‘භූමි’ ගේ කතාව.


භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන දැනගෙන සිටියා. (ඇත්තම කියනවා නම් කවුරුත්ම වගේ කුමුදු ගැන දැනන් සිටියා) මම මගේ මිතුරන් සමග අන්තර්-පාසල් නාට්‍ය තරගයට ලැහැස්ති වනවිට කුමුදු සහ ඔහුගේ මිතුරනුත් විවිධ සිංහල නාට්‍ය තරග වලට ලැහැස්ති වුනා. සෑම නාට්‍යකම වගේ කුමුදුගේ චරිතය වුනේ කතා නායිකාව. වයස 16-17 තරුණයන් වූ අපට මේක මහා ලොකු විහිලුවක් වුනා. අපි කුමුදු සහ ඔහුගේ මිතුරන් හට විවිධ සරදම් කළා, සිනා වුනා. පො*යන්නෙන් පටන් ගන්න අශික්ෂිත වචනයකුත් කිවුවා.

කුමුදුගේ හිත මේ දේවල් වලින් රිදෙන්න ඇති කියලා අපට ඒ අවස්ථාවේ තේරුමක් තිබුනේ නැහැ. උසස් පෙළ විභාගයෙන් පසුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම ආරම්භ කලාට පසු මට කුමුදු ගැන අහන්න දකින්න ලැබුනේ නැහැ. මෙහෙමම අවුරුදු කිහිපයක් ගතවුනා. දිනක් මට දකුණු ආසියාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් බැංකොක් නගරයේ පැවැත්වෙන තරුණ සමුළුවකට ඇරයුමක් ලැබුනා. මම හැරුනුකොට ලංකාව නියෝජනය කරන්න තෝරාගෙන තිබුනේ බාලදක්ෂ ව්‍යපාරයේ චමත්යා සහ භූමි හරෙන්ද්‍රන් නම් සමාජ ක්‍රියාකාරිණියක්. අපව, මේ සමුළුව සංවිධානයකල ජාත්‍යන්තර IPPF සංව්ධානයට යෝජනා කල තිබුනේ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (FPA) විසින්.

සමුළුවට පිටත්ව යෑමට පෙර අප තිදෙනා FPA ආයතනයේ පැවැත්වුන රැස්වීම් කිහිපයකට සහභාගීවුනා. පළවෙනි රැස්වීමේදී, මට FPA ශ්‍රවනාගාරයේදී මුලින්ම චමත්යා මුණගැසුනා. භූමි පැමිණියේ ඉන් මදකට පසුව. ඇය අඩි හයක් පමණ උස, කොණ්ඩය ගෙල තරමට පමණ දිග, සාරියක් හැදි අවුරුදු 22, 24ක් පමණ වියැති ගැහැනු ළමයෙක්. කිසි දිනක ඇයව හමුවී නැතත්, භූමි ගේ දැක-පුරුදු ගතියක් ඇය දුටුවිටම මට දැනුනත් මේ ඇත්තටම කුමුදු යැයි තේරුම් ගන්න මට මිනිත්තු කිහිපයක් ගතවුනා.

භූමි සමග තායිලන්තයේ ගතකල සතියක පමණ කාලයේදී ඇය සමාජය ඉදිරියේ දෛනිකව මුහුණ දෙන තාඩන පීඩන හා වෙනස් කොට සැලකීම්, චමත්යාට හා මට දැන ගන්න ලැබුනු අවස්ථා එමටය. තවද ඒ දින කිහිපය තුල දී පාසල් කාලයේ නොලැබුනු ලෙසකට ඇයව හොඳින් දැන හඳුනා ගන්නටත් ඇගේ කතාවට සවන් දෙන්නටත් හොද අවස්ථාවක් ලැබුනා.

සමාජයීය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය(gender identity) යනු යමෙක් ගේ දෙපා අතර තිබෙන දෙයක් නොව එය සවන් අතර පවතින දෙයක් යැයි චැස් බෝනෝ වරක් කියා ඇත. භූමිට හැමවිටම හැගුනේ ඇය පිරිමියෙකුගේ ශරීරයේ සිර වී සිටින ගැහැනියක් බවයි. ඇයගේ ප්‍රියතම නිළිය මධුරි දික්ෂිත්. ඇයට කවදත් අවශ්‍ය වුනේ මධුරි දික්ෂිත් වගේ වෙන්නටය. ඇය වගේ අදින්නටය, ඇය වගේ නටන්නටය.

ගෙදර කවුරුත්ම නැති අවස්ථා වල ඇය ඇයගේ මවගේ අල්මාරියේ තිබුණු ඇදුම් හොරෙන් ඇඳ බලන්න පටන් ගත්තා. එහෙත් තමන් මුහුණ දෙන දෙයට සමාන අත්දැකිම් ඇති වෙනත් කිසිවෙක් භූමි දැන හිටියේ නැහැ. සමහර අවස්ථා වලදී භූමිට තම අනාගතය පිළිබද මහා බියක් දැනුනා.

