අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාට ඇතැම් අමාත්‍යවරුන් සහ ඇතැම් සිවිල් සංවිධාන නියෝජිතයින් විරුද්ධවීමේ රහස...


මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබා නොදී ඔහුව ඉවත් කරන ලෙස එල්ල වෙමින් තිබෙන දැඩි බලපෑම් හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනාධිපතිවරයා දැඩි පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වේ.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේම මන්ත‍්‍රීවරුන් වන ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඇමැති චම්පික රණවක මහතා මහේන්ද්‍රන් මහතාව අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු බවට දැඩි මතයක සිට දිගින් දිගටම ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත. පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තවදුරටත් මහේන්ද්‍රන් මහතාව එම ධුරයේ තබා ගැනීමෙන් යහපාලන ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානියක් සිදු වන බවය. විශේෂයෙන්ම ආණ්ඩුවට දූෂණ වංචා චෝදනා එල්ල කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය අත්පත් කරගත හැකි වතාවරණයක් ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා මෙම ගැටලූව සම්බන්ධයෙන් පුරවැසි පෙරමුණ සහ සාධාරණ සමාජයක් යන සිවිල් සමාජ ව්‍යාපාර දෙක සමඟ ද සාකච්ඡා කර ඇති අතර ඔවුන් ද මහේන්ද්‍රන් මහතාව ඉවත් කළ යුතු බව පවසා ඇත.

කෙසේ නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් අපේක්ෂා කරන ආර්ථික මොඩලය කරා මේ රට රැගෙන යාමට නම් අර්ජුන් මහේන්ද්‍රන්ව අවශ්‍ය බවට දැඩි මතයක පසුවේ. මීට පෙර ඉල්ලා තිබුණේ වසර දෙකක සේවා දිගුවක් වුවත් අවම වශයෙන් වසරක හෝ සේවා දිගුවක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත. රාජපක්ෂ රෙජීමය සමයේ දී අවුලෙන් අවුලට පත් කර තිබුණු මෙරට ආර්ථිකය දිගුකාලීන ඉලක්ක සහිතව යම් මාර්ගයකට ගෙන එමින් සිටිය දී ඊට ඉහළ සහයොගයක් දක්වන මහ බැංකු අධිපතිවරයාව ඉවත් කිරීම යළි රට ආර්ථිකමය අවුල්සහගත බවකට පත් වීමේ අවදානමක් ඇති බව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවත් වාර්තා වේ.

එනමුත් මේ වන විට අගමැතිවරයාගේ මේ උත්සාහයට එරෙහිව පෙනී සිටින එජාපයේම මැති ඇමැතිවරු පවසන්නේ යහපාලන ආණ්ඩුව බේරා ගැනීමට මහේන්ද්‍රන් මහතාව ඉවත් කරන ලෙසය. එහෙත් එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙසට කෙරෙන උත්සාහය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක් බවය. විශේෂයෙන්ම එක්තරා මාධ්‍ය ආයතනයක් මේ පිටුපස සිටින බවත් එජාපය තුළ වික‍්‍රමසිංහ මහතාට එරෙහිව හඬ නගන පිරිස එම ආයතනයේ ගෙවීම් ලැයිස්තුවේ සිටින අය වීම මත එය තහවුරු වන බවත් එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මහේන්ද්‍රන් මහතා ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ නායකයන් ගණනාවක් ද මේ ආයතනයේ ගෙවීම් ලැයිස්තුවේ සිටින පිරිස බව ප‍්‍රකට කරුණකි.
-ඩී. මංජුල කුමාර ( 'සත්හඩ' පුවත්පත.)


"අර්ජුන් රකින්න රනිල් තනි සටනක" ලිපිය ආශ්‍රයෙන් 'සත්හඩ' පුවත්පතින් උපුටා නැවත පළ කිරීමකි.

"ලංකා ඩී.එන්.ඒ." මෙම සටහන පිළිබදව පූර්ණ වගකීම ඉෂාර ලක්මිණ.

Share on Google Plus