනය ගමන් කළේ බල ලෝභීත්වය අවස්ථාවාදය පෙරදැරි කරගනිමිනි.මෙම චෝදනාව එවකට ආණ්ඩුව හෙබවූවන්ට පමණක්ම නොවේ වර්තමානයේ ආණ්ඩු බලය දරන්නන්ටත් අදාළ වේ.

ගිනි අවියෙන් පරාජය වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් පරාජයට පත් කළ යුතු කාලය එළඹ තිබේ.දැන් රටට අවශ්‍ය වන්නේ දේශපාලකයින් නොවේ.ලක්ෂ්මන් කදිරගාමර් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයින්ය.තානාපති සේවයේ පළපුරුදු උපාය ධූතයින්ය.රටේ සියලු ජන කොටස් අතර ඇති විරසකය දුරු වන පරිදි ආණ්ඩුව වහා ක්‍රියාත්මක විය යුතුය.දෙමළ ඡන්ද කුට්ටි වෙනුවෙන් බොරු පොරොන්දු ලබා දෙන තත්වයෙන් මිදිය යුතුය.සහජීවනය යනු,වචනයක් පමණක් නොවේ.එය ක්‍රියාවෙන්ද ඉටු කළ යුතුය.උතුරේ යළිත් 1981 පැවති තත්වයට අනුපාතිකව ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය යුතුය.උතුරේත්/නැගෙනහිරත් ජනතාවට නිසි සෞඛ්‍ය පහසුකම්,අධ්‍යාපන පහසුකම්,යටිතල පහසුකම් ලබා දිය යුතුවා සේම පියා අහිමි වූ රණවිරු පවුල් වෙනුවෙන් කඩිනම් සුබසාධක ක්‍රමයක් දියත් කළ යුතුය.කිසි විටකත් රණවිරු පවුල් වල දූ දරුවන්ට තම පියා අහිමි වූ හේතුව ගැන කණගාටුවක් සිතෙන පරිද්දෙන් ආණ්ඩුව ක්‍රියා කිරීම නොකළ යුතුය.රණවිරුවා යනු අමතක කළ හැකි භූමිකාවක් නොවන බව රටේ පාලක අධිකාරිය වටහා ගත යුතු කාලය එළඹ තිබේ.2009 යුද්ධ ජයග්‍රහණයට සාධාරනයක් ඉටු වන්නේ එවිටය.1983 වැනි කණගාටු දායක තත්වයක් රට තුළ නැවත ඇති විය යුතු නැත.


ඉෂාර ලක්මිණ
Share on Google Plus