ෆොන්සේකා නැවත සම්බන්ධතාවයක් ඇති කර ගනී...(ඉෂාර ලක්මිණ.)


අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම සිදු විය.


ඉදිරි දිනකදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට හිමිවීමට නියමිතය.


අද දිනයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් රැසක් තම නායකයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අනුගමනය කරමින් 'එක්සත් ජාතික පක්ෂයේ' පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදි.


අම්බලන්ගොඩ ප්‍රදේශයේදී උපත ලද සරත් ෆොන්සේකා මහතා විදුහල්පති වරයෙකුගේ පුත්‍රයෙකි.ඔහුගේ මුල් පාසල අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයි.ඉන් අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ සරත් ෆොන්සේකා මහතාගේ සමකාලීන පාසල් මිතුරන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවුක හමුදාපති වසන්ත කරංනාගොඩ මහතා හැදින්විය හැකිය.ශ්‍රී ලංකාවේ පැවති දශක 3 ක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ පුද්ගලයින් තිදෙනෙකු ලෙස මොවුන් තිදෙනාම ජනතාව අතර ගෞරවයට පාත්‍ර වී ඇත.


එම ජනප්‍රියත්වය සහිතව 2010 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ 'පොදු අපේක්ෂකයා' ලෙස තරග කර සරත් ෆොන්සේකා මහතා එහිදී දැවැන්ත පරාජයකට ලක් වීමෙන් අනතුරුව නැවතත් 'ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී' ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය ලෙසින් තරග කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 100,000ක් ඉක්මවූ මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වාසනාව උදා කරගත්තේය.


පවත්වන ලද විශේෂ යුද්ධාධිකරණයක් මගින් වරද කරුවෙකු වූ සරත් ෆොන්සේකා මහතාව පැවති රාජපක්ෂ වරුන්ගේ පාලනය විසින් වැලිකඩ බන්ධනාගාරයේ තබන ලදි.කාලයාගේ ඇවෑමෙන් නිදහස් වී නැවත ජනතා සේවයට පැමිණි සරත් ෆොන්සේකා මහතා 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවමින්' නැවත දේශපාලන ගමන ආරම්භ කළේය.

තම බිරිදට, වැඩිමල් දියනියට සහ බෑණාට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ' බලගතු භාවයක් ලබා දීම නිසා ශීඝ්‍රයෙන් ජනතා අපකීර්තියට ලක් වීමට සරත් ෆොන්සේකා මහතාට සිදු විය.2015 ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහනය කරවීමේ සටනේ සෙන්පතියෙකු ලෙස දැවැන්ත කැප කිරීමක් සරත් ෆොන්සේකා මහතා සිදු කරන ලදි.


එයට කෘතගුණ වශයෙන් ලංකා ඉතිහාසයේ ප්‍රථම 'ෆීල්ඩ් මාෂල් වරයා' ලෙස උසස්වීම් ලද සරත් ෆොන්සේකා මහතා කැබිනට් අමාත්‍යවරයෙකු සමාන බලතල භුක්ති විදින්නෙකු බවට පත් විය.


නැවත වරක් 'එක්සත් ජාතික පක්ෂයේ' ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා පාර්ලිමේන්තු පැමිණි සරත් ෆොන්සේකා මහතා 'ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය' ධුරයත් ලබා ගත්තේය.


ඔහු රටේ පැවති යුද්ධය අවසන් කිරීමට ජීවිත හානිය ආසන්නයට පවා ලක් වෙමින් ක්‍රියා කරන ලද බව අපි අවිවාදයෙන් පිළිගනිමු!එහෙත්,ඔහු වැනිම තවත් කැප වීම් කළ රණවිරුවන් ශ්‍රී ලංකාව තුළ සිටී.නමුත්,සරත් ෆොන්සේකා මහතා ඒ බව අමතක කරමින් තම වරප්‍රසාද තකාම වැඩ කරන්නේනම් එවැනි නායකයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්නේනම් 'එක්සත් ජාතික පක්ෂයේ' විනාශයත් වැඩි ඈතක නොවන බව මාධ්‍යවේදීන් ලෙස අපිට ඉගි සැපයිය හැකිය.



ඉෂාර ලක්මිණ



Powered by Blogger.