බස්නාහිර මහ ඇමති සහ හිටපු ජනාධිපතිනිය ගංවතුරින් අතුරුදහන්.


මැයි 16 වෙනි දින සිට පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් වැඩිම පීඩාවට පත් වූයේ බස්නාහිර  පළාතේ ජනතාවයි.250,000කටත් අධික ජනතාවක් බස්නාහිර පළත තුළ ජල ගැලීම් හා දැඩි සුළං තත්වය හේතුවෙන් අවතැන්ව කදවුරු වල තාවකාලිකව රැදී සිටී. කොළොන්නාව,කැලණිය,වත්තල,අවිස්සාවේල්ල,කඩුවෙල,මතුගම,බුලත්සිංහල යන මැතිවරණ කොට්ඨාශයන්හි තත්වය වඩාත් බරපතලය.සියලු දේශපාලන අධිකාරිය පක්ෂ,විපක්ෂ භේදයකින් තොරව ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් මැදිහත් වෙමින් සිටීම යම් ආකාරයක ප්‍රශස්ථ වාතාවරණයකි. එහිදී කොළොන්නාවෙන් එස්.එම්.මරික්කාර්/ කඩුවෙලින් විමල් වීරවංශ/ අවිස්සාවේල්ලෙන් උදය ගම්මන්පිල/ වත්තලින් ජෝන් අමරතුංග/ කැලණියෙන් ප්‍රසන්න රණතුංග/ මතුගමින් සහ බුලත්සිංහලින් කුමාර වෙල්ගම යන පක්ෂ,විපක්ෂ මැති ඇමතිවරුන් ජනතාවට සහන සැලසීමට ගන්නා උත්සාහය අපක්ෂපාතීව අගය කළ යුතුය.

නමුත්,අභිනවයෙන් පත් වූ බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා මේ දිනවල දකින්නවත් නොමැති වීම බොහෝ ජනතාවගේ පිළිකුලට හේතු වී ඇති බව අප සිදු කළ නිරීක්ෂණයේදී දකින්නට ලැබුණි.නව මහ ඇමති දිවුරුම් දුන් අවස්ථාවේදී බස්නාහිර පළාත් ජනතාව තුළ බොහෝ අපේක්ෂා සිත් තුළ ඇති විය.එහෙත්,මේ වන විට එය පුස්සක් බවට පත් වී ඇති බව පැහැදිලිය.මෙවන් හදිසි ආපදා අවස්ථාවකදී පළාත් මහ ඇමති ජනතාවට සහන සලස්වමින් ජනතාව අතර රැදිය යුතුමය.

මීළගට අපේ අවධානය යොමු වූයේ 2015 ජනාධිපතිවරණයේදී පැවති මහින්ද රාජපක්ෂ පාලනය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරාගෙන ඇති බවට චෝදනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේත්,ජනතාවගේත් දේව දූතියක් ලෙස පෙනී සිටිමින් ක්‍රියාකළ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට සිදු වූයේ කුමක්ද? යන ප්‍රශ්නයයි. ඇය 1993 දේශපාලනයට පැමිණියේත් බස්නාහිර පළාත් මහ ඇමතිනිය බවට පත් වෙමින්ය.මේ අවස්ථාවේදී බස්නාහිර පළාතේ ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට අවංකව සහන සැලසීමේ යුතුකමක් හිටපු ජනාධිපතිනියටත් තිබේ.එහෙත් ඇය මේ වන විට තම පුත්‍ර රත්නය වන විමුක්ති කුමාරණතුංග සමග එංගලන්තයට ගොස් සුපිරි ජීවිතයක් ගත කරමින් සිටී.නමත්,ඇය අවංකවම ශ්‍රී ලංකාවටත් මෙරට ජනතාවටත් ආදරය කරන්නේ නම් මේ වන විට ඇයගේ ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගී කරගෙන ආපදාවන්ගෙන් පීඩාවට පත් අසරණ ජනතාවට සහන සැලසීමේ ක්‍රියාන්විතයක සිටිය යුතුය.2004 සුනාමි ව්‍යසනය පැමිනි අවස්ථාවේත් එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එංගලන්ත සවාරියක සිටියාය.එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාව වෙනුවෙන් තම වග කීම නොපිරිහෙලා ඉටු කිරීමට හැකි පමණ උත්සාහ දැරූ බව තතු දන්නෝ දනිති.

මේ සටහන මා විසින් තැබුවේ කිසියම් දේශපාලකයෙක් අපහසුතාවයට ලක් කරන අදහසින් හෝ තවත් අයෙකුට ප්‍රශස්ති ගී ගායනා කරනා අදහසින් නොවේ.නමුත්,මෙරට පොදු මහජනතාව වෙත සත්‍ය දැන්වීම අපගේ යුතුකම වන බැවින් මෙම සටහන තැබුවෙමි.


-ඉෂාර ලක්මිණ 

Share on Google Plus