පාසැල් නාට්‍ය වල ගැහැණු චරිත භාරගන්න අනිත් ළමුන් අදි මදි කරනවිට, භූමි කැමැත්තෙන්ම භාරගත්තා. ඇත්තටම වේදිකාව මත සිදුවෙන්නේ රගපෑමක් වුවත්, භූමිට දැනුනේ ඇය අනිත් සෑම තැනකම කලේ මහා රගපෑමක් වුවත් තමන්ගේ අන්‍යතාවය සත්‍ය ලෙසම ප්‍රකාශ කරන්න ලැබුනේ වේදිකාව මත පමණයි කියලා.

එහෙත් තමන්ගේ හිතේ තිබුන තනිකම හා ව්‍යාකූලත්වය මකාගන්න අවස්ථාවක් ඇයට ලැබුනේ නැහැ. පාසැල් ගොස් අවසන් වූ පසු භූමි තම කොණ්ඩය හා නිය වවන්නටත් මේකප් ඇඳීමටත් පටන් ගත්තා. මෙම වෙනස්කම් ඇයට තව තවත් ඇයගේ නියම අන්‍යතාවයට ලගාවීමට උදව් උනා වගේ තමයි භූමිට දැනුනේ. එහෙත් ඇය හෝමෝන ගැනීමට තීරණය ගත් පසු ඇගේ දෙමාපියන් සහ පවුලේ උදවිය ඇයව පවුලේ සියලුම කටයුතු වලින් බැහැර කර අවසානයේ ඇයට නිවසෙන් ඉවත් වන ලෙසටත් දැන්වුවා. එහෙත් කිසිවෙක් ඇයට සිටින්නට තැනක් දුන්නේ නැහැ.

භූමි ගේ විදේශ ගමන් බලපත්‍රය දුටු ආගමන නිලධාරියා ගේ මුහුණ වෙනස් වූ සැටි සහ කොළඹ හා බැංකොක් නගර වීදිවල ඇය අත් විදි අපහාස දුටු විට මට මතක් වුනේ අවුරුදු ගණනකට පෙර,පාසලේදී අප කුමුදුට විහිළු කල සැටිය.

අපගේ අධ්‍යාපන පද්ධතිය තුල භූමි වැනි අයත් අප අතර ජීවත් වන බව අපට කියාදුන්නේ නැත. උපතේ දීම අපට සමාජය විසින් නොයෙකුත් ලේබල ගැසුවද තමන්ගේ අනන්‍යතාවය කුමක්දැයි නිශ්චය කර ගැනීමට අයිතිය ඇත්තේ තමන්ටම පමණක් බව අප ඉගෙනගත්තේ ද නැත.

ඊනියා යහපාලන රජය පත්වීමත් සමග මානව හිමිකම්, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව පිලිබඳව සමාජ කතිකාවතක් ආරම්භ වී ඇත. ‘සුළු ජන කණ්ඩායම්’ වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා මානව හිමිකම් ප්‍රවර්දනය කිරීමට විවිධ කොමිසන් සභා, කාර්ය සාධක බලකා ආදිය පත් කර ඇත. එහෙත් ඉතිහාසයේ පටන් අප අතරම ජිවත්වන ලිංගික හා සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය පදනම් වූ සුළු ජන කණ්ඩායම් වලට අයත් වන භූමි වැනි අයවලුන්ගේ අයිතීන් ගැන හඩක් නැගෙන්නේම නැති තරම්ය.

අනිත් ළමයින් කුමුදුට විවිධ හිරිහැර කලවිට මම ඇය වෙනුවෙන් නැගී සිටියේ නැත. එදා මම කුමුදුව හදුනා ගැනීමට උත්සහයක් වත් නොගත්තෙමි. ඒ ගැන මට අද දැනෙන්නේ මා ගැනම මහා ලැජ්ජාවකි.

එහෙත් භූමි හට අපගේ අනුකම්පාව අවශ්‍ය නැත. අද ඇය දිගු ගමනක් පැමිණ ඇත. ඇය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් පිලිබදව සමාජ ආකල්ප වෙනස් කිරීමට උත්සාහ කරන සමාජ ක්‍රියාකාරිනියකි. ඇය අපෙන් බොහෝ දේ ඉල්ලන්නේ නැත.

ඇයටත් අවශ්‍ය වන්නේ කවුරුත් මෙන් සමාජයේ ගෞරවාන්විතව ජීවත් වීමටය, ආදරය කිරිමටය, විවාහවිමටය, මවක් වීමටය. ජීවත් වන කුඩා කාලය, ස්වාභිමානයෙන් ජීවත් වන්නටය.

-සෙනෙල් වන්නිආරච්චි | Senel Wanniarachchi

Powered by Blogger.